මන්ද පමා කිව්ව පලියට බැන්ද ගමන් ළමයි හදන්න ඕනද?
පෝෂණය අඩුකම මනසට බලපාන්නේ කොහොමද කියන එක ගැනයි මේ ලිපියෙන් කතා කරන්නේ.
මේ කාලේට ගැලපෙන ප්‍රායෝගික කාරණාවක් වෙයි කියලා හිතුණු නිසයි මේ කාරණාව තෝරගත්තේ. මාතෘකාව පැහැදිලි කරන්න උදාහරණයට ගන්නේ තිළිණිව. ඇයව මට හමුවුණේ සුබසාධන නිවාසයකදී.
තිළිණිගේ තාත්තා තදින්ම මත්පැන්වලට ඇබ්බැහි වුණු කෙනෙක්. තාත්තගේ තාඩන පීඩන නිසා අවුරුදු හතේදි අම්මා තිළිණිලව දාලා ගිහිල්ලා. පවුලේ ප්‍රශ්න නිසා මේ දරුවා ඉස්කෝලේ ගිහිල්ලා තිබුණෙත් පහට වෙනකල් විතරයි.
පුංචි කාලේ ඉඳලම තිළිණිට හරියට කන්න බොන්න ලැබිලා නැහැ. අහල පහල ගෙවල්වල ඉඳපු අයවත් නෑයන්වත් ඇයව බලලා නැහැ. ඒ නිසා අනුන් විසි කරන ඉඳුල් වගේ දේ කාලා තමයි මේ දරුවා උස්මහත් වෙලා තියෙන්නේ.
නිසි පෝෂණයත් මානසික අවශ්‍යතාත් හරියට සපිරිලා නැති නිසා ඇයට කායික ගැටලු වගේම මානසික ගැටලුත් තිබිලා තියෙනවා. ඉතින් දෙයක හරි වැරැද්ද වටහාගන්නවත් දැයට බුද්ධියක් තිබිලා නැහැ. අවුරුදු 16දී තිළිණි අවට පුද්ගලයෙක් එක්ක පැනලා ගිහිල්ලා. එහෙම කළාම හොඳට කන්න බොන්න ලැබෙයි කියලලු හිතුවේ.
කෙල්ලගේ අවාසනාවකට ඇය පැනලා ගිහිල්ලා තිබුණෙත් ඇගේ තාත්තා වගේම මත්පැන්වලට ඇබ්බැහි වෙච්චි කෙනෙක් එක්ක. එතැනිනුත් ඇයට හරිහමන් කෑමක් බීමක් ලැබිලා නෑ. අනික එතැනින් කායිකවත් මානසිකවත් අපයෝජනයට ලක්වුණු නිසා තිළිණට වුණේ කබලෙන් ලිපට වැටෙන්න.
ඔය අතරෙදි තිළිණිට දරුවෙක් ලැබෙන්න ඉඳලා. ඒ කාලේදිත් හරි පෝෂණයක් නොලැබුණු නිසා ඇයට ලැබිලා තියෙන්නේ අඩුබර දරුවෙක්. ඒ දරුවත් මාස දෙකෙන් මැරිලා. ඉතින් මෙයාගේ මානසිකත්වය සම්පූර්ණයෙන්ම වගේ පිරිහිලා. පස්සේ සැමියගේ නෑදෑ කෙනෙක් තමයි ඇයව මානසික රෝහලට ඇතුළත් කරලා තියෙන්නේ. එතැනින් යම් මානසික සුවයක් ලැබුණට පස්සේ තමයි ඇයව සුබසාධන නිවාසයට ඇතුළත් කරලා තියෙන්නේ.
තිළිණිගේ මානසිකත්වය පිරිහෙන්න පෝෂණය මඳකම ඍජුවම බලපෑවා.
පණ තියෙන සතෙක්ගේ මූලිකම අවශ්‍යතාවය ආහාර. ඇඳුම්, ගේදොර, යානවාහන ඔය හැම එකක්ම ඊට යටයි. ‘දරුවන්ට කන්න නැහැ’ කියන එක මීට ටික දවසකට කලින් අපේ රටේ තිබුණු අරගලේ ප්‍රධාන තේමා පාඨයක්. කන්න නැති වෙනවා හිතුවත් ලොකු පෙරළියක් ඇති කරන්න තරමට මිනිස්සුන්ගේ මොළේට මේක බලපානවා. ඒ කියන්නේ ආහාර සුරක්ෂිතබව නැති එකම කෙනෙක්ට මානසික ආතතිය ඇතිවෙන්න හේතුවක්.
ගමක තවුසො දෙන්නෙක් හිටියා. ඔය තවුසෝ දෙන්නගෙන් එක් තවුසෙක්ට කන්න නැතුව පාණ්ඩුව හැදුනලු. ඉතින් ඔහු බොහොම දුර්ලව ඉන්නකොට අනිත් තාපසයා ඔහුට උපදෙස් වගයක් දීලා. උපදෙස් අහලා තරහා ගියපු පාණ්ඩු රෝගී තාපසයා අනිත් තපසයාව මරලා දැම්මලු. අපේ මොළේ ක්‍රියාකාරීත්වය හරියට තියාගන්න ඩොපමීන්, හිස්ටමින්, සෙරටොනින්, ග්ලුටමේට් වගේ ස්නායු සම්ප්‍රේෂක අණු මිලියන ගාණක් ක්‍රියාත්මක වෙනවා.
මේවාගේ නිසි ක්‍රියාකාරීත්වයට දෛනිකව මොළයට කැලරි 400ක් අවශ්‍යයි. ඇමයිනෝ අම්ල, විටමින් B, ඔමේගා 3, ෆෝලේට් වගේ පෝෂකත් අවශ්‍යයි. ඔය දේවල් හරියට නොලැබුණාම අර කිව්ව සිස්ටම් එක අවුල් යනවා. එතකොට අහේතුකව කෙනෙක්ගේ මනෝභාවයන් (Moods Swings) වෙනස් වෙන්න පුළුවන්. ඒ තාපසයටත් වුණේ ඕක.
මතක ශක්තිය, නිර්මාණශීලීත්වය, කල්පනා ශක්තිය වගේ දේ අඩුවෙන්න ඌණ පෝෂණය බලපානවා. ඒ වගේම පෝෂණය මදකම ඩිමෙන්ශියාව (සංකීර්ණ මානසික ගැටලුවකි) හැදෙන්න බලපාන එක් හේතුවක්. තව කාංසාව (anxiety) වගේ තත්ත්වයන් ඇතිවෙන්න හේතු වෙන්නත් පුළුවන්. ඉතින් මානසික සමබරතාවය රැකගන්න සමබල පෝෂණයක් ලබෙන්නම ඕනේ.
හැබැයි දැන් රටේ ලොකු ආහාර අර්බුදයක් තියෙනවානේ. ඉතින් අපිට මේ වෙනුවෙන් මොනවද කරන්න පුළුවන් කියලා කතා කරන එකත් වැදගත්.
ස්ත්‍රී-පුරුෂ දෙන්නෙක්ගේ එකතුවීමෙන් තමයි දරුවෙක් මේ ලෝකේට එන්නේ. කිසිම ළමයෙක් ඇප්ලිකේශන් දාලා එන්නේ නැහැනේ. ඉතින් පවුලේ වැඩිහිටියෝ අරයා මෙයා කිව්ව පලියට මූලික අවශ්‍යතා ටිකවත් සපුරන්න බැරි නම් දරුවන් හදන්න එපා කියන එක තමයි මුලින්ම කියන්න ඕනේ. තිළිණිගේ කතාව බලන්න, ඇය තාමත් ඉන්නේ සුබසාධන නිවාසයක.
ඊළගට දුප්පත්කම කරුමයක් කියලා ගොඩක් අය කියනවා. ඇත්තටම කරුමේ දුප්පත්කම නෙමෙයි ප්‍රඥාව අඩුකම. දුප්පත් වෙලා ඉපදුණු මිනිස්සු ලෝකේ හොල්ලපු සල්ලිකාරයෝ වෙලා නැද්ද? දුප්පත් වුණත් ප්‍රඥාව තියෙනවා නම් තමන්ගේ මූලික අවශ්‍යතා ටික සපුරගන්න පුළුවන්. ඒ නිසා මේ වෙලාවේ ටිකක් මොළේ කල්පනා කරලා වැඩිපුර ආදායමක් උපයාගන්න විදියක් බලන්න.
දකුණු පළාතේ අය කපටි කියලා කියනවනේ. කපටි නෙමෙයි ඔවුන් බුද්ධිමත්. මොකද ඒ පළාත්වල අය වැඩිපුර කන්නේ කොස්, අල, කොළ වගේ ගමේ දේ. හැබැයි නාගරික පළාත්වල ඉන්න අය දරුවන්ට කොස්, අල වගේ දේවල් දෙන්න ලැජ්ජයි. ඒක මදිකමක් කියලා හිතනවා. දරුවන්ගේ මානසිකත්වය ගැන හිතලාවත් ඒ අයට හොඳ පෝෂණයක් දෙන්න ඕනේ. නිකන් කොස් කන්න අකමැති නම් ආසා හිතෙන විදියට කොස් කොත්තු, කොස් රොටී වගේ දේ හදලා දෙන්න.
අනික සොසේජස්, පිටිකිරි, ක්ෂණික නූඩ්ල්ස් වගේ විස දේ නැතුවට වත්තේ ඇවිදලා බැලුවොත් පෝෂණීය ආහාර මූලාශ්‍ර ඕනතරම් තියෙනවා. මොනරකුඩුම්බිය, ගොඩපර ගෙඩි, ඇඹුල් ඇබිලිය, කාමරංගා, හුළංකීරිය, බැදිදෙල්, බිම්පොල්, රටනෙල්ලි වගේ දේ උයලා කන්න පුළුවන්. අපේ මේ කෑමවල විශාදනාශක ගුණ පවා තියෙනවා.
ලොකු දේවල් හදන්න අමාරුයි නම් එළවලු දෙකක්, හාල්මැස්සන් කීපයක්, ධාන්‍ය මිටක්, කොළ වර්ගයක් දාලා එක හොද්දක් හදන්න ඒකෙන් හොඳ පෝෂණයක් ගන්න පුළුවන්.
දැන් ගොඩක් අය වෙනත් අවශ්‍යතා වෙනුවෙන් කෑමට යොදන මුදල් අඩු කරලා තියෙනවා. පෝෂණය තමයි වැදගත්ම දේ කියලා අපි කතා කළානේ. ඉතින් මේ දවස්වල ටිකක් අරපිරිමැස්මෙන් වැඩ කරන්න. ඇඳුම් පැළඳුම් නැත්තම් අත්‍යවශ්‍ය නොවන අනිත් අවශ්‍යතාවලට දෙවැනි තැන දෙන්න.
තමන්ගේ අහල පහලක කෙනෙක් බඩගින්නේ ඉන්නවා නම් පුළුවන් හැටියකට කෑම පිඟානක් දෙන්න. එහෙමත් බැරි නම් සුබසාධන ආයතනයකට හරි ඔවුන්ව යොමු කරන්න උත්සාහ කරන්න.
අපිට තියෙන්නේ දණ්ඩක් විසි කළත් පැළවෙන පොළොවක්. ඉතින් පුළුවන් විදියට ගහක් කොළක් වවාගන්න. ඉඩක් නැත්තම් බිත්තියේ ලෑල්ලක් ගහලා ඒකට පස් පුරවලා ගහක්, කොළක් වවන්න පුළුවන්නේ.
කන්න නැති මිනිස්සුන්ට උපදෙස් දීලා වැඩක් නැහැයි කියලා ජේසුතුමා කියලා තියෙනවා. මොකද බඩගින්නේ ඉන්න මිනිහෙක්ගේ ඔලුවට කරුණු යනවා හොරයි. ඉතින් මේ රටේ මිනිස්සු වෙනුවෙන් රජයට මීට වඩා හොඳ වැඩපිළිවෙළක් තියෙන්න ඕනේ කියන එකත් අවසානෙදි නොකියා බැහැ.
ඉන්දිකා ප්‍රනාන්දු
මනෝඋපදේශිකා
සමාජ විද්‍යා ග්‍රන්ථ කතුවරී
සෙව්වන්දි හෙට්ටිආරච්චි