දන්නවනම් කරන හානි කන්න හිතන්නෙවත් නෑ සීනි
ඔන්න ඈත ගම් පළාතක බොහොම බුද්ධිමත් ඍෂිවරයෙක් හිටියලු. අවට සාමාන්‍ය මිනිස්සුත් දැනමුතුකම් ගන්න උන්දෑ ගාවටයි ගියේ.
“අනේ බලන්නකෝ මගේ පුංචි දුව හොඳටම සීනි කනවා. ඔබතුමාට පුළුවන්ද එයාට සීනි කන්න එපා කියන්න?”
“සති දෙකකින් ආයෙ දරුවව මගේ ළඟට එක්කරගෙන එන්න.”
බොහොම දුර බැහැරක ඉඳලා ආපු නිසා එවෙලෙම දරුවට උපදෙසක් දීපු නැති එක ගැන විස්සෝපෙන් එදා ඒ කාන්තාව ගෙදර ගියා. හැබැයි ඍෂිවරයා කිව්ව විදියට ආයේ සති දෙකකින් ඔහුව මුණගැහෙන්න ගියා.
“සීනි කන එක නතර කරන්න දරුවා, ඒක ඉතාම නරක දෙයක්.”
පුංචි දියණිය ඒ උපදෙස ඉසමුදුනින්ම පිළිගත්තා. ඔය වචන දෙක කියන්න සති දෙකකින් ආයේ එන්න කිව්වේ ඇයි කියලා විස්සෝපයෙන් හිටපු කාන්තාව අහලා බැලුවා.
“මම සීනි කනගමන් ඔයාගේ දරුවට සීනි කන්න එපා කියන්නේ කොහොමද? ඒ නිසා ඒ සති දෙක ඇතුළේ මම සීනි කන එක නතර කළා.”
මේ කතාවෙන් අපිට දේවල් දෙකක් ගන්න තියෙනවා. එකක් අනිත් අයට වෙනස් වෙන්න කියන්න කලින් තමන් වෙනස් වෙන්න ඕනේ කියන එක. අනිත් එක තමයි සීනි කන එක බොහොම නරකයි කියන එක.
සීනි පැණි රස වුණාට සීනි ගැන කතාව තිත්තයි. වැඩිපුර සීනි කෑවම දියවැඩියාව හැදෙනවා. දියවැඩියාව නිසා ඇස්, ස්නායු, වකුගඩු දුර්වල වෙනවා. සීනි නිසා රුධිර නාලවලට හානිවෙලා හෘදයාබාධ, ආඝාතය, දත්වල කුහර, විදුරුමස් දිරායාම වගේ නරක දේවල් වෙන්න පුළුවන්.
ඒ විතරක්ද සීනි අපේ පෙනුමටත් බලපානවා. සීනිවලට කොලජන් බිඳහෙළන්න පුළුවන්. ඉතින් සීනි කන්න කන්න ඉක්මනින්ම සම රැළි වැටිලා වියපත්වීම වේගවත් වෙනවා, සමේ දීප්තිය අඩු වෙනවා, ඕනවට වඩා මහත් වෙලා ඇඟේ හැඩය නැති වෙනවා. සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට වගේම ලස්සනට ඉන්න කැමති කෙනෙක්ටත් තියෙන ලොකුම බාධකය තමයි සීනි. ඉතින් සීනි රාස්සයාගෙන් බේරෙන හැටි කතා නොකර කොහොමද?
සීනි කියන්නේ කාබෝහයිඩ්රේටයක්. ශක්තිය ලබාගන්න අපිට සීනි අත්‍යවශ්‍යයි. හැබැයි ශක්තිය ඇරෙන්න වෙන කිසිම පෝෂ්‍ය පදාර්ථයක් සීනිවල නැහැ. පලතුරු, අල, බතල ධාන්‍ය වගේ දේවල අපිට අවශ්‍ය ස්වභාවික සීනි තියෙනවා. ඒවා අපේ ඇඟට ගුණයි. ඉතින් අපි කතා කරන්නේ ස්වභාවික සීනි ගැන එහෙම නෙමෙයි. සකස් කරන ලද සීනි ගැන.
බොහොම ඉස්සර හිටපු මිනිස්සු සීනි වෙනුවට කාලා තියෙන්නේ උක්ගස්. මීට අවුරුදු 2500කට විතර කලින් ඉන්දියානුවෝ උක්වලින් පිරිහදු කළ සීනි හදලා. පස්සේ මෙහෙක් කරද්දි උමතුවක් වගේ සීනි ලෝකේ පුරා ව්‍යාප්ත වුණාලු. වැඩකට ඇති දෙයක් නොවුණට අන්දරේ සීනි කාපු තාලෙට සීනි පැදුරක් වුණත් කන්න අදටත් අපේ අයියලා දෙයියලා.
කුඩු ගහන මනුස්සයෙක් දැක්කම “අනේ මහ නරක මනුස්සයෙක් කුඩුගහන එක නතර කරලා දැම්ම නම් ඉවරනේ” වගේ කතා කියනවනේ. හැබැයි සීනි බොන එකත් කුඩු ගහනවා වගේම ලේසියකට ගැලවෙන්න බැරි තද ඇබ්බැහියක් බව ගොඩක් උදවිය දන්නේ නැහැ.
මත්ද්‍රව්‍ය වගේම සීනි ඕනෙත් අපේ ඇඟට නෙමෙයි මොළේට. ඒ මෙහෙමයි. අපේ මොළේ තියෙනවා රිවෝඩ් සිස්ටම් එකක්. අපි මොළේ කැමති දෙයක් කළාම එයා අපිට තෑග්ගක් දෙනවා. ඒ තෑග්ග තමයි ඩොපමීන් (සතුට ඇතිකරවන හෝර්මෝනයක්).
රස කෑමක් කනකොට අපේ මොළය ඩොපමීන් ස්රාවය කරනවා. ඒකනේ කෑමක් කද්දි අපිට සතුටු හිතෙන්නේ. සීනි කනකොටත් සතුටක් දැනෙන නිසා මොළය පැණි රස කන්න කියලා නිතර නිතර අපිට සංඥා එවනවා. මත්ද්‍රව්‍යයක් ගනිද්දිත් වෙන්නෙ ඕකමයි. මත්ද්‍රව්‍යක් නොවුණත් පැණි රස කන එකත් කුඩු ගහනවා වගේ වැඩක් කියලා කිව්වේ ඒකයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව කාන්තාවකට දවසකට සීනි 25gකුත් (තේ හැඳි 6), පිරිමි කෙනෙක්ට 37.5කුත් (තේ හැඳි 9) ඇති. ඔය ප්‍රමාණ ස්වභාවික කෑමවලින් ලබාගන්න පුළුවන්.
අපි හිතන්නේ අපි කන්නේ හැන්දකින් එකතු කරන සීනි ටික විතරයි කියලනේ. එහෙම නැහැ. පැණි රස කෑමබීමවලට අමතරව ස්නැක්ස්, තක්කාලි සෝස්, සීරියල් ඇතුළු පැණි රස නොවන සමහර කෑමවලත් සීනි බර පන්නයෙන් තියෙනවා.
කෘත්‍රිම ආහාරවල තියෙන සීනි ඉක්මනට ජීර්ණය වෙනවා. කෘත්‍රිම සීනියි, ස්වභාවික සීනියි ඕනාවට වඩා ලැබුණහම ඉක්මනට දියවැඩියාව හැදෙනවා. වැඩිපුර සීනි ඇඟ පුරාම තැම්පත් වෙන නිසා ඉක්මනින්ම මහත් වෙනවා. සාමාන්‍ය පුද්ගලයෙක් අවුරුද්දකට සීනි කිලෝ 40කට වඩා කනවා කියලයි සමීක්ෂණවලින් හොයාගෙන තියෙන්නේ.
ඉතින් කොහොමද මේ සීනි ඇබ්බැහියෙන් ගැලවෙන්නේ? සීනි ඇබ්බැහියෙන් ගැලවෙන්න කලින් ඇබ්බැහියේ තරම දැනගන්න ඕනේ. ඒ කියන්නේ සීනිවලට තදින්ම ඇබ්බැහි වෙලාද නැත්තම් සාමාන්‍ය ඇබ්බැහියක්ද කියන එක.
පැණි රහ කෑමක් දැක්කම සීනිවලට ඇදෙන ඇඹලයෙක් වගේ ඒ දිහාවට ඇදිලා යන්න හිතෙනවා නම්, නිකන් ඉන්න වෙලාවට පැණි කෑමක් කන්න දැඩි ආශාවක් (Sugar Cravings) එනවානම්, පැණි රස කෑවම හිතට ලොකු සතුටක් දැනෙනවා නම් ඒ කියන්නේ ඔයා සීනිවලට තදින් ඇබ්බැහි වෙච්චි කෙනෙක්.
ඔහොම තද ආශාවල් නැතිව සාමාන්‍ය විදියට පැණි රස කාලා ඉන්නවා නම් ඇබ්බැහිය සාමාන්‍යයි. හැබැයි අපි කියන්නේ තදින්වත් සාමාන්‍ය විදියටවත් කෘත්‍රිම සීනි එපා කියලයි.
සීනි පාලනය කරන්න ඕනේ නම් මුලින්ම පාලනේ කරගන්න ඕනේ මනස. මනසට ඔයාව පාලනය කරන්න නොදී මනසෙ පාලනේ ඔයා අතට ගන්න. පොඩි ඈයොන්ට ටොපී දෙනවා වගේ ඉල්ලන පමාවට මොළේට ටොපී, චොක්ලට් දෙන්න යන්න එපා. ඔහොම නොදී ඉන්නකොට ටික කාලෙකින් එයාටම සීනි අමතක වෙලා යනවා.
අපි වැඩිපුරම කන කෑමවල සීනි ප්‍රමාණ ගැන ටිකක් බලමු. බිස්කට් 100g = සීනී 25g, යෝගට් = තේ හැඳි 1.25, කේක් 100g= 6.75g, ඩෝනට් 100g = තේ හැඳි 6.5, චොක්ලට් 100g = 48g.
ඉතින් කඩේටට ගියහම ඒකේ ගහලා තියෙන ලේබලේ අඩංගු සීනි ප්‍රමාණ බලන්න. සීනි කියලාම ගහලා නැති වුණත් Glucose, Fructose (උක් සහ බීට්වලින් ලබාගත් සීනී), Sucrose, Maltose (මෝල්ට් සීනී), Lactose (කිරිවලින් ලබාගත් සිනී), Dextrose, Strarch, Corn Syrup, Sugar Syrup, Row Sugar කියලා ගහලා තියෙනවා නම් ඒ කියන්නෙත් සීනි ගැනම තමයි. ගන්න හදන නිෂ්පාදනේ මේ වර්ග කීපයක්ම ඇතුළත් නම් ඉතින් දෙවියන්ගෙම පිහිටයි.
පැණි බීම, කෝඩියල්, ශක්තිජනක පාන, ක්‍රීඩා පානවලත් සීනි උපරිමයි. කොකා කෝලා 400mlක සීනි තේ හැඳි 10ක් තියෙනවා. ලංකාවේ නිෂ්පාදනය කරන බීමවල සීනි ප්‍රමාණය වර්ණ සංඥාවලින් දක්වන්න ඕනෙය කියලා 2019දී ගැසට් එකක් ගැහුවා. ඒකට අනුව ලේබලය රතුයි නම් ඒකේ අදහස සීනි ප්‍රතිශතය 22%ට වැඩියි, තැඹිලි = සීනී ප්‍රතිශතය 5%-22% අතර, කොළ= 5%ට අඩුයි. ඒ නිසා නිෂ්පාදන ගන්නකොට ඒවත් බලන්න.
තේ, කෝපිවලිනුත් අපේ ශරීරයට ලොකු සීනි ප්‍රමාණයක් එනවා. සීනි දාපු තේ වෙනුවට සීනි නැතුව තේ කෝපි බොන්න. නැවුම් කිරිවල ස්වභාවිකවම සීනි අන්තර්ගතයි. කැවුමක් කාලා සීනි දාපු තේ බොනකොට අපේ දිවට තේ එකේ පැණි රස දැනෙන්නේ නැහැනේ. ආන්න ඒ වගේ අපේ දිවේ රස අංකුර වැඩි සීනි ප්‍රතිශතයකට හුරුවුණාම අඩු පැණි රසක් දිවට දැනෙන්නේ නැහැ.
එකපාර සීනි නැතුව තේ බොන්න බැරි නම් තේවලට මී පැණි ටිකක් එකතු කරන්න. තිබහට තැඹිලි ගෙඩියක්, වෑවර ගෙඩියක් කපලා බොන්න.
බිත්තර, ඔලිව්, ඇට වර්ග වගේ ප්‍රෝටීන වැඩි ආහාර කන්න. ප්‍රෝටීන වැඩියෙන් ගන්නකොට බඩගිනි දැනෙනවා අඩුයි. එතකොට පැණි කන්න බඩට ඉඩ අඩුවෙනවා.
ස්වභාවික එළවලු, පලතුරු කන්න. ඇපල් ගෙඩි එකක=සීනී19g, කොමඩු තීරුවක්=17g, අන්නාසි කෝප්ප 1=14g, අඹ 1=45g වගේ සීනි අඩංගුයි. එළවලු සහ පලතුරු 400g කින් දවසට අවශ්‍ය සීනි ටික ලබාගන්න පුළුවන්.
මනසට පීඩනයක් දැනුණහමත් සමහරුන්ට පැණි රස කන්න හිතෙනවා. ඒ නිසා මානසික සුවතාවය රැකගන්න. කම්මැලිනම් කෑමක් ඕනේ කියලා හිතෙනවා නම් ඇට වර්ගයක් හරි පලතුරක් හරි කන්න.
වැදගත්ම දේ තමයි හිතුණු හිතුණු වෙලාවට කන්න ගෙදර කබඩ්වල ෆ්‍රිජ්වල පැණි රස කෑම පුරවගෙන ඉන්න එපා. එතකොට ඕනේ කියලා හිතුණත් පැණි රස කන්න බැහැනේ.
ඔය විදියට කොහොම හරි සති දෙකක් සීනි මගඇරියොත් සීනි ඕනේම නැතිවෙයි. සීනි නතර කරලා සති දෙකෙන් ශරීරයේ මහත අඩුවෙලා මුහුණේ හැඩය පවා වෙනස් වෙනවලු. ඉතින් ඉක්මනට වයසට යන්න ඕනේ නැත්තම් නිරෝගීව ඉන්න ඕනේ නම් මේ දේවල් අද ඉඳලම කරන්න කියලයි අවසානෙට කියන්න තියෙන්නේ.
සෙව්වන්දි හෙට්ටිආරච්චි