විශේෂාංග

මුඩුක්කුවෙන් මිදෙන්න ගණිකාවක් වුණු මට අන්තිමේ මුඩුක්කුවත් නැතිවුණා

ටිලී ඩිවයින් යන නම අපිට නුහුරු වුවද ඔස්ට්‍රේලියාවට නම් එහෙම නැත. ඒ ඇගේ කතාව එතරම්ම ප්‍රකට නිසාය. ටිලීගේ උපන් රට එංගලන්තය වුවද ඇය විවාහයෙන් පසු ජීවත්වූයේ ඔස්ට්‍රේලියාවේය. උපන් රටේ මුඩුක්කු ගණිකාවක ලෙස සිය දිවිය ඇරඹූ ඇය අවසානයේ නතරවූයේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර විසූ දාමරික කාන්තාවක බවට පත්වෙමිනි. ගණිකා නිවාස ව්‍යාපාරයෙන් මෙන්ම තහනම් මත්ද්‍රව්‍ය වෙළෙඳාමෙන් ධනපතිනියක වූ ඇය සිඩ්නි පාතාලයේ රැජිනක් ලෙසද දිගුකලක්ම නම් දැරුවාය. ජීවිත කාලය පුරා දෙසීය වතාවකට වැඩි වාර ගණනක් පොලිස් පොතේ නම් ලියූ ඇයට සිය ජීවන චාරිකාව නිමකරන්නට සිදුවූයේනම් ඇයවත් නොසිතූ අයුරිනි. මේ ටිලී ඩිවයින් නම් ඒ හිතුවක්කාර ගැහැනියගේ කතාවයි.

පූරුවේ කළ පවකටදෝ ටිලීට ඉපදෙන්නට සිදුව තිබුණේ දුප්පත්කමේ පතුලේම ගිලී තිබූ මුඩුක්කු පැල්පතකය. 1900 සැප්තැම්බර් 08 වැනිදා එංගලන්තයේ දකුණු ලන්ඩනයේ ඉපදී හරිහැටි පාසල් අධ්‍යාපනයක් නොලැබූ මේ දුප්පත් පුංචි කෙල්ල වයස අවුරුදු 12ක් වනවිට සිය පාසල් ගමනට තිත තබා නගරයේ තිබූ කර්මාන්තශාලවක වැඩට ගියාය. ඒ දුප්පත්කමෙන් බැටකමින් සිටි තම පවුල ගොඩගැනීමේ අරමුණු ඇතුවයි. එසේ සිටියදී කර්මාන්තශාලාවේදී මුණගැහුණු අලුත් යාළුවෙකු ඉක්මණින් මුදල් ඉපැයිය හැකි අලුත් රැකියාවක් ගැන ඇයට ඉඟියක් දුන්නේය.

ටිලී, කරනවා නම් හොඳ රස්සාවක් තියෙනවා. ආයෙත් ඉතින් මෙතැන වැඩ කරනවා වගේ නෙවෙයි ඒ රස්සාව. පැයෙන් ලොකු ගාණක් අතට ගන්න පුළුවන්. ලොකු අමාරුවකුත් නෑ.”

ඒ එකී රැකියාව ගැන ටිලීට ඇසුණු රස කතාවය. ඔහු පවසා තිබුණේ වෙනත් රැකියාවක් ගැන නොව ලොව පැරණිතම රැකියාවක් ලෙස සැලකෙන ගණිකා වෘත්තිය පිළිබඳවයි. පාසල් ගමනටද තිත තබා පවුලට හයියක් වීමේ අරමුණින් මුඩුක්කුවෙන් එළියට ආ ටිලී එතැන් පටන් ගණිකාවක බවට පත්විය.

මට උවමනා වුණේ එකපාර වැඩි මුදලක් හොයන්න. මොකද මුඩුක්කු ජීවිතේ මට තිත්ත වෙලයි තිබුණේ. ඒ හින්දයි මං එහෙම ‍රස්සාවක් කරන්න හිතුවේ.”

අලුත් රැකියාව නිසා ඇය යහමින් මුදල් හම්බකළාය. එලෙසින් වසර දෙක තුනක් ගතවෙද්දී ටිලීට බිග් ජිම් නම් ඔස්ට්‍රේලියානු ජාතික තරුණයෙකු මුණගැසිනි. එවිට ටිලීට වයස අවුරුදු 16කි. එම තරුණයා ඔස්ට්‍රේලියානු රාජකීය හමුදාවට අනුයුක්තව සේවය කළේය. ආරක්ෂක රාජකාරි සඳහා ඔහු ලන්ඩනයට එවා තිබුණේ එය පළමු ලෝක යුද්ධය පැවති සමය නිසාවෙනි. ඔහුගේ හමුවීම ටිලී ප්‍රේමයකට හරවා ගනිද්දී දෙදෙනාගේ එම ප්‍රේම කතාව විවාහයකින් කෙළවර විය. නමුත් දෙදෙනාම අධික ලෙස මතට ලොල් වී සිටි නිසා ඒ විවාහ දිවිය සතුටින් සහජීවනයෙන් ගෙවුණු එකක් නොවීය.

ඔය අතරතුර පළමු ලෝක යුද්ධය අවසන් වූ නිසා බිග් ජිම්ට නැවත ඔස්ට්‍රේලියාව බලා යාමට සිදුවිය. ඔහු ටිලී සමඟ එරටට යන්නට නැව් නැග්ගේ 1920 ජනවාරි 13 වැනිදාය. කැලේ මාරුකළද කොටියාගේ පුල්ලි මාරු නොවන්නා සේ රට මාරුවුවද ටිලීගේ රැකියාවේ නම් වෙනසක් වූයේ නැත. ඇය එරටේදීද දිගින් දිගටම ගණිකා වෘත්තියේ යෙදුනාය. පුදුමයට කරුණ නම් ඇගේ සැමියාද ඊට නොමදව සහායවීමයි.

ටිලීට ගණිකා වෘත්තියෙන් යහමින් මුදල් ලැබුණද ඇය නොවෙයි එයින් සෑහීමකට පත්වූයේ. ඒ නිසා ඇය ඔස්ට්‍රේලියානු නීතියේ වූ කපොළු කිහිපයක් හඳුනාගෙන නීත්‍යානුකූල අන්දමින් ලිංගික සේවා සපයන නිවාසයක් ආරම්භ කළාය. එම ගණිකා නිවාසය කොතරම් ජයට කෙරීගෙන ගියාද කිවහොත් කෙටි කලකින් ඉල්ලුමට සරිලන සැපයුම ලබාදෙන්නට එවැනි නිවාස කිහිපයක්ම තනන්නට සිදුවිය. මේ අතරවාරයේ ඇගේ සැමියාද අලුත් රැකියාවකට අතගැසීය. ඒ අබිං සහ කොකේන් වැනි තහනම් මත්ද්‍රව්‍යය විකිණීමේ ව්‍යාපාරයකටයි.

මට ලොකුම බාධාව වුණේ පොලිසිය. ඒ අය හැමවෙලේම මගේ වැඩවලට ඇඟිලි ගැහුවා. ඒක මට ලොකු හිසරදයක් වෙලයි තිබු‍ණේ.”

ඇයට නිරන්තරයෙන්ම පොලිස් අත්අඩංගුවට පත්වීමට සිදුවිය. 1921 – 1925 අතර කාලයේදී ඇය අත්අඩංගුවට පත්වූ අවස්ථා ගණන 79කි. ඒ නිසාම ආරක්ෂාව වෙනුවෙන් ඇය ආරක්ෂකයින් පවා තබාගැනීමට කටයුතු කරන ලදී. ඒ ආරක්ෂකයින්ද අංක එකේ දරුණු අපරාධකරුවන් හෝ පාතාල සාමාජිකයන් විය.

ටිලී වැඩි වශයෙන් ජීවත්වූයේ සිඩිනි නුවර වූ වුලුමුලු නම් ප්‍රදේශයේය. ඒ වනවිටත් ඇය එහි නිලනොලත් නායිකාවක සේ කටයුතු කළ අතර ‘වුලුමුලුහි රැජන’ යන අන්වර්ථ නාමයක්ද ඇයට පටබැඳී තිබුණි. ඒ බලපුළුවන්කාරකම් නිසාම ටිලීට ප්‍රබල සතුරන් කීපදෙනෙකුද නිර්මාණය වී තිබිණි. ඒ අතරින් ප්‍රබල වූයේ කේට් ලේ ය. ඇයත් ගණිකා වෘත්තියෙන් සහ නීතිවිරෝධී මත්පැන් අලෙවියෙන් ඔස්ට්‍රේලියාවේ මුල් බැසගෙන සිටි ප්‍රසිද්ධ කාන්තාවකි.

එක් රටක රජකමට ඉඩ ඇත්තේ එක් රජෙක්ට පමණක් වන නිසා ටිලී සහ කේට් අතර සීතල යුද්ධයක් ඇතිවිය. සෑමවිටම දෙදෙනාගේ කල්ලි අතර ඇතිවූ ප්‍රබල ගැටුම් නිසා කිහිපදෙනෙකු ජීවිතවලින්ද වන්දි ගෙවීය. මේ ගැටුම් සිඩ්නි පොලිසියටත් මහත් හිසරදයක් වී තිබුණි. එනිසාම සිඩ්නි පොලිස් කොමසාරිස්වරයා පොලිසියත් හෑල්ලුවන අන්දමේ වෙනස් තීරණයක් ගත්තේය. ඒ දෙදෙනා අතර ගැටුම් නවතා දැමුවොත් ඔවුන්ගේ තහනම් ව්‍යාපාර සියල්ලක්ම නිදහසේ කරගෙන යාමට පොලිසිය ඉඩදෙන බව දැනුම් දෙමිනි. එයින් ප්‍රයෝජන ගත් මේ දෙදෙනා එතැන් පටන් යළිත් ගැටුම් ඇතිකර නොගෙන සිටීමට තීරණය කළහ.

පොලිසිය එහෙම කියද්දි අපි මොකටද ගැටුම් ඇතිකරගන්නේ කියලා අපිට හිතුණා. මොකද ඒ ලැබුණු නිදහස හැමදේටම වඩා වටිනවා. ඉතින් මමයි කේට් අතරයි ආයෙත් ප්‍රශ්න ඇතිවුණේ නෑ. එයා මගේ එක්ක යාළුත් වුණා.”

නමුත් කාලයත් සමඟ ටිලීගේ බහින කලාව උදාවිය. ඒ විවිධ හේතු නිසාවෙන් ඇගේ නීතිවිරෝධී ව්‍යාපාර සියල්ලක්ම කඩාවැටීම නිසාය. ඒත් සමඟින් ඇය මානසිකව දුර්වල වූ අතර බිග් ජිම්ව දික්කසාද කිරීමට පවා පෙළඹුණි. පසුව එරික් පාසන්ස් නම් පුද්ගලයෙකු හා විවාහ වූ අතර එයද සාර්ථක මඟුලක් වූයේ නැත. නමුත් ප්‍රශ්නකාරී වාතාවරණයන් මැද වුවද 1945 වසරේ සිදුවූ එකී විවාහය දහතුන් වසරක් පුරාවටම එරික්ගේ හදිසි මරණය දක්වාම පැවතුනි. ඔය අල්ලපනල්ලේම 1955 වසරේදී ටිලීට එරෙහිව චෝදනා ගොනුවූයේ ඇය රජයට ගෙවිය යුතු බදු මුදලක් නොගෙවා සිටීම නිසාය. එය ඩොලර් 20,000ක මුදලක් වූ අතර එය ගෙවීම සඳහා ටිලීට තමන් සතු වූ එක් ගණිකා නිවාසයක් හැරෙන්නට අනෙක් සියලුම දේපළ විකුණා දමන්නට සිදුවිය. නමුත් ඉතුරු ගණිකා නිවාසයද ඇයට අහිමිව ගියේ 1968 වසරේදී විරුද්ධ පාර්ශවයක් විසින් එයට බෝම්බ ප්‍රහාරයක් එල්ලකිරීම හේතුවෙනි.

1970 නොවැම්බර් 24 වැනිදා දරුණු පිළිකාවක් හේතුවෙන් ටිලී ජීවිත මඬලෙන් සමුගත් අතර ඒ වනවිටත් ඇය දෙසීය වතාවකට වැඩි අවස්ථා ගණනක සිඩ්නි පොලිස් අත්අඩංගුවට පත්ව තිබුණි. කෙසේ හෝ මුඩුක්කුවෙන් පැමිණ නීතිවිරෝධී වැඩවලින්ම ධනපතිනියක් වූ ටිලී සමුගන්නා විට ඇය මුඩුක්කුවෙනුත් පහළට ඇද වැටී තිබුණි. අඩුතරමින් ඇගේ මරණය තියන්නට ඇය උපන් මුඩුක්කු ගෙදරවත් ඇයට තිබුණේ නැත. වැරදි පාරෙන් හරිහම්බ කරන රුපියලක්වත් යා නොදෙන බවට ටිලී ඩිවයින් ද හොඳ උදාහරණයක් නොවේද?

රුවන් එස්.සෙනවිරත්න