විශේෂාංග

ලුණු ගණුදෙනුව හරියට නොකර කණුකුණු ගාලා වැඩක් නෑ

වැඩිපුර සීනි කෑවහම මොකද වෙන්නේ කියලා මේ මෑතකදි අපි කතා කළා මතක ඇති. ඒ ලිපිය කියෙව්ව දන්න අඳුරන කෙනෙක් අනේ මම නම් සීනි කන්නේ නැහැ. ඒ නිසා මටනම් කිසි ප්‍රශ්නයක් නැහැ කියලා මාත් එක්ක මහ උජාරුවට වගේ කිව්වා.

හැබැයි දන්න තරමින් ඒ හාදයා සීනි පංගුවට මදි නොකියන්න ලුණු කනවා. සීනි කන්නේ නැහැ කියලා පම්පෝරි ගහන ගොඩක් උන්දැලා සීනි පෙනුමටම ඉන්න සීනිවල නිවුන් සහෝදරයා ලුණු ගැන වැඩිය හිතන්නේ නැහැ. ලුණු මහත්තයා ගැනත් කතා නොකර අරින්න හොඳ නැහැ කියලා හිතුවේ ඒකමයි.

ලුණු කියන්නේ රසායනික සංයෝගයක්. සෝඩියම් අනු එකකට ක්ලෝරයිඩ් අනුවක් එක්කාසු වෙලා හැදෙන සෝඩියම් ක්ලෝරයිඩ්වලට තමා අපි ලුණු කියන්නේ. ලුණු ගැන කියද්දි කතාවක් මතක් වුණා. ඔන්න 1930 දී සුද්දා ලුණු සම්බන්ධයෙන් ඉන්දියාවට අලුත් නීතියක් පැනෙව්වා. ඒ අනුව ඉන්දියානුවන්ට  ලුණු නිෂ්පාදනය සහ විකිණීම තහනම්. ඒ වෙනුවට ලොකු බද්දක් එකතු කරලා ඒ අය ලුණු වික්කා. ලුණු ගන්න සල්ලි නැති නිසා දුප්පත් අයට ලුණු නැතිව කන්න වුණාලු. ඒ නිසා සමහරු ලෙඩ වුණාලු.

ප්‍රශ්නේ බලාගෙන ඉන්න බැරි තැන මහත්මා ගාන්ධිතුමා අනුගාමිකයෝ පිරිසක් හදාගෙන ලුණු  බද්දට විරුද්ධව පාගමනක් ගියා. බය නැතිව ලුණු විකුණන්න කියලා ඉන්දියානුවන්ට කිව්වා. මිනිස්සු  ඇහුවේ ගාන්ධි කිව්ව දේ. අන්තිමට තත්ත්වය පාලනය කරගන්න බැරිම තැන සුද්දෝ ලුණු බද්ද හකුළ ගත්තලු.

1789දී ප්‍රංශයේ විප්ලවයක් ඇතිවුණානේ. සාමාන්‍ය ජනතාව බැස්ටීලයට (එකල ප්‍රංශ රජ මාලිගය) පහරදීලා 16 වැනි ලුවී රජාව මරලා දැම්මා. 16 වැනි ලුවී ජනතාවට ලුණු සැපයීම නතර කිරීමත් මේ විප්ලවයට හේතුවුණා කියලයි ඉතිහාසයේ කියැවෙන්නේ.

ඔය රටවල විතරක් නෙමේ ඉස්සර අපේ රටෙත් ලුණු ප්‍රශ්න තිබුණලු. කුලෙන් අඩු අයට කෑමවලට ලුණු එකතු කරන්න බැරිලු. කාගාව හරි නිතරම ලුණු මුලක් තියේනම් උන්දැ මහ ධනවතෙක් විදියටලු හැඳින්නෙව්වේ. හැබැයි පස්සේ අරගල කරලා අපේ මිනිස්සුත් ලුණු අයිතිය දිනාගෙන තියෙනවා.

ඇත්තටම ලුණු කියන්නේ විප්ලව කරලා දිනාගන්න ඕන දෙයක් තමයි. මොකද ශරීරයේ රුධිර පීඩනය පාලනය කරගන්න වගේම මොළයේ ස්නායුවලින් පණිවිඩ හුවමාරු කරගන්නත් අපිට ලුණුවල අඩංගු  සෝඩියම් කියන මූලද්‍රව්‍ය අවශ්‍යයි.

ඔය දේවල් ටික කරගන්න සාමාන්‍ය මනුස්සයෙක්ට දවසකට ලුණු 5gක් (තේ හැන්දක්) ඇති. ඒ ප්‍රමාණයෙන් අපේ අයඩීන් අවශ්‍යතාවය සපුරගන්නත් පුළුවන්. හැබැයි අපේ රටේ ගොඩක් උදවිය ඔය ප්‍රමාණේ වගේ තුන් ගුණයක් විතර ලුණු කනවය කියලයි සමීක්ෂණවලින් ඔප්පු වෙලා තියෙන්නේ. ඔය විදියට වැඩිපුර ලුණු කෑවහම මොකද වෙන්නේ කියලා අපි කතා කරමු. ඒ වගේම ලුණු අඩු කරගන්න උපක්‍රම ටිකක් ගැනත් බලමු.

ඉස්සර හැම ගෙදරකම ලිප මුල්ලේ ලුණු පොල්කට්ටක් තිබ්බා. ලුණු කැටවලට වතුර එකතු කරලා තමයි කෑමවලට ඉස්සේ. එතකොට ලුණු සාන්ද්‍රණේ යම්දුරකට අඩුවුණා. හැබැයි දැන් ගොඩක්දෙනා ලුණු කුඩු විදියට පාවිච්චි කරන නිසා කැවෙන ලුණු ප්‍රමාණය වැඩියි.

ගෙදර කෑමවලට දාන ලුණුවලට අමතරව පිටස්තරිනුත් අපිට ලුණු එකතු වෙනවා. සොසේජස්, බේකන්, මීට්බෝල්ස් වගේ සැකසූ මස්වල ලුණු අධිකයි. ඒ වගේම අල චිප්ස්, ස්නැක්ස්, බටර්, චීස්, මාමයිට්, ටින් කළ කෑම, සීරියල්, පාන් ඇතුළු බේකරි කෑම, රයිස්, කොත්තු, සෝස් වර්ග, බයිට්ස්, පපඩම්, ලුණු දැමූ ආහාරවලත් ඕසෙට ලුණු. ඉතින් එහෙම බැලුවහම අපිට වැඩිපුර ලුනු කැවෙනවා කියන එක ගැන  අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනේ නෑනේ?

ඉතින් ටිකක් වැඩිපුර ලුණු කැවහම මොකද වෙන්නේ? මෙන්න මේකයි. ලුණු වැඩිපුර කෑවහම අපේ ඇඟේ සෝඩියම් ප්‍රමාණය වැඩි වෙනවා. ශරීරයේ වතුර රඳවාගන්න සෝඩියම්වලට පුළුවන්. සෝඩියම් වැඩිවෙද්දි අපේ ඇඟේ වතුර වැඩි වෙනවා. මේ වතුර රැඳෙන්නේ ලේ වල. එතකොට අපේ රුධිර පරිමාව වැඩිවෙනවා. එතකොට රුධිර නහර හරහා යන ලේ ප්‍රමාණය වැඩි වෙනවා. අන්න ඒක අධිරුධිර පීඩනය ඇතිවෙන්න හේතුවක්.

ඉඳලා හිටලා වැඩිපුර ලුණු කෑවට කමක් නැතිලු. හැබැයි දිගින් දිගටම ලුණු වැඩිපුර කන්න ගියාම රුධිර නහර වෙනස් වෙන්න, හෘදය දුර්වල වෙන්න, වකුගඩුවල ක්‍රියාකාරිත්වය අඩුවෙන්න එහෙම පුළුවන්. හෘදයාබාධ, අංශබාගය හැදෙන්නත් ලුණු ප්‍රධාන හේතුවක්. ලෝකේ බෝනොවන රෝගවලින් අවුරුද්දකට සිද්ධවෙන මිනිස් මරණ මිලියන 2.5ක් පිටිපස්සේ ලුණු මහත්තයාත් ඉන්නවා.

ලුණු වැඩියෙන් කන එක ලස්සනටත් බලපානවා. ශරීරයේ සෛලවල සහ සමේ සෛලවල තියෙන ජලය ඇදලා ලේ වලට දාන්න සෝඩියම්වලට පුළුවන්. ඉතින් වැඩිපුර ලුණු කෑවහම ශරීරය විජලනය වෙනවා. ලුණු ගොඩක් කෑවම නිතරම වතුර තිබහ හැදෙන්නේ ඒකනේ. මේ නිසා සම වියැළෙන්න පුළුවන්. ඒ වගේම සෝඩියම් නිසා එකතුවෙන අතිරික්ත ජලය අපේ ඇස් යට, උගුර දෙපැත්තේ වගේම බඩෙත් එක්කාසු වෙනවා. එතකොට මූණ, ඇස් යට ඉදිමෙනවා, බඩ පිපෙනවා.

ඉතින් කොහොමද ලුණු කන එක අඩු කරන්නේ? ලුණු කියන්නෙත් සීනි වගේම ඇබ්බැහියක්. ඒ කියන්නේ අපේ ඇඟට වඩා ලුණු ඕනේ අපේ මොළේට. ඉතින් සති දෙකක් ලුණු අඩුවෙන් කෑවොත් ලුණු පුරුද්දත් පාලනේ කරගන්න පුළුවන්.

වෙළඳපොළෙන් ආහාර ගන්නකොට ලේබල බලන්න. රතු ලේබලය=ලුනු 22% වැඩි, තැඹිලි/කහ=5-22% අතර, කොළ= 5% අඩු. රතු සහ තැඹිලි/කහ සංඥාව අඩංගු ආහාර පුළුවන් තරම් අඩුකරන්න. ඇසුරුම් කළ නැත්තම් කල්තබාගන්න ආහාර වෙනුවට නැවුම් ආහාරම මිලදී ගන්න බලන්න.

ගෙදර සාමාජිකයෝ හතරදෙනෙක් ඉන්නවා කියලා හිතන්නකෝ. මැනගන්න ක්‍රමයක් තියෙනවා නම් මුලින්ම ලුණු 5g ගානේ හතරක් 5g×4= 20gක් වෙන් කරගන්න. අන්න ඒ ටික ව්‍යාංජනවලට එකතු කරන්න. අනික ගොඩක් අය බත් උයද්දි ඒකටත් ලුණු දානවා. ව්‍යාංජනවලට ලුණු දාන නිසා බත්වලට ලුණු එකතු කරන්නම එපා. සලාද, බීම වර්ග හදද්දි එහෙමත් ලුණු දාන්න එපා.

ව්‍යාංජනයක් ලිපේ තියද්දි ලුණු එකතු කරන්න එපා. එතකොට ආහාරය ඇතුළටම ලුණු උරාගන්නවා. එතකොට හොද්දේ ලුණු රස අඩුවෙන නිසා තවත් ලුණු දාන්න හිතෙනවා. ඒ නිසා කෑම උයලා ඉවර වුණාට පස්සේ ලුණු දාන්න.

කල්තබාගත් ආහාර, ටින් කෑම, ලුණු දැමූ කෑම උයනවා නම් එව්වා උයන්න කලින් සෝදන්න. එතකොට යම් ලුණු ප්‍රමාණයක් ඉවත් කරගන්න පුළුවන්.

ගොඩක් වෙලාවට බත්පතින් අපි හොයන්නේ ලුණු රස. ඉතින් කෑමවල ඇත්තම රස අපි දන්නෙම නැති තරම්. ලුණු වෙනුවට සුදුලූනු, ලූනු, කොත්තමල්ලි, අබ, සියඹලා, ගොරකා, සුදුරු, උළුහාල්, සේර, කුරුඳු, කරපිංචා, රම්පෙ වගේ දේ එකතු කරනවා නම් ව්‍යාංජනයක හරි රහ හොයාගන්න පුළුවන්.

වෛද්‍යවරුන් ලුණු කන්නම එපා කියලා තියෙන කෙනෙක් නම් වැඩිපුර මාළු, එළවලු, පලතුරු කන්න. ඒවගෙන් අපේ ඇඟට අවශ්‍ය සෝඩියම් ප්‍රමාණය ලබාගන්න පුළුවන්.

සමහරු ඉන්නවා බත්පත බෙදාගත්තට පස්සේ ලුණු මදි කියලා ලුණු පොල්කට්ටම පිඟානට හලාගන්න. එහෙම කරන්න එපා. පොඩ්ඩක් මනස පාලනේ කරගන්නත් බලන්න. හොද්දට ලුණු මදි කියලා ගෙදර ගෑනිට දොස් කියන පිරිමිත් ඉන්නවනේ. ගොඩක් ගෙවල්වල පවුල් ප්‍රශ්න ඇතිවෙන්නත් හේතුවක්ලුනේ ලුණු. මේ ලිපිය කියවලා හොද්දට ලුණු අඩු කළාම ගෙදර එහෙම ප්‍රශ්න ඇතිවෙයි කියලා හිතනවා නම් ගෙදර උන්දැට කලින්ම මේ ලිපිය පෙන්වන එකයි හොඳ.

සෙව්වන්දි හෙට්ටිආරච්චි