කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුංචිම කෙල්ලට A 9 යි
“එක පාරක් අම්මා මට ක්‍රිකට් අතඅරින්න කිව්වා. ක්‍රිකට් නිසා මට ඉගෙනගන්න බැරිවෙයි කියලයි අම්මා හිතුවේ.”
දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ඉදිරිපෙළ පිතිකාරියක් වෙච්චි ලෝරා වොල්වර්ඩ් මාධ්‍යට කියපු කතාවක්.
ලෝරා ක්‍රිකට්වලට යනවට ලෝරාගේ අම්මා බයවුණාලු. ක්‍රිකට් ගහන්න නැත්තම් ක්‍රීඩා කරන්න ගියාම ළමයින්ට පොතපතේ වැඩ කරගන්න වෙලාවක් නැතිවෙයි කියලනේ ගොඩක් දෙමව්පියෝ හිතන්නේ. හැබැයි ඒ කතාව බොරු කියලා ලෝරා ඔප්පු කළා.
ක්‍රිකට් ගහපු නැති පාඩම් කරන්න වෙලාව ඕනාවටත් වඩා තිබුණු ළමයි සේරම පරාද කරලා 2017දී ලෝරා විශ්වවිද්‍යාලයේ වැඩිම ලකුණු එක්ක උපාධිය ගන්නවා. දැන් ඇය වෛද්‍ය ශිෂ්‍යාවක්.
ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කියන කතාව බොරු කරපු ලෝරා වගේ විශේෂ අය කොච්චර මේ ලෝකේ ඉන්නවද. උත්සාහය, කැපවීම තියෙනවා නම් ඕනම දෙයක් කරන්න පුළුවන් කියන එක විතරයි ඒ අය විශ්වාස කරන්නේ.
ඔය කතාව බොරු කියලා ඔප්පු කරපු ලෝරා වගේම විශේෂ කෙනෙක් එක්ක කතා කරන්න අපිටත් පුළුවන් වුණා. ඇය විශ්මි ගුණරත්න. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරපු ළාබාලතම ක්‍රිකට් ක්‍රීඩිකාව තමයි ඇය. ගම්පහ රත්නාවලී ඉස්කෝලේ ඉගෙනගන්න විශ්මි ක්‍රිකට් ගහන ගමන් සාමාන්‍ය පෙළ විෂයන් නවයටම ඒ (A) නවයක් අරගෙන.
විශ්මි ඇගේ වැඩකටයුතු ටික කළමනාකරණය කරගත්තේ කොහොමද කියලා අපි ඇයගෙන් ඇහුවා. සෙල්ලම් නිසා ළමයින්ට ඉගෙනගන්න බෑ කියලා හිතන අම්මලාටත් ඇගේ කතාව වැදගත් වෙයි.
*විශ්මි ක්‍රිකට් ගැහුවේ කොයි කාලේ ඉඳලද?
පුංචි කාලේ ඉඳලා. මගේ අයියයි, අක්කයි, මමයි අපි තුන්දෙනාම පොඩි කාලේ ඉඳලාම ක්‍රිකට් ගහන්න කැමතියි. ඒ කාලේ අපි තුන්දෙනා එකතුවෙලා ක්‍රිකට් ගහනවා. ඔය අතරේ අයියට ලෙදර් ගහන්න ඕනේ කිව්වා. ඊටපස්සෙ තාත්තා අපි තුන්දෙනාවම ක්‍රීඩා සමාජෙකට එක්කරගෙන ගියා. එතකොට මට අවුරුදු අටයි.
*ක්‍රිකට් ගහන්න යද්දි ඉස්කෝලේ වැඩ අතපසු වෙයි කියලා හිතුණේ නැද්ද?
පුංචි කාලෙ ඉඳලා මට වෛද්‍යවරියක් වෙන්න හීනයක් තිබුණා. ඉතිං ක්‍රිකට් ගහන ගමන් හොඳට ඉගෙනගන්නවා කියන අධිෂ්ඨානෙත් මගේ හිතේ තිබුණා. මට ඒ දෙකම පුළුවන් කියලා මම දන්න නිසා බය නැතිව ක්‍රිකට්වලටත් ගියා. අනික ‘ක්‍රීඩාව විතරක් කරලා මදි හොඳට ඉගෙනගන්නත් ඕනේ’ කියලා තාත්තාත් නිතරම කියනවා. ඒ වචනත් හැම මොහොතෙම මගේ හිතේ තියෙනවා .
*ක්‍රිකට් ගහන ගමන් පාඩම් කරන්න වෙලාවක් තිබුණද?
ඕනම දේකට උවමනාවක් තියෙනවා නම් වෙලාව කළමනාකරණය කරගන්න එක අමාරු නැහැ. ක්‍රිකට් ගැහුවට වෙලාව ලැබිච්චි ගමන් පාඩම් කරනවා. දවල් පුහුණුවීම් කළොත් අනිවාර්යයෙන්ම රෑට පාඩම් කරනවා. මුලින්ම අපි පදිංචි වෙලා හිටියේ වරකාපොළ අල්ගම. ඉගෙනගත්තේ අල්ගම කනිෂ්ඨ විද්‍යාලයෙන්. එහෙ ඉද්දි ශිෂ්‍යත්ව විභාගයත් හොඳට පාස් වුණා. පස්සෙ තමයි රත්නාවලී එකට ගියේ. ක්‍රිකට්වලින් ගමනක් යන්න පුළුවන් වුණෙත් රත්නාවලී එකට ගියාට පස්සෙයි.
*ක්‍රීඩා කරන ගමන් පාඩම් කරන විදිය අනිත් අයටත් කියලා දෙන්න කැමතිද?
විභාගය කියලා මම ක්‍රිකට් නැවැත්තුවේ නැහැ. ඒ අතරත් පුහුණුවීම් එහෙම කළා. හොඳට පාඩමුත් කළා. විභාගෙට සති දෙකක් වගේ තියෙද්දි හොඳට සැලසුම් කරලා පාඩම් කළා. මුල් සතියේ කළේ පාඩම් කළ එක විතරයි. ඊටපස්සෙ සතියේ ප්‍රශ්නපත්‍ර කළා. එහෙම තමයි මම නම් පාඩම් කළේ.
*දැන් එතකොට විශ්මි උසස් පෙළ කරන්න හිතාගෙන ඉන්නේ මොන අංශෙන්ද?
ගණිත අංශයෙන්.
*ගණිත අංශය කියන්නේ ටිකක් අමාරු අංශයක්නේ. එතකොට ක්‍රිකට් අතාරිනවද?
අපෝ නෑ. මොන අංශෙන් ගියත් ක්‍රිකට් නම් අතාරින්නේ නැහැ. ඒ තරම් මම ක්‍රිකට්වලට ආදරෙයි.
*පාසල් බාලිකා ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රීඩිකාවක් ලබාගත් වැඩිම ලකුණු වාර්තා කළෙත් විශ්මි නේද?
ඔව්. ඒක මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. එදා මම කැකිරාව ජයසිරිපුර මහා විද්‍යාලයට එරෙහිව පන්දු 128කින් නොදැවී ලකුණු 417ක් ගැහුවා. හයේ පාරවල් 29ක්, හතරේ පාරවල් 49ක් එක්ක. ඒ වගේ වාර්තාගත දීර්ඝ ඉනිමක් ක්‍රීඩා කරන්න පුළුවන් වුණ එක ගැන ගොඩක් සතුටුයි.
*වයසින් පොඩි වුණාට විශ්මි ජාතික ක්‍රිකට් කණ්ඩායමත් නියෝජනය කරපු ක්‍රීඩිකාවක්. ඒ ගැනත් ටිකක් කතා කරමු.
ක්‍රිකට් ටීම් එකට එකතුවෙන්න ගොඩක් අය බලාගෙන ඉන්නවනේ. ඒත් එතැනට යන්න ලේසි නැහැ. හැබැයි හිතුවටත් වඩා ඉක්මන්ට ටීම් එකට යන්න මට පුළුවන් වුණා. ඒ ගැන මම වගේම ගෙදර අයත් ගොඩක් සතුටු වෙනවා.
*විශ්මි චමරි අතපත්තු වගේ වෙන්න ආසයි කියන්නේ ඇත්තද?
ඇත්ත. චමරි අක්කා වගේ අත දිගඇරලා බෝලෙට රිදෙන්න ගහන්න ආසයි. එතකොට පීඩනය වුණත් දැනෙන්නේ හරි අඩුවෙන්. කොහොමත් මම පාසලෙත් ප්‍රසිද්ධ ප්‍රහාරාත්මක පිතිකාරියක් විදියට තමයි. මම චමරි අක්කා එක්ක සෙල්ලම් කරලත් තියෙනවා.
*ක්‍රීඩාවලින් හොඳ අනාගතයක් පේද්දි ඉගෙනගන්නේ මොකටද කියලා හිතන මිනිස්සුත් ඉන්නවා නේද?
මොනම ක්‍රීඩාවක්වත් දිගටම කරන්න පුළුවන්ද බැරිද කියලා අපිට කියන්න බැහැ. හිතන්නකෝ ආබාධයක් එහෙම ආවොත් මට ක්‍රිකට් ගහන්න බැහැනේ. හැබැයි ඉගෙනගෙන තිබුණොත් මට වෙන පැත්තකින් හරි යන්න පුළුවන්. අනික ඉගෙනගන්න දෙයක් කවදාවත් අහක යන්නේ නෑ කියලනේ කතාවටත් කියන්නේ.
*ඉතින් විශ්මි තවත් දවස් කිහිපයකින් තව ලොකු වගකීමක් පැවරෙනවා නේද?
ඔව්. ඒක ගොඩක් ලොකු වගකීමක් තමයි. 2023 ජනවාරි මාසේ 19න් පහල කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය පටන්ගන්නවා. මේ පාර කණ්ඩායමේ නායකයත්ව පැවරිලා තියෙන්නේ මට. පළවැනි වතාවට ඒ ලෝක කුසලානය ලංකාවට ගේන්න ලොකු හීනයක් තියෙනවා. අපේ කණ්ඩායමට ඒක කරන්න පුළුවන් කියලා ලොකු විශ්වාසයක් තියෙනවා.
*විශ්මිගේ හීන ජයගන්න හයිය වෙන අයවත් මතක් කරමු.
අම්මා තාත්තා තමයි ලොකුම හයිය. ඒ වගේම පාසලේ විදුහල්පතිතුමිය ඇතුළු මට උගන්වපු සියලුම ගුරුවරුන්ව මතක් කරනවා. මගේ ක්‍රිකට් ගමනට උදව් කරන පුහුණුකරුවන් හැමෝමවත් මේ වෙලාවේ ආදරෙන් මතක් කරනවා
*විශ්මි අනිත් අය වෙනුවෙනුත් දෙයක් කියන්න කැමතිද?
මම හිතුවට වඩා ඉක්මනින්ම මගේ ඉලක්කවලට ආවා. කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායමට තරඟ කළා. සාමන්‍ය පෙළ හොඳට සමත් වෙලා අධ්‍යාපනයටත් හොඳ අඩිතාලමක් දාගත්තා. ඉතින් හිතුවොත් ඕනම දෙයක් කරන්න පුළුවන් කියන එකයි මට අනිත් අයටත් කියන්න තියෙන්නේ.
රුවන් එස්. සෙනෙවිරත්න