විශේෂාංග

ඇත්තටම පිරිමි ගැහැනුන්ට රැවටෙනවද?

ජාතක කතා පොතේ එන වාතලිග ජාතකයේ සඳහන් වෙනවා, එක්තරා සිටු පවුලක ඉඳපු ඉතාමත් ජවසම්පන්න කඩවසම් සිටු කුමාරයෙක් ගැන. හැබැයි සැපසම්පත් කොච්චර තිබුණත් මේ සිටු කුමාරයාට ගිහි ජීවිතය ගැන කළකිරීමක් ඇරෙන්න කිසිම පැහැදීමක්නම් තිබිල නෑ. අන්තිමේදී මේ සිටු කුමාරයා කොහොමහරි දෙමව්පියන්ගේ අකැමැත්තෙන්ම පැවිදි වෙලා තියෙනවා. හැබැයි ඒ තරම් ධනස්කන්ධයක් අතහැරලා තමන්ගේ එකම පුත් කුමාරයා පැවිද්දට ගිය එක ගැන සිටුතුමා ඉඳලා තියෙන්නෙ ලොකු හිත් වේදනාවකින්. ඔහොම ඉන්නකොට සිටු මාලිගාවට ආව ගිය එක්තරා කාන්තාවක් සිටුතුමාට කියලා තියෙනවා ඔබතුමා මට පුත් කුමාරයාව සරණ පාවා දෙන්න කැමැති නම් මම ඔහුගේ සීලය බිඳලා ආපහු ගිහි ජීවිතයට පුරුදු කරවන්නම්කියලා. මොන දෙයක් කරලා හරි ආපහු තමන්ගේ පුත් කුමාරයා මාලිගාවට ගෙන්න ගන්න ලැබෙනවා නම් හොඳයි කියල හිතපු මේ සිටුවරයා අර තැනැත්තියගේ යෝජනාවට උඩින්ම කැමැති වෙලා. ඔන්න එදා ඉදලා මේ තැනැත්තිය අර හාමුදුරුවො යන එන මග රැකගෙන ඉඳලා දන් පූජා කරන්න පටන්ගත්තා. හැබැයි ඉතින් නිකන්ම නෙවෙයි. ඉණාවක් බඳු ඇගේ ඉඟ සුඟ පෙනෙන විදියට අඩ නිරුවතින් ඉඳගෙන. අන්තිමේදී දන්න කියන මායම් සේරම දාලා හාමුදුරුවන්ව පොළඹවා ගත්ත මේ තැනැත්තිය පාළු ස්ථානකට කැටුව ගොස් ස්වාමීන් වහන්සේව උපැවිදි කරවලා විවාහ කරගෙන සිටු කුමාරියක් බවට පත්වෙනවා. ස්වාමීන් වහන්සේ වුණත් උපැවිදි නම් සාමාන්‍ය පිරිමි කෙනෙක්නෙ. ඉතින් මේ කතාව ගැහැනියක් නිසා පිරිමියෙක් සිල් බිඳගත්ත එක ඉතිහාස කතාවක් විතරයි.

මේ තවත් ජාතික කතාවකින් කියවෙන ඒ වගේම කතාවක්. නලිනි ජාතකයේ තියෙනවා ඉස්සිංග කියලා තාපසයෙක් ගැන. මේ ඉස්සිංග තාපසයා වනගත වෙලා බොහොම හොඳට බණ භාවනා කරගෙන ඉන්න කෙනෙක්. ඔහුගේ සීලයේ බලය කොයිතරම්ද කියනවා නම් අහස දිහා බලලා වර්ෂාව ඇති කරවන්නත් නැති කරවන්නත් ඔහුට පුළුවන්ලු. ඉතින් එක්තරා කාලයකදී මේ තාපසයා තමන්ගේ තවුස්දම් බලයෙන් වර්ෂාව නැති කරවලා තියෙනවා. ඒ කාලේ රජකම් කරපු බ්‍රහ්මදත්ත රජතුමාට මේක හරිම හිසරදයක් වුණාලු. තමන්ගේ රටවැසියන්ට ජීවත්වෙන්න ගොවිතැන් බත් කරවන්න වර්ෂාව ලබලා දෙන්නෙ කොහොමද කියලා රජතුමා උදේ හවස කල්පනා කරාලු. ඉතින් මේක දැකපු ශක්‍ර දේවේන්ද්‍රයා ඇවිත් රජතුමාට කිව්වලු “අනේ මෝඩ රජෝ උඹට ඔය ඉන්න සුරංගනාවියක් වගේ දුවව කැලේට යවලා ඔය ඉස්සිංයාගේ සීලය බිඳපං” කියලා. අන්තිමට රජු තමන්ගේ එකම දුවව අර ඉස්සිංග තාපසයා ළඟට යවලා එහෙම කළාලු.

ඔය විදියෙම කතාවක් තමයි මහා පලෝපන ජාතකයෙනුත් කියවෙන්නේ. මේ කතාව ඇහුවම නම් ඔයාලට හිතෙයි නාරි දේහයකට වහ වැටුණම පිරිමි මේ තරම් අන්ධ වෙනවද කියලා. ඔන්න මේ කතාවෙ හිටියා අනිත්ත කියලා රාජ කුමාරයෙක්. මේ කුමාරයට උපන් දා ඉඳලා ගෑනුනම් පේන්න බැහැ. කොටින්ම කියනවා නම් මේ අනිත්ත කුමාරයා මව් කිරි බීලා තියෙන්නෙත් අම්මව සළුවකින් වහලා ඒ සළුවෙ සිදුරු දෙකක් හදාගෙනලු. ඒ මොක වුණත් තමන්ගෙන් පස්සෙ රජකම ගන්න ඉන්න පුත් කුමාරයාට ගෑනු පේන්න බැරි එක නම් රජතුමාගේ හිතට පුදුමාකාර වද දෙන ප්‍රශ්නයක් වුණාලු. ඇයි ඉතින් රටේ ඉන්න ගෑනු පෙන්නන්න බැරි එකෙකුට කොහොමද රටක් බාරදෙන්නෙ? ඔය ගැන කල්පනා කරලා විස්සෝපයෙන් හිටපු රජතුමාට අන්තඃපුරයේ හිටපු නාලිනී කියන තරුණියක් බොහොම අපූරු අදහසක් දුන්නලු. ඇගේ අදහසත් කලින් ඒවාට සමානයි. රාජ කුමාරයාව සරණ පාවා ගැනීමේ රජුගේත් එකඟතාව මත නාලිනී ඔහුව වසඟයට ගැනීමට කටයුතු කළාලු. ඔන්න කොහොමින් හරි නාලිනී රජුට පොරොන්දු වුණ විදියටම මේ අනිත්ත කුමාරයාව රාගයෙන් පිස්සු වැට්ටුවලු. අන්තිමේදී අනිත්ත කුමාරයා ඇගේ පහසට කොයිතරම් පිස්සු වැටුණද කියනවා නම් ඒ පහස වෙනත් පිරිමියකු ලබයි කියන ලෝබකමට ඔහු කඩුවක් රැගෙන රට පුරාම ගොස් මුළු රටේම ඉන්න පිරිමින්ගේ පුරුෂ නිමිති කපල දාන්නත් පටන්ගත්තලු. එතැනින් පස්සෙ නාලිනීත් මේ කුමාරයාව සරණ පාවා ගෙන ඔහුගේ අග බිසව බවට පත්වෙලා තියෙනවා.

ඉතිහාසයේ සිට අද දක්වා නාරි දේහයට රැවටුණු මේ වගේ පිරිමින්ගේ චරිත කතා ගැන කියනවා නම් තවත් ඕනතරම් කතා කියන්න පුළුවන්. ඇයි ඉතින් පහුගිය කාලේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන්ව, දේශපාලනඥයන්ව දැලේ දාගෙන ඔවුන්ගේ කෝටි ගණන් සල්ලිවලට විදලා සාක්කු, බැංකු පොත් හිස් කරපු රූප සුන්දරියන්වත් මතක් වෙනවනෙ.

ඇත්තටම පිරිමි ගැහැනුන්ට රැවටෙනවද?

ඒ ගැන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අත්නායක එම්. හේරත් මහතාගේ අදහස මෙවැන්නක්.

මගේ මතය නම්, ඉතිහාසය පුරාම කාන්තාව පිරිමින්ව වසඟයට ගත්තා කියලා උන්ටම උඩ පැන පැන තලන එක වැරදියි. ඔය කලින් කියලා තියෙන ජාතක කතාවල සිදුවීම් වගේම සිද්ධි තාමත් අපේ සමාජයේ සිද්ධ වෙනවා. අපි එදා මෙදා තුර කරලා තියෙන්නෙ ඒ දේවල් බුදුදහමෙන් වහගෙන හිටපු එක.

හැබැයි රටේම ඉන්න මංකොල්ලකාරයො ටික පාර්ලිමේන්තුවට යවලා, උන් මුළු රටම විකුණගෙන කද්දී ඒවා විචේචනය නොකර හිටපු අපි, පාඩුවේ බණක් භාවනාවක් කරගෙන හිටපු භික්ෂුවට V8 දීලා සල්ලි පොදි ගහන්න පාර කපල දීපු අපි, ගෑනු ඒක කළහම උන් පිරිමින්ව දැලේ දාගන්නවා කියලා බණිනවා නම් එතැන තියෙන්නේ පුරුෂෝත්තමවාදය.

හැබැයි මම වගකීමෙන් කියනවා අදටත් අපේ සමාජයේ 80%ක් ඉන්නෙ යශෝදරාවත සිහිගන්වන කාන්තාවෝ. ඒ අය බහුතරයක් උගත්, බුද්ධිමත් වගේම තැන්පත්. ගෙදර මිනිහා කොයිතරම් බීලා ආවත් තමන්ගේ දරුවො හදාගෙන මිනිහගෙ වැඩක් කරගෙන ගෙට වෙලා හිටියා මිසක් උන් බොන්න පටන්ගත්තෙ නෑ. හැබැයි අවාසනාවකට ඉතුරු 20% ඔය කලින් කිව්ව ජාතක කතාවල හිටපු නාරිලතාවන්ට සමානයි. අර උගත්, බුද්ධිමත් කාන්තාවෝ පිරිස තමන්ගේ උගත්කම, බුද්ධිමත්කම පාවිච්චි කරලා සමාජයේ ඉහළ තනතුරුවලට යනකොට ඒ කිසිම දෙයක් නැති මුන් ටික හිතුවා අරුන් එහෙම යනකොට අපිත් ඇඟ පෙන්නලා හරි ඉහළට යන්න ඕන කියලා. එහෙම කියලා මුන් ටික දේශපාලනඥයන්ගෙ, ව්‍යාපාරිකයන්ගේ අන්තඃපුරවල සාමාජිකත්වය ගත්තා. ඇයි ඉතින් ඉහළට යන්න නම් සල්ලි ඕනෙනෙ. සල්ලි කඩන්න නම් තියෙන හොඳම ගස් දෙක ව්‍යාපාරයි, දේශපාලනයයි.

පහුගිය දිනවල මහා පරිමාණ මූල්‍ය වංචාවක් සිදු කිරීම නිසා මුළු රටේම කතාබහට ලක් වුණ ව්‍යාපාරික කාන්තාවක් ගැනද, මැති ඇමැතිවරුන්ගේ ව්‍යාපාරිකයන්ගේ පහස ආරක්ෂාව ලබමින් සිටින සමහරක් නිළියන් ගැනද අත්තනායක මහතා කියාසිටියේ මේ ආකාරයෙන්.

දැන් ඔය පහුගිය කාලේ අට පාස් කාන්තාවක් යස අපූරුවට පාර්ලිමේන්තුවෙ උන්දැලගෙයි, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයො ටිකගෙයි ඔළුගෙඩි ටික අත ගාලා දත් ගලවල තිබුණා. මං හිතන්නෙ ඇය තරම් හොඳ දත් දොස්තර කෙනෙක් ලෝකෙ කොහෙවත් නැතිව ඇති. හැබැයි මට නම් පාර්ලිමේන්තුවේ ඉන්න හොරුන්ගේ හොරකමේ පිළිවෙළයි මේ කාන්තාවගෙ පිළිවෙළයි අතර කිසිම වෙනසක් පේන්න නෑ. නමුත් මේක කරලා තියෙන්නෙ කාන්තාවක් නිසා මේක විශේෂ අවධානයක් දිනාගත්තු ප්‍රවෘත්තියක් වෙලා තියනවා.

එතකොට ඕවට අහුවෙලා ඉන්න දේශපාලකයො වගේම ව්‍යාපාරිකයො ටික තොත්ත බබ්බුද? උන්ට මොළයක් කියලා කලඳක් නැද්ද? ඔයිටම හරියන අනිත් කතාව තමයි පහුගිය කාලෙක එක්තරා නිළියක් මාධ්‍යයකට ඇවිල්ලා ප්‍රසිද්ධියේ කිව්වා ඊළඟ ඡන්දෙදි අනිවාර්යයෙන්ම මම ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එනවා කියලා. ඊළඟට ඒ වගේම කතාවක් තමයි කොරෝනා නීතිරීති උල්ලංඝණය කරපු එක්තරා නිළියක් ඒ දවස්වල මැති ඇමැතිවරුන්ගේ හයිය අරගෙන කෑ ගහපු එක. මේ කතාවේ මුලදිම කියලා තියෙන ජාතක කතා ටික හොඳට කියවන කෙනෙකුට තේරෙයි එදා ඒ ගෑනු අර පිරිමින්ව පොළඹවා ගත්තෙ, සිවුරු අරින තැනට වැඩ සිද්ධ කළේ රජ සැප විඳින්න තියෙන ආසාවට. ඉතින් අද ඉන්න ඔය චිංචිමානවිකාවොන්ගෙ අරමුණත් ඒකම නෙවෙයිද? මං හූනා කියන්නහෙ කියනවා ඔන්න බොරු නම් බලාපල්ලා අද ඔය මූල්‍ය වංචාවලට අහුවෙලා ඉන්න ගෑනු ටිකයි, නිළියො ටිකයි ඔය කිව්ව විදියටම ඊළඟ ඡන්දයෙදි පාර්ලිමේන්තුවට ගේන්න දේශපාලනඥයො උදව් කරන්නෙ නැද්ද කියලා. එදා උන් වගේම අද මුන් කට්ට කන්නෙත් රජ සැප බුක්ති විඳින්න මිසක් වෙන අහවල් දේකටවත් නෙවෙයි.

අනික ඔතන තියෙන ප්‍රධානම දේ ලිංගිකත්වය කියලනෙ ගොඩක් අය කියන්නෙ. ඇඟ පෙන්නලා ගෑනු සාක්කුවට විදිනවා කියන පිරිමින්ගෙන් මං අහනවා ඇයි හත්ඉලව්වෙ උන් උන්ගෙ ඇඟ ඔන්න දෙන්න මෙන්න දෙන්න වගේ හිටියත් ඒක ගන්න නොගන්න එක උඹලගෙ වැඩක් නෙවෙයිද? ඒ ඔක්කොම දෝත පුරා අරගෙනද අන්තිමට උඹලා උන්ට විතරක් උඩ පැන පැන තලන්නෙ?

ඇත්තටම මං නම් කියන්නෙ ගෑනු හැටහතර මායම් දාලා පිරිමි අල්ල ගන්නවා කියන කතාව වැරදියි. අනික ඔය සමාජයේ ලොකු ලොකු තනතුරු දරනවා කියන උදවියගෙන් බහුතරයකට උන්දලැගෙ ගෙදර නෝනගෙ ආදරය ලැබෙන්නෙ නෑ. එහෙම ලැබුණනම් ඔය තත්ත්වෙ ටිකක් හරි අවම වෙනවා. මොකද ඒ අයගෙ ජීවන රටාව හැදිලා තියෙන්නෙම නෝනයි මහත්තයයි දෙන්නම කාර්යබහුල වෙන විදියට. ඒ නිසා ගෙවල්වල නෝන මහත්තුරුත් හැම වෙලාවෙම තමන්ගෙ මහත්තයගෙ වෙහෙස මහන්සිය නිවන සහෝදරියක්, යෙහෙළියක්, මවක් වුණා නම් අර 20%ක පිරිසට රිංගන්න පිරිමින්ගෙ ජීවිතවල හිස්තැන් හැදෙනවා අඩුයි. මේ වගේ අම්මණ්ඩිලාට රිංගන්න පුළුවන් වෙන්නේ එහෙම හිස්තැන්වලට මිසක් පිරුණු තැන්වලට නෙවෙයි.”

එමෙන්ම අද වනවිට භික්ෂුවද මේ භයානක උගුලේ ගොදුරක් බවට පත්ව හමාර බවයි මහාචාර්යවරයා කියාසිටියේ.

දැන් බලන්න අර ප්‍රසිද්ධ හිමිනමක් නාගරික මන්ත්‍රිනියකගෙ දැලේ පැටලිලා කරගෙන තියෙන වින්නැහිය. අවාසනාවක තරම කියන්නෙ දැන් කාලේ හාමුදුරුවොත් V8 ළඟ තියාගෙන සුර සැප විඳිනවා මදිවට ඒ අයගෙන් වැඩි හරියක් දෙනා සම්බන්ධ වෙලා ඉන්නෙත් අර කලින් කිව්ව නිළියො, සුරූපිනියො එක්ක. අද ගොඩක් හාමුදුරුවො බුද්ධ පුත්‍රයො නෙවෙයි ව්‍යාපාරිකයො. බුදුන්ගෙ කාලෙදිනම් ඒ වගේ හාමුදුරුවරුන්ට බුදු හාමුදුරුවො එන්න කියලා අවවාද අනුශාසනා දීලා නිවැරදි මාර්ගයට ගත්තා. ඒත් අපේ කරුමෙට අද කාලෙ නායක හාමුදුරුවරුන්ට එන්න කියලා අවවාද අනුශාසනා දීලා යහමාර්ගයට ගන්න අපිට මහානායක හාමුදුරුවරු නෑ.

අවසානයේ මගේ තර්කය මෙන්න මේකයි. භික්ෂුව ඇමති සෛයාවෙන් ඉඳගෙන සල්ලි පොදි ගහනකොට ඒවට විරුද්ධ නොවුණ අපි, දේශපාලකයො රටේ සල්ලි හොරකම් කරනකොට ඒවට විරුද්ධ නොවී උඩ බලාගෙන හිටපු අපි දැන් අපේ ගෑනු ටිකත් ඒ පාරෙම යනකොට උන්ගෙ ඇඟට බැණ බැණ තලන එක වැරදියි.  හොඳට හිතට ගන්න මං මේ කියන්නෙ උන් කරන දේ හරි කියල නෙවෙයි. මෙතැනදි දේශපාලකයා, ව්‍යාපාරිකයා වගේම කාන්තාවත් මේ තුන්ගොල්ලන්ටම සුදුසු තැනට අපි රිවස් කරන්න ඕන. අපිට ආපහු යශෝදරා ගුණ ඇති කාන්තාවන් ඕන. අවංක, උගත්, බුද්ධිමත් දේශපාලනඥයො ටිකක් ඕන. බුදුන්ගෙ ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ යන බුද්ධ පුත්‍රයො ටිකක් ඕන. ඒ දේවල් ඒ විදිහට කරන්න නම් ගෑනුන්ටම බැණ බැණ ඉන්නෙ නැතිව නිවැරදි කථිකාවතක් ගොඩනගන්න ඕන. හරියටම කිව්වොත් ඒක බුද්ධ කාලය වගේ සංඝායනාවක් විය යුතුයි.

ලිහිණි මධුෂිකා