මමත් ලොකුවෙලා අම්මට මොනර කොළ ගොඩක් ගෙනත් දෙනවා
“කෙල්ලොම පහක් නේද?”
“කොල්ලෙකුත් හිටියනං හොඳයි.”
“කෙල්ලො පහක් හදනවා කියන එක ලේසි නෑ.”
කේ.රම්‍යලතා මෑණියන්ට මෙවැනි කතා ඕනෑතරම් අසන්නට සිදුවිය. වැඩිමහල් දියණිය පෙරපාසලට රැගෙන යන විට ඇගේ අතේ දෙවැනි දියණියයි. කුසයේ තවත් දියණියකි. ඒ ගැන අවඥාවෙන් හිනැහුණු කිසිවකු හා ඈ වාද නොකළාය. සවිමත් ගසක් විලාසයෙන් ඒවා දරාගත් මෑණියන් සහ සිරිල් ප්‍රේමනාත් පියාණන් අවධානය යොමු කළේ තම සෙවණේ වැඩෙන පැළ නිසි ලෙස පෝෂණය කිරීම ගැනයි. අද එහි ප්‍රතිඵල ලැබී ඇත. ඒ පැළ උස්මහත් වී සවිමත්ව තනිව නැගී සිටිනු දැකීම හැර වෙනත් සතුටක් දෙමාපියන්ට කොහින්ද?
ගාල්ල ගෝනපීනුවල ග්‍රාමයේ වාසය කරන සිරිල්-රම්‍යලතා යුවළට දියණිවරුන්ම පස්දෙනෙකි. සියලු දෙනා යැපුණේ පියාගේ මුහුදු රස්සාවෙනි. පරම්පරාවේ දේපළ හෝ බැංකු පොත්වල ලක්ෂ ගණනින් මුදල් ඔවුන්ට තිබුණේ නැත. එහෙත් පියා අපමණ වෙහෙස වී මුදල් ඉපැයුවා මෙන්ම ඒවා නැති නාස්ති නොකිරීමට වග බලා ගත්තේය. මවගේ මූල්‍ය කළමනාකරණය ඉතා ඉහළ මට්ටමකට තිබිණ. එනිසාමදෝ අගහිඟකම් කොතෙක් වුවද කිසිවකුට ණය නොවී දියණියන් උස්මහත් කිරීමට ඔවුහු සමත් වූහ. හෂිනි කසුන්තා, චිෂානි චලොංගා, තමේෂි ලක්ෂිතා, තෙනුෂි නිමන්තිකා සහ හිමේෂි තරුෂිමා දියණිවරුන්ද ඒ අනුව හැඩ ගැසී ජීවත්වීම දෙමාපියන්ට පහසුවක් විය.
සහෝදරියන් පස්දෙනාම ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරුවේ ගෝනපීනුවල සාරාලංකාර ප්‍රාථමික විද්‍යාලයෙනි. පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත්වීමෙන් පසු දෙවැන්නිය චිෂානි ගාල්ල රිපන් බාලිකාවටත්, සිව්වැන්නිය තෙනුෂි අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයටත්, බාලයා හිමේෂි ගාල්ල සංඝමිත්තා බාලිකාවටත් ඇතුළත් වූහ. හෂිනි සහ තමේෂි දියණිවරුන් රැඳී සිටියේ සාරාලංකාර මහා විද්‍යාලයේයි. දැඩි ආර්ථික අපහසුතා මත ජීවත්වන පවුලට තිදෙනෙකු ශිෂ්‍යත්වය සමත්ව නගරයේ පාසල් කරා යාම පහසු වූයේද නැත. නිවසේ සිට ගෝනපීනුවල හන්දියට කිලෝමීටරයක් පමණ පැමිණිය යුතුය. එතැනින් පිටත්වන එකම බස් රථය මග හැරුණොත් පාසල් යාම නවතී. එනිසාම මව පාපැදියක් පවා මිලට ගත්තාය. ආරම්භයේදී දරුවන් පාසල් වෑන් රථවලට යොමු කළද වැඩි කලක් යාමට පෙර ආර්ථිකය ඊට හරස් විය. ඒ සියල්ල අතරේ ශිෂ්‍යත්ව සමතුන්ට ශිෂ්‍යාධාර හිමිවීම පවුලට යම් සහනයක් විය. එය අනෙක් දරුවන්ට දිරිගැන්වීමක්ද විය. ප්‍රථමයෙන්ම ශිෂ්‍යාධාර ලැබුවේ චිෂානි ය. ඈ එම මුදල් මවට දෙනවා බලා සිටි තෙනුෂි මවට පොරොන්දුවක් වූවාය.
“මමත් ලොකුවෙලා අම්මට මොනර කොළ ගොඩක් ගෙනත් දෙනවා.”
පවුලෙ වැඩිමහල් දියණිය උසස් පෙළට මුහුණ දුන්නේ වාණිජ විෂය ධාරාවෙනි. A සාමාර්ථ තුනක් සමඟින් සමත් වූ ඇය සබරගමුව විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබාගත්තාය. ඈ ගුරුවරියකි. පාසල් සමයේ බාහිර ක්‍රියාකාරකම් කෙරෙහි දැඩි උනන්දුවක් දැක්වූ චිෂානිට අවශ්‍ය වූයේ කලා අංශයෙන් උසස් පෙළ හැදෑරීමටයි. සාමාන්‍ය පෙළ A සාමාර්ථ 9ක් සමඟ සමත් වුවද ඈ එම තීරණය වෙනස් නොකළාය. එහි ප්‍රතිඵල ලෙස චිෂානි කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට ඇතුළත් වූයේ දිස්ත්‍රික්කයේ සිව්වැනියා සහ දිවයිනේ හතළිස්වැනියා ලෙසිනි. ඇය දැන් නීතීඥවරියක ලෙස කටයුතු කරයි. තෙවැන්නිය වූ තමේෂිට දෙවරක්ම විශ්වවිද්‍යාල වරම් අහිමි විය. එනිසා ඈ ඒ පිළිබඳ බලාපොරොත්තු අතහැරියාය.
“අක්කලා දෙන්නම කැම්පස්. ඔයා කවදහරි පසුතැවෙයි. අපි කොහොම හරි වියදම් කරන්නම්. තව සැරයක් තියෙනවනේ. කැමතිනම් ආයෙ විභාගෙ කරන්න.”
ඒ උපදෙස් මවගෙනි. ඒ අනුව තෙවන වරට විභාගයට මුහුණ දුන් ඇය A සාමාර්ථ තුනක් සමඟ සමත්ව රුහුණු විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයෙන් උපාධිය ලැබුවාය. සිව්වැනියා වූ තෙනුෂි සාමාන්‍ය පෙළ A සාමාර්ථ නවයක් ලබා උසස් පෙළ හැදෑරුවේ ගණිත අංශයෙනි. ඇය පළමු වතාවේ පරිගණක විද්‍යාව හැදෑරීමට සුදුසුකම් ලැබුවද නැවත වතාවක් විභාගය කිරීමට තීරණය කළාය. අනතුරුව දිස්ත්‍රික්කයේ 117 වැනියා ලෙස ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ඉංජිනේරු උපාධිය ලැබුවාය. බාලයා හිමේෂි උසස් පෙළට තෝරා ගත්තේ ජීව විද්‍යාවයි. මුල් අවස්ථා දෙකේදීම ඇය විශ්වවිද්‍යාල වරම් ලැබුවද වෛද්‍ය විද්‍යාව හැදෑරීමට සුදුසුකම් නොවීය. තුන්වන වර ගාල්ලේ 31 වැනියා ලෙස විභාගය සමත් වූ හිමේෂි කරාපිටිය වෛද්‍ය පීඨයට ඇතුළත් වූවාය. ඇය එහි දෙවන වසර ශිෂ්‍යාවකි.
“අපි ඉගෙනගන්න දේ ගැන කවදාවත් දෙමාපියන්ගෙන් බලපෑමක් තිබුණෙ නෑ. එයාලා අපිට උපරිම සහයෝගය දුන්නා. අපි තමයි කරන විෂයන් තීරණය කළේ. මම විෂය පරිබාහිර දේවල් ගොඩක් කෙරුවා. අක්කටයි මටයි දෙන්නටම කැම්පස් එකේදීත් ක්‍රීඩා වර්ණ තිබුණා. තෙනුෂිට හොඳට චිත්‍ර අඳින්න පුළුවන්. සමස්ත ලංකා මට්ටමේ ජයග්‍රහණ ගොඩක් අරන් තියෙනවා.”
පවුලේ දෙවැනි දියණිය චිෂානි කියයි. මෙම පවුල දුක සැප දෙක අතර දෝලනය වෙමින් ජීවිතයට මුහුණ දුන්නේය.
“තාත්තා මූදු ගියාම සති දෙක තුන ගෙදර නෑ. එතකොට අම්මා තමයි ඔක්කොම දේවල් බලාගන්නෙ. තාත්තා එනකල් අසීරුවෙන් වුණත් කාටවත් ණය වෙන්නෙ නැතුව අම්මා ගෙදර වැඩ කරගත්තා. අපි කවදාවත් දකින දකින දේ ඉල්ලලා අම්මා තාත්තාට කරදර කළේ නෑ. තාත්තා මූදු ගිහින් ආවම එයාලට මුදල් දෙන විදියට කියන්නෙ බිල දානවා කියලා. තමන්ගෙ කොටස ගත්තම තාත්තා අපි කැමති හැමදේම අරගෙන ආවා. අම්මත් හැකි හැම විදියටම ගෙදර ආර්ථිකයට උදව් කළා. අපේ ගෙවල් ගාව කුරුඳු තවානක් තිබුණා. අම්මා අපිව ඉස්කෝලෙ දාලා එතැන වැඩට ගියා. කුරුඳු පැළ දාන පැකට් හදන එකයි අම්මා කෙරුවෙ. එකකට සත 50ක් ලැබුණා. අපිත් ඉස්කෝලෙ ගිහින් ඇවිත් එතැනට ගිහින් හවස 5 විතර වෙනකල් උදව් කරනවා. එතකොට දවසකට රුපියල් තුන්සීයක් විතර හොයන්න පුළුවන්. ඒ වැඩේ අම්මා ටික කාලයක් කළා.”
පියාගේ ධීවර රැකියාව පදනම වූ පවුල තවත් අසීරුවට පත් කිරීමට 2004 වසරේ සුනාමිය හේතු විය. මූදු යාම තාවකාලිකව නැවතිණ. එකම ආදායම් මාර්ගය අහිමි වීම ගැටලු නිර්මාණය කළේය. එහෙත් එම අවස්ථාවලදී ලද ආධාර නිසි පරිදි යොදාගනිමින් අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගැනීමට ඔවුන්ට හැකිවිය. හික්කඩුව සිංහ සමාජයේ ආධාර සඳහා ඔවුහු සුදුසුකම් ලැබූහ. ගුණ ජය සතුට පදනමේ ශිෂ්‍යත්වයකටද චිෂානි හිමිකම් කීවාය. එමෙන්ම ඔස්ට්‍රියාවේ පදිංචි කුසුම් කොහොඹගේ එම අවස්ථාවේ ගාල්ලේ දරුවන් 25 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමුවාය. චිෂානි ඉන් අයෙකි. එම කාන්තාව සහ චිෂානිගේ පවුල අතර සබඳතාව අදටත් නොබිඳී පවතී. එමෙන්ම උපකාරක පන්තිවල ගුරුවරුන්ගේ සහායද මෙම සහෝදරියන්ට හිමිවිය. සහෝදරියන් සියලුදෙනාට මහපොළ ශිෂ්‍යාධාරද ලැබිණ. ඒවා සියල්ලේ ප්‍රතිඵල අද ඔවුන්ට මෙන්ම මේ රටට ලැබී තිබේ.
“අපි සමහර වෙලාවට මහපොළ ආධාර එකතු කරගෙන ගෙදර අවශ්‍යතාවක් වුණාම අම්මටත් දීලා තියෙනවා. ඒ වගේම කොළඹ ගියාම මම අර්ධකාලීන රැකියා කළා. මොකද අපේ අවශ්‍යතාවලට ගෙදරින් ඉල්ලන්න හිතෙන්නෙ නෑ. අම්මා තාත්තා අපි වෙනුවෙන් ගොඩක් දේවල් කළා. අද ඒ හැම දේ ගැනම සතුටුයි.”
චිෂානි තමන් පැමිණි ගමන් මග එලෙස සිහිපත් කරයි.
දියණියන් පස්දෙනෙකු ප්‍රයෝජනවත් පුරවැසියන් ලෙස සමාජගත කිරීමේ සතුට වැඩියෙන්ම දැනෙන්නේ දෙමාපියන්ටයි. අනේක දුක්ගැහැට මැදින් පැමිණි ගමනක සාර ඵල ලැබී ඇත.
“අද අපේ දරුවන් ඉන්න තැන ගැන නිහතමානීව ආඩම්බර වෙනවා. අවුරුදු විසි ගණනක කැපවීමක්. අපිට උදව් කරන්න ලොකුවට කවුරුත් හිටියෙ නෑ. මගෙ අක්කගෙ දරුවන් දුවලා පුංචි කාලෙ එයාලව බලාගන්න උදව් කළා. ඒ වගේම මගෙ මල්ලිත් උදව් කළා. දුවලත් එකිනෙකාට උදව් කරගත්තා. අනික එයාලට හරිම සුන්දර ළමා කාලයක් තිබුණා. දවසක් මම එයාලා පාසල් ඇරිලා එන වෙලාවෙ මගට යනකොට චිෂානි නංගිත් එක්ක ඇලට බැහැලා එනවා. සපත්තු කරේ. ගෙදර වැඩවලටත් ඉඩ තියෙනකොට එයාලා මට උදව් කළා. අපි දෙන්නම එයාලට දුන්නෙ තල්ලුවක් විතරයි. එයාලාගෙ කැපවීම නිසා ඔය තත්ත්වයට ආවා.”
කේ. රම්‍යලතා මෑණියන් පවසන්නේ සතුට මුසුවූ අභිමානයකිනි. දරුවෙකුට දීමට ඇති හොඳම දායාදය සමාජයක ස්වාධීනව නැගී සිටීමේ හැකියාවයි. මේ අක්කා නගෝ පස්දෙනාටම එය ලැබී ඇත. චිෂානි චලොංගා පවසන්නේ කෙතරම් ආර්ථික අපහසුතා තිබියද කැපවීමෙන්, නිවැරදි මග ගමන් කරන්නේනම් ජය හිමිවන බවයි.
“අපි හැමෝම එකිනෙකාගෙ ඇඳුම් හුවමාරු කරගෙන ඇන්දා. ඒක අදටත් කරනවා. අලුත් අවුරුද්දට අලුත් සපත්තු ඉල්ලලා කරදර කළේ නෑ. ඉරිලා තිබුණොත් ඒක මහගෙන ගියා. සමහර තැන්වලින් කන්න ආසාව තිබුණට අපි ඒක කිව්වෙ නෑ. කිව්වනම් අම්මා තාත්තා ඒක කොහොමහරි කරන්න උත්සාහ කරයි. ඒත් ඒක එයාලට අමාරුයි කියල අපි දන්නවා. හැබැයි දැන් අපි අපිට ඕන තැනකට ගිහින් කනවා. අඳිනවා. අපි හරිම අමාරු කාලයක් පහුකෙරුවා. දැන් ජීවිතේ විඳින්න ඕනෙ. අම්මයි තාත්තයි හැමදේම කළේ අපි වෙනුවෙන්. අදටත් අපේ තාත්තාගෙ නමට බැංකු ගිණුමක්වත් නෑ. ඒත් එයාලා සතුටු වෙනවා අපි අද ඉන්න තැන ගැන. අපිට ඉගැන්නුවා. අපි දැන් ස්වාධීනයි. ඒ නිසා මොන අමාරුකම් මැද වුණත් අධ්‍යාපනය අත අරින්න හොඳ නෑ. මමයි ලොකු අක්කයි විවාහකයි. අපිව විවාහ කරගත් අයට දෑවැද්දෑක් විදියට මුදල්, දේපළ ලැබුණෙ නෑ. එයාලා ඒවා බලාපොරොත්තු වුණෙත් නෑ. එයාලට දීපු දායාදය තමයි කාටවත් බරක් නොවන ස්වාධීන ගැහැනුන්.”
රෂ්නිකා ලියනගේ