විශේෂාංග

හිජාබයෙන් පැන තිබූ කෙස්ගස් කිහිපයක් නිසා ජීවිතයෙන් වන්දි ගෙවූ අමීනි…

වෛද්‍යවරියක් වෙන්නට සිහින දුටු ඉරාන ජාතික මහ්සා අමීනිට ඊට අදාළ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ආරම්භ කිරීමට තිබුණේ දින කිහිපයක් පමණි. නමුත් ඊට පෙර දිනෙක ඉරානයේ ටෙහෙරාන් නගරයේදී ඇය එරට සදාචාර පොලිසියේ අත්අඩංගුවට පත්විය. වරද නම් මහ්සා අමීනිගේ හිස් ආවරණය යටින් පිටතට පැන තිබූ කෙස්ගස් කිහිපයක් පෙනෙන්නට තිබීමයි. ඒ අනුව හිජාබය පැළඳීමේ නීති කඩකළ වරදට ඔවුන් ඇය අත්අඩංගුවට ගත්හ.

ඉරාන නීතිය සකස් වී ඇත්තේ එරට ෂරියා අර්ථ නිරූපණය මත පදනම්වය. ඒ නිසා කාන්තාවන්ගේ හිසකෙස් හිජාබයකින් ආවරණය කිරීම කළ යුතු අතර සහ ඔවුන්ගේ ශරීර හැඩය සැඟවෙන සේ දිගු ලිහිල් ඇඳුම් ඇඳිය යුතුය. සදාචාර පොලිසිය සිටින්නේ එම ඉස්ලාමීය සදාචාරය අනුගමනය කෙරෙන බව සහතික කිරීමට සහ ඉස්ලාමීය සංස්කෘතියට පටහැනි ලෙස ඇඳ පැළඳ සිටින පුද්ගලයින් රඳවා තබාගැනීමටයි.

නමුත් සදාචාර පොලිසියේ අත්අඩංගුවට පත්වුණු අමීනිට සිදුවුණේ නොසිතූ දෙයකි. පොලිස් අත්අඩංගුවේ සිටියදී එක්වරම සිහිසුන්ව ඇදවැටුණු ඈ කෝමා තත්ත්වයට පත්වුණු අතර එතැන් පටන් රෝහලක නේවාසික ප්‍රතිකාර ලබාගැනීමට සිදුවිය.

නමුත් ඇයට පියවි සිහිය ලබාදීමට රෝහල් වෛද්‍යවරුන්ට හැකියාව ලැබුණේ නැත. එනිසා රෝහල් ඇඳක් මතම ඈ අවසන් හුස්ම හෙළුවේ තම මරණය තවත් අභිරහසක් බවට පත්කරමිනි. මේ සිදුවීමත් සමඟින් ඉරානය පුරාම පොලිසියට එරෙහිව දැඩි විරෝධතා රැල්ලක් මතුව ආ අතර තවමත් එහි අවසානයක් නැත. ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන් ඉරානයේ ක්‍රියාත්මක දැඩි නීති සහ ඒවා ක්‍රියාත්මක කරන පොලිසියට විරෝධය පෑමක් ලෙස ඉරාන කාන්තාවෝ සිය හිස් ආවරණ ප්‍රසිද්ධියේ ගලවා ගිනි තැබීමට පවා පටන්ගෙන තිබේ.

නුසුදුසු ලෙස හිජාබය ඇඳීම හෙවත් අනිවාර්යය කරන ලද ඇඳුම් වැරදි ලෙස ඇඳීමට එරෙහි ඉරාන බලධාරීන්ගේ සටන ආරම්භ වූයේ ඉස්ලාමීය විප්ලවයෙන් පසුය. ඒ 1979 වසරේදීය. එහි මූලිකම අරමුණ වූයේ කාන්තාවන් විනීතව ඇඳුම් ඇඳීමට පෙළඹවීමයි.

සදාචාර පොලිසිය ක්‍රියා කරන්නේ කාන්තාවන් ආරක්ෂා කිරීමට. කාන්තාවන් නිසි ලෙස ඇඳ පැළඳ නොසිටින්නේනම් පිරිමින්ගෙන් ඔවුන්ට හානි සිදුවෙන්න පුළුවන්.”

ඒ සදාචාර පොලිසිය තමන් ගැන කියන කතාව වුවත් අමීනිගේ මරණය සිදුව ඇත්තේ රැඳවුම් මධ්‍යස්ථානයේ නිලධාරීන් ඇගේ හිසට බැටන් පොල්ලකින් පහර දී පසුව ඔවුන්ගේ වාහනයක ඇගේ හිස වැද්දවීමෙන් බව පැවසෙයි. නමුත් සදාචාර පොලිසිය එය පිළිගන්නේ නැත. ඔවුන් ඒ චෝදනාව එකහෙළාම ප්‍රතික්ෂේප කරයි. ඔවුන් පවසන්නේ අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇයට ඇති වූ හදිසි හෘදයාබාධයක් නිසා ඇය මියගිය බවකි.

මට මගේ දුවව බලන්න උවමනා වුණා. ඒත් එයාලා ඒකට මට ඉඩදුන්නේ නෑ. එයාලා මට ඇතුළට යන්න දුන්නේ නෑ.”

ඒ හිජාබය පැළඳීමේ නීති කඩකළ බවට අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ සිටියදී මියගිය මහ්සා අමීනිගේ පියා කී කතාවය. ඔහු හැඬූ කඳුළින් මරණ පරීක්ෂණ වාර්තාව බැලීමට අවශ්‍ය බව පවසද්දී වෛද්‍යවරයා පවසා ඇත්තේ මෙවැන්නකි.

මට ඕන දේ මං ලියනවා. ඔයාට ඒක අදාළ නෑනේ.”

එදා මහ්සා අමීනි අත්අඩංගුවට පත්වනවිට සිටියේ තනිවම නොවේ. ඇය සිටියේ තම සහෝදරයා සමඟිනි. නමුත් එය ඇගේ ගැලවුමට පිහිටක් වූයේ නැත. ඔහු තම සහෝදරිය අත්අඩංගුවට නොගන්නා ලෙස වැඳ වැටී ඉල්ලුවද ඊට සංවේදී වෙන හිතක් පොලිසියට තිබුණේද නැත.

එදා මගේ පුතා දුව එක්ක හිටියා. වෑන් රථයේදී සහ පොලිසියේදී දුවට පහර දුන්නා කියලා සමහර සාක්ෂිකරුවන් මගේ පුතාට කියලා තිබුණා. මගේ පුතා ඇයව අරන් යන්න එපා කියලා වැඳ වැටිලා ඉල්ලලා. ඒත් ඔවුන් පුතාට පහරදීලා පුතා ඇඳගෙන හිටපු ඇඳුම් පවා ඉරලා තමයි දුවව අත්අඩංගුවට අරන් තියෙන්නේ.”

හැඬූ කඳුළින් එසේ පවසන්නේ මහ්සා අමීනිගේ මවය. ඇය තම එකම දියණියගේ දේහය පවා මුල්වරට දුටුවේ එය භූමදාන කිරීම සඳහා සුදානම් කිරීමෙන්ද අනතුරුවය. නමුත් එහිද පෙනෙන්නට තිබුණේ අමීනිගේ මුහුණත් පාද දෙකත් පමණි.

මං දැක්කා දුවගේ කකුල්වල සෑහෙන්න තැලීම් තිබුණා. ඊටපස්සේ මං කිව්වා වෛද්‍යවරුන්ට දුවව පරීක්ෂා කරන්න කියලා. ඒත් එයාලා මාව නොසලකා හැරියා. දැන් එයාලා බොරු කියනවා.”

මහ්සා අමීනිව පරීක්ෂා කළ ටෙහෙරාන් පළාතේ අධිකරණ වෛද්‍ය අංශයේ අධ්‍යක්ෂ ජනරාල් මෙහ්දි ෆරුසේෂ් පවසන්නේ ඇයට කුඩා කාලයේ මොළයේ සැත්කමක් කර ඇති බවත් මෙම මරණයට හේතුව එය බවත්ය.

අමීනිගේ හිසේ හෝ මුහුණේ තුවාල තිබුණේ නෑ. ඒ වගේම ඇස් වටා තැලීම්, හිස් කබලේ හෝ පාදයේ අස්ථි බිඳීම් කිසිවක් තිබුණෙත් නෑ. කොටින්ම ශරීර අභ්‍යන්තරයේ කිසිම සලකුණක් අපිටනම් නිරීක්ෂණය වුණේ නෑ. ඒත් අපිට දැනගන්න පුළුවන් වුණා අමීනිට අවුරුදු අටේදි විතර මොළයේ සැත්කමක් කරපු බවක්. මේ මරණයට හේතුව එහි බලපෑමක් වෙන්නත් පුළුවන්.”

එහෙත් මෙහ්දි ෆරුසේෂ්ට අභියෝග කරමින් අමීනිගේ මව ඊට  පිළිතුරු දී තිබුණි. ඇය පවසා තිබුණේ ඔහු බොරු ගොතන්නෙකු බවයි.

මගේ දුව සෙම්ප්‍රතිශ්‍යාව ආශ්‍රිත රෝග කීපයකට ඇරෙන්න වෙන කිසිම හේතුවකට රෝහලකට ගිහින් නෑ. ඇයට කිසිඳු සෞඛ්‍ය ගැටලුවක් තිබුණේ නෑ. ඒ වගේම ඇයට කවදාවත්ම ශල්‍යකර්මයක් කරලත් නෑ. ඒ කතාව අමූලික බොරුවක්.”

දැන් කවුරුන් කුමක් කිව්වද අමීනිගේ ඉරණම විසඳී අවසන්ය. ඇයට සාධාරණයක් ඉටුවුවද නොවුවද එයින් පලක් නැත. හේතුව ඇයට පණදෙන්නට ඒ කිසිවකට පුළුවන්කමක් නැති එකය. නමුත් මේ වනවිටත් අමිනීගේ මරණයට සාධරණයක් ඉල්ලා ඉරානයේ පමණක් නොව ලොව පුරාම විරෝධතා රැල්ලක්ම මතුවී තිබේ. එවන් මොහොතක කාගේත් හිත පත්තු වී යන්නේ අමීනිගේ මව අමීනි ගැන කියන එක කතාවකටය.

දුව හරි ආසාවෙන් හිටියේ වෛද්‍යවරියක් වෙන්න. එයාට විශ්වවිද්‍යාලයේ ඉගෙනීම් කටයුතු ආරම්භ වෙන්න තිබුණේ හරියටම සතියයි. හැමවෙලාවේම එයා කිව්වේ එයාට ක්ෂුද්‍ර ජීව විද්‍යාව හදාරන්න ඕන කියලා. ඒත් මගේ කෙල්ල වෛද්‍යවරියක් වෙන එක මට බලාගන්න බැරිවුණා.”

රුවන් එස්.සෙනවිරත්න