විශේෂාංග

බනිස් හොරෙන් කාපු බව මිස් එදා ප්‍රින්සිපල්ට කිව්වනම් මම ඉස්කෝලේ නොඑන්නයි හිටියේ

අකුරු උගනින්නට ඉස්කෝලේ ගියත් ඇතැම්විට බඩගින්නට පුංචි අත් වෙව්ලන්නේය. ඊට හේතුව ඇස් කොනින් අල්ලාගන්නා ගුරු දෙවිවරුන්ටම පමණි එවන් දරුවකුගේ ජීවිතයට එළියක් ගෙනෙන්නට හැකියාව ඇත්තේ…

ශානිකා පවනි හේවගේ නම් ගුරු මාතාවක් තැබූ සටහනක් සමඟ එවන් අපූරු කතාවක් පසුගියදා මුහුණපොතේ පළවී තිබුණි.

ඇය එම සටහන තබා තිබුණේ පසුගියදා හොරණ අධ්‍යාපන කලාපයට අයත්, මිල්ලනිය විද්‍යාලයේ සිසුන් පිරිසක් මුහුණදුන් අවාසනාවන්ත සිද්ධිය මුල්කරගෙනය. එම පාසලේ ගුරුවරියකගේ මුදල් පසුම්බියක තිබූ රුපියල් පන්සියයක මුදලක් නැතිවීම සම්බන්ධයෙන් එම දරුවන්ගේ කකුල්වලට කරන්ට් වද්දවා කළ අමානුෂික දඬුවම් දීමේ ක්‍රමය සැබෑ ගුරුවරුන් කිසිවිට අනුමත නොකරන්නකි.

ඇත්තටම ඒ සිද්ධිය එක්ක තමයි මට මේ සිදුවීම මතක්වුණේ. එතකොට මම තරුණයි. පුත්තලම පැත්තේ දුෂ්කර පාසලක මම තමයි හතර වසර පංතිය භාර ගුරුතුමී. විවේක වෙලාවට තේ බොන්න කලින් පන්තියේ හැම දරුවෙක්ගෙන්ම කෑම ගෙනාවද කියලා අහලා බලන පුරුද්දක් මට තිබුණා. අද ඉහළ පංතිවලට ඉගැන්නුවත් ඒ පුරුද්ද අදටත් මං ළ තියෙනවා.

පවනි ගුරුතුමිය එසේ අසන්නේ යම් හෙයකින් කෑම නොගෙනා ළමයෙක් සිටියහොත් කැන්ටිමෙන් කෑම මොනවා හෝ අරන් දෙන්නටය. එවන් දරුවෙකු සිටියහොත් තමන් කීවා යැයි කියා කැන්ටිමෙන් කැමති කෑමක් ඉල්ලා ගන්නයි ඈ කී අවස්ථාද තිබිණි.

ඔය අතරේ මගේ පංතියේ හිටියා වැඩිය කතාබහක් නැති සුදු අහිංසක කෙට්ටු කොලු පැංචෙක්. එයා පංතියේ අනෙක් ළමයි එක්ක මුහුවෙන්න එච්චර කැමති නැහැ. අනෙක් ළමයි තමන්ගේ කෑම එක යාළුවෝ එක්ක බෙදා හදාගෙන කෑවත් මේ දරුවා තනියමයි කෑවේ. සමහර දවස්වල එයාගේ කෑම පෙට්ටියේ තිබුණේ ත්‍රිපෝෂ ගුලියක්, එහෙමත් නැත්නම් බතල කෑලි දෙකක් වගේ පුංචි දෙයක්. කන වෙලාවට කෑම පෙට්ටිය අතින් වහගෙන තමයි මේ දරුවා කන්නේ. ටික දවසකින් මේ දරුවා විවේක කාලෙදි එළියට යන්න පටන්ගත්තා. මම ඒ ගැන ඇහුවම කියන්නේ ගෙනාපු කෑම එක කලින් කෑවා කියලයි. කලින් කෑවට කමක් නෑ පුතේ කියලා මම දවසක් දෙකක් එයාට බනිස් ගෙඩියක් අරන් දුන්නා.

එම පාසලේ තිබුණේ පොල් අතු සෙවිලි කළ කුඩා කැන්ටිමකි. එම කැන්ටිම පවත්වාගෙන ගියේ මැදිවියේ කාන්තාවකි. කැන්ටිමෙන් කෑම ගත්තද ගුරුවරු එම ණය බොහෝවිට පියවූයේ වැටුප් දිනටය. එවන් එක් මාසයක පවනි ටීචර්ගේ කැන්ටින් බිල වෙනදාට වඩා ඉහළ ගොස් තිබුණි.

ඇත්තටම එහෙම දෙයක් වෙලා තිබුණා. විශ්වාසෙට කෑම ගන්න නිසා ඇයි මෙහෙම ගාණ වැඩි වුණේ කියලා ඇන්ටිගෙන් අහන්නත් මොකක්ද වගේ. ඔය විදියට ඊළ මාසෙත් වුණා. පස්සේ මම කල්පනා කළා සතිපතා මේ මුදල දෙන්න වගේම ගන්න කෑමවල මිලගණන් වෙනම ලියාගන්න. එහෙම කරලත් කාපු ගාණට වඩා කැන්ටිමේ බිල මෙදාපාරත් වැඩියි. ඉතින් කැන්ටිමේ කවුරුත් නැති වෙලාවක් බලලා මම ඇන්ටිගෙන් හෙමින් මේ ගැන ඇහුවා. එතකොට ඇන්ටි කිව්වා ඇයි මිස්, මිස් කිව්වා කියලා මිස්ගේ පන්තියේ ළමයෙක් හැමදාම බනිස් ගෙඩියක් ඉල්ලගන්නවා. ඒකටත් එක්ක තමයි ඔය ගාණ දාලා තියෙන්නේ කියලා. මං කිව්වා ආ ඔව්මම එහෙම කිව්වා තමයිඒත් මට ඒ ළමයා මතක නෑ කියලා. එතකොට ඇන්ටි පන්තියේ ඉන්න අර අහිංසක කොලු පැටියගෙ නම කිව්වා.

ගුරුතුමිය ඊළඟට කළේ පුංචි පුතු පැත්තකට කැඳවා ඒ ගැන විමසීමය. ඒ ඔහුගේ පුංචි හිත නොරිදෙන්නටයි. එහෙත් අවසානයට රිදුනේ පවනි මිස්ගේ කාරුණික හිතමය.

ඒ වෙනකොටත් මේ දරුවා කලින් ගෙනාපු කෑම එක දැන් ගේන්නේ නැත්තේ ඇයි කියන ප්‍රශ්නෙ මට තිබුණා. දරුවගේ තාත්තා වත්තේ මුරකාරයෙක් විදියට තමයි රැකියාව කරලා තිබුණේ. ඔහු හදිසියේ මියගිහින්. අම්මයි, නංගියි, මල්ලියි එක්ක මේ වත්තෙම තිබුණු ගෙදර තමයි මෙයාලා නැවතිලා ඉලා තිබුණේ. තාත්තා මියගියාට පස්සේ අම්මා කුලීවැඩට ගියත්, දවසටම ළමයින්ට බත් ලැබුණේ රෑට විතරයි. උදේට කෑම නෑ. දවල්ට සමහර දවසට පොඩි දෙයක් ගේනවා. එහෙම නැති දවස් ටිකේ පොඩි එකා කැන්ටිමෙන් මම කිව්වා කියලා බනිස් ගෙඩියක් ඉල්ලගන්නවා. හැබැයි එහෙම ඉල්ලගත්තත් මේ කොලු පැටියා බඩගින්නේ. එයා බනිස් ගෙඩිය ගෙදර ගෙනිහින් නංගිටයි මල්ලිටයි බාගේ බාගේ දෙන එක තමයි කරන්නේ. ඉතින් අවුරුදු හයකට පස්සේ මම වෙනත් පාසලකට මාරුවෙලා එනතුරුම මම ඒ දරුවට බනිස් ගෙඩි දෙක ගානේ අරන් දුන්නා. කැමති දෙයක් අරගන්න කිව්වට ඒ දරුවා ගත්තෙම සීනි බනිස් විතරයි. මටත් ඊට වඩා දෙයක් අරන් දෙන්න ලොකු වැටුපක් ඒ කාලේ තිබුණෙ නෑ.

පවනි ගුරුතුමිය එම පාසලෙන් මාරුවී ආවේ හලාවත ලුර්දු මහා විද්‍යාලටය.

ඒ පාසලෙන් ආවට පස්සේ මට ඒ දරුවා ගැන අහන්න ලැබුණේ ඔවුන් ඒ වත්තෙන් ගිහින් කියලා විතරයි. ඉන්පස්සේ මට ඒ සිද්ධිය අමතක වෙලා ගියා. හරියටම කිව්වොත් අවුරුදු දහයක් විතර ගෙවිලා ගිහින්.

කෙසේ නමුත් මීට වසර දෙකහමාරකට පමණ පෙර පවනි ගුරුතුමියට දුරකතන ඇමතුමක් ලැබිණි. ඔහු තම නම කියා ඔහුව හඳුන්වා දුන් අතර පාසලේ නමද කීවේය. එහෙත් පවනි ගුරුතුමියට එවන් නමක් මතක නැත.

මිස් මට අර හැමදාම බනිස් ගෙඩි දෙකක් අරන් දුන්නේ. ඒ විස්තර කිරීමෙන් ගුරුතුමිය ඔහු හඳුනාගත්තාය. ඇය මොහොතකට නිහඬ වූයේ හිතේ මැවුණු ඒ අහිංසක රූපයද සමඟිනි.

මම මිස්ගේ නොම්මරය හොයාගත්තේ මිස්ගේ ෆේස්බුක් යාළුවෙක්ට මැසේජ් කරලා. මම මේ පාර විද්‍යාපීඨ තේරිලා. ඒක කියන්න මං මිස්ව හැමතැනම හෙව්වා. එදා මං බනිස් හොරෙන් කෑවා කියලා මිස් ප්‍රින්සිපල්ට කිව්වා නම් මම ආයේ කවදාවත් ඉස්කෝලේ එන්නෙ නෑ. මං අද මෙහෙම ඉන්නේ මිස් නිසා.

ඒ වචන තුළ සියල්ල තිබේ. උස් තුරු මුදුන්වල වාගේම කටු පඳුරුවලද මල් පූදින්නේය. ඒ මල් ලොව ලස්සන කරන්නේය. ඒ පවනි මිස්ලා වැනි ලස්සන හිතැත්තියන් ඉන්නා තැනය.

දැන් ඇය උගන්වන්නේ සිය උපන්ගම් ප්‍රදේශය වන නාත්තන්ඩිය පළුවැල්ගාල කනිෂ්ඨ විද්‍යාලයේයි. අවුරුදු විස්සක ගුරු ජීවිතය තුළ ඈ කළ මෙවන් සමාජ සත්කාර රැසකි. ඒ අතරින් ජීවිතය දිනූ දරුවන් බොහොමයකි. එක්දරු මවකද වන ඇය, ඉගෙනුම ලැබුවේ නාත්තන්ඩිය ධම්මිස්සර මධ්‍ය මහා විද්‍යාලයේයි. ඇයගේ සැමියා ලේඛකයෙකු වන හෙන්රි වර්ණකුලසූරියයි.

සැබෑ ගුරුවරයෙකුට හැම දරුවම දැනෙන්නේ තමන්ගේ දරුවෙක් වගේ. වරදක් කළත් දරුවෙකුට දුවමට වඩා ලැබෙන්න ඕන ආදරය, කරුණාව. ඇත්තටම දරුවෝ කියන්නේ වැරදි වෙන්න පුළුවන් පිරිසක්. ඒක හැම වැඩිහිටියෙක්ම තේරුම්ගන්න ඕන.

පාසල් දොරටුවක් හැරීම හිරගෙවල් දහයක් වැසීයාමට හේතුවේ යැයි කියති. නමුත් දරුවන්ට පාසල එපා නොකරන මෙවැනි ගුරුවරුන් ඒ පාසල්වල සිටිය යුතුය.

දීපා වසන්ති එදිරිසිංහ