විශේෂාංග

අපේ එළවලු කොරටුවේ පැන්ට්‍රි කබඩ් ගහපු කිචන් එකකුත් තියෙනවා

අපි උදේ තේ බොන්න එන්නේ ගාර්ඩ්න් එකට. තේ හදන්නෙත් ගාර්ඩ්න් එකේ. මේ පරිසරයේ ලස්සන විලා, තේ බීලා, පුංචි සතුටු කතාබහකින් පස්සේ අපි පහලට බහින්නේ උදේට උයන්න ඕන කරන එළවලුත් කඩාගෙනයි.

ඒ හඬ සාරංගි ප්‍රනාන්දුගේය. ඇය පදිංචි වී සිටින්නේ මාලඹේ, අතුරුගිරිය පාරේ අරංගල (කහන්තොට) ප්‍රදේශයේය. නාගරික පරිසරයක වුව සොබාදම් අසිරිය නොඅඩුව විඳින්නට හැකි ගෙවත්තක් ඔවුනට තිබේ. ඒ ගෙවත්ත තිබෙන්නේ නිවසේ සිව්වන මහලේය. එළවලු පලතුරු ගස් බොහොමයකින් සුසැදි එම පරිසරය, දවස ආරම්භ කරන්නට ඔවුනට ආශිර්වාද එක්කරන කෙම්බිමක්ව තිබේ.

මගේ මහත්තයාගේ ගම්පළාත නුවර. ඔහුගේ දෙමාපියන්ට කුඹුරු ගොවිතැන් වගේම, හේන් ගොවිතැන් තිබුණා. ගැමි පරිසරයේ සුන්දරත්වයට ඔහු වගේම මමත් කැමතියි. 2004 අවුරුද්දේ අපි විවාහ වුණාට පස්සේ කොළඹ පදිංචියට ආවා. මුලින්ම රෙන්ට් එකට ගෙයක් අරගෙන තමයි ආවේ. මහත්තයා ඇලුම් ක්ෂේත්‍රයට සම්බන්ධ ව්‍යාපාරිකයෙක්. ඔහුගේ කාර්යබහුලකමත් එක්ක හිත නිවන, නිස්කලංක පරිසරයකට තමයි අපි දෙන්නගේම කැමැත්ත තිබුණේ. අපි කුලියට හිටපු ගෙදර පිටුපසට වෙන්න හිස් ඉඩමක් තිබුණා පර්චස් පහළොවක. ඉතින් ඒක මිලට ගන්න හිතද්දිම අපි සැලසුම් කළා ඒ ගේ ඉදිවෙද්දි ගෙවත්තකට ලොකු ඉඩක් නැති නිසා සිව්වන මහලේ ස්ලැබ් එක අපේ සිහින ගෙවත්ත වෙනුවෙන් වෙන් කරන්න. එහෙම හිතලා, ගෙයි වැඩ නිමවන කාලය වෙද්දි බාස් උන්නැහැකෙනෙක් ගෙදරට ගෙන්වලා උඩුමහලෙම ලොකුවට සිමෙන්ති පෝච්චි හැදෙව්වා. මොකද ලොකු පෝච්චි දොරවල්වලින් උඩට ගෙනියන්න බැහැ. ඒ නිසා වගාවට සුදුසු විදියට සිමෙන්තිවලින් පාත්ති බැලා, පස් පුරවලා අපි වගාව පටන්ගත්තා. දැන් අපේ ගෙවත්තට අවුරුදු තුනක් විතර වෙනවා.

ඒ ගතවුණු කාලය තුළ ඔවුන් එළවලු වාගේම, බද්ධ පලතුරු වර්ග බොහොමයක්ද ගෙවත්තට එක්කර ගත්තේය. බද්ධ පැළ සිටුවන්නට ඔවුන් තීරණය කර ඇත්තේ ලොකු ගස්වලට වැඩෙන්නට ඉඩකඩ සීමාසහිත බැවිනි. කර්තකොලොම්බන්, විලාඩ් මෙන්ම අල්පෝන්සෝ වැනි අඹ වර්ගත් මැලේසියන් රඹුටන්, වෙරළු, ජම්බු, උගුරැස්ස, ලොවි, කිලෝ පේර ආදී ගස්වල පලදාව මේ වනවිට කිහිප වාරයක් ඔවුනට ලැබී තිබේ. දෙවන මහලේ ඉඩකඩ තුළ වාගේම මිදුලේද මල්වර්ග හා තවත් ගස් වර්ග තිබේ. උඩුමහලේ කජු ගසක්ද තිබේ.

කතුරුමුරුංගා වගේ ගස් පහල පොළොවේ හිටවලා තියෙනවා. ඒවට තරමක් ඉඩකඩ ඕන කරනවා. ඒ වගේම උඩට පස් ගෙනැල්ලා, වැලි ගෙනැල්ලා, කොම්පෝස්ට් ගෙනැත් වගාවට සුදුසු විදියට පස හදාගන්න එකත් වෙනමම රාජකාරියක් වුණා. කොරෝනා පළමු රැල්ල එනකොට අපි පලතුරු ගස් ටික හිටවලා තිබුණේ. ඒ කාලේ ගෙවල්වලට කොටුවෙලා දිගු කාලයක් ඉන්න වුණා. ඉතින් ඒ කාලය ප්‍රයෝජනයට අරගෙන අපි එළවලු වර්ග ගොඩක් හිටෙව්වා. අද දක්වාම දිගටම ඒ එළවලු වගාව පවත්වාගෙන එනවා වගේම වැඩිපුර තියෙන එළවලු අහල පහල අයටත් දෙනවා. මේ වගේ කාලෙක එහෙම උදව්වක් කෙනෙකුට කරන්න ලැබෙන එකත් ලොකු සතුටක්. ඒ විදියට වැරණිය මිරිස්, බණ්ඩක්කා, කරවිල වැනි එළවලු පහුගිය කාලයේ අපට වැඩිපුර අස්වනු දුන්නා.

කැරට්, බීට්, ගෝවා, වැටකොලු, පිපිඤ්ඤා, බෝංචි, මෑ, තක්කාලි, ඉඟුරු, කොත්තමල්ලි කොළ, මාලු මිරිස්, මිරිස් වර්ග, කංකුං ආදී බොහෝ දෑ ඔවුන් ලබාගන්නේ ගෙවත්තෙනි. සාරංගිත් අරුණ ශාන්ත වන ඇගේ සැමියාත් උදේට අවදි වන්නේ ගෙවත්තේ ගහකොළවලට අවශ්‍ය ආදරණීය සොයාබැලීම්ද අමතක නොකරමිනි.

අපි දෙන්නා පාන්දර පහමාර වෙද්දි අවදි වෙනවා. වගාවට ඕන කරන පොහොර, වතුර, කෘමින්ගෙන් වෙන හානි ගැන ගොඩක් උනන්දුවෙන් හොයලා බලන්නේ මහත්තයා. ඒ වැඩවලට ඔහු බොහොම උනන්දුවෙන් සහයෝගය දෙනවා. උඩුමහලේ කරන වගාවක් කියලා නැහැ, අපේ වගාවටත් කෘමි උවදුරු එන අවස්ථා තිබෙනවා. ඒ වගේම අපිට කොම්පෝස්ට්වලට අමතරව වගාවට හානිවන අවස්ථාවල රසායනික වර්ග සුළු වශයෙන් යොදන්න වෙනවා. හැබැයි ඒ ලොකුවට පැළවලට හානියක් වෙනවානම් විතරයි. ඒ නිසාම ගෙදර හැදෙන එළවලු පලතුරු දරුවෙක්ට වුණත් බය නැතුව දෙන්න පුළුවන්. අපේ දුවයි පුතයිත් වගාවට හරිම ආදරෙයි. දුව ලිසරි මිනායා ගියපාර අ.පො.. සාමාන්‍ය පෙළ විභාගය ලිව්වා. පුතා සහස් ලිත්මින් මේ අවුරුද්දේ විභාගය ලියන්න ඉන්නේ. ඉතින් ඒ දෙන්නගෙ ඉගෙනීම් කටයුතු එක්ක ගෙවත්තේ වැඩවලට උදව්වෙන්න එයාලට ලොකු කාලයක් නැහැ. ඒත් අපි හතරදෙනාම උදේට, හවසට ගාර්ඩ්න් එකට එනවා. පැන්ට්‍රි කබඩ්ස් ගහලා පොඩි කිචන් එකක් ගාර්ඩ්න් එකේ හැදුවේ සැහැල්ලුවෙන් තේ කෝප්පයක් බොන්න. ඒ වගේම හවසට කැමති කෑමක් බීමක් හදන්නත් අපි තෝරගන්නේ ගාර්ඩ්න් එක. සමහර දවස්වලට අපි බාබකිව් දානවා. කොච්චි මිරිස් හදලා පොල් රොටී හදනවා. ආප්ප හදනවා. ඇත්තම කිව්වොත් ගාර්ඩ්න් එකේ ගැවසෙද්දි හිතට දැනෙන සතුට සැහැල්ලුව වචනවලට පෙරලන්න බැහැ. ඉඩ ගොඩක් තිබුණත් ටිකක් තිබුණත්, මුදල් යහමින් තිබුණත් නැතත් මේ සතුට හැම කෙනෙකුටම තමන්ගේ කරගන්න එක අමාරු නැහැ. පැළයක් හිටවලා, ගහක වැලක මලක් ගෙඩියක් එද්දි ඒ දැනෙන සතුට තවත් දේකට උපමා කරන්න බැහැ. අපි ගෙදර හතරදෙනා උඩට එද්දි, අපේ ගෙදර ඇතිකරන සුනඛ සුරතලුනුත් අපි එක්කම උඩට එනවා. අපිට තේ හදලා ඊළට එයාලටත් කිරි හදලා ගාර්ඩ්න් එකේදිම බොන්න දෙනවා. අපි වගේම එයාලත් ගහකොළවලට ලැදියි. නිදහස් ලස්සන පරිසරය එයාලටත් වැදගත් කියලා ඒ හැසිරීමෙන් කියන්න පුළුවන්. ඇත්තටම කාලයක් හිතේ ඇිලා තිබුණ ගෙවත්ත අපිට ලැබුණේ අපේ උත්සාහය, උනන්දුව, කැපවීම එක්කයි. අලුතින් ගෙයක් හදනවනම් ඒ තියෙන ඉඩකඩ එක්ක පුංචිවට හරි ගෙවත්තක් සැලසුම් කරන්න. එය ඔසුඋයනක් තරම් ඔබේ හිතට, ගතට, මනසට සැහැල්ලුව ගෙනේවි.

සාරංගිගේ වදන් තුළ එම සැහැල්ලුව තිබේ. ඒ සැහැල්ලුව විඳින්නට ඔබේ පුංචි ගෙමිදුලද ඇතිය. ඔබ කළ යුත්තේ ඒ වෙනුවෙන් පළමු පස් පිඬැල්ල පෙරළීමය.

දීපා වසන්ති එදිරිසිංහ