විශේෂාංග

අමතක කරලමු පැරණි කතා හදලා විකුණමු ඥානකතා

අමතක කරලමු පැරණි කතා

හදලා විකුණමුද ඥානකතා…?

 

ඔන්න මේ අලුත් අවුරුද්දේ පරණ කතා අමතක කරලා ඥානකතා හදලා ගොඩයන විදිය ගැනයි මේ කතාව.

ඉස්සර අපි හරි ආසාවෙන් බලාපු කාටූන් එකක් තිබුණා ‘ඥානකතා මල්ලියා’ කියලා.

 

ඥානේ නොමැති අයට හදපු

හුස්ම පිඹලා පණ පොවාපු

අනුන්ගේ ගින්දර නිවාපු

ඥානකතා මල්ලියා…”

 

ඔන්න ඔහොම ඒක පටන්ගනිද්දි කොහේ හිටියත් අපි ඉතින් ටීවි එක ඉස්සරහා. ඒ කතාවේ ප්‍රධාන චරිතේ පණ තියෙන ඥානකතාවක්. එයා හැමෝටම උදව් කරන වීරයෙක්. කවුරුහරි කෙනෙක් බඩගින්නේ ඉන්නවා නම් මේ ඥානකතා මල්ලියා එයාගේ ඔලුවෙන් ඥානකතා කෑල්ලක් ගලවලා ඒ කෙනාට කන්න දෙනවා. ඊටපස්සේ පාන් මාමා ඥානකතා මල්ලියට අලුතින් ඥානකතා ඔලුවක් හදලා දෙනවා.

ඒ කාලේ ඉඳලා අපි ඥානකතා මල්ලි බලන්න විතරක් නෙමෙයි ඥානකතා කන්නත් ආසයි. ඥානකතා කන්න අකමැති කවුද ඉතින්. ඥානකතා කෑවහම මොළේ වැඩෙනවාය කියලා ඔය සමහරු විහිළුවට වගේ කියන්නේ.

හැට හැත්තෑ ගණන්වල ඔය දැන් තියෙනවා වගේ අරුමෝසම් ටොපි චොක්ලට් වර්ග තිබුණේ නැතිලු. කඩපිලේ පැණි රස බෝතල් පුරවලා තිබුණේ ඥානකතා, විස්කිරිඥ්ඥා, සව්බොරෝ, බුල්ටෝ වගේ කෑම ජාතිවලින් කියලයි වැඩිහිටි උදවිය කියන්නේ. ඒ අතරිනුත් ඥානකතාවලට හම්බවෙන්නේ ප්‍රමුඛ තැනක්ලු.

ඥානකතා කියන්නේ සිංහල අපේ කෑමක් කියලා සමහරු විශ්වාස කරනවා. හැබැයි ඒ කතාව වැරදියි. ඥානකතා, පාන්, බනිස් ඇතුළු ගොඩක් කෑම වර්ග අපේ රටට ගෙනාවේ පෘතුගීසි.

ඊශ්‍රායලේ නසරත් නුවර හිටපු රෙපරමාදු ජාතිකයෝ තමයි මුලින්ම ඥානකතා හදලා තියෙන්නේ. නසරත් විස්කෝතු, සීනි බිස්කට් (Sugar Cookies) කියලයි ඔවුන් මෙව්වට කියන්නේ. ගොඩක් අය නොදන්නවා වුණාට ඥානකතා කියන්නේ නත්තල එක්ක හරි හරියට බැඳුනු කෑමක්. මොකද යුරෝපීය ජාතිකයෝ නත්තල සමරන්න එකතු කරගන්න ප්‍රධානම රසකැවිල්ලක් තමයි ඥානකතා.

අපේ රටේ උදවිය නම් ඉතින් නත්තල් කාලේ කියලා නැහැ ඕන කාලෙක ඥානකතාවලට කැමතියි. ඒ නිසා ඥානකතාවලට වෙළඳපොළේ හොඳ ඉල්ලුමක් තියෙනවා.

ඉතින් මේ අලුත් අවුරුද්දේ ඉඳලවත් පුංචිවට හරි අලුත් ව්‍යාපාරයක් පටන්ගන්න ඥානය පහල වේවා කියලා අපි ඥානකතා හදන වැඩේ පටන්ගමු.

ඒකට පාන්පිටි 120g, කුඩු කරගත් සීනි 75g, දියකරගත් බටර් 50g, කිරිපිටි 50g, බේකින් පවුඩර් තේ හැඳි 1/2, බිත්තරයක්, වැනිලා තේ හැඳි 1ක් සපයාගන්න.

 

පියවර 1

මුලින්ම පාන් පිටිවලට බේකින් පවුඩර් එකතු කරලා හොඳට හලාගන්න.

 

පියවර 2

සීනි, බටර්, කිරිපිටි භාජනයකට දාලා බීට් කරන්න. විනාඩි කීපයකින් වැනිලා සහ බිත්තරය එකතු කරන්න. මේ මිශ්‍රණයට හලාගත්තු පිටි ටිකෙන් ටික එකතු කරන ගමන් මිශ්‍ර කරලා බිස්කට් මෝලිය හදාගන්න. තෙතමනය වැඩියි නම් පිටි ස්වල්පයක් එකතු කරන්න.

 

පියවර 3

මිශ්‍රණය කුඩා කොටස්වලට වෙන් කරලා බෝල කරන්න. පස්සේ මැදින් පැතලි කරන්න. ඥානකතාව උඩට වතුර ටිකක් ගාලා සීනි උඩින් ඉසින්න. තෙල් කඩදාසියක් දාපු තැටියක ඥානකතා හයක් විතර තියලා 160°Cක උෂ්ණත්වයකින් විනාඩි 20-25 බේක් කරගන්න.

ප්ලාස්ටික් බෝතල්වල අසුරලා ලේබල් අලවාගන්න. මෙහෙම හදන එක ඥානකතා එකක් ප්‍රමාණය අනුව රුපියල් 10-60 දක්වා මිලකට අලෙවි කරන්න පුළුවන්. තවත් විස්තරවලට 0714766819 අංකයට කතා කරන්න.

සීතා පොන්නම්පෙරුම

ස්වයං රැකියා පාඨමාලා උපදේශිකා

 

සෙව්වන්දි හෙට්ටිආරච්චි