මගේ කෙල්ලෝ දෙන්නා දූෂණය කරලා ගහක එල්ලලා තිබුණා
“මගේ කෙල්ලෝ දෙන්නා එල්ලලා මරපු විදියටම උන්වත් එල්ලලා මරනවා මට දකින්න ඕන.”
කනට වඩා පපුවට ඇහුනු මවකගේ මේ ශෝකාලාපය ඇසෙන්නේ අසල්වැසි ඉන්දියාවෙනි. ඇය ජීවත්වන්නේ උතුරු ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ තමෝලි පූර්වා ගම්මානයේය. ගෙවුණු දින කිහිපය පුරාම එකී ගම්මානයට වැස්සෙන් නම් අඩුවක් නැත. එසේ ඇදවැටුණු ධාරාණිපාත වර්ෂාව නිසා මුළු දවස පුරාම ගම්මානය තිබුණේ අඩඅඳුරේය.
ලක්නව් අගනුවර සිට කිලෝමීටර් 200ක් දුරින් පිහිටි තමෝලි පූර්වා ගම්මානයේ වැඩිපුරම සිටින්නේ මිනිසුන් කිසිදාක ස්පර්ශ නොකළ යුතු පිරිසක් ලෙස සැලකෙන ‘දලිත්’ නම් හීන කුලයේ මිනිසුන්ය. ඔවුන් ඉන්දීය කුල ධූරාවලියේ පතුලේම සිටින මිනිස් ප්‍රජාවකි. මේ ශෝකාලාපය ඇසෙන්නේද එකී පවුලක් වාසය කළ දුප්පත් නිවසකිනි.
“මගේ කෙල්ලෝ දෙන්නා මේ ගෙදර හරි සතුටින් ජීවත්වුණේ…”
ලණු ඇඳක් මත දිගාවී දිගටම හඬන ඇයව සැනසීමට අසල්වැසියන් දහසකුත් කතා කිව්වද ඇගේ හැඬිල්ල නවතින පාටක් නැත. මේ සියල්ලටම හේතුව මීට දින කීපයකට උඩදී සිදුවූ එක්තරා සිදුවීමකි.
“පහුගිය බදාදා වැස්ස නැවතුණේම නෑ. ඔය අතරේ මං දැක්කා දවල් බයික් එකකින් ආපු මිනිස්සු තුන්දෙනෙක් මගේ කෙල්ලෝ දෙන්නා උස්සන් යනවා. මං බේරගන්න හැදුවත් මට පුළුවන්කමක් ලැබුණේ නෑ.”
ඇගේ එක් දියණියකගේ වයස අවුරුදු 17කි. අනෙක් දියණියට අවුරුදු 15කි. නාදුනන මිනිසුන් තිදෙනා තරුණියන්ව රැගෙන ගියේ නිවසට නුදුරින් වූ උක් වගාකළ බිමකටය. පසුව තිදෙනා මාරුවෙන් මාරුවට ඔවුන්ව අමුඅමුවේ දූෂණය කර ගෙල සිරකර මරා දැමීය.
ගෙල සිරකරන්නට පෙර දැරියන් දෙදෙනා පලා යන්නට දහසකුත් දෑ කරන්නට ඇත. නමුත් හයිහත්තිය ඇති පිරිමින් තිදෙනෙක් සමඟ ඔට්ටු වෙන්නට ඔවුන් දැරූ ඒ වෑයම අසාර්ථක වී තිබුණි. අවසානයේ අපරාධකරුවන් මරා දැමුණු දැරියන් දෙදෙනාව අසළ තිබූ ගස් දෙකක එල්ලා පිටමං වෙද්දී ඇදහැලුණු ධාරාණිපාත වැස්ස පමණක් මේ සියල්ල දෙස නිහඬව බලා සිටියේය.
පසුව මවගෙන් ලද පැමිණිල්ලකට අනුව පොලිස් පරීක්ෂණ ආරම්භ විය. එහෙත් ඒවාද ගියේ ඉබිගමනේය. දලිත්වරුන්ගෙන් ලැබුණු පැමිණිලිවලදී පසුගිය කාලය පුරාමත් ඔවුන් ක්‍රියාකර තිබුණේ එලෙසිනි. එනිසා මෙවරද පොලිස් විමර්ෂණවලට හැදුණු බාලගිරි දෝෂය පිළිබඳව ගම්මානයේ ජනතාව අදාළ බලධාරීන්ට චෝදනා කර තිබුණි. කෙසේ හෝ දින කීපයකට පසු දැරියන් දෙදෙනාගේ මළසිරුරු ගස් දෙකක එල්ලෙමින් තිබියදී සොයාගැනුණු අතර පශ්චාත් මරණ පරීක්ෂණයක්ද පැවැත්විණි. එහිදී හෙළිවූයේ දැරියන් දෙදෙනා බලහත්කාරයෙන්ම දූෂණය කර ඝාතනය කර ඇති බවයි.
“අනේ මගේ කෙල්ලෝ දෙන්නා මැරිලා. කෙල්ලෝ දෙන්නා නැතුව මං කොහොමද දෙයියනේ දැන් ජීවත්වෙන්නේ. මං නම් කියන්නේ උන් ටිකත් මගේ කෙල්ලෝ මරපු විදියටම එල්ලලා මරන්න ඕන.”
ඒ මවගේ හිතේ තෙරපෙන ශෝකයත්, ඇවිලෙන කෝපයත් දෙකම අසාධාරණ යැයි කියන්නට කිසිවෙකුටත් නොහැකිය. මන්ද කුසින් වැදූ දා පටන් මල් දෙකක් මෙන් රැක්ක හැටි දන්නේ ඇය පමණය. ප්‍රධාන අමාත්‍ය යෝගි ආදිත්‍යනාත් ප්‍රමුඛ ප්‍රාන්ත රජය මියගිය දැරියන්ගේ පවුලට වන්දි ලබාදීමට ඉදිරිපත් විය. නමුත් ඒ වන්දිවලට නිවසේ ශ්‍රියා කාන්තාව වන්ව සිටි දූවරුන් දෙදෙනා නැවත කැන්දාගෙන ඒමට නොහැකි නිසා මවගේ එකම ඉල්ලීම අපරාධකරුවන්ට දැඩි දඬුවම් පමුණුවන ලෙසයි.
“මට සනීප නෑ. ටික කාලෙකට උඩදි ලොකු ඔපරේෂන් එකක් කරලා ඉන්නේ. ලොකු දුව තමයි මාව බලාගත්තේ. එයා උයනවා, ගෙවල් පිරිසිදු කරනවා. ඒ වැඩ ඔක්කෝම කරනවා.”
ඒ මියගිය වැඩිමල් දැරිය ගැන මව කඳුළු සලමින් කියන කතාවය. ඇය සිය පාසල් ගමන අතරමඟ නවතා ඇත්තේද මවගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙනි.
“එයාට හොඳට ඇඳුම් මහන්න පුළුවන්. මට මේ ළඟදිත් රෝස පාට හැට්ටයක් මහලා දුන්නා.”
මව එසේ කියන්නේ සිය වැඩිමල් දියණිය මසා දුන් ඇඳුමද තුරුල් කරගෙනය. ඇගේ ඇඳුම් මැසීමේ දක්ෂතාවය නිසාම මීට මාස හතරකට ඉහතදී ඔවුන්ගේ වැඩිමල් සොහොයුරා ඇයට මහන මැෂිමක්ද ගෙනවිත් දී තිබුණි. ඒ පසුගිය හෝලි උත්සව සමයේදීය.
“පොඩි දුවට ඉගෙනගන්න ලොකු ඕනකමක් තිබුණා. අපි ඇයට උසස් අධ්‍යාපනය දක්වා ඉගෙනගන්න උදව් කරනවා කියලා පොරොන්දු වෙලයි තිබුණේ.”
ඒ මියගිය දැරියන්ගේ පියාය. ඔහු කුලී සේවකයෙකි. බාල දියණිය ඉගෙනීමට ඉතා දක්ෂ වූ බවත්, කලාවට බොහෝ ඇලුම් කළ බවත් ඔහු පවසන්නේ ඇගේ චිත්‍ර පොතක්ද තුරුල් කරගෙනය. එසේම ඇයට තිබූ එකම සිහිනය වූයේ ඉදිරියේදී තමාටම කියා රූපලාවණ්‍යාගාරයක් ආරම්භ කිරීමය.
“අපි හැමෝම ගොඩාක් සතුටින් හිටියා. අපේ ගමේ මේ වගේ දෙයක් වෙයි කියලා කවදාවත්ම හිතුවේ නෑ. මගේ සහෝදරියන් ගතකළේ හරිම ආරක්ෂිත ජීවිතයක්. අඩුතරමේ ඒ අය තනියම එළියටවත් ගිහිල්ලා නෑ. ඒත් ඒ අය අපිට නැතිවුණා. ඉතින් මේ වගේ දෙයක් අපිට වෙන්න පුළුවන්නම් වෙන ඕනම කෙනෙක්ට වෙන්න පුළුවන්.”
සහෝදරියන් ගැන හැඬූ කඳුළින් එසේ කියන්නේ ඔවුන්ගේ එකම සහෝදරයාය. ඔහු පවසන පරිදි පවුලේ සතුට රැඳී තිබුණේ මියගිය සහෝදරියන් නිසාය. ඒත් යළි කවදාවත් ඔවුන්ගේ සිනා හඬ ඒ ගෙදරින් ඇසෙන්නේ නැත.
මේ අතරවාරයේ දැරියන් සමූහ දූෂණය කර ඝාතනය කළ බවට සැකපිට පුද්ගලයින් හයදෙනෙකු අත්අඩංගුවට පත්වී තිබේ. පොලිසිය පවසන ආකාරයට ඒ අතරින් එක්අයෙක් අසල්වැසියෙකු වන අතර අනෙක් පිරිස අසල්වැසි ගම්මානයක පිරිසකි.
ගෙදරකට හොරෙක් පැන්න විටත් අපි කතාවට කියන්නේ පිටින් ඇවිත් හොරු පනින්නේ නැති බවය. ඒ වාගේම කුඩා ගැහැනු දරුවන්ට සිදුවන මෙවැනි අපරාධවලටද අසල්වැසියන් එක්කෙනක් හෝ දෙන්නෙක් නොවැරදීම ගෑවෙති. අපේ රටේද මෙතෙක් සිදුවූ එවැනි අපරාධ ගණනකටම අසල්වැසියන් සම්බන්ධ බව පසුව අනාවරණය විය. ඒ නිසා මේ කතාවෙන් අප ගත යුත්තේ ඉන්දියාවද, ශ්‍රී ලංකාවද නැතිනම් ලෝකයේ වෙනත් රටක්ද යන වග නොවේ. මල් නම් කොහේ පිපුණත් මල්ය. නමුත් ඒ මල් රැකගත යුත්තේ හත් ගව්වක් දුර සිටින බඹරුන්ගෙන් නොව ළඟ සිටිනා උන්ගෙන්ය.
රුවන් එස්.සෙනවිරත්න