විශේෂාංග

කුරුල්ලන්ට ඉන්න තැනක් නැතිවෙන නිසා වගා කරද්දී වන වදුල ඉතිරි කළා

පැළයක් හිටෙව්වම ඒක මැරෙන්න නොදී රැකබලාගන්න පුරුද්ද මට ආවේ පුංචි දවස්වල ඉඳලා. ඉස්සර අපට ලොකුවටම බලපෑවේ වතුර ප්‍රශ්නයමට අවුරුදු දහතුන දාහතර වගේ වයසෙදි අල්ලපු වත්තේ වගා ළිඳෙන් වතුර ගෙනැල්ලා දාලා මං හිටවපු පැළ මැරෙන්න නොදී බේරගත්තා. අදටත් පැළයක් හිටෙව්වම හරි ආදරෙන් ඒ පැළේ පලදාව දෙනතුරු රැකබලාගන්න පුරුද්ද මට තියනවා.

ඒ අනුරාධපුර කැබිතිගොල්ලෑව බණ්ඩාරඋල්පත පදිංචි ඒ.කේ.එස්.දිල්රුක්ෂි ප්‍රනාන්දු ය. හැත්තෑව දශකයේ පමණ දිල්රුක්ෂිගේ සීයා අනුරාධපුරයට පැමිණ ඇත්තේ ගහට ගහක් මුණගැහෙනවා යැයි කියන මොරටුවේ සිටය. සීයාගේ රැකියාව වඩු වැඩ වූ බැවින්, ඔහු අනුරාධපුරයට ගියේ වඩු වැඩ හොයාගෙනය. නමුත් ඒ අතරතුර වඩු වැඩට අමතරව වගාවටත් ඔහුගේ හිත ගියේය.

එදා සීයා එක්ක බණ්ඩාරඋල්පතට එද්දි මගේ තාත්තගේ වයස අවුරුදු දහතුනලු. ඒ කාලෙ වෙද්දි මේ ඉඩම් කැලෑවල් විදියට තමයි තිබිලා තියෙන්නේ. ඒ කාලේ හේනක් කොටලා තමන්ට කැමති ප්‍රමාණයක් වගා කරන්න පුළුවන් තරමට මිනිස්සුන්ට ඉඩම් තිබිලා තියෙනවා. ඒවාට කාගෙන්වත් බාධාවක් තිබිලා නැහැ. ඉතින් සීයා අක්කර පහක විතර ගොඩක් දේවල් වගා කරලා තිබුණා. පස්සේ වගා කටයුතු වගේම, වඩු කර්මාන්තයත් දියුණු කරගත්තු තාත්තා මටයි, නංගිටයි, මල්ලිටයි මග පෙන්නුවේ පරිසරයට ආදරේ කරන දරුවෝ විදියට සමාජයට හැඩගැහෙන්නයි.

දිල්රුක්ෂිගේ පියා ඩෙන්සිල් ප්‍රනාන්දු ය. ඇගේ මවත් අනුරාධපුරයේමය. ඔවුන් වගාවෙන් ජීවිතය ජයගත්තා සේම, තම අවට පරිසරයද වඩාත් අලංකාරව පවත්වාගෙන යන්නට මහත් වෙහෙසක් දරන බව පෙනෙන්නට ඇත.

ඇත්තටම මගේ තාත්තගේ මගපෙන්වීම තමයි මේ වගාබිම පුරාම පැතිරිලා තියෙන්නේ. මට මතකයි අපි පුංචි දවස්වල අපේ ගෙමිදුල පුරා විවිධාකාර මල් පිපිලා. මිදුලේ වැලි අතුරලා අපට දුවන්න පනින්න ඉඩකඩ තියෙන විදියට සකසලා තිබුණා. ඊළඟට මිදුලේ ඉඳන් බැලුවම විවිධ වගා භෝග අපට පේන්න තියෙනවා. පැත්තක එළවලු වර්ග, පැත්තක කෙසෙල්, පැත්තක පලතුරු. ඒ වගේම පරිභෝජනයට අවශ්‍ය සියලු දේවල් අපි ගත්තේ අපේ වගාබිමෙන්. මේ ඉඩමේ අඩි තිස්තුනක් විතර ගැඹුරු වගා ළිඳක් තියෙනවා. ඒ වගා ළිඳ කපන්න මාස තුනක් ගතවෙලා තියෙනවා. ඇත්තටම ගොඩක් දේවල් කරන්න මුදල් වියදම් වෙලා නැහැ. අත්තම් ක්‍රමය තමයි ඒ කාලේ තිබිලා තියෙන්නේ. ඒක ගමේ එකිනෙකා අතර හොඳ හිත රැකෙන ක්‍රමයක්. අදටත් අපිට වැඩිපුර තියෙන එළවලු, පලතුරු, කොළ පලා වර්ග වුණත් හුවමාරු කරගන්නවා. ඉස්සර ඉඳලා ගමක තියෙන ලස්සන බැඳීමක් ඒක.”

දිල්රුක්ෂිට මේ වගාබිමෙන් ලැබෙන එවන් ආදරණීය වත්කම් රැසකි. ඒ වාගේම තමන්ගේම කියා ඇඟලුම් ආශ්‍රිත ස්වයං රැකියාවකද ඕ නියැලෙන්නීය. පළමුව පාපිසි, බෑග් මැසීමේ පුහුණු පාඨමාලාවකට ගිය ඇය, ධෛර්යමත්ව එය තම ආදායම් මාර්ගය බවට පත්කරගන්නීය. දැන් නවීන මෝස්තරවලින් යුත් බෑග් ද නිමවමින් ‘දිල්රුක්ෂි බෑග් සෙන්ටර්’ නමින් ලියාපදිංචි පුංචි ව්‍යාපාරයක හිමිකාරිනිය ලෙසද කටයුතු කරයි. නවීන පන්නයේ විලාසිතා අනුව කාන්තා ඇඳුම් මැසීමටද ඕ දක්ෂය. විදාතා පුහුණු මධ්‍යස්ථානයත්, අනුරාධපුර කුඩා ව්‍යාපාර සංවිධාන ව්‍යවසායකත්ව සංවර්ධන අංශයේ මගපෙන්වීමත් නිසා ඇය අද වනවිට තම ආර්ථිකය ශක්තිමත් කරගනිමින් හිඳින්නීය.

මගේ මහත්තයා සඳුන් කුමාරත් මගේ ව්‍යාපාර කටයුතුවලට උදව් වෙනවා. ඔහු කලින් වෙන රැකියාවක නියැලුණා. දැන් ඔහු වගේම අම්මා, තාත්තත් මේ කටයුතු දියණු කරගන්න මට උදව් වෙනවා. වගේම මේ හැමදේම කළත් මගේ හිතේ ලොකුම ඉඩක් තියෙනවා වගාව වෙනුවෙන්. ගෙදර හැමෝමත් වෙනුවෙන් වෙහෙසෙනවා.

සීයාගෙ කාලේ ලොකුවට කව්පි වගා කරලා තිබිලා තියෙනවා. හරියට කාලේ ෆාම් එකක් වගේ ලස්සනට තිබිලා. බඩඉරිඟු, පොල්, වම්බටු, දඹල, මෑ, කරවිල, බණ්ඩක්කා වගේම දේශීය තණහාල්, කළු කව්පි, කුරහන් ආදියත් මේ වෙනකොට අපේ වගාව අතරේ තියෙනවා. තව පැත්තක රටකජු තියෙනවා. මේ දවස්වල හිටවලා තියෙන්නේ ගම් බඩඉරිඟු විශේෂයක්. ඒකට පොහොර වැඩිපුර ඕනේ කරන්නේ නෑ. වගේම කුඹුරු ගොවිතැනුත් කරනවා. පහුගිය කාලයේ අපි අලුතින් පොල් පැළ සියයක් පමණ හිටෙව්වා.”

ඇගේ සීයාත් පියාත් එකල මෙහි පදිංචියට එන විට තිබුණු කැලෑවෙන් කොටසක් අදටත් ඔවුන් ඉතිරි කරගෙන සිටින්නේ සොබාදහමට ඇති ළෙන්ගතුකම මොනවට කියාපාමිනි.

දවස්වල හේන් එළි කරද්දි මේ වදුල කොටස ඉතිරි කරලා තියෙනවා. තේක්ක ඇතුළු ලොකු ගස් වර්ග විසිනවයක් මේ කොටසේ තියෙනවා. කුරුල්ලන්ට ඉන්න තැනක් නැතිවෙන නිසා තමයි ගස් ටික ඉතිරි කරලා තියෙන්නේ. අදටත් මේ වදුල හරිම ලස්සනයි. වෙම්බඩංගා කියන වැල් වර්ගය නිසා මේ පරිසරය තවත් ලස්සන වෙලා. වගේම මගේ තාත්තා වගාකරපු ගස්වැල් වගේම ස්වාභාවික ලස්සන රැකෙන පරිදි කළ නිර්මාණ නිසා සමහර අය මේ පරිසරයේ ලස්සන දැකගන්නත් එනවා.”

ඔවුනට ඕනෑ කරන එළවලු වගේම පලතුරු වර්ග බොහොමයක් ලැබෙන්නේ මේ ගෙවත්තෙනි. ඒ අතර දෙළුම්, පේර, කෙසෙල්, පැෂන්, අලිගැටපේර, කටු අනෝදා, ගස්ලබු ආදී පලතුරු වර්ගද තිබේ.

වගාව එක්ක මගේ තියෙන ළෙන්ගතුකම හින්දම මමගෙවතු වගාවයි ඔබයි ෆේස්බුක් සමූහයේ ඇඩ්මින්වරියක් විදියටත් කටයුතු කරනවා. ඇත්තටම මගින් බීජ හුවමාරුව වගේම වගා අත්දැකීම් බෙදා හදාගන්න ලැබෙන අවස්ථාව ඉතාම වටිනවා.

ඒ වගේම කිව්වොත් මේ අපි ආහාර සුරක්ෂිතතාවය ගැන හිතන්න ඕන කාලයක්. හැමදේටම නෑ බෑ කියනවට වඩා අතිරික්තව තියෙන දෙයක් වේලලා කල් තියාගන්න පුළුවන්. වගාවට ඕන කරන කාබනික පොහොර වර්ග ගෙදරම හදාගන්න පුළුවන්. අපි දෙයකට කැපවෙනවා නම් කැපවීම කවදාවත් අපතේ යන්නේ නෑ.”

අද ඔවුන් වෙහෙසෙන්නේ ඒ බලාපොරොත්තු වෙනුවෙනි. පුරන් වන්නට නොදී හේන් කුඹුරු අස්වද්දා ඒ අස්වනු සමඟින් හිතේ සතුටද ගෙට ගන්නේ මෙවන් හිත් ඇති අයවලුන්ය. සොබාදහම පවා ඊට ආශිර්වාද කරනු ඇත.

දීපා වසන්ති එදිරිසිංහ