විශේෂාංග

ඇමරිකාවේ වයින් බෝතලේකට මුලින්ම ගෑනු රූපයක් ගියානම් ඒ ලංකාවෙ මගේ රූපෙ තමයි

මහනුවර මහාමායා බාලිකාවේ ඉගෙනගන්නා කාලයේ පටන් අයෝමාට තිබුණේ වයසත් එක්ක නොපෑහෙන බලාපොරොත්තුය. වරක් ඇය කියවූ පුවත්පතක යෝගට් නිෂ්පාදනය කරන ආකාරය ගැන සඳහන්ව තිබී ඇයට හිතුණේම යෝගට් සාදා බලන්නටය. දහ දොළොස් වතාවක් පදම ගැනීමට අයෝමා උත්සාහ කළද එය ලේසි වූයේ නැත. නමුත් ඉවුම් පිහුම්වලට උපන් හපන්කම් පෙන්වූ ඇය අවසානයේ වැඩේ අල්ලාගත්තාය. එතැනින් නොනැවතී ඇය එලෙසින් සෑදූ යෝගට් අලෙවි කරන්නටත් කටයුතු කළාය. කෙතරම් සාර්ථක වූවාද කිවහොත් ඉල්ලුමට සරිලන යෝගට් සැපයුමක් ලබාදෙන්නට මේ පුංචි කෙල්ලට අපහසු විය. පාසල් සිසුවියකව වශයෙන් සිටියදී විනෝදයට කළ මේ නිෂ්පාදනය සහ අලෙවිකරණ කටයුත්ත කෙරෙහි ඇයට තිබුණේ අසීමිත සතුටකි.

අයෝමාගේ දෛවය ඇගේ බලාපොරොත්තු ඉහළ නංවන තීන්දුවක් ගන්නේ මේ අතරය. ඒ 2000 වසරේ සිදුවූ ඇගේ විවාහය නිසාය. අයෝමාගේ අතගත්තේ ඇමෙරිකානු ජාතික වෛද්‍යවරයෙකි. ඒ අනුව ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පදිංචියට යන්නට භාග්‍යය හිමිවන ඇය එතැන් පටන් ‘අයෝමා විලන්’ වූවාය.

ඔහොම කාලය ගෙවෙද්දී 2008 අවුරුද්දේ අපි මෙහේ පොඩියට අවන්හලක් පටන්ගත්තා. එතැනදි ලංකාවේ කෑම වර්ගවලට තමයි මුල්තැන දුන්නේ. ඒකට නම දැම්මේ ‘Pearl of the Ocean’ කියලා. මං සයුරේ මුතු ඇටයකියන අදහසින් තමයි මම ඒ නම දැම්මේ.”

අයෝමාගේ අත්ගුණයටදෝ ‘Pearl of the Ocean’ අවන්හලට පැමිණෙන්නන්ගේ අඩුවක් තිබුණේ නැත. කෙටි කලකින් එය කොතරම් ප්‍රසිද්ධ වූවාද කිවහොත් වරක් කැලිෆෝනියා ප්‍රාන්තයේ හොඳම අවන්හල වූයේද අයෝමාගේ අවන්හලයි. එපමණක් නොව 2013 වසරේදි එරටේ ‘Best Chefs America Award Winner in 2013’ නම් සම්මානය හිමිවූයේද ඇයටය. ලාංකීය සූපවේදිනියක් ඇමෙරිකාව වැනි රටකදි සම්මානයට පාත්‍ර වූ මුල්ම අවස්ථාව එයයි. එහෙත් එකී අවන්හලේ එක් අඩුවක් විය. ඒ වයින්ය. මන්ද ආහාර වේලක් සමඟ වයින් වීදුරුවක් තොලගෑම බොහෝ ඇමෙරිකානුවන්ගේ පුරුද්දය. එහෙත් ලාංකීය ආහාරයන්ට ගැළපෙන වයින් වර්ගයක් එරටේ නැත. එවන් වයින් වර්ගයක් අලුතින්ම සෑදීමද හිතන තරම් ලේසි නොවන නිසා අයෝමා ඒ ගැන එතරම් නොසිතුවාය.

මං හැමදාම රෑට නිදාගන්නේ භාවනා කරලා. ඒත් එක දවසක් මට ටිකක් අමුතු හීනයක් පෙනුණා. ඒ තමයි අශ්වයෝ කීපදෙනෙක් මිදි පිරුණු වත්තකට යනවා. ඒ වත්තේ එක තැනක මිදි ගොඩ ගහලා. ඒවගෙන් මිදි යුෂ ගලනවා. අශ්වයෝ දිව්වේ එතැනට. ඔය හීනේ මං දවස් කීපයක්ම දැක්කා. ඒත් තේරුමක් නම් පැහැදිලි වුණේ නෑ.”

මිදි කී සැනින් එක්වරම මතකයට එන පානයක් තිබේ. ඒ වෙනකක් නොව වයින්ය. අයෝමාටද මිදි හීනය යළි සිහිවූ ගමන්ම මතකයට ආවේ ඒකය. ඇයට තුන් හිතකවත් නොතිබූ වයින් නිෂ්පාදනයට හිතක් පැමිණියේ එතැනදීය. නමුත් ඇයට අවශ්‍ය වූයේ ලාංකීය ආහාරපානවලට ගැළපෙන අන්දමේ වයින් එකකි.

මං අන්තර්ජාලය හරහා වයින් හදන විදිය ගැන ගොඩාක් විස්තර හෙව්වා. ඒ හොයද්දි කීප අවස්ථාවකම එක පුද්ගලයෙකුගේ නමක් මට විශේෂ වෙලා පේන්න ගත්තා. ඒ පැට් පොල්සන් කියන නම. පස්සේ මං ඔහු කවුද කියලා බැලුවා. ඒ බලද්දි තමයි දැක්කේ ඔහු ලෝකයේ ප්‍රමුඛතම වගේම සම්මානලාභී වයින් නිෂ්පාදකයෙක් කියලා.”

කිව්වත් වගේ පැට් පොල්සන් යනු එසේ මෙසේ පුද්ගලයෙක් නොවේ. මන්ද දිගු කාලයක්ම ඇමෙරිකාවේ ධවල මන්දිරයට පවා වයින් සැපවූයේ ඔහුය. ඒ නිසාම අයෝමා ඔහුව සම්බන්ධ කරගන්නට නොගත් උත්සාහයක් නැත. එහෙත් ඒ සියලු උත්සාහයන් ගඟට කැපූ ඉනි මෙන් විය. අවසානයේ ඇය ඒ වෙනුවෙන් කපටි වැඩක් කළාය. ඒ පැට් යනු තමාගේ අතිජාත මිත්‍රයෙකු බව කියමින් ඔහුගේ වයින් සමාගමට දුරකතන ඇමතුමක් ලබාදීමයි. ඇමතුමට සම්බන්ධ වූයේ පැට්ගේ ලේකම්වරිය වුවත් මිත්‍රයෙකු කී නිසා සුහද හමුවකට ඇයට ඉඩ ලැබුණි.

එදා මුණගැහිලා පැට් පොල්සන්ට මගේ හිතේ තියෙන දේ කිව්වම ඔහු කිව්වා වයින් නිෂ්පාදනය කරන එක ලේසි වැඩක් නෙවෙයි කියලා. ඒකට ලොකු මුදලක් යනවා වගේම අලුත් නිෂ්පාදනයක් නිසා ඒක අත්හදා බලන්න දීර්ඝ කාලයක් යනවා කියලා. මට ඕන වුණේ කොච්චර මුදලක් ගියත් කොයි තරම් කාලයක් ගියත් ලංකාවේ ආහාරපානවලට ගැළපෙන වයින් එකක් නිෂ්පාදනය කරන්න.”

එහෙත් ලොකුම බාධකය වූයේ ලාංකීය ආහාරපාන ගැන පැට්ට අවබෝධයක් නොවීමයි. එනිසා ඔහු අයෝමාගේ අවන්හලේ සාදන කෑම වට්ටෝරුවල සටහනක් ඉල්ලුවේය. නමුත් ඇයට එහෙව් එකක් තිබුණේ නැත. මන්ද එතෙක් දවස් ඇය සිය අවන්හලේ ආහාරපාන සකසා තිබුණේ මෙරටදී මව කියාදුන් පිළිවෙලටය.

අන්තිමේ මං අවන්හලේ හදන දේවල් පොතක් අරන් කෑම වට්ටෝරු ලියන විදියට පැහැදිලිව පිළිවෙලට ලිව්වා. පැට් පොල්සන් ඒක අරන් කිව්වත් වගේ ලොකු කාලයක් අත්හදාබැලීම් කළා. ඒ කැලිෆෝනියා ප්‍රාන්තයේ වයින් සඳහා අතිශය ප්‍රසිද්ධ නාපාවැලි කියන ප්‍රදේශයේ. දාසය සැරයක්ම අත්හදාබැලීම් සාර්ථක වුණේ නෑ. ඒත් දාහත්වැනි වතාවේ අපට පුළුවන් වුණා සාර්ථක වෙන්න.”

ඒ අනුව තනිකරම මිදි යුෂ යොදාගෙන නිපදවන වයින් වර්ග දෙකක් නිෂ්පාදනය කර ගැනීමට ඔවුන්ට අවස්ථාව උදාවිය. කෙසේ වුවද ඇයට සිය නිෂ්පාදනයේ ඇති මධ්‍යසාර මට්ටම පිළිබඳව අදාළ අංශවලට දැනුම් දී අනුමැතිය ලබාගැනීම, ලේබල් කිරීම වැනි දේවල් වෙනුවෙන් තවත් කාලයක් ගතවිය. සියල්ල අවසානයේ අයෝමාට අවශ්‍ය වූයේ තම නිෂ්පාදනය එරටේ ප්‍රචලිත කිරීමය. ඒ වෙනුවෙන් ඇය අරගත්තේ තරමක අභියෝගයකි.

මං දැකලා නෑ කිසිම වයින් නිෂ්පාදනයකට කාන්තා රූපයක් හෝ කාන්තා නමක් යොදාගෙන තියෙනවා. ඒත් අපි මුල්ම වතාවට ඒකත් කළා. මොකද වයින් එකේ ලාංඡනයට දැම්මේ මගේ රූපයක්. මං හිතන්නේ ඇමෙරිකාවේ වයින් නිෂ්පාදනයක් සඳහා කාන්තා රූපයක් යොදාගත්ත පළවැනි වතාව ඒක. ඒ විදියට මගේ වයින් නිෂ්පාදන දෙකක් වෙළඳපොළට නිකුත් කළා. එක වයින් එකකට දැම්මේ අයෝමා රෙඩ් පර්ල්කියලා. අනික අයෝමා වයිට් පර්ල්කියලා. මට පුළුවන් වුණා 2016 අවුරුද්දේ කැලිෆෝනියා ප්‍රාන්තයේ තිබුණු රෙස්ටොරොන්ට් වීක්එකේදි ඒ නිෂ්පාදන දෙක වෙළඳපොළට නිකුත් කරන්න.”

ඒත් සමඟින්ම ඇය වයින් සමඟ කටගැස්මට කොස් ආශ්‍රිතව අපූරු සොසේජස් වර්ගයක්ද පාරිභෝගිකයා වෙත හඳුන්වා දුන්නාය. කොස් යොදාගෙන ඇමෙරිකාව වැනි රටක එවන් සොසේජස් වර්ගයක් නිෂ්පාදනය කළේද මුල්මවරටය.

ආසාවක් උනන්දුවක් ඇත්නම් කළ නොහැක්කක් නැත. අයෝමාටද නොදන්නා රටක තමන්ගේ නම ඉහළට ගැනීමට හැකිවුණේ ඒ නිසාය. දැන් ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ඇති ‘Pearl of the Ocean’ අවන්හල සර්වසම්පූර්ණය. ලංකාවේ රොටියක් කා වයින් වීදුරුවන් තොලගා බලන්නට එහි යන ඇමෙරිකානුවන්ට හැකියාව ඇත. නමුත් අයෝමා කිසිම මොහොතක ලංකාව අමතක කර නැත. ඒ නිසාදෝ අදටත් ‘Pearl of the Ocean’ අවන්හල ඉදිරිපිට ඇමෙරිකානු ධජය අසළින්ම ශ්‍රී ලංකා ධජයද ලෙළදෙනු පෙනේ.

රුවන් එස්.සෙනවිරත්න