අයින්ස්ටයින් පසු කර ගිය අරියානාගේ මව ධරණීට කියන කතාව
‘අයින්ස්ටයින්ටත් වඩා දක්ෂ දීප්තිමත් සිසුවියක්’
මේ ඉකුත් සතියේ බ්‍රිතාන්‍ය පුවත්පත් කිහිපයක පුංචි අරියානා හිමල් හේවගේ පිළිබඳ ලොකු අකුරින් වාර්තා වූ පුවතය.
ශ්‍රී ලාංකික සම්භවයක් සහිත අරියානා තවමත් දස හැවිරිදි වියේ පසුවන්නීය. එහෙත් ඇයගේ බුද්ධි මට්ටම (IQ) ලොව මෙතෙක් බිහිවූ විශිෂ්ට විද්‍යාඥයින් දෙපළක් වන ඇල්බර්ට් අයින්ස්ටයින් සහ ස්ටීවන් හොකින්ස්ගේ බුද්ධි මට්ටමද අභිබවා යන්නක් ලෙස සඳහන්ව තිබුණි.
කුඩාවියේ සිටම විවිධ දක්ෂතාවයන්ගෙන් යුත් දැරියක වන අරියානාගේ අනාගත අපේක්ෂාව වන්නේ ලොව පිළිගත් විද්‍යාඥවරියක වීමයි.
මෙම ජයග්‍රහණය පිළිබඳව ඇයගේ මව මේකලා පෙරේරා මහත්මිය ‘ධරණී’ වෙත දැක්වූ අදහස් ඇසුරින් මෙම ලිපිය සැකසේ.
………………..
“අරියානා ඉපදෙනකොට එයත් හරිම සාමාන්‍ය බබෙක්. හැබැයි එයාට මාස හත අට වෙද්දි අපට තේරුණා එයා ඒ වයසේ වෙන දරුවන්ට වඩා වෙනස් කියලා. එයා කලින්ම ඇවිද්දා, හිනාවුණා, කතා කළා. ඒ වගේම ඉක්මනින් අකුරු ඉගෙනගත්තා. එයාට අවුරුදු එකහමාර දෙක වෙද්දි පොත් කියවන්න හැකියාවක් තිබුණා.”
ඒ අරියානාගේ මව මේකලා පෙරේරායි. වෙනත් දරුවන් ඒ වයසට දණගාද්දී අරියානා කුමක් හෝ අල්ලාගෙන නැගිටින්නට උත්සාහ කළාය. එපමණක් නොව පියවර කිහිපයක් තනිව ඇවිද්දාය. ඒ මොහොතේ තම සිඟිත්තියට අත දිගුකළ යුත්තේ අම්මා හෝ තාත්තාය. අරියානාට ඒ දෙදෙනාගේ තල්ලුව මහ ඉහළින් ලැබිණි.
“දුවගේ පාසල් කාලේ ආවම එයාව අපි ඇතුළත් කළේ හඩර්ස්ෆීල්ඩ් ශාන්ත පැට්රික් ප්‍රාථමික ඇකඩමියට. අපි පදිංචි වෙලා ඉන්නෙත් හඩර්ස්ෆීල්ඩ් නිසා ගෙදර ඉඳන් පාසලට ලොකු දුරක් නෑ. ඒ වගේම ගුරුවරු හැම දරුවා ගැනම විශේෂ අවධානයක් යොමු කරනවා විෂය කටයුතුවලදී වගේම විෂය බාහිර කටයුතුවලදිත්. විශේෂයෙන්ම පොත් කියවන එක හොඳ පුරුද්දක් විදියට පාසල තුළ ක්‍රියාත්මක වෙන දෙයක්. ඒ නිසාම පාසලේ එක වසරේ ඉඳන් තුන වසර වෙනකල් ළමයින්ට වෙන වෙනම පුස්තකාල තියෙනවා. දුව දෙක වසරට එද්දි තුන වසර පුස්තකාල පොතුත් කියවලා ඉවරයි. ඉතින් පාසලේ ඊළඟට තියෙන්නේ ලොකු අයටත් එක්ක පොත් පරිහරණය කරන්න තියෙන පුස්තකාලය. එයා දෙක වසරෙදිම ඒ පොතුත් කියවන්න පටන්ගත්තා. ගුරුවරුනුත් එයාගේ දක්ෂතාවය හඳුනාගත්තා. පාසලේදී වගේම එයාට ගෙදරදිත් පොත් කියවන්න, දැනුම සොයාගෙන යන්න ලොකු උනන්දුවක්, ආසාවක් තියෙනවා. ඒ නිසාම අපි එයාට උපන්දිනේකට වුණත් පොත් තමයි තෑගි විදියට දෙන්නේ.”
ඒ උනන්දුව නිසාම අරියානා ‘මෙන්සා බුද්ධි පරීක්ෂණය’ට යොමු කරන්නට ඔවුන්ට අදහසක් ඇතිව තිබේ. ‘මෙන්සා බුද්ධි පරීක්ෂණය’ යනු පුද්ගලයෙකුගේ බුද්ධි මට්ටම පරීක්ෂා කිරීම සඳහා බ්‍රිතාන්‍යයේ වන විභාගයකි. මෙම බුද්ධි සමාජයේ සාමාජිකයින් විසිදහසක් පමණ දැනට සිටින බවද සඳහන්ය.
“දුවට ලැබුණු සහතික පත්‍රයේ ඇය මෙන්සා බුද්ධි පරීක්ෂණයෙන් ලකුණු 162ක් ලබාගත්තා කියලා තියෙනවා. ඒ දක්ෂතාවය නිසා ඇයව මෙන්සා උසස් බුද්ධි සමාජයේ සාමාජිකාවක් ලෙසත් බඳවා ගැනුණා. ඇත්තටම අපට ඒ මොහොතේ දැනුණේ කියාගන්න බැරි සතුටක්. ඒ වගේම මේ පරීක්ෂණයෙන් දුව ඉහළ ලකුණු අරන් කියද්දි අපි හිටියේ මහත්තයගෙ මහගෙදර පිහිටි මාතලේ. සති තුනක් ලංකාවේ ඉඳලා අපි මෙහෙට ආවේ මේ සතුටු කාරණයත් එක්කමයි.”
ලොව ප්‍රකට විද්‍යාඥයින් වන අයින්ස්ටයින් සහ හොකින්ස්ගේ බුද්ධි මට්ටම 160ක් ලෙස ගණනය කොට ඇත. ඒ අනුව අරියානාගේ බුද්ධි මට්ටම එම විද්‍යාඥයින්ගේද බුද්ධි මට්ටම අභිබවා යන්නක් බව බ්‍රිතාන්‍ය මාධ්‍ය ඉහළින් වාර්තා කර තිබිණි.
“දුව විද්‍යාවටත්, ගණිතයටත් ගොඩක් දක්ෂයි. ඉංග්‍රීසි භාෂාව වගේම සිංහල භාෂාව හොඳට කතා කරන්න, පොත්පත් කියවන්න ඇයට හැකියි. ඒ වගේම ඇය පාසලේදී වුවත් මුහුණදෙනු ලබන සියලු පරීක්ෂණවලදී උපරිම ලකුණු ප්‍රමාණයක් ගන්නවා. ඇය කාලය හරහා ගමන් කිරීම ගැන නිතර කියනවා. හැබැයි මේ මොන දේ ගැන කිව්වත්, ලෝකයම එයා ගැන කතා කළත්. එයා බොහොම සාමාන්‍ය විදියට තමයි ඒවා විඳගන්නේ. හරිම සරල ගතිපැවතුම් ඇයට තියෙන්නේ.”
අරියානාට බොහෝ සංවේදී හිතක් ඇති බවද මේකලා කියන්නීය. ඒ සංවේදීකම මතුවන එක් ස්ථානයක් නම්, තමන් ඉගෙනුම ලබන කතෝලික පාසල මගින් බලාකියාගන්නා වැඩිහිටි නිවස්නයයි. එහි බොහෝ වැඩිහිටියන් සැඳෑ සමය ගත කරන්නේ තනිවය. එබැවින් මෙම පාසලේ දරුවන් මෙම වැඩිහිටියන් හා මිතුරුව ඔවුන්ගේ හුදෙකලාව නැති කිරීම වෙනුවෙන් ඔවුන්ව හමුවන්නට ගොස් කතාබහ කිරීම සිදුවේ. එපමණක්ද නොවේ. නත්තල වැනි විශේෂ අවස්ථාවලදී සුබපැතුම්පත් සාදා ඔවුන්ට සුභාශිංසන පිරිනැමීමටද, ආදරය ප්‍රකාශ කිරීමටද අරියානා මිතුරු මිතුරියන් සමඟ එක්ව දැනටමත් කටයුතු කරන්නීය.
“පුංචි කාලෙම එයා ඒ වගේ සමාජ සත්කාර කටයුතුවලට සහභාගී වෙනවා. සමාජය ගැන එවැනි සංවේදීකමක් දරුවෙකුට අවශ්‍යයි. නැණගුණ යන දෙකෙන්ම දරුවෙක් පෝෂණය වෙන්න ඕන කුඩා කාලෙදි. ඒ වගේම ඇය පාසලේ බාලදක්ෂ කණ්ඩායමේ, සංගීත කණ්ඩායමේ වගේම පිහිනුම් ක්‍රීඩාවටත් යොමුව ඉන්නවා.”
මේකලා කියන්නීය. ඔවුන් බ්‍රිතාන්‍යයට එන්නේ 2009 වසරේදීයි. අරියානාගේ පියා ජානක හේවගේයි. ඔහු බ්‍රිතාන්‍ය සමාගමක ව්‍යාපෘති කළමනාකාරවරයෙකු ලෙස සේවය කරන අතර, බැංගලෝර් විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණය පිළිබඳව උපාධිධාරියෙකි. මේකලා කැලණිය විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර අධ්‍යයනය පිළිබඳව උපාධිධාරිනියකි. අරියානාට සය හැවිරිදි නැගණියකද වෙයි. ඇයත් ඉගෙනුම් දක්ෂතා පෙන්නුම් කරන දැරියකි. මේකලා කියන්නේ, සෑම දරුවෙකුටම හැකියාවන් ඇති බවයි. එය දෙමාපියන් කලින් හඳුනාගත යුතු බවද ඇය කියන්නීය. අනතුරුව එය දියුණු කරගැනීමට පසෙක සිට මගපෙන්වීම කළ යුතු බවද කියන්නීය.
“අම්මට තාත්තට ඉටු කරගන්න බැරිවුණු හීන දරුවා මතින් ඉටු කරගන්න එයාලව බලහත්කාරයෙන් අකමැති දේකට තල්ලු කරන්න එපා. ඒත් දරුවා දක්ෂ මොන දේටද කියනෙක හඳුනාගෙන ඒ දක්ෂතා ඔපමට්ටම් කරවන්න උදව් දෙන්න ඕන. අපි අරියානාට ඒ මගපෙන්වීම කළා. එයා ඒකේ ප්‍රතිඵලය නෙළා ගනිමින් ඉන්නේ.”
ඇය කියන්නේ සතුටෙනි. අනාගත අයින්ස්ටයින්ලා බිහි කරන්නටත් ලෝකය වෙනුවෙන් අලුත් අලුත් දේ සොයා යන්නටත් දරුවන්ට මාවත් තනන්නේ මාපියන්ගේ තරවටු හෝ බලකිරීම් නොව සොඳුරු මඟපෙන්වීම් බවනම් ඇගේ කතාවෙන් පැහැදිලිය.
දීපා වසන්ති එදිරිසිංහ