කජු කනවද ජුජුබ්ස් කනවද?
හිතේ හයියෙන් ජීවිතය දිනන්න කැමති කොයිකාටත් අතහිත දෙන්න ‘ධරණී’ හැමදාමත් කැමතියි. නිකරුණේ ගෙවිලා යන කාලය තමන්ගේම කියලා ස්වයං රැකියාවක් වෙනුවෙන් යොදවන්න කැමති කාන්තාවන්ට හොඳ ඉල්ලුමක් තියෙන විවිධ දෑ පියවරෙන් පියවර ගෙදරදිම හදාගන්න හැටි කියලා දෙන්න අපි හිතුවේ ඒකයි. කඩදාසි, මැටි, රෙදි, විවිධ ආහාර, සබන් ඇතුළු විවිධ දේ නිර්මාණය කරන විදිය ගැන සහ ඒවා වෙළඳපොළ වෙත යොමු කරන ආකාරය ගැන මේ ලිපි මාලාව හරහා ඔබව දැනුවත් කරනවා.
හැන්සල් සහ ග්‍රේටල් කියලා ජර්මානු සුරංගනා කතාවක් තියෙනවා. හැන්සල් ග්‍රේටල් කියන්නේ පුංචි ළමයි දෙන්නෙක්. හැන්සල් අයියා, ග්‍රේටල් නංගි.
මෙයාලගේ නපුරු කුඩම්මා දවසක් මේ දෙන්නව කැලේ අතරමං කරනවා. ඉතින් කැලේදි මෙයාලට ලස්සන ඉඟුරු පාන් ගෙදරක් හම්බෙනවා. ගෙදර හදලා තිබුණේ පැණි කෑමවලින්. වහලෙට දාලා තිබුණේ ජුජුබ්ස්. ග්‍රේටල් ජුජුබ්ස්වලට හරි කැමතියි. ඉතින් එයා පැනපු ගමන් වහලේ ජුජුබ්ස් ගලවගෙන කාගෙන කාගෙන ගියා. ජුජුබ්ස් කාපු හැටියේ ඒ ගෙදර හිටපු නපුරු මායාකාරි මේ දෙන්නව අල්ලගත්තා. කතාව අන්තිමට ඉතින් කොහොමහරි ඒ දෙන්නා අර මායාකාරිගෙන් බේරෙනවා.
ළමා ළපටියෝ වගේම වැඩිහිටියොත් ආසම රසකැවිල්ලක්නේ ජුජුබ්ස්. ඉතින් ඔය වගේ ජුජුබ්ස්වලින් හදාපු වහලයක් දැක්කොත් නොකා ඉන්න පුළුවන් කාටද?
1801දී පර්සි ට්රස්ඩේල් කියන ඇමෙරිකානු ජාතිකයා තමයි මුලින්ම ජුජුබ්ස් හදලා තියෙන්නේ. ඉතින් ලෝකෙට ජුජුබ්ස් හඳුන්වාදීමේ ගෞරවය හිමිවෙන්නේ ඇමරිකාවට. ජුජුබ්ස් යුරෝපීය රටවල ප්‍රධානම රසකැවිල්ලක්. සුද්දෝ ජුජුබ්ස්වලට කොච්චර කැමතිද කියනවානම් ජුජුබ්ස් රස සමරන්න ලෝක ජුජුබ්ස් දිනයකුත් වෙන් කරගෙන තියෙනවා. ඒ පෙබරවාරි 15. ඔය දවසට දියවැඩියාව, කොලෙස්ටරෝල් ලෙඩ ගැන නොහිතා සුද්දෝ බඩකට පිරෙන්නම ජුජුබ්ස් කනවලු.
රසකැවිල්ලක් විදියට කෑමට ගන්න විතරක් නෙමෙයි කේක්, පුඩිං වගේ කෑම සරසන්නත් ජුජුබ්ස් යොදාගන්නවා. ඒ නිසා ජුජුබ්ස් හදලා ආදායමක් හොයන්න අමාරු නැහැ.
දැන් වෙළඳපොළෙන් ගන්න තියෙන සමහර ජුජුබ්ස්වල තත්ත්වය ටිකක් බාලයි. එක්කෝ අතේ කටේ ඇලෙනවා. නැත්තම් රබර් වගේ ඇදෙනවා. එහෙම නැතිව හරි පදමට ජුජුබ්ස් ටික හදාගත්තොත් විකුණගන්න ලේසියි.
දැන් අපි ජුජුබ්ස් හදන්න අවශ්‍ය අමුද්‍රව්‍ය ගැන බලමු. ජෙලටින් 70g, වෙන වෙනම මැනගත්තු වතුර 185ml, 200ml, 25ml, සිට්රික් ඇසිඩ් තේ හැඳි 1/2, ලික්විඩ් ග්ලූකෝස් 20g, දැවටීමට සීනි 500g, වර්ණක, රසකාරකය, ජුජුබ්ස් අච්චු, උෂ්ණත්ව මාපකයක්. ජුජුබ්ස් හදන මේ හැම අමුද්‍රව්‍යක්ම පිටකොටුවේ කේක් බඩු කඩවලින් මිලදී ගන්න පුළුවන්.
චෙරි, මිදි, දොඩම්, ලෙමන්, අන්නාසි වගේ රස තමයි වැඩිපුරම ජුජුබ්ස්වලට යොදන්නේ. වර්ණක තෝරනකොට ඒ රසයට ගැලපෙන විදියට වර්ණ ගන්න. වර්ණක සහ රසකාරකය ගන්නකොට ඊ ශ්‍රේණියේ (E grade) නැත්තම් ආහාර ශ්‍රේණියේ (Food grade) ඒවා තෝරගන්න. අපේ ජුජුබ්ස් පාරිභෝගිකයෝ පුංචි දරුවෝ බව නිතරම මතක තියාගන්න.
පියවර 1
මුලින්ම වතුර 185mlට ජෙලටින් ටික එකතු කරලා ඩබල් බොයිල් ක්‍රමයට දියකරගන්න.
පියවර 2
සීනි 500gට වතුර 200ml කොටස එකතු කරලා උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 125 වෙනකල් උතුරුවා ගන්න. උෂ්ණත්වය මනින්න උෂ්ණත්වමානයක් නැතිනම් උණුවෙන සීනි එකෙන් ටිකක් වතුරට දාලා ඒක පතුලට බැස්සම ඇඟිලි තුඩුවලින් තද කරන්න. මිශ්‍රණය බෝලයක් වගේ හදන්න පුළුවන්නම් ඒක තමයි පදම.
පියවර 3
උෂ්ණත්වය හරි ගාණට ආවහම මේකට අපි කලින් හදාගත්තු ජෙලටින් මිශ්‍රණය වගේම ලික්විඩ් ග්ලූකෝස් එකතු කරන්න. විනාඩි 5ක් විතර මද ගින්නෙන් උතුරවාගෙන වතුර 25ml දියකරගත්තු සිට්රික් ඇසිඩ් එකතු කරලා ලිපෙන් බාගන්න.
මිශ්‍රණය කොටස් කීපෙකට වෙන් කරලා රසකාරකයි වර්ණකයි දාන්න. ඊටපස්සේ බටර් තවරපු අච්චුවලට දාලා පැය පහක් විතර සෙට්වෙන්න තියන්න. ජුජුබ්ස් අච්චු නැත්තම් බටර් තවරපු අච්චුවකට දාන්න. පස්සේ සෙට්වුණාම ඇහේ මිම්මට කතුරකින් කපන්න.
පස්සේ වෙන්කරගත්තු ජුජුබ්ස් ටිකේ සීනි තවරලා අසුරගන්න. ජුජුබ්ස් කියන්නේ පාට පාට ලස්සන දෙයක්නේ. ඉතින් ජුජුබ්ස් ඇසුරුම ගැනත් සැලකිලිමත් වෙන්න. බැලූ බැල්මට ඇස් යන විදියට යමක් අසුරන්න පුළුවන්නම් අලෙවි කරන්න පහසුයි. හදාගත්තු ජුජුබ්ස් ටික මුලින්ම අහල පහල දරුවන්ට අලෙවි කරන්න. ළඟ කඩවලට දාන්න. උත්සාහය තියෙනවානම් ඕනම කෙනෙක්ට ඔහොම පියවරෙන් පියවර දියුණු වෙන්න බැරි නැහැ. මේ ගැන තවත් මොනා හරි දැනගන්න ඕනෙනම් 0714766819 මේ අංකයට කතා කරන්න.
සෙව්වන්දි හෙට්ටිආරච්චි