දැන් ඉතින් වයසයි කියලා කිසිම වෙලාවක මම හිතන්නෙ නෑ
වයස කියන්නේ අංකයක් විතරයි කියලා කතාවට කිව්වට මොකද ‘ අයියෝ දැන් අපි වයසයිනේ’ කියලා පසුබාන අයටනම් ඒ කතාව අදාළ කරගන්න බැහැ. හැබැයි වයස කියන්නේ අංකයක්ම විතරයි කියලා ඔප්පු කරපු උදවිය ගැන ඕනතරම් උදාහරණ දෙන්න පුළුවන්. ඇමරිකාවේ ජ්‍යේෂ්ඨ ටෙනිස් ක්‍රීඩිකාව මාර්ටිනා නව්රටිලෝවාට වයස අවුරුදු 50යි. හැබැයි තාම ටෙනිස් ගහනවා. එංගලන්තේ ධාවන ශූරිය එඩ්විනා බ්‍රොක්ලෙස්බිට අවුරුදු 76යි. තරුණ කෙල්ලෝ එක්ක හරි හරියට දුවලා තාම කප් උස්සනවා. එතකොට හවායි බොක්සින් ක්‍රීඩිකාව ඔල් සෙව්ස්කි වයස 50දිත් බොක්සින් ක්‍රීඩා කරනවා.
ඔය ගොඩට දාන්න පුළුවන් තව කාන්තාවක් ගැනයි මේ කියන්න යන්නේ. ඇය ප්‍රියංගනී පතිරණ. ඇයට දැන් අවුරුදු 55ක්. හැබැයි තාමත් ක්‍රියාකාරී මලල ක්‍රීඩිකාවක්. සාමාන්‍යයෙන් අවුරුදු 55 කියන්නේ විශ්‍රාම යන වයස. ඔය වයසෙදි ගොඩක් උදවිය කරන්නේ හන්දිපත් රුදාවලට තෙල් බේත් ගාන එක. හැබැයි ඇය ඒ වයසට මලල ක්‍රීඩා ජයග්‍රහණ ලබාගන්නවා. අනික ඇය කිව්වොත් හැර වයස හොයන්න බැරිතරම් සුන්දර නිරෝගී කාන්තාවක්. ඉතින් ක්‍රීඩා ජීවිතය ගැන වගේම වයස අංකයක් විතරක් කරගත්තු හැටි ගැනත් ඇය එක්ක අපි කතා කළා. අද ‘ධරණී’ කවරය හැඩ වෙන්නෙත් ඇගේ රුවින්.
“මම නුවර. මට මල්ලිලා තුන්දෙනෙක් ඉන්නවා. අම්මට තනියම අපි සේරම බලාගන්න අමාරු නිසා පුංචි කාලෙ මම හැදුනේ පිළිමතලාවේ මගේ ආච්චි ගාව. ප්‍රාථමික අධ්‍යාපනය කළේ පිළිමතලාව ධීරානන්ද මහා විද්‍යාලයෙන්. ප්‍රාථමික අධ්‍යාපනය ලබන කාලේ ඉඳලා දිවීම, දුර පැනීම වගේ ක්‍රීඩාවලින් මාණ්ඩලික ජයග්‍රහණ වගේම දිස්ත්‍රික් ජයග්‍රහණත් ලබාගෙන තියෙනවා.
ශිෂ්‍යත්වේ පාස්වෙලා නුවර උසස් බාලිකා විද්‍යාලයට ගියා. ඉස්කෝලේදි බාස්කට් බෝල්, නෙට් බෝල්, 100, 200 දිවීම, උස පැනීම වගේ ක්‍රීඩා ගොඩක් කළා. ජාතික පාසල් ක්‍රීඩා ජයග්‍රහණ රාශියක්ම ලබාගෙන තියෙනවා.”
පාසල් අධ්‍යාපනයෙන් පස්සේ ඇය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් උපාධියත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධියත් සම්පූර්ණ කළාලු.
“උපාධිය කළේ කළමනාකරණ අංශයෙන්. කැම්පස් එකේදිත් මලල ක්‍රීඩා, බාස්කට් බෝල්, නෙට් බෝල්, වොලිබෝල්, හොකී වගේ ක්‍රීඩා කළා. කීපපාරක්ම කැම්පස් එකේ හොඳම ක්‍රීඩිකාව වුණා. මීටර් 100, 200 ධාවන අංශවලින් වාර්තා තියලා තියෙනවා. කැම්පස් කාලේ ක්‍රීඩාවලට ලොකු වෙලාවක් වෙන්කරපු නිසා ඒ කාලේ ක්‍රීඩිකාවක් විදියට කැම්පස් එකේ මම හරි ප්‍රසිද්ධයි.”
උසස් අධ්‍යාපනයෙන් පස්සේ ප්‍රියංගනී ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ පුහුණු කළමනාකාරිනියක් විදියට සේවට එකතුවෙලා.
“SLT ඩිජිටල් සේවා ආයතනයේ ව්‍යාපාර මෙහෙයුම් ප්‍රධානියා විදියට සේවය කරනවා. සේවා කාලයට දැන් අවුරුදු 28යි. ටෙලිකොම් ආයතනය මගේ ක්‍රීඩා ජීවිතේට ලොකු පිටිවහලක් වුණා. වෘත්තියට එකතුවෙචිචි දවසේ ඉඳලා ආයතනය වෙනුවෙන් ක්‍රීඩා කරනවා. වෙළඳ සේවා මලල ක්‍රීඩා උළෙලේ වයස අවුරුදු 40 ඉහළ, 45 ඉහළ, 50 ඉහළ මීටර 100, 200 අංශවලින් වාර්තා තියලා තියෙනවා. අදටත් ඒ රෙකෝර්ඩ් කවුරුත් කඩලා නැහැ.”
ක්‍රීඩාව තුළින් මේ වගේ ජයග්‍රහණ විතරක් නෙමෙයි ප්‍රායෝගික ජීවිතයේ ජයග්‍රහණත් ලැබුණා කියලයි ඇයි කිව්වේ.
“ක්‍රීඩාව නිසා මිනිසා සම්පූර්ණ වෙනවා කියලා කතාවක් තියෙනවා. ඒ කතාව ඇත්ත කියන එක මට අත්දැකීමෙන්ම කියන්න පුළුවන්. දෙයක් දුවලා පැනලා කරන්න ශක්තියක් ලැබෙනවා. වෘත්තීය පැත්තෙන් ගත්තහම වුණත් මට ලැබෙන ඉලක්ක කොහොමහරි ළඟා කරන්න ඕනේ කියලා හිතන්න පුරුදු වුණේ ක්‍රීඩාව නිසා. සමහර අම්මලා අධ්‍යාපනය කඩාකප්පල් කරගනී කියලා දරුවන්ව ක්‍රීඩාවලට යවන්න බයයි. හැබැයි ඒක වැරදියි. ක්‍රීඩා කරද්දි දරුවන්ගේ මොළය පවා වර්ධනය වෙනවා.”
අවුරුදු 55ක් වෙලත් දිවීම වගේ ක්‍රීඩා කරන්න බොහොම හොඳ ශාරීරික යෝග්‍යතාවක් තියෙන්න ඕනෙනේ. ඉතින් ඒ ගැනත් අපි ඇගෙන් අහලා බැලුවා.
“අපි හිතනවට වඩා අපේ මනස හරි ප්‍රබලයි. ක්‍රීඩා ජයග්‍රහණවලට වුණත් ඇඟට වඩා හිතේ හයිය බලපානවා කියලයි මට හිතෙන්නේ. අවුරුදු 35 පැන්න හැටියේ ‘දැන් මගේ ජීවිතේ ඉවරයි’ කියලයි ගොඩක් අය හිතන්නේ. ඔය සිතුවිල්ල ඔලුවට කාවැදුනට පස්සේ ඒ මනුස්සයා ඇඟෙන් නැතත් ඔලුවෙන් නාකි වෙනවා. ඊටපස්සේ ඉතින් ශරීර කූඩුවත් ඉබේටම වගේ වයසට යනවා.
ඉතින් මගේ පළවැනි දේ මනස හරියට තියාගන්න එක. කිසිම වෙලාවක මම වයසයි කියලා හිතන්නෙ නැහැ. මට ලෙඩ හැදෙයි කියලා හිත හිතා ඉන්නේ නැහැ. ඒ වගේම කිසිම දේකට නෑ, බෑ කියන්නේ නැහැ. ධනාත්මකව හිතන එක නිරෝගීකමට විතරක් නෙමෙයි අපේ ජීවිතවල සාර්ථකත්වයටත් බලපානවා. ඒ නිසා මම නිතරම ධනාත්මක දේශනවලට ඇහුම්කන් දෙනවා. ඒ වගේම මම යෝගා කරනවා. ඒකත් මනස සැහැල්ලු කරගන්න හොඳ විදියක්.
ඊළඟට ව්‍යායාම. ශරීරය නිරෝගීව තියාගන්න නම් ව්‍යායාම අත්‍යවශ්‍යයි. ගොඩක් කාන්තාවන් විවාහ වුණාට පස්සෙ ශාරීරික යෝග්‍යතාව ගැන හිතන්නෙම නැතිතරම්. ‘අපි ඉතින් ගෙදර වැඩ කරනවනේ’ සමහරු ඔහොමත් කියනවා. ඉස්සර කාන්තාවන් මිරිස් ගලේ අඹරනවා. වංගෙඩියෙන් කොටනවා. ලිඳෙන් වතුර අදිනවා. ඒ අයට ඒ දේවල් ප්‍රමාණවත්. හැබැයි දැන් අපි කුස්සියේ වැඩ කරන්නේ තාක්ෂණය එක්ක. ඉතින් බ්ලෙන්ඩර් එක පාවිච්චි කළාට මේදය දහනය වෙන්නේ නැහැ. ඒ නිසා මම සතියට දවස් තුනක් ඇවිදිනවා. ක්‍රීඩා පුහුණුවීම් කරනවා. තව දවස් දෙකක් ජිම් යනවා. කොහොමහරි සතියට දවස් පහක් ව්‍යායාම කරනවාමයි. ජිම් එකකට යන්න කෙනෙක්ට කාලය නැතිවෙන්න පුළුවන්. පුළුවන් විදියට ගෙදරදි ව්‍යායාම ටිකක් කරන්න. නැත්තම් නිතරම ඇවිදින්න. එතකොට වෙන මුකුත් කරන්න ඕනේ නෑ.”
‘මාළුවා නහින්නේ කට නිසයි’ කියලා කතාවක් තියෙනවනේ. මාළුවා විතරක් නෙමෙයි දැන් අපේ ගොඩක් උදවිය නහින්නේම කට නිසා කියලයි වෛද්‍යවරු කියන්නේ. ඉතින් නිරෝගීව ඉන්න ඕනේ නම් කට පරිස්සම් කරගන්නම වෙනවා කියලයි ඇයත් කිව්වේ.
“ගෙදර කෑම, දරුවෝ කාලා ඉතිරිවුණු කෑම විසි කරන්න ලෝබයි කියලා ඒවත් කන අම්මලා ඉන්නවා. ඇත්තටම ඒ වැරැද්ද මාත් ඉස්සර කළා. ඉතිරි නොවෙන්න කෑම හැදුවහම ඔය ප්‍රශ්නේ නැහැ. මම බත් කන්නේ දවල්ට විතරයි. ඒකත් බොහොම අඩු ප්‍රමාණයක්. වැඩිපුර ප්‍රෝටීන ගන්නවා. පිටි කෑම, සීනි කන්නේ නැහැ. ඉතින් මම දොස්තර ගාවට එහෙම යන්නේ බොහොම කලාතුරකින්.”
ජීවත්වෙලා ඉන්න තාක්කල් අපිව දරාගෙන ඉන්න ශරීරය අයහපත් සිතුවිලිවලින්වත්, අහිතකර කෑමබීමවලින්වත් දූෂ්‍ය කරන්නේ නැත්තම් නිරෝගීව ඉන්න පහසුයි කියන එකයි ඇය පැහැදිලි කළේ.
“මගේ සැමියා චින්තක විජේසූරිය. මගේ වැඩ ටික හරියට කළමනාකරණය කරගන්න ඔහු මට ගොඩක් උදව් කරනවා. ඒ වගේම මගේ හැම ඉවෙන්ට් එකක්ම බලන්න එයා එනවා. එවෙලෙට ඒක මට ලොකු ශක්තියක්. ඒ වගේම දිනලි නුගේගොඩ ගුරුතුමිය පාසලේ මගේ ක්‍රීඩා ගුරුවරිය, ඇය මට ගොඩක් උදව් කළා. කැම්පස් එකේ ක්‍රීඩා අධ්‍යක්ෂිකාව විදියට හිටපු මුදිතා රොද්‍රිගෝවත් මතක් කරන්න ඕනේ.
ඉතින් අවසානෙදි මට අනිත් අයටත් කියන්න ඕනෙ නිතරම තියෙන දෙයින් සතුටු වෙන්න බලන්න. මට මේක නෑ අරක නෑ කියලා දුක්වෙවී ඉන්න එපා. ඒ වගේම නිතරම ක්‍රියාශීලිව ජීවිතේ ගත කරන්න. ඒ දේවල් කරන්න අපිට වෙලාව නැහැ කියන්න එපා. ඒක නිකන්ම නිකන් නිදහසට කාරණවක් විතරයි.”
සෙව්වන්දි හෙට්ටිආරච්චි
ඡායාරූප – ප්‍රදීප් දඹරගේ