බඩේ ඉන්න ළමයගේ තාත්තා කවුද කියලා ඒ දුව තාමත් අපිට කියලා නෑ
සිතාරා, දෙමටගොඩ පේලි නිවාස සංකීර්ණයක ජීවත්වෙන දොළොස් හැවිරිදි පාසල් සිසුවියකි. ඇගේ දෙමාපියන්ගේ ජීවිකාව වූයේ කුලී වැඩය. දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා වූ සිතාරාට වැඩිමහල් සහෝදරයින් දෙදෙනෙකි. අවුරුදු පහළොව සහ දාසය යන වයස්වල පසුවූ ඔවුන් දෙදෙනාද යම් යම් හේතු නිසා පාසල් අධ්‍යාපනය අතරමග නවතා දමා තිබුණි.
දෙමාපියන් දහවල් කාලයේ නිවසේ නැති වග දන්නා නිසා අයියා මලෝ දෙන්නාගේ ගජයන්ට දහවලේ නිවහන වූයේ සිතාරලාගේ නිවසය. පනස් දෙකේ කොළ කුට්ටම ගේ මැද සාලයේ රජ වෙද්දී මත්වතුරින් සූර් වීමටත්, බීඩියක්, ගංජා සුරුට්ටුවක් බීමටත් ඔවුන් තිප්පොළක් කරගෙන තිබුණේ එතැනය.
නමුත් මේ සියල්ල නිසා දවසින් දවස අසරණ වූයේ සිතාරා ය. වයස අවුරුදු දොළහක් වුවද බැලූ බැල්මට ඇයට තිබුණේ අවුරුදු දහනවයක විස්සක තරුණියකගේ මෙන් පිරිපුන් පෙනුමකි. එනිසාම උදේ හවා ගෙට ගොඩවදින පිරිමින්ගේ උකුසු ඇස් සිතාරා දෙසට යොමුවුණේ ආයාසයකින් තොරවය. පාසලේදී පවා ඇයට ලොකු පන්තිවල සිසුන්ගේ ආකර්ෂණය වැඩියෙන් හිමිවිය. හතේ පන්තියේ සිටි සිතාරාට සාමාන්‍ය පෙළ, උසස් පෙළ පන්තිවල අයියලාගෙන් ලැබුණු පෙම් ඇරයුම්වලද අඩුවක් නොවීය. අධ්‍යාපන කටයුතුවලටද වැඩි උනන්දුවක් නොදැක්වූ සිතාරා ගැන ගුරුවරුන් තුළත් එතරම් පැහැදීමක් තිබුණේ නැත. සියල්ල එසේ සිදුවෙද්දී සිතාරාගේ පන්තිභාර ගුරුතුමියට ඇගේ හැසිරීම් රටාවේ වෙනදා නැති අසාමාන්‍ය බවක් පෙනෙන්නට පටන්ගත්තාය. ඇය පන්ති කාමරයේදී වරින්වර වමනය කරමින් සිහිසුන් වී ඇද වැටෙන්නට පටන්ගත්තාය. සිතාරාගේ පවුල් පසුබිම ගැන හොඳින්ම දන්නා ගුරුවරිය මුලින්ම සිතුවේ එසේ වන්නේ අයහපත් මානසිකත්වය නිසා හෝ ආර්ථික අපහසුතා නිසා විය හැකි බවයි. එනිසාම සිතාරාට වැඩි අවධානයක් දී විමසිල්ලෙන් පසු වූ ගුරුවරියට අසාමාන්‍ය ලෙස ඇගේ කුස ඉදිරියට නෙරා තිබීම ගැන විශාල සැකයක් පහල විය.
“සිතාරා දැන් සති ගාණක ඉඳලා මට ඔයාගේ ලොකු වෙනසක් පේනවා. දරුවෝ ඔයාට කාටවත් කියන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා නම් මාව විශ්වාස කරලා මට කියන්න.”
කොතෙක් ඇසුවද සිතාරාගේ මුවින් ඒ ගැන වචනයක් හෝ පිටකරගැනීමට ඇය අපොහොසත් විය. එහෙත් උදේ හවා දරුවන් දාස් ගණනක් සමඟින් පොරබදින ගුරුමවකට ඇහිපිල්ලමකින් පවා දරුවන් හඳුනාගැනීමට සූක්ෂමශීලී ඉවක් ඇත. සිතාරාගේ මෙම ශරීර වෙනස්කම් සහ රෝග ලක්ෂණ දරුවෙකු ලැබීමට සිටින මවකට සමාන වුවද ඇය ඒ වගක් ඇගෙන් කෙළින්ම අසන්නට ගියේ නැත. පසුව මේ පිළිබඳ විදුහල්පතිවරයාවද දැනුවත් කළ ගුරුවරිය සිතාරාව වහාම වෛද්‍යවරයෙකුට පෙන්වීමට කටයුතු කළාය.
“මෙයාට දරුවෙක් ලැබෙන්න ඉන්නවා. මේ වෙනකොට මාස දෙකකටත් වඩා වැඩියි.”
සිතාරාව පරීක්ෂා කර බැලූ වෛද්‍යවරයා එසේ කීවේ එතෙක් කල් තිබූ සැකය සීයට සීයක්ම තහවුරු කරමිනි.
ගුරුවරියට සිතාරා ගැන ඇතිවූයේ කියාගත නොහැකි තරමේ වේදනාවකි. එහෙත් දැන් ඒ ගැන සිතා පලක් නැත. කොතැනක හෝ වරදක් සිදුව ඇත.
“සිතාරා ඔයා දැන් දන්නවනේ ඔයාට බබෙක් ලැබෙන්න ඉන්නවා කියලා. ඒ ගැන වෙන කාටවත් කියන්න බැරිනම් වෙච්ච දේ ගැන මටවත් ඇත්ත කියන්න. කවුද ඔයාට මෙහෙම කළේ? මම ඔයාට පොරොන්දු වෙනවා මේ ගැන ඔයාගේ අම්මට ඇරෙන්න වෙන කිසිම කෙනෙකුට කියන්නෙ නෑ කියලා.”
එවරද ඇගේ උත්සාහය ව්‍යර්ථ විය. පසුව වහාම පාසලට පැමිණෙන ලෙස ඇගේ මව වන කුමුදුනීට දැනුම් දුන්නේ ඒ ගැන දැනුවත් කරන්නටය.
“දැන් සති ගාණක ඉඳන් සිතාරාට පන්තියේදි වමනේ ගියා. සැරින් සැරේ කලන්තෙ හැදිලා වැටුණා. මේ දරුවගේ බඩ ඉස්සරහට ඇවිල්ලා තිබුණා. බැරිම තැන අපි ඉස්පිරිතාලෙට අරන් ගියාමයි දැනගත්තේ මෙයාට දරුවෙක් ලැබනේන ඉන්නවා කියලා. හැබැයි සිද්ධවෙච්චි කිසි දෙයක් ගැන මේ දරුවා කටෙන් කෙළ බිඳක් හෙළන්නෙ නෑ. ඔයා අම්මා වෙලත් මෙච්චර දවසකට දුවගේ වෙනසක් දැක්කෙ නැද්ද?”
පන්තිභාර ගුරුතුමිය කියා සිටියේ තරමක කලබලයකින් වුවද, කුමුදුනීට ඒ ගැන වගක් නැත.
“අපි ගෙවල්වලට වෙලා මුන්ගේ බඩවල් ඉස්සරහට පස්සට යනවද කියලා බලන් හිටියොත් බඩවල් පුරවන්නෙ කවුරු ඇවිල්ලද මිස්? අපි උදේට පාරට බැහැලා කීයක් හරි හොයාගෙන ආවොත් තමයි මුන්ට රෑට බත්හැලිය ඉදෙන්නෙ.”
කුමුදුනීගේ කතාවෙන් මවිතයට පත්වුණ ගුරුතුමිය ඇයට එහි බරපතළකම වටහාදීමට කොතෙක් උත්සාහ කළද ඉන් කිසිඳු පලක් වූයේ නැත.
“අනික ඉතින් ඕක මේ කෙල්ලට විතරක් පළවැනි පාරට වුණ වින්නැහියක් නෙවෙයිනෙ. අපේ වත්තේ මේ වයසෙ කෙල්ලොන්ට ඕනතරම් ළමයි හම්බවෙනවා. එතකොට උන් කරන්නෙ ළමයව ආච්චිඅම්මගෙ කරේ එල්ලලා කොහේහරි රස්සාවකට යනවා. එහෙම නැත්නම් වයස හරියනකල් ඉඳලා ඩුබායි යනවා. මට ඔය ලැබෙන්න ඉන්න දරුවා වැඩි නෑ මිස්. අනික ඒකි තාත්තා කවුද කියලා කියන්නෙ නැත්නම් ඒ ගැන තවත් අහලා වැඩක් නෑ.”
කුමුදුනී වැනි කෙනෙකුට තවදුරටත් මෙහි බරපතළකම තේරුම්කර දීමට කාලය වැය කර පලක් නැත. ඇයට කොපමණ කීවත් එපමණයැයි තේරුම්ගත් ගුරුවරිය මෙයට වෙනත් විකල්පයක් සෙවීමට කටයුතු කළේ සිතාරාගේ අනාගතය වළපල්ලටම යා නොදී කෙසේ හෝ ඇයව ඉන් මුදවාගැනීමට සිතූ නිසාය.
පසුව විදුහල්පතිවරයාගේ සහායද ඇතිව මීට අවශ්‍ය නීතිමය පියවර ගැනීමට ඇය කටයුතු කළාය. එතැනින් නොනැවතී සිතාරාව පෞද්ගලික රෝහලක උපදේශන සායනයකටද රැගෙන ගියේ ඒ මාර්ගයෙන් හෝ මෙහි ඇත්ත නැත්ත දැනගැනීමටත්, සිතාරාගේ මානසික සහ කායික පිරිහීමට ප්‍රතිකර්මයක් ලෙසත්ය.
පසුව උපදේශන සේවා මගින් සිතාරාව යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු කළ ආකාරය ගැනත්, මෙවැනි සිදුවීම් වළක්වා ගැනීමට කටයුතු කළ යුතු ආකාරය ගැන උපදේශන මනෝ විද්‍යාඥ භාග්‍යා අබේසිංහ මෙසේ කියා සිටියාය.
“මේ දරුවව ඇගේ පන්තිභාර ගුරුතුමිය විසින් මට යොමු කරනකොටත් ඇය සිටියේ දැඩි මානසික පීඩනයකින්. ඒ පුංචි වයසට ඇගේ තාත්තා, අයියලා දෙන්නා ගැන පවා ඇය කතා කළේ පුදුමාකාර කළකිරීමකින්, අප්‍රසන්නතාවයකින්. ඒ වගේම ඉතා විශාල බියකින්. දැන් ඇය ටික දවසක ඉඳලා අපේ උපදේශන සේවාවලට එනවා යනවා. ඒත් තාම අපිටවත් බඩේ ඉන්න දරුවගේ තාත්තා කවුද කියන එක කියලා නෑ. ඒ ගැන අහනකොට ඇය හිතාගන්න බැරිතරම් බය වෙනවා. ඒ නිසා මේ වෙනකොට අපි මුලින්ම ඇයව කායිකව සහ මානසික සුව අතට පත්කරන්නයි කටයුතු කරමින් ඉන්නෙ.
ඒ වගේම මට මෙතැනදි දෙමාපියන්ට කියන්න විශේෂ පණිවිඩ දෙක තුනක්ම තියෙනවා. පළවැනි එක තමයි රස්සාවක් කරලා හරිහම්බ කරලා තමන්ගේ දරුවන්ව පෝෂණය කරන එක, හරිහැටි අධ්‍යාපනයක් ලබලා දෙන එක දෙමාපියෝ හැටියට අපි කාගෙත් වගකීමක්. නමුත් එහෙමයි කියලා ඒ දරුවො ගැන හොයලා බලන්නෙ නැතුව මේ විදියට අතෑරලා දාලා ඉන්නවා නම් ඒක ඇත්තටම බරපතළ වරදක්. විශේෂයෙන්ම මේ වයසේ දරුවො ගැන තවත් වැඩියෙන් අවධානය යොමු කරන්නට අවශ්‍යයි. මොකද මේ විදියෙ නව යොවුන් වියේ දරුවෙක් කියන්නෙ ලිංගිකත්වය ගැන රහසින් අත්හදාබැලීම් කරන්න පෙළඹෙන වයසක්. එතකොට පිටස්තර පුද්ගලයින්ට ඔවුන්ව පොළඹවාගන්න හරිම ලේසියි. අන්තිමට අපි දරුවොන්ට කන්න දෙන්න සල්ලි හම්බ කරන්න ගියා කියලා කිසිම දෙමාපියෙක්ට ඒ වගකීමෙන් බේරිලා පැනලා යන්න බෑ. ඒ නිසා මෙතැනදී වැඩිපුර වගකීම ගන්න ඕන දෙමාපියෝ. එහෙම වුණොත් විතරයි ඉස්සරහටවත් අපිට මේ වගේ අහිංසක දරු පැටුවන්ගේ ජීවිත ආරක්ෂා කරගන්න පුළුවන්කම ලැබෙන්නෙ.”
ලිහිණි මධුෂිකා