විශේෂාංග

සල්ලි නැත්නම් නෙල්ලි ගහක් හොලවලා බලන්න

පාර්වතී දෙවඟන කියන්නේ ශිව දෙවියන්ගේ බිරිඳ. දවසක් ශිව දෙවියෝ පාර්වතී දේවියව දිව්‍යවිමානේ තනිකරලා සක්වල වටයක් ගහලා එන්න ගියාලු. දවස් ගාණක් ගතවෙලත් ශිව දෙවියෝ ගෙදර නාපු නිසා පාර්වතී දෙවඟන ඇගේ මිතුරියක් වෙච්චි ලක්ෂ්මි දේවියවත් එක්කරගෙන ශිව දෙවියන්ව හොයන්න ගියාලු. දෙන්නා එකතුවෙලා මුළු සක්වලේම කරක් ගැහුවත් ශිව දෙවියන්ව නෙමේලු හම්බුණේ.

අන්තිමට පාර්වතී දේවිය බොහොම දුක සේ ලක්ෂ්මි දේවිය එක්ක නැවතත් ඇගේ විමානයට සැපත් වුණාලු. ඔන්න ඒ එනකොට ශිව දෙවියෝ ගෙදර ඇවිල්ලලු. ඒ පාර ශිව දෙවියන්ව දැකපු පාර්වතී වගේම ලක්ෂ්මි දේවියත් සතුටට අඬන්න පටන්ගත්තලු. ඒ වැටුණු සතුටු කඳුළුවලින් නෙල්ලි ගහ උපන්නා කියලයි ඉන්දියානුවන් විශ්වාස කරන්නේ. ඒ නිසා ඔවුන් අදටත් නෙල්ලි ගහට වඳිනවා.

අටවිසි බුදුවරු අතරේ ඵුස්ස බුදුන් වහන්සේ බුදුවුණේ නෙල්ලි ගහක් යටදී. ඵුස්ස බුදුන් වන්දනාමාන කරන බැතිමතුන් පවා නෙල්ලි ගස නමදිනවා. සම්බෝධි පිරිතේ ‘ඵුස්ස නමෝ ලෝක විදු මූලේ ආමලක බෝධියා’ කියලා කියැවෙන්නේ නෙල්ලි බෝධිය වන්දනා කරන ගාථාවයි.

ආගමික පරමාර්ථ කෙසේ වෙතත් නෙල්ලි කියන්නේ වන්දනාමාන කරන්න තරම් වටින ගහක් කිව්වට වරදක් නැහැ.

ඉන්දියාවේ වේද ග්‍රන්ථවල කියැවෙන විදියට නෙල්ලි කියන්නේ හිසේ සිට පාදාන්තය දක්වා ශරීරාංගවලට ගුණ දෙන පලතුරක්. වා, පිත්, සෙම් කියන දෝෂ තුන නසන නිසා නෙල්ලිවලට තිදෝෂහර කියලත් කියනවා. ආයුර්වේදයේ බහුපාලී, ආමලක, ධාත්‍රී, පංචරසා කියලා කියන්නෙත් නෙල්ලිවලටම තමයි.

‘සර්ව රසාභ්‍යසඃ බලකාරණඃ’ මේ කියන්නේ නීරෝගී වෙන්න නම් රස හයම කන්න ඕනේ කියන එකයි. ඇඹුල, ලුණු, කහට, තිත්ත, පැණි, ලවණ කියන ෂඩ් රසයෙන් ලවණ ඇර අනෙක් පහම නෙල්ලිවල අඩංගුයි.

හැමදාම නෙල්ලි ගෙඩියක් කනවා නම් ආයුෂ වැඩි වෙනවා කියලා ඉස්සර ආත්තම්මලා කියනවා. අග්න්‍යාශ‍ය, ආමාශය සුවපත් කරන්න නෙල්ලි බොහොම ගුණලු. අද දෙමව්පියෝ සුපර්මාර්කට්වලින් ළමයින්ගේ ඇඟට අගුණ චොක්ලට්, ටොෆී ගෙනැල්ලා දුන්නට ඉස්සර ඈයෝ කඩපිලට ගිහින් එද්දි ගෙදර ළමයින්ට ගේන්නේ නෙල්ලි, මොර, හිඹුටු වගේ ගුණ ජාතිලු. අනික දැන් වගේ නෙමේලු ඒ කාලේ හැම ගමකම නෙල්ලි ගස් වැහි වැහැලාලු. ‘ඔන්චිලි චිලි චිල්ල මලේයා වැල්ල දිගට නෙල්ලි කැලේයා’ කියන ඔංචිලි වාරමෙන් කියැවෙන්නේ ඒ කාලේ ගම හැමතැනම නෙල්ලි ගස් තිබුණා කියලනේ.

දත් පණුවෝ කෑම වළක්වන්න වගේම ඇස් පෙනීම වැඩි කරන්නත් නෙල්ලිවලට පුළුවන්. ඒ විතරක්යෑ සම සහ හිසකෙස් රකින විශේෂ බලයක් තියෙන නිසා සීගිරි ලලනාවන් පවා ලස්සන වෙන්න නෙල්ලි භාවිත කළාලු.

මේ ලෝකේ තියෙන පලතුරුවලින් වැඩියෙන්ම විටමින් C තියෙන පළතුර තමයි නෙල්ලි. ගෙඩිය පුංචි වුණත් ගුණය පුංචි නැති නිසා නෙල්ලිවලට කවුරුත් කැමතියි. හැබැයි ගෙඩි පිටින් කනකොට ඇඹුල නිසා ගොඩදෙනා කැමති නෙල්ලි ජූස්වලට.

ජනවාරි, පෙබරවාරි, මාර්තු වගේ කාලවලට නෙල්ලි හැදෙනවා වැඩියි. ඒ නැතත් හැමදාම නෙල්ලි හැදෙන ගසුත් තියෙනවා. ටිකක් අඩු මුදලට නෙල්ලි ගන්න පුළුවන් නිසා ස්වයං රැකියාවක් විදියට නෙල්ලි ස්මැක් හදන්න ඕන කෙනෙක්ට පුළුවන්.

මුලින්ම නෙල්ලි ස්මැක් බෝතල් හයක් හදමු. ඒකට අපිට නෙල්ලි 200g, වතුර 850ml, සීනි 150g, SMS (Sodium Met bisulfite) 0.5g අවශ්‍ය වෙනවා.

 

පියවර 1

මුලින්ම නෙල්ලි ටික හොඳට සෝදලා පිහදාලා ඇට ටික ඉවත් කරගන්න.

 

පියවර 2

නෙල්ලි ටිකට වතුර 200mlක් මිශ්‍ර කරලා බ්ලෙන්ඩ් කරන්න.

 

පියවර 3

සීනි ටිකයි ඉතිරි වතුර ටිකයි ලිපේ තියලා විනාඩි 10ක් උණු කරලා නිවෙන්න තියන්න. පස්සෙ නෙල්ලි පල්පය මිශ්‍ර කරලා පෙරාගන්න. අවසානෙදි SMS එකතු කරලා ජීවානුහරණය කළ වීදුරු බෝතල්වලට දාලා බෝතල් පිටින් 80C°ක උෂ්ණත්වයකින් නැවතත් විනාඩි10ක් රත් කරන්න.

 

ආහාර වෙළඳසැලක එවෙලේම අලෙවි කරනවා නම් SMS එකතු කරන්න එපා. නෙල්ලි බීම බෝතලයක් රුපියල් 250-300කට වගේ හොඳ මිලකට අලෙවි කරන්න පුළුවන්. 0714766819 යන මේ අංකයට කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්.

සීතා පොන්නම්පෙරුම

ස්වයං රැකියා පාඨමාලා උපදේශිකා

 

සෙව්වන්දි හෙට්ටිආරච්චි