“මං ගොඩක් ආසයි මාමේ ඉස්කෝලේ යන්න. පුළුවන්නම් මාව ආයේ ඉස්කෝලේ යවන්න”
“මං ගොඩක් ආසයි මාමේ ඉස්කෝලේ යන්න. පුළුවන්නම් මාව ආයේ ඉස්කෝලේ යවන්න.”
ඒ දස හැවිරිදි යෙනුක ජාඇල පොලිසියේදී කළ ඉල්ලීමය. මේ පුංචි කොලු පැටියා පසුගියදා පොලිස් භාරයට පත්වූයේ මාළු මුදලාලි කෙනෙකුගේ මුදල් පසුම්බියක් සොරකම්කොට හසුවීය.
යෙනුකගේ පදිංචිය ජාඇල ඒකලයි. අම්මාත් තාත්තාත් අතර විරසකකම් මතුවෙන්නට පෙර මේ පුංචි පුතා ගැන සොයා බලන්නට ඔවුනට කාලය තිබුණි. පුංචි එකා පාසල නිමවී ගෙට දිව එන්නේ කුසගින්නෙනි. අගහිඟකම් තිබුණත් ඔහුට අම්මා ගෙදර සිටියදී බත්පත වැරදුණේ නැත. එහෙත් මීට ටික කලකට ඉහතදී ඒ අම්මා ගෙදරින් ගොස් තිබුණේ, අලුත් පෙමක් සොයාගෙනය.
මේ පලහිලව් මැද තාත්තාටද පුංචි යෙනුක මගහැරෙන්නට වුවේය. ඔහු දිනපතා ගෙදරට මුදලක් රැගෙන ආවේ එදාට හමුවන කුමන හෝ කුලියක් කරය. උදේට බතක් එළවලුවක් හෝ සම්බෝලයක් හදා යෙනුකට කෑමට දුන්නද ඉන් එහාට දරුවාගේ ඇඳුමක් පැළඳුමක් හෝ පොතපතක් ගැන බලන්නටවත් මේ තාත්තාට කාලයක් තිබුණේ නැත.
පුංචි යෙනුක ඉගෙනීමට තිබූ දස්කම් අඩුවී ගියේ බලාසිටියදී වාගේය. ඔහු පාසලේ හතරේ පන්තියට සමත් වුවද ඉන්පසු පාසල් ගියේ ඉඳහිටයි. පසුව එය මුළුමනින්ම වාගේ ඇන හිටියේය. මේ නිසා යෙනුකව තාත්තා පිරිවෙනකටද බාර දුන්නේය.
එහෙත් පුංචි එකාට ඒ ජීවිතයට හුරුවෙන්නට හැකිවූයේ නැත. ඔහුට ඕනෑ ලෙස දඟ කරන්නටද එහි අවසර නොවූයෙන් ආයේ ගෙදර ආවේය. ඉන් තත්ත්වය තවත් නරක අතට හැරුණේය. තාත්තා ඇතැම් දිනවලට පොඩි එකා අත මුදලක් තැබුවේ කඩෙන් කන ලෙස කියායි.
අවසානයේ ඔහුව ජාඇල පොලිසියට රැගෙන ආවේ අර මුලින් කී මාළු මුදලාලිගේ නැතිවූ මුදල් පසුම්බිය සොරකමේ පැමිණිල්ල නිසාය. ඒ ජාඇල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රත්නායක මහතාගේ උපදෙස් පරිදි පොලිස් පරීක්ෂක රංජිත් ප්‍රේමසිරි මහතාගේ මෙහෙයවීමෙනි.
“මාළු වෙළඳාම් කරන පුද්ගලයෙක් ඔහුගේ රුපියල් නවදහස් හත්සියයක මුදලක් නැතිවුණ බවත්, එය සොරකම් කළේ අදාළ දරුවා බවත් අපට පැමිණිල්ලක් ලැබුණා. ඒ වෙලාවේ අපි මේ දරුවව අපේ භාරයට ගත්තා. එයා වයස දහයට අඩු දරුවෙක් නිසා අත්අඩංගුවට පත්වීමක් නෙවෙයි වුණේ. භාරයට ගැනීමකුයි. එහිදී අපි දරුවාගෙන් බොහොම කාරුණිකව කරුණු විමසුවා. දරුවා සොරකම් කළා කිව්ව රුපියල් නවදහස් හත්සියයක මුදලත් ඔහු සන්තකයේ තිබුණා. අපි එය අයිතිකරුට බාරදෙන්න පියවර ගත්තා වගේම, දරුවා කළ තවත් එවැනි සොරකම් විසිනවයක් ගැන තොරතුරු රැසක් දැනගන්න ලැබුණා.”
ඒ ජාඇල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උපපොලිස් පරීක්ෂිකා උත්පලා රූපසිංහ මහත්මියයි.
පොලිසියේ කාරුණික ප්‍රශ්න කිරීම් හමුවේ යෙනුක කී කතාවට, පොලිසියේ ඇත්තන්ගේද හදවත් උණුවන්නට වැඩි වේලාවක් ගියේ නැත. රුපියල් දෙතුන් සීයේ සිට, රුපියල් පන්සියය, දහස දක්වා වූ සොරකම් තමා විසින් කළ හැටිත්, එසේ කළ මුදල්වලින් වැඩිපුරම කළ දේවලුත් යෙනුක පොලිසියේදී කීවේය. මුදල්වලට අමතරව ප්‍රදේශයේ ඇතැම් නිවාසවලට ඇතුළු වී ජංගම දුරකතන, ත්‍රිරෝද රථවල අමතර කොටස් වැනි දෑ සොරාගෙන, ඒවා ප්‍රදේශයේම ඇතැම් වැඩිහිටි පුද්ගලයන්ට විකුණා තිබුණේ නොවටිනා ගණන්වලටය. ඒවායේ වටිනාකම් කියන්නටද පුංචි එකාට අවබෝධයක් නොවිනි. ඒවා කොහෙන් ලැබුණේදැයි අසන්නට කෙනෙක් නොවූයෙන් ඔහු කරගෙන ආ සොරකම් යළි යළිත් කළේය. මාළු මුදලාලිගේ මුදල් පසුම්බිය නැති වූ බවට පැමිණිල්ලක් නොලැබුණේනම් ඔහුගේ අනාගත ඉරණම බෙහෝ සෙයින් වෙනස් වන්නට ඉඩ තිබුණි.
“සල්ලි හම්බුණහම මායි මගේ යාළුවොයි හොඳට කෑම කෑවා. බීම බිව්වා. තව ගමේ ආච්චිලා, නැන්දලා පස්සේ දෙන්නම් කියලා මගෙන් ණයට සල්ලි ඉල්ලගෙන තියෙනවා.”
පුංචි යෙනුක ගිරා පැටියෙකු සේ තමා කළ සොරකම් ගැනත්, ඒ මුදල්වලට කළ කී දෑ ගැනත් කීවේ එහෙමය. ඇතැම් සොරකම් කරන්නට ගොස් ඇතැමුන්ගෙන් තරවටු විඳින්නට සිදුවූ බවද යෙනුක කීවේය. ඇතැම්විට සොරකම් කළ මුදල් ආපසු දෙන්නට සිදුවූ අතර, ඒ ඇතැමෙකු පුතුගේ ක්‍රියාකලාපය ගැන පියාට පැමිණිලි කළ අවස්ථාද තිබිණි. එහෙත් මාළු මුදලාලිගේ පැමිණිල්ල ලැබෙනතුරු යෙනුක ගැන පොලිසියට නම් පැමිණිල්ලක් ලැබුණේ නැත.
“එතකොට දැන් ඔයා ඉස්කෝලේ යන්න කැමතිද පුතේ?”
“ඔව්… මං ගොඩක්ම කැමතියි. මම පාඩම් වැඩ කරන්නත් කැමතියි… මට ආයේ ඉස්කෝලේ යන්න විදියක් හදලා දෙන්න.”
ඒ යෙනුක පොලිසියේ නැන්දලා මාමලාගේ ආදරය හමුවේ කළ ඉල්ලීමය. යෙනුකගේ තාත්තාවද පොලිසියට කැඳවා පුතුගේ ඉගෙනුම් ආසාව ගැනත් අනෙකුත් ක්‍රියා කලාපය ගැනත් පැහැදිලි කළද ඔහුට දරුවාගේ වගකීම බාරගන්නට බැරි බව කීවේය.
“මං දවල් දවසට ගෙදර නෑ. කුලී වැඩක් කළොත් තමයි මට කීයක්හරි හොයාගන්න පුළුවන්. මෙයාව පිරිවෙනක නතර කළෙත් උගන්නන්න හිතාගෙන. එතනත් හිටියේ නෑ. දවල් දවසට මෙයා යාළුවෝ එක්ක මොනවා කරනවද කියලා මං දන්නේ නෑ.”
අගහිඟකම් හෝ දෙමාපියන්ගේ කවර ප්‍රශ්නයක් හමුවේ වුව යෙනුක වැනි සුරතල් වයසේ දරුවෙකු ජීවිතයේ අතරමං කර දැමීම කිසි ලෙසකින් හෝ නොවිය යුත්තක් නොවේද? යෙනුකටත්, අම්මාගේ තාත්තගේ රැකවරණය ආදරය නිසි ලෙස ලැබුණානම් විසිනව වතාවක් කරන්නට සිතුණ දේට ඒ පුංචි සිත කිසිසේත් නොයෙදෙන්නට ඉඩ තිබුණි.
“ඇත්තටම ඒ දරුවා හරි බුද්ධිමත් දක්ෂ දරුවෙක් කියලා බැලූ බැල්මට පේනවා. එයා ඉගෙනගන්න උනන්දු නිසාම ඒ අවශ්‍ය උසාවි කටයුතු මේ වෙනකොට අපි සිදු කෙරෙමින් පවතිනවා.”
ඒ උපපොලිස් පරීක්ෂක උත්පලා රූපසිංහ මහත්මියයි.
මේ වනවිට යෙනුක ළමා නිවාසයක නතරකොට ඇති අතර, පරිවාස වාර්තාවක් ලබාගෙන ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුගේ අනාගතය වෙනුවෙන් අවශ්‍ය පියවර ගැනෙනු ඇත.
මල් වයසේ මලක් වන් සිතකට මෙවන් කටුක අත්දැකීමක් නොලබන්නට නම් දෙමාපිය ඔබේ ආදරය, රැකවරණය නිසි ලෙස දරුවාට ලබාදීම යුතුකමක් මෙන්ම වගකීමක් බවද සිහිකළ යුතුය.
(දරුවාගේ නම මනඃකල්පිතයි)
දීපා වසන්ති එදිරිසිංහ