මම ඉස්සර හිතාගෙන හිටියේ පශු වෛද්‍යවරියක් වෙන්න
“කරකාර බඳින්නට කාලේ හොඳා
බහ දුන්නොතින් ආල හිතින්…”
එදා ප්‍රවීණ ගායන ශිල්පී උපාලි කන්නන්ගර මහත්මයා මේ ගීතය ගායනා කරනකොට ප්‍රසංග වේදිකාවේ පහළ ඉඳපු රසිකයෝ හැසිරුණේ හරියට නැටුම් තෙල් බීලා වගේ. ඒ නිසා ඒ කාලෙත් අපි හරි රහට ඒ ගීතය වින්දා. ඒත් ටික දොහකට උඩදි පුංචි කෙල්ලෙක්ගෙ හඬින් වෙනස්ම විදියකට අපිට මේ ගීතය ඇහෙන්න ගත්තා. නැටුම් තෙල් නැතුවට මොකද කර්ණ රසායනයක් බඳු ඇගේ හඬයි, තාලෙට නැළවෙන ඇගේ බඳයි නිසා අපේ පරම්පරාවේ හැමෝම උන්මත්තකයො වගේ මේ ගීතය මුමුණනන්න පටන්ගත්තා. ඒ විතරක් නෙවෙයි සමාජ මාධ්‍ය හරහා බෙදාහරින්නන් පටන්ගත්තා. අන්තිමට මේ පුංචි කෙල්ලගේ ජීවිතය කණපිට පෙරළෙන්න තරම් ඒ ගීතය ඇගේ ගායන දිවියට ආශිර්වාදයක් වුණා. ඇය වෙන කවුරුත් නෙවෙයි, ජනප්‍රිය ගායන ශිල්පිනී කාංචනා අනුරාධි. මේ දිනවල ලංකාවේ බහුතරයක් එළිමහන් සහ ගෘහස්ථ ප්‍රසංග වගේම පිටරටවල පැවැත්වෙන ප්රසංගවලටත් ඇගේ හඬ නැතිවම බැරිවෙලා. ඉතින් හඬ තරමටම රුවෙනුත් සුන්දර මේ ගායන ශිල්පිනිය තමයි අද ‘ධරණී’ කවරය දරාගෙන සිටින්නේ.
“මං කරකාර බඳින්නට ගීතය ප්‍රතිනිර්මාණයක් විදියට ගායනා කළේ එහි මුල් ගායන ශිල්පියා වෙන උපාලි කන්නන්ගර මහතාගේ පවුලේ අයගේ ආරාධනාවකට. ඒ වගේම ‘නාද’ සංගීත කණ්ඩායමේ අලුත් සංගීත සංයෝජනයකට. නමුත් ගීතය එළිදක්වන්න කලින් මං එක වැඩසටහනක් අතරතුරේ ඒ ගීතය ගායනා කළා. එතැනදි නොහිතපු තරම් ප්‍රතිචාර ලැබුණා. සමාජ මාධ්‍ය හරහා ඒ වීඩියෝව පවා නොසෑහෙන්න ප්‍රසිද්ධ වුණා. ඇත්තටම මුලින් හිතුවේ නෑ එච්චර දෙයක් වෙයි කියලා. ඒත් මොකක්දෝ වාසනාවකට එහෙම වුණා.
කරකාර බඳින්නට ගීතයට කලින් අකීකරු පෙම් කතාවක්, කාලි, සීමා, උදුරාවී කියන ගීත කරලා තිබුණේ. ඒත් කරකාර බඳින්නට ගීතයෙන් පස්සේ කරපු දැනෙනා තුරු මා, නාදෙන්, නොලියමි වගේම ආලේ මල් කියන හැම ගීතයක්ම මිනිස්සු හරිම ආදරෙන් වැළඳගත්තා.”
කාංචනාගේ මුල්ම පාසල් වෙන්නේ වේයන්ගොඩ හිරිපිටිය ප්‍රාථමික පාසල සහ මීරිගම ඩී.එස්.සේනානායක ජාතික පාසල. ඊටපස්සේ ඇය උසස් අධ්‍යාපනය වෙනුවෙන් ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයට ඇතුළත් වුණා. ඒ පාසලේ උසස්පෙල ශිෂ්‍යාවක් වෙලා සිටියදී වරක් විවෘත අංශයෙන් 2016 වසරේ රාජ්‍ය සම්මාන උළෙලේ වසරේ ප්‍රශස්තම සම්ප්‍රදායික ජන ගායිකාවට හිමි සම්මානය ලබාගන්නත් තමන් වාසනාවන්ත වුණු බවයි කාංචනා අපට කිව්වේ.
“ඒ සම්මානය කවදාවත් මට අමතක වෙන්නේ නෑ. මං ඒ සම්මානයට නිර්දේශ වෙලා කියලා ගෙදරට ලියුම එද්දි පවා මට ඒක ලැබෙයි කියලා හිතුවේ නෑ. මොකද ඒ වෙනකොට මං පොඩියි. අනික විවෘත අංශය කිව්වම වයස් භේදයකුත් නෑනේ. ඒත් අම්මා නම් අලුත් සාරියක් එහෙම අරගෙන මටත් අලුත් ඇඳුමක් අරන් දීලා සම්මාන උළෙලට යන්න ලැස්ති වුණා. මාත් එච්චර හිතන්නේ නැතුව සල්වාර් එකත් ඇඳගෙන ගියා. සම්මාන උළෙල මැදදි එකපාරට කිව්වේ නැද්ද, 2016 රාජ්‍ය සම්මාන උළෙලේ විවෘත අංශයෙන් වසරේ ප්‍රශස්තම සම්ප්‍රදායික ජන ගායිකාවට හිමි සම්මානය දිනාගන්නේ කාංචනා අනුරාධි කියලා. එතැනින් පස්සේ තමයි මගේ ජීවිතේ ගොඩාක් වෙනස්වුණේ.”
*ඒ කියන්නේ පුංචි කාලේ ඉඳන්ම කාංචනා ඇතුළේ දක්ෂ ගායිකාවක් ඉඳලා. එහෙම නේද?
“පුංචි කාලේ ඉඳන්ම මට ගායන හැකියාව තිබුණා. මං ඒක තනියෙන් වර්ධනය කරගත්තා. කටහඬ පුහුණුවීම් කළා. ඊටපස්සේ හැම ශෛලියකම ගීත ගායනා කරන්න ඉගෙනගත්තා. සාමාන්‍ය පෙළට, උසස් පෙළට පවා සංගීතය කළේ. ඊටපස්සේ සංගීතය වැඩිදුර අධ්‍යයනය කළා. මේ වෙනකොට කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සංගීත විද්‍යා අංශයේ උපාධිය හදාරනවා. මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, අක්කයි, කිරිඅම්මයි. ඒ අයත් මගේ ගමනට උපරිම සහයෝගය දක්වනවා.”
*එතකොට කාංචනා පුංචි කාලේ ඉඳන්ම හීන දැක්කේ ගායිකාවක් වෙන්නද?
“එහෙම හීනයක් තිබුණේ නෑ. ඇත්තටම මං පුංචි කාලේ ඉඳන්ම හීන දැක්කේ පශු වෛද්‍යවරියක් වෙන්න. ඒ නිසා උසස් පෙළට විද්‍යා විෂයන් තමයි කරන්න හිතාගෙන හිටියේ. ඒත් ඔය කාලෙම වගේ ඉස්කෝලේ ඒකල ගායන තරඟයකින් මං ජයග්‍රහණය කළා. එදා මං කිව්වේ ‘දී කිරි දී කිරි’ ගීතය. ඊටපස්සේ හැමෝම මාව දකිද්දි ‘දී කිරි’ කියන්න පටන්ගත්තා. ඒ විදියට පාසල තුළත් ජනප්‍රිය වුණා. ඉතින් මට හිතුණා මගේ ගමන තියෙන්නේ සංගීතය එක්ක කියලා. අන්තිමේ පශු වෛද්‍යවරියක් වෙන හීනය වෙනස් වෙලා ගායිකාවක් කියන තැනට දෛවය මාව අරන් ආවා.”
මේ දිනවල කාංචනා අනුරාධි නැති සංගීත ප්‍රසංගයක් හොයාගන්න ලේසි නෑ. ලංකාවේ කොහේ කොතැනක සංගීත ප්‍රසංගයක් තිබුණත් ඇයව ඒ ප්‍රසංගයේ දකින්න පුළුවන්. මොකද ඇයට රසික රසිකාවියන්ගෙන් තියෙන්නේ ඒ තරම් ලොකු ඉල්ලුමක්. ඒ ගැනත් අපි ඇයගෙන් අහලා බැලුවා.
“ඇත්තටම කිව්වොත් ප්රසංගවලින්නම් කිසිම අඩුවක් නෑ. ගෘහස්ථ වගේම එළිමහන් ප්‍රසංගවලට ආරාධනා ගලාගෙන එනවා. ඒත් කාර්යබහුල බව එක්ක සමහර ඇරයුම් බාරගන්න වෙන්නේ නෑ. ප්‍රසංග නිසාම කැම්පස් එකේ වැඩ පවා අතපසු වෙන වෙලාවල් තියෙනවා.”
මේ කතාබහ අතරතුරේ කාංචනාටම ආවේණික ඇගේ දිගු වරලස ගැන අහන්නත් අපි අමතක කළේ නෑ.
“මං ඉස්කෝලේ දහය වසරේ ඉඳන් තමයි කොණ්ඩේ වවන්න පටන්ගත්තේ. ඒ වෙනකල් කොල්ලෙක් වගේ කොණ්ඩේ කොටටම කපලයි හිටියේ. මේ වෙනකොට කොණ්ඩෙ දණිස්සෙන් චුට්ටක් පහළට දිගයි. ඇස් දෙක වගේ තමයි ඒකත් පරිස්සම් කරගන්නේ. සත්කාරයකට කියලා කරන්නේ අම්මා ගෙදර හදන පොල්තෙල් ගාන එක විතරයි.”
කාංචනා අනුරාධි කියන්නේ මේ වෙනකොට ජනප්‍රියත්වයේ හිනිපෙත්තේම රැඳුණු ගායිකාවක්. ඒත් එහෙමයි කියලා කිසිම ආඩම්බරකමක් ඇගේ චරිතය තුළ නෑ. ඒකත් ඇගේ සංගීත ගමනට ලොකු ආභරණයක් වෙලා තියෙන බව පැහැදිලියි. ඒ නිහතමානීකමට ‘ධරණී’ අපිත් ආදරෙයි කියන ගමන් අපි ඇයට සමුදුන්නේ අවසාන වශයෙන් ඇයට කියන්න දෙයක් තියෙනවානම් ඒකටත් ඉඩක් වෙන්කරලා.
“මේ මං දීර්ඝ කාලයක් තිස්සේ හෙමින් අමාරුවෙන් ආපු ගමනක්. ගමන දුෂ්කරයි තමයි ඒත් සුන්දරයි. තරුවක් අහසේ බැබළෙද්දි තමයි කවුරුත් ඒක දකින්නේ. ඒත් කවුරුත් ඒ තරුව නිර්මාණය වෙන හැටි දකින්නේ නෑ. අන්න ඒ වගේ අවුරුදු ගාණක් වෙහෙසිලා ආපු ගමනක් තමයි මට තියෙන්නේ. මමත් වැටුණු තැන් තිබුණා. ප්‍රතික්ෂේප වුණු තැන් තිබුණා. ඒත් අම්මා තාත්තා ඒ වගේ තැන්වලදි ශක්තිමත් වෙන හැටි මට කියලා දීලා තිබුණා. ඒ නිසා දැන් මං වැටෙන්න බය නෑ. මොකද නැගිටින්න දන්නවා. ඒ වගේම ප්‍රතික්ෂේප කරපු අයටත් ස්තූතියි කියනවා. ඔවුන් එහෙම කරපු නිසයි මං ශක්තිමත් වුණේ. මං ගායිකාවක් විදියට ලොකු ලොකු හීන දකින්නේ නෑ. මට ඕන මට පුළුවන් කාලයක් මගේ කටහඬින් මිනිස්සු සුවපත් කරන්න. ඒ තුළින් මං යා යුතු ගමන නිරායාසයෙන්ම තීරණය වෙයි කියලා මං හිතනවා.”
රුවන් එස්.සෙනවිරත්න
ඡායාරූප – සමන් අබේසිරිවර්ධන