Uncategorized

මම සුද්දියෙක්ගේ පුතෙක් හැබැයි උඹලා සුද්දා ඉස්සරහා කොන්ද කෙළින් තියාගෙන සිංහල කතා කරපල්ලා

භාෂාව ගැන කතා කරනකොට අපිට මුලින්ම මතක් වෙන්නේ මුනිදාස කුමාරතුංග ශූරින්. හෙළබසට ඔහු තරම් පෙම් කරපු වෙන කෙනෙක් ගැන අදටත් අහන්න දකින්න නැතිතරම්. එතුමාගේ පියා ඒ කාලේ හිටපු දක්ෂ වෛද්‍යවරයෙක්. ඉතින් මේ දොස්තර තාත්තා දවසක් තමන්ගේ පුතා වුණ මුනිදාස කුමාරතුංගට මෙන්න මෙහෙම කතාවක් කියනවා.

පුතේ මම දොස්තර වුණා කියල උඹටත් දොස්තර මහත්තයෙක්ම වෙන්න කියලා කවදාවත් බල කරන්නෙ නෑ. හැබැයි බැරිවෙලාවත් උඹදොස්තර මහත්තයෙක් වුණොත් මෙන්න මේ ටික හොඳට හිතට ගනින්.

මේ දොස්තරකම ගැන වැඩිහරියක්ම පොතපත ලියැවිලා තියෙන්නෙ සුද්දගේ භාෂාවෙන් නිසා දොස්තරකම ඉගෙනගන්න අපිට ඒ භාෂාව ඉගෙනගන්නම සිද්ධවෙනවා. ඒත් පුතේ කවදාහරි බෙහෙත් දීලා සාත්තු කරන්න ඕනෙ සුද්දන්ට නෙවෙයි මේ රටේ ඉන්න අහිංසක හෙළයන්ට. අන්න ඒ නිසා ඉංගිරීසියෙන් ඉගෙනගත්තට මේ හෙළ භාෂාව ​හොඳට ප්‍රගුණ කරලා මේ භාෂාවේ නායකයා වෙයන්. අයිතිකාරයා වෙයන්. කවි ලියපන්. ඇතිතරම් සාහිත්‍ය පොත් ලියපන් කියලා.

මුනිදාස කුමාරතුංගයන් වෛද්‍යවරයෙකු නොවී දෛවෝපගත ලෙස කලාකරුවෙකු සහ ගුරුවරයෙකු වුණත් එදා ඒ දොස්තර තාත්තා දීපු අවවාදය අදටත් කොච්චර වටිනවද?

ඔය වගේම තවත් කෙනෙක් තමයි ආනන්ද කුමාරස්වාමි කියන්නේ. ඔහුගේ පියා යාපනේ මනිපායි නගරේ ඉපදුණ දෙමළ ජාතිකයෙක්. හැබැයි අම්මා ලන්ඩන්වල සුදු ජාතික කාන්තාවක්. මොකක්දෝ අවාසනාවකට ආනන්ද කුමාරස්වාමිගේ පියා අකාලයේ මියයනවා. එතැනින් පස්සේ මව ඔහුත් සමඟ නැවතත් ලන්ඩන්වලට යනවා. එදා ඉඳන් ලන්ඩන් නුවර ජාත්‍යන්තර පාසලකින් අධ්‍යාපනය ලබන ආනන්ද කුමාරස්වාමි භූගර්භ විද්‍යාව ගැන ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් උපාධිය පවා ලබාගන්නවා. ඒත් ඔහු එතැනින් පස්සේ ආපහු සැරයක් ලන්ඩන් නුවර දාලා ලංකාවට එනවා. ඇවිල්ලා හෙළ භාෂාව ගැන, උඩරට කලා ශිල්ප ගැන හදාරලා ‘මධ්‍යකාලීන සිංහල කලා’ කියලා කෘතියකුත් ලියනවා. එදා ඒ පොත ප්‍රදර්ශනය කරද්දි ආනන්ද කුමාරස්වාමි මෙන්න මෙහෙම කතාවක් කියනවා.

මම සුද්දියෙක්ගේ පුතෙක්. ඒත් මම බය නැතුව කියනවා උඹලා සුද්දා ඉස්සරහා කොන්ද කෙළින් තියාගෙන ලැජ්ජා නොවී සිංහල කතා කරපල්ලා. උඹලට දවසක ලෝකෙත් එක්ක ඉස්සරහට යන්න ඉංග්‍රීසි උවමනා වෙයි. ඒත් එතැනින් එහාට උඹලා ​මේ හෙළ භාෂාව වෙනම රැකගනිල්ලා. මොකද සිංහල කතා කිරීම ලැජ්ජාවට කාරණාවක්වත්, ඉංග්‍රීසි පුළුවන්වීම හිස උදුම්මවා ගන්නට කාරණාවක්වත් නොවන නිසා.”

හම්බන්තොට ඉඳලා රාගම වෛද්‍ය පීඨයට තේරිලා ආපු දුවෙක් පහුගිය දවසක වෛද්‍ය උපාධිය දමලා ගහලා ආපහු ගමට යන්න උත්සාහ කරපු සිද්ධියක් ගැන ළඟම හිතවතෙක් කියපු නිසයි මේ ලිපිය අපි ලියන්න හිතුවේ. ඒකට හේතුව වෙලා තිබුණේ වෛද්‍ය පීඨයේ සියලු ඉගැන්වීම් කටයුතු ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් සිදුකිරීමත් ඒ දුවට ඒ කිසිම දෙයක් තේරුම් බේරුම් කරගන්න නොහැකිවීමත්.

වරද තියෙන්නේ ඉංග්‍රීසි භාෂාවේද නැතිනම් සිංහල පරයා ඉංග්‍රීසි නැගී සිටීමෙහිද? ඒ ගැන මහාචාර්ය අත්තනායක එම්.හේරත් මහතා සමඟයි මේ සංවාදය.

මම දන්න කියන දොස්තර මහත්තයෙකුට මූණදෙන්න වුණ අමතක නොවන සිදුවීමක් කියලම පටන්ගන්නම්. අවුරුදු ගාණක් පිටරටක ඉඳලා වෛද්‍ය උපාධිය අරන් ලංකාවට ආපු මේ දොස්තර මහත්තයාට මුල්ම පත්වීම ලැබුණේ ටිකක් දුෂ්කර පළාතකට. දවසක් ඔහු රෝගීන් පරීක්ෂා කරමින් ඉන්නකොට එක රෝගියෙක් ඉතාමත් අමාරුවෙන් ඔහු ළඟට ඇවිල්ලා අනේ දොස්තර මහත්තයෝ මගේ කැවුත්ත රිදෙනවා කියලා කිව්වා. සිංහල භාෂාවෙන් කැවුත්ත කියලා කියන්නෙ පපුවට කියලා දැනගෙන හිටපු නැති ඒ දොස්තර මහත්තයා ඒ වෙලාවේ ගොඩක් අසරණ වෙලා තිබුණා.

මේ කතාවේ මුලින්ම සඳහන් කරලා තියෙනවා වගේ එදා මුනිදාස කුමාරතුංගයන්ගේ පියා කිව්වෙත් පුතේ උඹට නිකමටවත් ඉංග්‍රීසියෙන් දොස්තර විභාගෙ ලියන්න වුණොත් බෙහෙත් දෙන්න ඕන සිංහලයාට කියලා හොඳට මතක තියාගනින් කියලනේ. ඉතින් දැන් මං කියපු මේ උදාහරණෙත් එක්ක එදා එතුමා කියපු කතාව ඇත්තක් කියලා සහසුද්දෙන්ම ආපහු සැරයක් ඔප්පු වෙනවනේ.

හැබැයි කවුරුහරි කෙනෙක් ඇහුවොත් වෛද්‍යවරයෙක් වෙන්න ඉංග්‍රීසි භාෂාව අත්‍යවශ්‍යද කියලා මට කියන්න තියෙන්නෙත් මුනිදාස කුමාරතුංග මහත්තයගේ තාත්තා කියපු කතාවම තමයි. වෛද්‍ය විද්‍යාව ගැන පොතපත ලියැවිලා තියෙන්නේ, එදා වගේම අදත් පර්යේෂණ සිද්ධවෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. ඒ නිසා වෛද්‍ය විද්‍යාව වැනි විෂයක් අපිට කවදාවත් සිංහලෙන් උගන්වන්න බෑ. හැබැයි කෙනෙක්ට තර්ක කරන්න පුළුවන් චීනෙට, රුසියාවට පුළුවන්නම් අපිට බැරි ඇයි කියලා. චීනය වගේ රටවල් කලින් දුප්පත් වෙලා හිටියට පස්සෙ පොහොසත් වුණ නිසා චීනයට පුළුවන් වුණා ඉංග්‍රීසියෙන් තියෙන පොත් ටික සේරම චීන භාෂාවට පෙරළන්න. රුසියාව, ජපානය වගේම ඉන්දියාවත් ඒක කළා. නමුත් අපි අදටත් අහිංසක දුප්පත් රටක් නිසා අපිට කවදාවත් වෛද්‍ය විද්‍යාවට අදාළ සියල්ල සිංහලයට පරිවර්තනය කරන්න බෑ. ඒ නිසා වෛද්‍යවරු වෙන්න විතරක් නෙවෙයි වෙන ඕනෑම ක්ෂේත්‍රයකින් ඉදිරියට යන්න හිතාගෙන ඉන්න අපේ දරුවෝ පොඩි කාලේ ඉඳලම ඉංග්‍රීසි භාෂාව ඉගෙනගන්න උනන්දු වෙන්න ඕන කියලයි මම කියන්නේ. කාලේ මුනිදාස කුමාරතුංගයන් පියා වගේ අය නම් තර්ක කළේ වෛද්‍ය විද්‍යාව වගේම ඉංජිනේරු විද්‍යාව වගේ විෂයනුත් සිංහල භාෂාවෙන් උගන්නන්න පුළුවන් කියලා. වෙනුවට ඔවුන් අලුත් වචන පවා සිංහල භාෂාවට අලුතෙන් එකතු කළා. ඇත්තටම එදා ඔවුන්ගේ තර්කයේ කිසි වරදක් නෑ. ඒත් අවාසනාවකට අපේ රට වේගයෙන් දුප්පත් වුණ නිසා ඒ අනුසාරයෙන් අපේ භාෂාවත් දුප්පත් වීම තමයි මේ හැම අහේනියකටම හේතුව.”

නමුත් හෙළබස නැතිවීමට නොදී වෙනම ආරක්ෂා කරගත යුතු බවයි මහාචාර්යවරයා පවසන්නේ.

නිදහස ලැබුණට පස්සෙ හෙළබස අවදි කරන්න ලොකු රැල්ලක් තිබුණා. ඒත් ඒ උත්සාහය සාර්ථක වුණේ නෑ. නමුත් 2024, 2025 වගේ කාලේ වෙනකොට අපේ ඉගැන්වීමේ භාෂාව නැවත ඉංග්‍රීසි වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. දැනටමත් ඒකට වියදම් කරලා පාසල්වල ඉංග්‍රීසි භාෂාවෙන් ​ඉගැන්වීමට වෑයමක් දරනවා. ඒකට කමක් නෑ. අපි කවුරුත් ඒකට විරුද්ධ වෙන්න ඕන නෑ.

හැබැයි එදා ආනන්ද කුමාරස්වාමි මහත්තයා කිව්වා වගේ සිංහලෙන් කතා කිරීම ලැජ්ජාවට කාරණාවක්වත්, ඉංග්‍රීසි පුළුවන්කම ඔලුව උදුම්මවාගන්න හේතුවකුත් නෙවෙයි කියලා මමත් කියනවා. අන්න ඒ විදියට හිතුවම තමයි අපේ කතාවේ කතානායිකාව වුණ වෛද්‍ය සිසුවියට වගේ දරාගන්න බැරි අසරණකමක්, ලැජ්ජාවක් හිතට ඇවිල්ලා ජීවිතේ අභියෝගවලින් පැනලා යන්න හිතෙන්නේ.

ඕකටත් මම හොඳ උදාහරණයක් කියන්නම්. ඒ කාලේ රොබට් නොක්ස් මහත්තයාව මහනුවර උඩුදුම්බර හිර කරලා ඉන්නකොට එතුමා ගැමියන්නේ කවි ගායනා, දරු නැලවිලි ගීත පවා අහගෙන ඉඳලා තියෙනවා. ඒ නිසා ඔහු සිංහල භාෂාවට කොච්චර ආදරය කළාද කියනවානම් එක්තරා තැනකදි රොබට් නොක්ස් කියනවා, හෙළයනි ඔබලාගේ හෙළ භාෂාව තමයි ලෝකේ මම දැකපු ලස්සනම භාෂාව කියලා. ඒ තරම් සුන්දරව අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් භාෂාවක් මේ ලෝකේ කොහෙවත් මට අහන්න දකින්න ලැබිලා නෑ කියලා. ඔවුන් එදා එහෙම කිව්වනම් උපතින්ම සිහල ලේ වලට උරුමකම් කියන අපිට සිංහලෙන් කතා කරන එක ලැජ්ජාවක් වෙන්නේ කොහොමද? මං මහාචාර්යවරයෙක් විදියට ඉගෙනගන්න දරුවන්ට දෙන එකම අවවාදය මෙන්න මේකයි. මගේ ආදරණීය දුවේ පුතේ, ඉංග්‍රීසි කියන්නේ උඹලට ලෝකය දිනන්න අත්‍යවශ්‍ය දෙයක්. හැබැයි ඒකෙන් කියන්නෙ නෑ ඉංග්‍රීසි බැරිනම් සමාජයට එන්නෙ නැතුව කොන්වෙලා සියල්ලම අතෑරලා ගිහින් හැංගෙන්න ඕන කියලා. ඉංග්‍රීසි බැරිනම් වැරදි වැරදි හරි ඒ භාෂාව ඉගෙනගන්න උත්සාහ ගනිල්ලා. හැබැයි ඒ විදියට ඉගෙනගත්ත ඉංගිරීසියෙන් මේ රට ඇතුළේ උඹලට වැඩක් ගන්නනම් උඹලා ඊටත් වඩා හොඳට සිංහල ඉගෙනගනිල්ලා.”

ලිහිණි මධුෂිකා