විශේෂාංග

උඩරට ක්‍රමයට කුඹුරක් කරන්න මම ලොරියක වින්ඩ්ස්ක්‍රීන් එකක් තෝරාගත්තා

වගාවට හිත බැඳුනහොත් එය නතරවන්නේ මහා ඇබ්බැහියකිනි. ඒ ඇබ්බැහිය කොතරම් සොඳුරු දැයි දන්නේද එසේ වගාවට හිත බැඳුනු අයය.

වැල්ලම්පිටිය හල්මුල්ල ප්‍රදේශයේ පදිංචි ඩී.ඒ. සුනන්ද ලක්ෂ්මන් මහතා ද තම විශ්‍රාම දිවියට එම සොඳුරු වටිනාකම් එක්කරගත් අයෙකි. ඒ තනියම නොව තම ආදරණීය බිරිඳ වන ඩී.ඒ.රේණුකා මහත්මියද සමඟිනි.

අපි වගාව පටන් අරන් තවම මාස පහක් වගේ වෙන්නේ. දවසක් අපේ ගමේ සමෘද්ධි නිලධාරී අසංක මහත්තයා මට අමුමිරිසුයි, වම්බටුයි, තක්කාලියි පැළ පහ ගානේ දුන්නා. මේ පැළ පහළොව දීලා ඕක හොඳට වගා කරලා, අස්වනු ආවොත් මට කෝල් එකක් දීලා කියන්න කියලත් කිව්වා. ඉතින් වගාව ගැන හිතද්දි හැමදාම වගේ අඩියක් පස්සට තියන්න වුණු කාරණය මේ වෙලාවෙත් ඉස්සරහට ආවා. ඒත් මේ වතාවේ අපි තීරණයක් ගත්තා. ගෙදර තියෙන පරණ බාල්දි, ටින් බෙලෙක්ක, මෙගා බෝතල් සේරම අරගෙන උඩුමහලට ආවා. පස් ගෙනැත්, වගාවට ගැලපෙන විදියට සකස් කරලා, පැළ ටික හිටෙව්වා. මමම පොහොර හදලා දාලා, කෘමි විකර්ෂකත් හදලා දැම්මා. ටික ටික පැළ ටික ලොකු වෙද්දි අපිට හිතුණේ බලා නොඉඳ මේ තැනින්හරි පටන්ගත්ත එක ලොකු දෙයක් කියලයි. ඔය විදියට ඒ පැළවල පලදාව එන්න ගනිද්දි අපිට තේරුණා අපේ ගෙවත්තේ එළවලු පලතුරු කොළපලාවලට ඉඩකඩ හදාගන්න එක අපි කොහොමහරි කරන්න ඕන කියලා.”

ඔවුන් පදිංචි මුළු ඉඩමේ ප්‍රමාණය පර්චස් දෙකකි. නිවස හැරුණුකොට ගෙමිදුල ඉඩක් නොවූයෙන්, උඩුමහලේ පර්චස් දෙක තුළ ඇති ඉඩ ප්‍රමාණයේ ක්‍රමවත් වගා රටාවක් ඇති කරගන්නට ඔහුට ඕනෑ විය.

මම ශ්‍රී ලංකා යුද හමුදාවේ 3 වන කොමාන්ඩෝ රෙජිමේන්තුවේ බලලත් නිලධාරී 1 ලෙසයි විශ්‍රාම ගත්තේ. දරු මුණුබුරෝ එක්ක ගෙවන ජීවිතය ලස්සන වුණත්, ඒ ජීවිතයට තවත් ගොඩක් දේවල් එක්කරමින් හිතේ සතුට වැඩි කරන්න මගේ වගාවට පුළුවන් වීම ඇත්තටම හාස්කමක් වගේ. ගතවුණේ මාස කිහිපයක් වුණත්, ඒ කාලය තුළ වගාව වෙනුවෙන් අපි ගොඩක් දේවල් කළා. මට දුවලා තුන්දෙනෙකුයි පුතෙකුයි ඉන්නවා. බාල පුතයි දුවයි නිවුන්නු. දුවලා තුන්දෙනා විවාහ වෙලා වෙනමම පදිංචි වෙලා ඉන්නේ. ඒ නිසා මමයි, නෝනයි, පුතයි තමයි ගෙදර ඉන්නේ.

මුලින්ම හිටවපු පැළ පහළොව හොඳින් වැඩෙද්දි අපි වගා බඳුන් මිලට අරන්, පරණ ටයර් තොගයකුත් හොයලා ගෙනැත් තවත් පියවරකට සූදානම් වුණා. ලස්සනට ටයර් කපලා ඉඩ තියෙන පිළිවෙලට වගා කරන්නයි ඕන වුණේ. පුතා අපිට ටයර් කපලා ලස්සන කරලා දුන්නා. ඒ වගේම උළුකැට අරන් අපිම වගා බඳුන් හැදුවා. ඒ විදියට තමයි අපි අද වෙනකොට පලදරන උඩරට පහතරට එළවලු වර්ග අපේ පුංචි භෝග වගාව අතරට එක්කරගත්තේ.”

වැටකොලු, කරවිල, අමුමිරිස්, මාලු මිරිස්, කොච්චි වර්ග, බඩඉරිඟු, මෑ, වම්බටු, එළබටු, කැරට්, බෝංචි, මඤ්ඤොක්කා, හිඟුරල, හුලංකීරිය වැනි අල බතල වර්ගත් රම්පේ, කරපිංචා, සේර, සැල්දිරි මෙන්ම නිවිති, ගොටුකොළ, මුකුණුවැන්න, තෙබු, තම්පලා, කතුරුමුරුංගා ආදී කොළපළා වර්ගත්, ඖෂධ පැළෑටි ගණනාවකුත් දැන් ඔවුනගේ ගෙවත්තේ ලැගැම් සොයා අහවරය. ඒ අතර හාතාවාරිය, කුප්පමේනියා, හීන් බෝවිටියා, වැල්පෙනෙල, ගරුඬරාජ, වදකහ, ඉඟුරු, කහ, කෝමාරිකා, අසමෝදගම් ආදියද තිබේ.

අපිට දැනට පලදරන බණ්ඩක්කා ගස් තිහක් විතර තියෙනවා. ඒ වගේම ගෙදර පරිභෝජනයට ගත්තම වැඩිපුර තියෙන එළවලු වර්ග අපේ දරුවන්ට වගේම අහල පහල හිතවතුන්ට ලබාදෙනවා. පුංචි දරුවෝ ඉන්න ගෙවල්වලට වැටකොලු, පතෝල වගේ ගුණ එළවලු දෙනවා. එමගින් අපේ හිත්වලට ලැබෙන්නේ පුදුමාකාර සතුටක්. ඒ වගේම අපේ ගෙවත්ත බලන්න අහල පහල අය දැන් එනවා යනවා. එයාලට සාර්ථකව වගා කරගන්න ඕන උපදෙස් වගේම, සමහර බීජ වර්ග අපි ලබාදීලත් තියෙනවා.

ඒ වගේම අපි අපේම වගාවෙන් තමයි දැන් බීජ වර්ග ලබාගන්නේ. පහුගිය දවසක චෙරි තක්කාලි ගහක ගෙඩි දෙකක් හැදුනා. ඒ බීජවලින් පැළ සියයකට වඩා හදාගත්තා. එයින් ගස් හැටක් විතර වගා කුළුනක හිටෙව්වා. උණ බම්බුවක් අරගෙන වටේට සිදුරු විදලා පස් පුරවලා තාක්ෂණිකව ජල සැපයුමක් එක්කයි ඒවා රෝපණය කළේ. ඒ වගේම අපේ වගාවට විසුරුම් ජල සැපයුම් පද්ධතියක් සකසා තිබෙනවා.

පිළිවෙළ, තාක්ෂණය වාගේම සකසුරුවමින් ඉඩකඩ බෙදා වෙන්කර ගනිමින් ඔවුන් වගාවේ නියැළෙන බැවින්ම ඉන් තවත් අයෙකුට ගත හැකි ආදර්ශයන්ද බොහොමයකි. කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, කෘෂිකර්ම අමාත්‍යංශය හා හදබිම අධිකාරිය එක්ව සංවිධානය කළ ‘කොලොම්තොට වගා සංග්‍රාමයේ’ කොලොන්නාව ආසනයෙන් තෙවැනි තැන හිමිවූයේද මේ වගාබිමටය.

මට ලොකු ආසාවක් තිබුණා උඩරට විදියට කුඹුරක් කරන්න. ඒකට ලොරියක වින්ඩ්ස්ක්‍රීන් එකක් අනෙක් පැත්ත හරවලා අරන්, මඩ පස අරන්, නියර හදලා පොඩි කුඹුරකුත් කළා. දැන් ඒකේ බන්ඩි ගොයම. මේවා බලන්නම ගමේ උදවිය එනවා. එතැනදි අපේ පැරැණ්ණෝ කළා වගේ අපිත් වගාවට පඹයෙක් හදලා එල්ලුවා. ඒ වගේම ඉල් මැස්සෝ එනවට කහපාට රෙදි කෑල්ලක ග්‍රීස් ගාලා එල්ලුවා. මෑ කරල්වලට එන ගිරව් එලවන්න බෝනික්කෝ එල්ලුවා. ඇත්තටම වගාවක් සාර්ථක වෙන්න කෘමි හානි වළක්වා ගන්න ඕන වගේම, පැළ වැඩෙද්දි නිසි ලෙස පොහොර දාන්න ඕන. ඒ පොහොර එක මමමයි ගෙදර හදාගන්නේ. ඊට ඕන කරන්නේ ගිනිසීරියා කොළයි, කොහොඹ කොළයි, එඬරු කොළයි, ගොමයි, වතුරයි. දින තුනක් පමණ මේවා පල්වෙන්න තියලා හදාගන්න පොහොර එක අපේ වගාවේ අස්වැන්න සරුවෙන්න හේතුවෙලා.

උදේම උඩුමහලට ගොඩවෙද්දි දැන් ඔවුන් දකින්නේ බොහෝ සුන්දර වටපිටාවකි. එළවලු කොළපලා පමණක් නොව පලතුරු වර්ග කිහිපයක්ද එම පුංචි ඉඩකඩේ තිබේ. ඒ අතර අන්නාසි, කෙසෙල්, කොමඩු, ගස්ලබු, ‍ෆැෂන් ​පෘට්, චෙරි, ඩ්‍රැගන් පෘට් ආදියද තිබේ.

ඇත්තටම අපිට එළවලු කඩෙන් ගන්න වෙන වාර හරිම අඩුයි. කන්න කැමති ගෙදර වගාවේ නැති දෙයක් තිබුණොත් ගන්නවා. මිරිස් ගස් සීයක් විතර තියෙන නිසා ඒවානම් කඩෙන් ගේන්නෙම නැතිතරම්. ලොකුවට වියදම් නොකර අවම මුදලකින් මේ වැඩේ සාර්ථක කරගන්න ලැබීම වටිනවා. අපි​ භෝග වර්ග නම් කරලා, බොහොම පිළිවෙලට මේ වැඩේ කරගෙන යන නිසා ගෙවත්ත බලන්න එන අයත් ආපහු යන්නේ සතුටින්. ඇත්තටම වගාව කියන්නේ සතුටක්, සැනසීමක්, ඇබ්බැහියක්.

ඒ වචන තුළ බොහෝ දෑ තිබේ. කළ යුත්තේ ඔබේ ගෙවත්ත ද භෝගයන්ගෙන් හැඩ කරගෙන ඒ සතුට, සැනසීම ඔබේ හදවතටද ළඟාකර ගැනීමයි.

දීපා වසන්ති එදිරිසිංහ