විශේෂාංග

රජාගේ හැටපස් මංගල්ලෙටත් නැතුව බැරිවුණු කොහොඹ

හිතේ හයියෙන් ජීවිතය දිනන්න කැමති කොයිකාටත් අතහිත දෙන්න ධරණී හැමදාමත් කැමතියි. නිකරුණේ ගෙවිලා යන කාලය තමන්ගේම කියලා ස්වයං රැකියාවක් වෙනුවෙන් යොදවන්න කැමති කාන්තාවන්ට හොඳ ඉල්ලුමක් තියෙන විවිධ දෑ පියවරෙන් පියවර ගෙදරදිම හදාගන්න හැටි කියලා දෙන්න අපි හිතුවේ ඒකයි. කඩදාසි, මැටි, රෙදි, විවිධ ආහාර, සබන් ඇතුළු විවිධ දේ නිර්මාණය කරන විදිය ගැන සහ ඒවා වෙළඳපොළ වෙත යොමු කරන ආකාරය ගැන මේ ලිපි මාලාව හරහා ඔබව දැනුවත් කරනවා.

ඉන්දියාවෙන් පිටුවහල් කරපු විජය කුමාරයා තම්මැන්නාවෙන් ගොඩබහිද්දි කුවේණි හිටියේ කපු කටිමින්ලු. පස්සේ ඔහු යක්ෂ ගෝත්‍රික කුමාරිකාවක් වෙච්චි කුවේණිව විවාහ කරගන්නවා. කුවේණිගේ උදව් ඇතිව යක්ෂ ගෝත්‍රය පරාජය කරලා ලංකාවේ රජවෙනවා. රජ වුණාට පස්සෙ මධුරාපුරෙන් ගෙනාපු ආර්ය කුමාරිකාවක් විවාහ කරගෙන, දරු දෙන්නත් එක්කලා කුවේණිව එළවලා දානවා.

විජය එළවලා දාපුවහම කුවේණි ආයෙත් ගියේ නෑදෑයෝ ගාවට. සනුහරේ පාවා දුන්නු වරදට ඒ උදවියත් කුවේණිව එළෙව්වා. වෙච්චි අවනඩුව දරාගන්න බැරිව විජය රජුට ශාප කරලා කුවේණිය දිවිනහගන්නවා. ඔය තමයි කවුරුත් දන්න කතාව.

දැන් කියන්නේ ඊටපස්සේ වුණාය කියන කතාව. කුවේණිගේ ශාපේ පලදෙන්න තරම් කාලයක් විජය රජතුමා ජීවත්වුණේ නැතිලු. විජයගෙන් පස්සේ රජකමට පත්වුණේ පඬුවස්දෙව් රජු. විජය රජුට කළ ශාපය පල දුන්නේ ඉන්පසු රාජ්‍යත්වයට පත්වෙච්චි ඔහුටලු.

කුවේණිගේ සාපේ නිසා රජුට වසූරිය රෝගය හැදුනා කියලයි විශ්වාසය. වසූරිය කියන්නේ දෙවියන්ගේ  රෝගයක්ලු. ඉතින් දෙව්රෝග සුව කරන්න නම් දෙවියන් වෙනුවෙන් යාතුකර්ම කරන්න ඕනෙය කියලයි ඒ කාලේ විශ්වාසය වුණේ.

ඒ මොන දෙවියන්ටද දන්නවද? කොහොඹ ගහට අධිපති දෙවියන්ට. අනුරාධපුර මහමෙව්නා උයනෙදි කොහොඹ දෙවියන් වෙනුවෙන් හැටපස් මංගල්‍යයක් පැවැතුවායින් පස්සේ රජුගේ රෝගය ඉබේටම වගේ සුව වුණාලු. ඒ හැටපස් මංගල්‍යයටම තමයි කොහොඹා කංකාරිය කියලා හඳුන්වන්නෙත්.

කොහොඹවලට රෝග සුවකිරීමේ හැකියාවක් තියෙන බව ඒ කාලේ උදවියත් විශ්වාස කළාය කියන්න හොඳම උදාහරණය ඔය කතාව.

සංස්කෘත වෙද්‍ය ග්‍රන්ථවල කොහොඹ හඳුන්වලා තියෙන්නේ ‘නිම්ඛ’, ‘අරිෂ්ට’ කියන නම්වලින්. කුෂ්ඨ රෝග ඇතුළු සමේ රෝග, ඇස් ලෙඩ, සෙම් ලෙඩ සහ බෝවන රෝගවලට කොහොඹ ගුණදායකයි කියලා ආයුර්වේදයේ සඳහන්.

කොහොඹ ගහක් අවට සුළඟට පවා ශරීරයේ විෂ නැති වෙනවාය කියලලු ඒ කාලේ උදවිය විශ්වාස කළේ. ඒ නිසා ඒ අය කොහොඹ ගහට දේවත්වයෙන් සලකලා තියෙනවා. දැන් නැති වුණාට ඉස්සර හැම ගෙදරකම වගේ කොහොඹ ගහක් වවලා තිබුණලු.

පැපොල, වසූරිය, කම්මුල්ගාය වගේ වසංගත ලෙඩ හැදෙන්නේ දෙවියෝ කෝප වුණාම කියලයි ඒ කාලේ විශ්වාසය වුණේ. හැබැයි දෙවියන්ගේ ලෙඩ ගැන අදටත් අපේ ගැමි සමාජයේ විශ්වාස තියෙනවා.

ඉස්සර ඔය ලෙඩ හැදුනහම මුලින්ම කරන්නේ ගේ ඉස්සරහා කොහොඹ අත්තක් එල්ලන එකලු. ගෙදර ඇත්තෙකුට දෙයියන්ගේ ලෙඩක් හැදිලය කියලා අහල පහල උදවියව දැනුවත් කරන එකයි ඒකේ අරමුණ. ඊටපස්සේ ලෙඩේ හැදුන කෙනාගේ නිදිපළේ (නිදාගන්නා ස්ථානය) බිමට, වහලයට අමු කොහොඹ කොළ අතුරනවා. කොහොඹ ඉස්මෙන් සිරුර සෝදලා කොහොඹ තෙලින් දුම් අල්ලනවලු. ඔහොම කරද්දි හත් දවස යන්න කලින් ලෙඩේ සුවයිලු.

ඉස්සර විතරක් නෙමේ අදත් කොහොඹවලින් විවිධ චර්ම රෝගවලට ප්‍රතිකාර කරනවා. වෙළඳපොළේ නීම් සබන්, නීම් ෆේස්වොෂ්, නීම් පැක් කියලා ඔය තියෙන්නේ කොහොඹ යුෂ අඩංගු නිෂ්පාදන තමයි.

අද අපි කතා කරන්නේ කොහොඹ තෙලින් කරන වැඩක් ගැන.

මේක කොහොඹ තෙල්වලින් හදන බාම් එකක්. සමේ ඇතිවෙන කැසීම්, පුංචි බිබිළිවලට වගේම සමේ වියළිබවටත් මේ බාම් එක පාවිච්චි කරන්න පුළුවන්. ගොඩක් හොඳ ප්‍රතිඵල තියෙන නිසා ස්වයං රැකියාවක් විදියට පටන්ගත්තොත් හොඳ ඉල්ලුමක් තියෙයි.

හැබැයි මේක ඖෂධයක්නේ. ඒ නිසා ස්වයං රැකියාවක් විදියට කරනවා නම් රජයේ පිළිගත් ලියාපදිංචි වෛද්‍යවරයෙක්ගෙන් සහතික කරවගෙන ආයුර්වේද අමාත්‍යාංශයේ අනුමැතිය ගන්න ඕනේ කියන එකත්  කියන්න ඕනේ.

දැන් අමුද්‍රව්‍ය ගැන බලමු. කොහොඹ තෙල් 50ml, වයිට් සොෆ්ට් පැරෆීන් (White Soft Paraffin) 50g, බීස්වැක්ස් (Beeswax) මේකට අවශ්‍ය කරනවා. අවශ්‍ය නම් විතරක් සමට හිතකර සුවඳ ද්‍රව්‍යයක් එකතු කරන්න පුළුවන්. ඒ වගේම සුදු යකඩ කේතලයකුත් අවශ්‍යයි. බාම් අසුරගන්න වීදුරු බෝතල් පාවිච්චි කරන්න.

මේ අමුද්‍රව්‍ය මිලදී ගන්නකොට ප්‍රමිතියෙන් වැඩි හොඳම අමුද්‍රව්‍ය ගන්න ඕනේ. පිටකොටුවේ වේල්ල වීදියෙනුත් මේවා මිලදී ගන්න පුළුවන්.

 

පියවර 1

මුලින්ම කේතලයට වයිට් සොෆ්ට් පැරෆීන් සහ බීස්වැක්ස් දාලා ඩබල් බොයිල් ක්‍රමයට දිය කරගන්න.

 

පියවර 2

පස්සේ දියකරගත්තු මිශ්‍රණයට කොහොඹ තෙල් එකතු කරගන්න.

ටිකක් නිවෙන්න තියලා අවශ්‍ය නම් විතරක් සුවඳ එකතු කරගන්න.

පස්සේ ඇසුරුම් කරන්න. ඇසුරුම් කරන්න කලින් මිශ්‍රණය ඝණ වුණොත් නැවතත් ඩබල් බොයිල් කරන්න. 20g නීම් බාම් එකක් රුපියල් 300-400 මිලකට අලෙවි කරන්න පුළුවන්. තවත් විස්තර දැනගන්න 0714766819 මේ අංකයට කතා කරන්න.

සීතා පොන්නම්පෙරුම

ස්වයං රැකියා පාඨමාලා උපදේශිකා

 

සෙව්වන්දි හෙට්ටිආරච්චි