විශේෂාංග

කමකට නැති සැමියෙක්ට වුණත් හොඳ තාත්තා කෙනෙක් වෙන්න බැරි නෑ

මේ වනවිට විසිහතර හැවිරිදි වියේ පසුවන තිළිණි, මහරගම ප්‍රදේශයේ නමගිය නිමිඇඳුම් ව්‍යාපාරයක් හිමි රංගගේත්, ප්‍රියංගිගේත් එකම දියණියයි. පාසල් අධ්‍යාපනය නිම කරනවාත් සමඟ තිළිණිවත් ව්‍යාපාර වැඩවලට හවුල් කරගැනීමට රංග තීරණය කළේ මතුදිනෙක මේ ව්‍යාපාරයේ උරුමක්කාරිය ඇය නිසාය. තිළිණි ද ඒ කටයුතුවලට ඉතා කැමැත්තෙන් සම්බන්ධ වූ අතර ඉඩක් ලැබෙන හැම මොහොතකම පියාට සහාය වෙමින් ඔහුගෙන් ව්‍යාපාර සම්බන්ධ දැනුම ලබාගැනීමටත්, ව්‍යාපාරයේ සේවකයන් සමඟ මෙන්ම ගනුදෙනුකරුවන් සමඟද කතාබහ කරමින් හිතවත්කම් ගොඩනගාගැනීමටත් කටයුතු කළාය.

තිළිණිගේ ජීවිතයට රජීව්ගේ හෙවණැල්ල වැටෙන්නට පටන්ගත්තේ මේ අතරතුරය. ඔවුන්ගේම නිමිඇඳුම් ප්‍රදර්ශනාගාරයක සුළු සේවකයෙකු වූ රජීව්ට තිබුණේ වරක් බැලූ පසු තවත් වරක් බලන්නට හිතෙන තරමේ කඩවසම් පෙනුමකි. මුල් කාලයේ අත්‍යවශ්‍යම රාජකාරියකදී පමණක් ඔහු සමඟ කතාබහ කරන්නට තිළිණි වගබලා ගත්තත් ගොනා හැරෙන්නේ පොල් පැළය කන්නට බව ඇය දැනසිටියේ නැත. ඒ නිසා තරුණියන්ගේ හිත් දිනාගැනීමේ හොඳ පළපුරුදුකරුවෙකු වූ රජීව්ට තිළිණිගේ හිතවත්කම ආදරයකට පෙරළා ගැනීම මහකජ්ජක් වුණේ නැත. ඇය උරුමක්කාරයා යැයි සිතා සිටින රජීව් කරුමක්කාරයෙකු බව ප්‍රියංගිත්, රංගත් කෙතරම් කීවද තිළිණි ඒවා කණකට නොගත්තාය.

දෙමාපියන්ගේ විරසකයත් සමඟින් තිළිණිව තව තවත් ඔහු දෙසට නැඹුරු කරගැනීමට රජීව් දක්ෂ විය. එහි අවසාන ප්‍රතිඵලය වූයේ තිළිණි හොර රහසේම නිවසින් පිටව ගොස් රජීව් සමඟ විවාහවීමයි. විවාහයට පසු ටික කලකින්ම තිළිණි දරුවෙකු ප්‍රසූත කළේත් රජීව්ගේ වැඩි කැමැත්තටය. ඔහු සිතුවේ දරුවා දුටු පසු විරසකකම් දුරු වී නැන්දම්මා සහ මාමණ්ඩි සියලු දේපළ පවරාදෙනු ඇතැයි කියාය.

නමුත් අවුරුද්දක් හමාරක් යනතුරු මවාගත් පෙම්වතාගේ චරිතයට පණදුන් රජීව්ට තවදුරටත් ඒ රංගනයේ යෙදෙන්නට බැරි විය. දෙමාපියන් කී ලෙසට රජීව් තවත් කාන්තාවන් ඇසුරු කරන බව තිළිණිට සාක්කි ඇතුවම ඔප්පු විය. ගැහැනියකගේ ඉවසීම හැමදාම එකම තැන රැඳෙන්නේ නැත. නිසැකවම පුපුරා යන මොහොතක් එන්නේය. ඒ විදියටම තිළිණිගේ ඉවසීමද පුපුරා යන දවසක් ආවේය. දරුවන් මොන වරද කළත් අවසානයේ පිහිටට ඉන්නේ දෙමාපියන්ය. පසුව රජීව් නැති වෙලාවක් බලා නිවසින් පැනගත් තිළිණි නිවසට ගොස් සිදුවූ සියල්ල දෙමාපියන්ට කීවේ ඒ වනවිට ඉතිරිව තිබූ එකම පිළිසරණ එය නිසාවෙනි.

පසුව ප්‍රියංගීත් රංගත් මුලින්ම කළේ තිළිණිව රජීව්ගෙන් දික්කසාද කර දරුවාගේ අයිතිය ලබාගැනීමට නීතිමය පියවර ගැනීමය. දික්කසාදයෙන් පසුව දරුවාගේ භාරකාරත්වය තිළිණිට හිමිවූ අතර මසකට එක්වරක් පමණක් දරුවා බැලීමට රජීව්ට අවසර හිමිවිය.

එහෙත් අතරමැද දිනක යෙදි තිබුණු දරුවාගේ හයවැනි උපන්දිනයට තිළිණිලාගේ ගෙදර ගිය රජීව් කියාසිටියේ තමන්ට දරුවා සමඟ කතා කිරීමට අවශ්‍ය බවයි. එහෙත් රංග එයට තදින්ම විරුද්ධ වූ නිසා රජීව් හා රංග අතර ඇතිවූ වචන හුවමාරුව ගුටිකෙළියක් දක්වා දුරදිග යාමට ගතවූයේ සුළු වේලාවකි. රණ්ඩුව අතරතුර රජීව් විසින් රංගගේ ඇඟිල්ලක් සපාකෑමෙන් ඇඟිල්ලේ කොටසක් ගැලවී බිමට වැටිණි. රංග වේදනාවෙන් කෑ ගසමින් සිටි අතර ලේ විලකි. පසුව අහල පහල උදවියගේත් සහාය ඇතිව රංග රෝහල්ගත කළ අතර ඔහුව සැත්කමකට පවා භාජනය කිරීමට සිදුවිය. උපන්දිනයට දරුවා බැලීමට පැමිණි රජීව්ට සිදුවූයේ දින දාහතරකට හිරේ තපින්නටය.

නමුත් දෙමාපියන් අතර නිරන්තරයෙන්ම ඇතිවන කළකෝලාහාල රණ්ඩුසරුවල් නිසා දරුවා දිනෙන් දිනම කායිකව මෙන්ම මානසිකව දුර්වල විය. ගුටිකෙළි අතුරතුර ලේ දැකීමෙන් බියට පත්ව සිටි දරුවාද නැවත යථා තත්ත්වයට ගැනීම එතරම් පහසු වූයේ නැත. කළ යුත්තේ කුමක්දැයි සිතමින් සිටි තිළිණි දරුවාව පෞද්ගලික උපදේශන සායනයකට යොමු කිරීමට කටයුතු කළාය. එතැන් සිට සිදුවූ දේ ගැන උපදේශන මනෝ විද්‍යාඥ භාග්‍යා අබේසිංහ මෙසේ කියා සිටියාය.

මේ දරුවා මගේ ළඟට එනකොට වැඩි කතාබහක් තිබුණේ නෑ. ඒ කොච්චරද කියනවානම් මූණ බලලා කතා කළෙත් හරිම බයෙන්. දරුවා කතා කළ වචන කිහිපයේ වුණත් වැඩිපුර තිබුණේ ආච්චි, සීයා ගැන. අම්මා සහ තාත්තා දෙන්නම ගැන එතරම් උනන්දුවක් දරුවට තිබුණේ නෑ.ගොඩක් දෙමව්පියෝ, දෙන්නා දෙමහල්ලෝ නීතියෙන් වෙන්වෙලත් දරුවෝ දෙපැත්තට කරගන්න ගහමරාගන්න එක නිතර දකින්න ලැබෙන දෙයක්. මම කියන්නේ යම්කිසි පිරිමියෙක් හොඳ සැමියෙක් නොවුණට ඔහු හොඳ පියෙක් වෙන්න පුළුවන්. තවත් කාන්තාවකට හොඳ බිරිඳක් වෙන්න බැරි වුණත් ඇය හොඳ අම්මෙක් වෙන්න පුළුවන්. ඒ නිසා මට මෙතැනදි වි‍ශේෂයෙන් දරුවො ඉන්න දෙමාපියන්ට කියන්න තියෙන්නේ දෙමාපියන්ගේ ප්‍රශ්නවලට දරුවෝ පළි නෑ වගේම ඒවට දරුවෝ මැදිහත් කරගෙන අන්තිමට ඔවුන්වත් කායික සහ මානසික රෝගීන් බවට පත් කරන්න එපා කියන එක. අනිත් එක තමයි දරුවන්ගේ පුංචි කාලෙදි එහෙම ප්‍රචණ්ඩ විදියට හැසිරිලා පස්සේ කාලෙක දරුවන්ගේ ආදරය, කරුණාව බලාපොරොත්තු වෙනවනම් ඒක කවදාවත් ලැබෙන්නේ නෑ.”

ලිහිණි මධුෂිකා