විශේෂාංග

උස් අඩි පාවහන් පළඳින්නේ තක්කඩි ගැහැනු ද?

ඔස්කාර් සම්මාන උළෙල දන්නවා නේද? ඒක තමයි ලෝකේ කීර්තිමත්ම සම්මාන උළෙල.

ඔන්න මේ 2013 ඔස්කාර් සම්මාන උළෙල.

මෙවර හොඳම නිළියට හිම් ඔස්කාර් සම්මානය දිනාගනු ලබන්නේ ජෙනිෆර් ලෝරන්ස්…”

ජෙනිෆර් ලෝරන්ස් ඇමරිකාවේ නොම්මර එකේ නිළියක්. ඔස්කාර් සම්මාන හම්බෙන්නේ එහෙම අයට කියලා ආයෙ කියන්නත් දෙයක්යෑ. ඔන්න සම්මානේ ලැබෙන්නේ තමන්ට කියලා දැනගත්තහම ජෙනිෆර්ට හරි සතුටුයි. ඉතින් ජෙනිෆර් හිනාවෙවී සම්මානේ ගන්න ස්ටේජ් එකට නගින්න ගත්තා.

පඩි දෙකයි නැග්ගේ. දාගෙන හිටපු හීල් එක පැටලිලා දඩිං බිඩිං දොඩම් කියලා ජෙනිෆර්ව බිමට පතබෑවුණා. දෙනෝදාහක් ඉස්සරහා වෙච්චි දේට ජෙනිෆර්ගේ මූණ ලැජ්ජාවෙන් රතු වුණා. අනේ අපොයි! අඩි උස සෙරප්පුවක් නිසා ඔස්කාර් සම්මානෙක සතුට නැතිවෙච්චි හැටියක්.

රැකියාවලට යන බහුතරයක් බවලතියෝ දැන් නිතරම දාන්නේ අඩි උස සෙරෙප්පු (High Heels). හීල්ස් නිසා ජෙනිෆර්ට වුණා වගේ අකරතැබ්බයක් නොවිච්චි බවලතියක් හොයාගන්න එක කළු නික හොයනවටත් වඩා අමාරු වැඩක්. අඩි උස සෙරෙප්පු නිසා අපිට ලැබෙන වාසිත් තියෙනවා. හැබැයි අවාසි ඊට වැඩියි. ගැලපෙන අඩි උස සෙරෙප්පු තෝරගන්නේ කොහොමද, එව්වා දාගෙන හරියට ඇවිදින්නේ කොහොමද, එතැනින් ගියාම ලෙඩ නොවී අඩි උස දාන්නේ කොහොමද වගේ වැදගත් කතා ගොඩක් අද කතා කරමු.

දැන් අඩි උස සෙරෙප්පු දාන්නේ ගෑනු වුණාට මුලින්ම මෙව්වා දාලා තියෙන්නේ පිරිමි. පුරාණ ඊජිප්තුවේ මස් මරන්නන් සත්තුන්ගේ ලේ කකුල්වල ගෑවෙන එක නතර කරන්න ලී වලින් අඩි උස සෙරෙප්පු හදාගත්තලු.

පස්සේ යුරෝපයේ ඉන්න පිරිමිත් අඩි උස දාන්න පටන් අරන්. කකුල පොළෝ මට්ටමෙන් උඩ යන්න යන්න වංශවත් බව වැඩිවෙනවලු. ටිකක් අහංකාර කෙනෙක් දැක්කහම “එයා පොළොවට උඩින් යන්නේ” කියලනේ අදටත් කතාවට කියන්නේ. ඒ කාලේ සාමාන්‍ය අයට දාන්න පුළුවන් උස අඟල් බාගයයි. වංශාධිපතියන්ට අඟල් එකයි, රජතුමාට අඟල් දෙකයි.

එකදාස් පන්සිය ගණන්වල ප්‍රංශයේ රජකම් කළ දෙවැනි හෙන්රි රජු කැතරින් මෙඩිසි කියන රැජිනව විවාහ කරගත්තා. ඇයට ගරු කිරීමක් හැටියට විවාහ උත්සවේදි රජතුමා ඇයට අඩි උස සෙරෙප්පු කුට්ටමක් පළන්දලා. ඉතින් ඇය තමා උස අඩියක් දාපු පළවැනි කාන්තාව.

යුරෝපයේ ගෑනු මුලින්ම සමානාත්මතාවය ඕනේ කියලා පිරිමින්ගෙන් මුලින්ම ගේම ඉල්ලන්න ගත්තේ එක්දාස් හයසිය ගණන්වලදි. ඒ කාලේ ගෑනු කොණ්ඩ කොටට කපලා සිගරැට් බොන්න වගේම අඩි උස දාන්නත් පටන්ගත්තලු. බවලත් උදවිය අඩි උස දාන එකෙන් පිරිමින්ට ලැජ්ජාවක් වෙනවා කියලා හිතව්ව පුරුෂ පක්ෂය අඩි උස දාන එක ගෑනුන්ටම බාර දීලා  අත පිහිදාන් පැත්තට වුණාලු.

පස්සේ අඩි උස දාන්නේ සරාගී ගෑනු කියලත් මතයක් තිබිලා. ඒ නිසා පිරිමි වශී වුණේම අඩි උස දාපු අයටලු. ඒ නිසා අඩි උස දාලා පිරිමින්ව රවට්ටගන්න තක්කඩි ගෑනුන්ට මායාකාරියන්ට වගේ සලකන්න කියලා 17 වැනි සියවසේ යූරෝපීය රටවල නීතියක් පවා තිබුණලු.

හීල්ස් දැම්මහම ගෑනු සරාගී වෙනවා කියන කතාවේ ඇත්තක් නැත්තෙත් නෑ. අඩි උස සෙරෙප්පු දැම්මහම ශරිරයේ බලය බෙදෙන විදියත් එක්ක ශරීරයේ උඩ කොටස ඉස්සරහටත් පහළ කොටස පිටිපස්සටත් තල්ලු වෙනවා. එතකොට කාන්තා ලාලිත්‍ය වැඩිදියුණු වෙලා පේනවා. අනික උසින් අඩු කෙනෙක්ට උස වැඩි කරගන්නත් මේක හොඳයි. හැබැයි එහෙමයි කියලා නිතරම උඩින් යන්න හදන එක තමා ලෙඩේ.

මනුස්සයගේ කකුල සොබාදහමේ මහා විශ්මකර්ම නිර්මාණයක්ය කියලා ලියනාඩෝ ඩාවින්චි කියලා තියෙනවා. කකුල් දෙකයි යටි පතුලයි තමයි අපේ මුළු සර්වාංගෙම බර දරාගන්නේ. බර දරාගෙන ගුරුත්ව කේන්ද්‍රය රඳවගෙන වැටෙන්නේ නැතිව ඇවිදගන්න අපිට උදව් කරන්නෙ ඒ දෙපළ. ඒ නිසාම කකුල්වල අස්ථි 26කුයි, සන්ධි 33කුයි, අස්ථි බන්ධන 107ක් වගේම මාංශපේශී සහ බලනහර 19යි පිහිටලා තියෙනවා.

බර දරාගන්න ඔච්චර ගැජට්ස් තිබ්බට අඩි උස සෙරෙප්පු දාද්දි අපේ මුළු සිරුරේම බර තනියම  දරාගන්න වෙන්නේ කකුලේ ඇඟිලිවලට. උස වැඩි වෙන්න වෙන්න ඒ බර වැඩි වෙනවා. අඟල් 3ක උසක් දැම්මොත් ඇඟිලිවලට යන බර 76%යි. අඟල් 2=57%, අඟල් 1= 22%යි.

අපි සැතපුමක් පයින් යනකොට 5280 වාරයක් කකුල පොළොවේ වදිනවා. ඇවිදින වෙලාවට නිකන් හිටගෙන ඉන්න වෙලාවට වඩා ශරීරයේ බර හතර ගුණයක් විතර කකුල්වලට දැනෙනවලු. ඉතින් හීල්ස් දාගෙන යද්දි ඒ මුළු බරම යන්නේ ඇඟිලිවලට. ඇවිද්ද පය දහස් වටී කිව්වට හීල්ස් දාගෙන ඇවිදින පය නම් පව් කියලා තමයි කියන්න වෙන්නේ.

මොකද අපේ චූටි ඇඟිලිවලට බැරි බර කරේ තියාන් තනියම යන්න අමාරුයි. එතකොට ඒ පීඩනේ දණහිස, කොන්ද, වළලුකරටත් යෙදෙනවා. එතකොට කාලයක් යද්දි කොන්දේ, වළලුකරේ, දණහිසේ, කලවාවල වගේම ස්‍රෝණිය ආශ්‍රිතවත් වේදනා ඇතිවෙන්න පුළුවන්. විලුඹ ශරීරයෙන් ඉස්සෙනකොට කොන්ද සහ පාද අතර තියෙන්න ඕන ස්වභාවික හැඩය වෙනස් වෙනවා. එතකොට කකුලේ මාංශපේශී උඩට උඩට ඇදෙනවා. ඔය වැඩෙන් කාලෙකදි මාංශපේශී ඉරෙන්න වුණත් පුළුවන්.

කාන්තාවන්ට ඇතිවෙන Low Back Pain (කොන්ද පහල කොටසේ වේදනා), Metatarsalgia (පාදයේ පේශි වේදනා), Plantar Fasciitis (පතුල් ආශ්‍රිත වේදනා) වගේ තත්ත්වයන් ඇතිවෙන්න මූලික වශයෙන් බලපාන්නෙ උස අඩි කියලයි වෛද්‍යවරුන් කියන්නේ. ඒ විතරක් නෙමෙයි දීර්ඝකාලයක් හීල්ස් දැම්මහම ශරීරයේ ගුරුත්ව කේන්ද්‍රය වෙනස් වෙන නිසා කාලයක් යද්දි කොන්දේ කුදු ගතියක් ඇතිවෙන්නත් පුළුවන්. වැඩි පීඩනේ නිසා ඇඟිලි තෙරපීම නිසා ඇඟිලිවල හැඩය වෙනස් වෙන්නත් පුළුවන්. (විකලාංග), තව පතුල්වල කරගැට, විලුඹේ ඉදීමීම් වගේ ප්‍රශනත් ඇතිවෙන්න පුළුවන්.

ඉතින් මේ ප්‍රශ්න අවම කරගන්න අපිට මොනවද කරන්න පුළුවන්. හරිහමන් හීල් එකක් තෝරගන්න එක පළවැනි දේ.

විශේෂ අවස්ථාවකට හැර සාමාන්‍ය ගමන්වලට අඟල් 3ට වඩා වැඩි හීල්ස් ගන්න එපා.

අඩි උස ගන්නකොට කකුලේ නියම ප්‍රමාණය බලලා ගන්න ඕනේ. කවදාවත් ඇහේ මිම්මෙන් හීල්ස් ගන්න එපා. අනිවාර්යයෙන්ම කකුලට දාලා බලන්නම ඕනේ. මොකද හීල් එක කකුලට ලොකු වුණොත් ඒක අපිට දාන්න අමාරුයි. නැත්තම් කිටි කිටියේ තද වුණොත් කකුල් කැපිලා තුවාල වෙන්න පුළුවන්. අඩි උස සෙරෙප්පු  ගන්න යනකොට ටිකක් රෑ වෙලා යන්න. මොකද  උදේට අපේ කකුල් ටිකක් තදයි. ටිකක් ඇවිදලා කරලා මාංශපේශී ලිහිල් වුණහම තමයි කකුලේ හරි ප්‍රමාණය මතුවෙන්නේ.

හීල්ස් තෝරගන්නකොට තමන් ප්‍රවාහනය කරන විදිය  ගැනත් හිතන්න. බස් එකේ යන කෙනෙක් නම් හීල්ස් දාගෙන නගින්න බහින්න අමාරු වෙන්න පුළුවන්. නැත්තම් බස් එකේ ඉන්න කෙනෙක්ගෙ කකුල පාගලා ශුද්ධ සිංහල වචනවලින් අහගන්න වෙන්නත් පුළුවන්. අනික වෙලාවට කෝච්චිය අල්ලන්න එහෙම දුවනවා නම් හීල්ස් දාගෙන දුවන්න එහෙමත් අමාරුයිනේ.

ඉතින් එදිනෙදා භාවිතයට අඩි උස සෙරෙප්පු දෙකක් ගන්නවා නම් Chunky Heels නැත්තම්  Wedge Heels තෝරගන්න. ඒ කියන්නේ මේව්වගේ පිටිපස්සේ අඩියේ පෘෂ්ඨ වර්ගඵලය වැඩියි. කිව්වා වගේ පොදු ප්‍රවාහනයක යන කෙනෙක්ටත් මෙව්වා තමා හොඳම.

හීල් එකක් තෝරගත්තහම ඒක එවෙලෙම දාලා ටිකක් ඇවිදින්න. සෙරප්පුව දැම්මහම ඇඟිලිවලට ප්‍රමාණවත් ඉඩක් තියෙනවාද බලන්න. ඒ වගේම සෙරෙප්පුව ගන්න කලින් දෙපැත්තෙන් අල්ලලා ටිකක් නවලා බලන්න. ඉක්මනින්ම නැවෙනවා නම් අපේ ශරීර ශක්තිය දරාගන්න උන්දැට බැහැ.

විශේෂ ගමනකට ඇර සාමාන්‍ය පාවිච්චියට Point Heels ගන්න එපා. ඒ කියන්නේ පිටිපස්සේ අඩිය ගොඩාක් හීනි එව්වා. අපි අර කිව්ව ගොඩක් සෞඛ්‍ය ප්‍රශ්න ඇතිවෙන්නේ මෙන්න මේ ජාතිය නිසයි.

ඒ වගේම වළලුකර වටේට පටියක් තියෙන හීල් එකක් නම් තවත් හොඳයි. එතකොට පටියෙන් කකුල සෙරප්පුවේ රැඳෙන නිසා සෙරප්පුව දරාගෙන ඉන්න පීඩනේ කකුලට යන්නේ නැහැ.

ඒ වගේම සෙරෙප්පුවේ ඉස්සරහා මූණත රවුමට තියෙනවා නම් ශරීරයේ බර සමතුලිත කරගන්න ඒක උදව්වක්. මොකද ඒකෙන් අපේ මුළු කකුලම බිමට ගෑවෙනවනේ. හැබැයි ඉස්සරහා හීන් උල් හැඩේ එව්වගෙන් නම් අපේ බර සමතුලිත කරගන්න අමාරුයි.

ඊළඟ දේ හීල් එකක් දාලා හරියට ඇවිදින්න. නැත්තම් ඒකෙන් වද විඳින්න වෙන්නෙත් කකුල්වලටමයි. හීල් එකක් දාලා ඇවිදිනකොට මුලින්ම පොළොවට වදින්න ඕනේ හීල් එක. ඒ කියන්නේ පිටිපස්සේ අඩිය. පස්සේ තමයි ඇඟිලි ටික පොළොවට වදින්න ඕනේ.

අඩි උස දාන් ඇවිදිද්දි ගොඩාක් දුරින් අඩිය තියන්නත් එපා. ළඟින් අඩිය තියන්නත් එපා. මධ්‍යස්ථ දුරින් කකුල තියලා සැහැල්ලුවෙන් ඇවිදින්න. ඒ වගේම නිතරම කල්පනාවෙන් ඇවිදින්න. නැත්තම් වෙන්නේ අර ජෙනිෆර්ට වෙච්චි වැඩේ තමයි.

මඩ නැත්තම් වැලි තියෙන තැනක ඇවිදිනවා නම් කිසිම වෙලාවල හීල් එක පොළොවේ තියන්න එපා. විලුඹට බර නොදී ඇඟිලි තියෙන කොටසින් විතරක් ඇවිදින්න. පඩිපෙළක යනවා නම් බර දෙන්න ඕනේ ඇඟිලිවලට. ඒ වගේම නිතරම පඩිපෙල් ආධාරකය අල්ලගෙන පඩි නගින්න.

අර කිව්වා වගේ විශේෂ ගමන්වලට විතරක් හීල්ස් දාන්න පුළුවන් නම් වැඩිය හොඳයි. හැබැයි ඉතින් ඔෆිස්වලට අඩි උස දාන්න දැන් අපේ නෝනලා පුරුදු වෙලානේ. ඒ නිසා පුළුවන් නම් කාර්යාලයට යනකොට හීල්ස් දාගෙන ගිහිල්ලා ඇතුළෙදි දාගන්න ලස්සන සැහැල්ලු සෙරෙප්පු කුට්ටමක් තියාගන්න. නැත්තම් සතියට දවස් දෙකක්වත් ෆ්ලැට් සෙරෙප්පු දාන්න බලන්න.

ඉඩ ලැබුණු හැටියේ හීල් එක ගලවලා කකුලේ ඇඟිලි චලනය කරලා ඇඟිලිවලට පොඩි ව්‍යායාමයක් කරන්න. රාත්‍රී කාලෙදි මද උණුසුම් වතුරට ලුණු ටිකක් දාලා කකුල ටිකක් දාගෙන ඉන්න. සතියට පාරක් අයිස් කැටවලින් කකුල් සම්බාහනය කරන්න.

හීල්ස්වල අඩියට දාන්න වෙළඳපොළේ පෑඩ්ස් වර්ග තියෙනවා. ඒවගෙන් කකුලට දැනෙන පීඩනය වේදනාව අඩු කරගන්න පුළුවන්. ඒ පෑඩ්ස් හොයාගන්න බැරිනම් සනීපාරක්ෂක තුවායක් නැත්තම් කොට්න් පෑඩ් කෑල්ලක් ගානට කපලා සපත්තුවේ ඇතුළට දාගන්නත් පුළුවන්.

නිතරම අඩි උස දාන කෙනෙක් නම් අපි කිව්ව මේ  කාරණා ගැන අද ඉඳලම හිතන්න. මොකද ලස්සනට හිටියා වගේ නෙමෙයි හීල්ස්  නිසා කොන්ද කෙළින් තියාගෙන ඉන්න බැරි වුණොත් වසලා හමාරයිනේ.

සෙව්වන්දි හෙට්ටිආරච්චි