ඉන්දියාවට නැතුවම බැරිවුණු අපේ ‘මැණිකේ’
ලංකාවේ මිනිස්සු හින්දි සිංදු ඇහුවට ඉන්දියාවේ මිනිස්සු සිංහල සිංදු අහනවා කියලා අපි ජීවිතේටවත් අහලා තිබුණේ නැහැනේ. එහෙම රැල්ලක් හදන්නත් මෙච්චර කාලෙකට කාටවත්ම බැරිවුණා. ඒ වගේ පසුබිමක තමයි අපේ පුංචි කෙල්ල යොහානි, ඉන්දියාවේ මිනිස්සු සිංහල ගීත රසිකයන් පිරිසක් බවට පත්කරන හපන්කම කළේ. සරලවම කිව්වොත් ඇයට පුළුවන් වුණා ‘මැණිකේ’ ගීතය මුළු ඉන්දියාවම මුමුණන ගීතයක් බවට පත්කරන්න.
මේ වෙනකොටත් යොහානි බොලිවුඩය තුළ සාර්ථක පිමි කිහිපයක්ම පැනලා ඉවරයි. බොලිවුඩයේ දැවැන්ත සිනමාපටයක් වෙනුවෙන් ‘මැණිකේ’ ගීතය ගායනා කරන නිසා මේ දවස්වල ආයෙත් යොහානි ගැන කවුරුත් කතාබහ කරන්න පටන් අරන්.
මේ විදියට යොහානි ගායනා කරන ‘මැණිකේ’ ගීතය ඇතුළත් වෙලා තියෙන්නේ ‘තෑන්ක්ස් ගෝඩ්’ කියන හින්දි සිනමාපටයට. සිද්ධාර්ත් මල්හෝත්‍රා, අජේ දෙව්ගන්, රකුල් ප්‍රීත්, නෝරා පටේහි වගේ ප්‍රසිද්ධ බොලිවුඩ් තරු රැසක්ම චිත්‍රපටයේ රඟපානවා.
පහුගිය 17 වැනිදා T-Series ලේබලය හරහා ‘මැණිකේ’ නිකුත් වුණා. ඔවුන් මේ ගීතය නම් කරලා තිබුණෙත් ‘මැණිකේ’ නමින්මයි. යොහානි මේ ගීතය ගායනා කරන්නේ ප්‍රවීණ ඉන්දීය ගායක ජුබින් නවුටියාල් එක්ක.
හින්දි චිත්‍රපටයක සිංහල සිංදුවක් යන පළවැනි වතාව මේක. ඉතින් ඒ ගැන අහන්න අපි මේ දවස්වල ඉන්දියාවේ ඉන්න යොහානිට කතා කළා.
—————-
*‘තෑන්ක්ස් ගෝඩ්’ හින්දි චිත්‍රපටයේ ඇතුළත් ‘මැණිකේ’ ගීතය මේ වෙනකොට නිකුත් කරලා ඉවරයි. මොකද හිතෙන්නේ?
මම හරි නිහතමානීව ඒ ගැන සතුටු වෙනවා. මේක මට සහ මගේ කණ්ඩායමට ලැබුණු ලොකු අවස්ථාවක්. ගීතයේ මුල් අයිතිකරුවන් වන චමත් සංගීත්, සතීශාන් සහ දුලාන්වත් මේ වෙලාවේ මතක් කරනවා.
*පළවැනි වතාවට සිංදුව අහද්දි කොහොමද දැනුණේ?
ඒක තවමත් හීනයක් වගෙයි. සිංහල ගීත කොටස ඇහෙනකොට හරිම ආඩම්බරයි.
*සිංහල භාෂාව හින්දි චිත්‍රපටයකට ඇතුළත් වුණු පළවැනි අවස්ථාව මේකද?
ඔව්. මම දන්න විදියට මේක තමයි පළමු අවස්ථාව.
*යොහානි ගීතය ගායනා කරන්නේ බොලිවුඩයේ දැවැන්තයින් කිහිපදෙනෙක් එක්ක. ඒ අත්දැකීම ගැනත් කතා කරමු?
ඇත්තටම ඔවුන් එක්ක වැඩ කරන්න ලැබුණු එක මට ලොකු අවස්ථාවක්. මේ අවස්ථාව සලසගන්න මගේ කළමනාකරුත් සෑහෙන මහන්සි වුණා. මොකද ලේබල් එකක් එක්ක වැඩ කරන එක ලේසි දෙයක් නෙමෙයිනේ.
*ඒ අයගෙන් යොහානිට හොඳ සහායක් ලැබුණද?
ඔව්. ඒ අයත් එක්ක වැඩ කරන්න හරිම පහසුයි. ඔවුන් ඉන්ඩස්ට්‍රි එක ඇතුළේ ගොඩක් වැඩ කරලා තියෙන නිසා මට ඔවුන්ගෙන් ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන් වුණා.
*චිත්‍රපට ගීතය පටිගත කරන අතුරතුරේ අමතක නොවන දේවල් එහෙම වුණේ නැද්ද?
ඒ මුළු අත්දැකීමම මට අමතක වෙන්නේ නැහැ. අපි ලේබල් එකත් එක්ක කතාබහ ආරම්භ කළේ 2021 සැප්තැම්බර් මාසේ. 2022 මාර්තු මාසේ වෙනකොට වැඩ පටන්ගත්තා.
*චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපාන සිද්ධාර්ත් මල්හෝත්‍රා, අජේ දේව්ගන් එහෙමත් යොහානිට මුණගැහුණද?
තවම නම් නැහැ. හැබැයි ඉදිරියේදී මුණගැහේවි කියලා හිතනවා.
*යොහානිට හින්දි භාෂාවෙන් ගායනා කරන එක අභියෝගයක් වුණාලු නේද?
ඔව් භාෂාව කතා කරන්නෙ නැති නිසා උච්චාරණය සහ තේරුම ඉදිරිපත් කරන එක ටිකක් අභියෝගකාරී වුණා.
*ගීතය රිලීස් වුණාට පස්සේ ලැබුණු ප්‍රතිචාර කොහොමද? එහෙ ප්‍රවීණයන් එහෙම කතා කළාද?
ඔව්. ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. නව චිත්‍රපට කිහිපයකටත් ආරාධනා ලැබුණා.
*ඉතින් යොහානි ඉන්දියාවටම වෙලා ඉන්නද කල්පනාව?
ටික කාලෙකට මුම්බායිවල පදිංචියට ආවා. ඉදිරි වැඩකටයුතු තියෙන්නේ ඉන්දියාවේ නිසා ටික කාලයක් මෙහෙ ඉන්න වෙයි. හැබැයි පුළුවන් හැම අවස්ථාවකම ලංකාවට එනවා.
සෙව්වන්දි හෙට්ටිආරච්චි