විශේෂාංග

ආර්ථික ප්‍රශ්නවලින් ගැලවෙන්න බැරිනම් ඇලවෙන ගම් එකක් හදන්න

හිතේ හයියෙන් ජීවිතය දිනන්න කැමති කොයිකාටත් අතහිත දෙන්න ධරණී හැමදාමත් කැමතියි. නිකරුණේ ගෙවිලා යන කාලය තමන්ගේම කියලා ස්වයං රැකියාවක් වෙනුවෙන් යොදවන්න කැමති කාන්තාවන්ට හොඳ ඉල්ලුමක් තියෙන විවිධ දෑ පියවරෙන් පියවර ගෙදරදිම හදාගන්න හැටි කියලා දෙන්න අපි හිතුවේ ඒකයි. කඩදාසි, මැටි, රෙදි, විවිධ ආහාර, සබන් ඇතුළු විවිධ දේ නිර්මාණය කරන විදිය ගැන සහ ඒවා වෙළඳපොළ වෙත යොමු කරන ආකාරය ගැන මේ ලිපි මාලාව හරහා ඔබව දැනුවත් කරනවා.

සරුංගල්, වෙසක් කූඩු අලවන්න අපි පොඩි කාලේ පාවිච්චි කළේ පාප්ප. පාප්ප ගාලා ඇලෙව්වහම පොත් කොළවලින් අමුතු පුසුඹක් එනව කියලයි අත්තම්මලා නම් කිව්වේ. ඒ නිසා පොත් කොළයක්, ලියුම් කවරයක් අලවගන්න ඒ අය පාවිච්චි කළේ ගස් ලාටු. කජු, දිවුල් වගේ ගස්වලින් හොඳට ලාටු ගන්න පුළුවන්.

ලාටු කිව්වම බුදුහාමුදුරුවෝ සැවැත්නුවර ජේතවනාරාමේ භික්ෂූන්  වහන්සේලාට කරපු දේශනාවක් මතක් වුණා. ඔන්න හිමාල කන්ද මැද්දේ වඳුරෝ පිරිච්චි පුංචි කැලයක් තිබ්බලු. ඔය කැලේ යාබද වැදි ගම්මානයක් තිබුණා. ඒ කැලේ හිටි වඳුරන්ව දඩයම් කරලා තමයි මේ උදවිය ජීවත් වුණේ. මේ අය වඳුරන්ව දඩයම් කළේ අමුතු උපක්‍රමේකට. ගස්වල තියෙන ලාටු එකතු කරලා වඳුරෝ වැඩිපුර ගැවසෙන තැන්වලට ගාන එක තමා ඒ ක්‍රමේ.

ඔය කැලේ වඳුරෝ වර්ග දෙකක් හිටියා. එකක් තමයි ‘අබාලා අලෝලා’. අබාලා කියන්නේ බුද්ධිමත් කියන එකට. අලෝලා කියන්නේ දකින දකින දේට ආශා නොකරන ස්වභාවයට. අනිත් වර්ගය ‘බාලා ලෝලා’. මේ අය මෝඩයි. දකින දකින දේට ආසවෙලා අල්ලන්න යනවා.

ඔයින් පළමු වර්ගය අර වැද්දන් ගාපු ලාටු දැක්කහම ඒ තැන මඟඇරලා යනවලු. හැබැයි අර ‘බාලා ලෝලා’ කට්ටිය ලාටු දැකලා ඒවට ආසාවෙලා වැද්දන්ගේ ගොදුරු වෙනවලු. දකින දකින දේට ඇලෙන්න යන එක විනාශයට මුල කියන එකයි බුදුහාමුදුරුවෝ ඔය කතාවෙන් පැහැදිලි කළේ.

තන්හාවෙන් ඇලෙන එක වගේම ගම් ගාලා අලෝන එක ගැනත් ඉතිහාසේ ඉඳලම එක එක කතා තියෙනවා.

ගම් භාවිතය ගැන පරණම සාක්ෂිය හම්බුවෙන්නේ ප්‍රංශයේ ලැස්කෝස් ගුහාවෙන්. ඔය ගුහාවේ ඇඳලා තියෙන චිත්‍ර කල්පවත්වාගන්න ඒවට බර්ච් කියන ගස්වල ගම් එකතු කරලා තියෙනවලු. කැලණි විහාරස්ථානේ නව චිත්‍ර නිර්මාණය කරපු දක්ෂ සිත්තරා  සෝලියස් මැන්දිස් මහත්තයාත් එතුමගේ චිත්‍ර සායම් මිශ්‍රණයට කජු මැලියම් එකතු කළාලුනේ.

ක්‍රි.පූ. 4000 කට කලින් ජීවත්වෙච්චි මිනිස්සුත් කැඩිච්චි, බිඳිච්චි මැටි භාජන, පැපිරස් පත්‍ර එකට බැඳගන්න මැලියම් භාවිතා කරලා තියෙනවා. ඒ වගේම ප්‍රාග් ඓතිහාසික දවස්වල ගල් ඊතල, ගල් පිහියා කෑලි ලීවලට අටවන්න භාවිතා කළෙත් මැලියම් වර්ගලු.

වාණිජ වශයෙන් ගම් හදන්න පටන් අරන් තියෙන්නෙ ඕලන්ද ජාතිකයෝ. උන්දැලා තමයි අපේ රටටත්  සැකසූ ගම් අරගෙන ඇවිත් තියෙන්නේ. යූරෝපීය රටවල දැන් මේ ගම් නිෂ්පාදනය බරටම සිද්ධවෙනවා. ගම් නිෂ්පාදනයෙන් විතරක් ඇමරිකාව වාර්ෂිකව ඩොලර් බිලියන 11කට වඩා උපයනවලු.

පාසල් යන පුංචි දරුවන්ට, කාර්යාල භාවිතයට විතරක් නෙමෙයි ගෙවල්වල අවශ්‍යතා වෙනුවෙනුත් ගම් පාවිච්චි කරනවනේ. ඉතින් ස්වයං රැකියාවක් විදියට පටන්ගන්න මේක හොඳ බිස්නස් එකක්. ඒ නිසා අද බලමු ගම් හදන හැටි.

බයින්ඩර් ගම් වගේම බයින්ඩින් ගම් හදන හැටිත් අද අපි කියලා දෙනවා. මුලින්ම අපි බයින්ඩර් ගම් හදමු. ගම් කිලෝ එකක් හදන්න PVA (පොලිවයනිල් ඇසිටේට්) 100g, මද රස්නේ වතුර 900g (බර අනුව ග්‍රෑම්වලින් ගන්න), බෝරික් ඇසිඩ් (කල්තබාගැනීමට), කිරිගම් (කෙමිෆික්ස් වර්ගයක්), ටයිටේනියම් ඩයොක්සයිඩ් 1gක් (මෙයින් කිරිගම් සහ PVA හොඳින් මිශ්‍ර වේ) වගේම මිශ්‍රණය හදාගන්න ප්ලාස්ටික් බඳුනකුත් ඕනේ වෙනවා.

 

පියවර 1

PVA වලට වතුර ටික ටික දාන ගමන් කැට ගතිය නැතිවෙනකල් දිය කරන්න. මේක පැය 24ක් හොඳට වහලා තියන්න. පැය 24කට පස්සේ ජෙලි වගේ ද්‍රව්‍යයක් දැකගන්න ලැබෙයි.

 

පියවර 2

පස්සේ මේක ඩබල් බොයිල් ක්‍රමේට දියකරගන්න (උෂ්ණත්වය 60c °- 70c°). ක්‍රමයෙන් මේක අවර්ණ පැහැදිලි උකු දියරයක් වුණාට පස්සේ ලිපෙන් බාගන්න. උණුවතුර ටිකේ ටයිටේනියම් ටික දිය කරගන්න. ඊටපස්සේ අර දියකරගත්තු මිශ්‍රණේට බෝරික් ඇසිඩ්, කිරිගම් සහ දියකරගත්තු ටයිටේනියම් ටික එකතු කරලා නිවුණට පස්සේ බෝතල් කරන්න. ගම් එක උකු වැඩි නම් තව උණුවතුර එකතු කරලා පදමට හදාගන්න.

 

බයින්ඩින් ගම්

කිරිගම් එකතු නොකර කලින් විදියටම ගම් එක හදාගන්න. කිරිගම් එකතු නොකරන එකයි බයින්ඩින් ගම්වල තියෙන වෙනස. අවශ්‍ය නම් බයින්ඩින් ගම්වලට වර්ණක යොදන්න පුළුවන්. ටූත්පික් තුඩක ප්‍රමාණයෙන් වර්ණක යොදන්න. පිටකොටුව බංගසාල වීදියෙන් ගම් හදන්න ඕන කරන බඩු අඩු මිලට ගන්න පුළුවන්.

 

බයින්ඩර් ගම් 200g රුපියල් 300ක වගේ මිලකටත් බයින්ඩින් ගම් 200g රුපියල් 200 වගේ මිලකටත් අලෙවි කරන්න පුළුවන්. 0714766819 අංකයෙන් තවත් විස්තර දැනගන්න.

 

සෙව්වන්දි හෙට්ටිආරච්චි