ටූටකාමන් වගේ රජෙක් අපිටත් හිටියානම් බිම්මල් කාලා හමාරයි රජෝ!
හිතේ හයියෙන් ජීවිතය දිනන්න කැමති කොයිකාටත් අතහිත දෙන්න ‘ධරණී’ හැමදාමත් කැමතියි. නිකරුණේ ගෙවිලා යන කාලය තමන්ගේම කියලා ස්වයං රැකියාවක් වෙනුවෙන් යොදවන්න කැමති කාන්තාවන්ට හොඳ ඉල්ලුමක් තියෙන විවිධ දෑ ගෙදරදිම හදාගන්න හැටි පියවරෙන් පියවර කියලා දෙන්න අපි හිතුවේ ඒකයි. කඩදාසි, මැටි, රෙදි, විවිධ ආහාර, සබන් ඇතුළු විවිධ දේ නිර්මාණය කරන විදිය ගැන සහ ඒවා වෙළඳපොළ වෙත යොමු කරන ආකාරය ගැන මේ ලිපි මාලාව හරහා ඔබව දැනුවත් කරනවා.
බුදුන් වහන්සේ මිගාරමාතුපාසාදය නැත්නම් පූර්වාරාමයේ වැඩ වසන කාලයේදි වාසෙට්ඨ භාරද්වාජ කියන භික්ෂූන්වහන්සේලා දෙන්නට අග්ගඤ්ඤ සූත්‍රය දේශනා කර වදාළා. පෘථිවිය මත ජීවය ඇතිවුණු හැටි ගැනයි ඒ දේශනාවෙන් පැහැදිලි කරන්නේ.
ආභස්සර බ්‍රහ්මලෝකයේ ප්‍රභාස්වර ශරීරය ඇති බමුණන් එක කාලයකදි පෘථිවියට පැමිණියා. ඒත් එක්කම පෘථිවි තලයේ ඉතා රසවත් සූපයක් ඇතිවුණා (රස පොළොව). මේ දකින බමුණන්ට රස පොළොව ගැන තෘෂ්ණා සිත් මතුවෙලා සූපය බුදිමින් පෘථිවියේම ජීවත්වුණා. ඉතින් මේ සූපය නිසා ටික කාලෙකින් ඔවුන්ගේ මෘදු සිරුරු රළු බවට පත්වුණා.
මේ අයගේ තෘෂ්ණාව නිසා ටික කාලෙකින් මේ රස පොළොව අතුරුදහන්වෙලා පොළොවෙන් භූමිපප්පටක (බිම් හතු) මතුවුණා. මේ හතු කන්න පටන්ගත්තයින් පස්සේ ඔවුන්ට ඊර්ෂ්‍යාව, කුහකකම වගේ සිතිවිලි ඇතිවුණාලු. ඒ නිසාම බිම් හතුත් නැතිවෙලා බදාලතාව (වැල් වර්ග) ඇතිවුණා. වැල් ආහාරයත් එක්ක මේ ජීවින්ගේ ස්ත්‍රී පුරුෂබව වෙන්වෙලා පෘථිවියේම ජීවත්වුණාලු. මේ අග්ගඤ්ඤ සුත්‍ර දේශනාවේ ඇතැම් කරුණු නව විද්‍යාව එක්ක පෑහෙනවා කියලයි විද්‍යාඥයෝ කියන්නේ.
කොහොම වෙතත් හතු නැත්තම් බිම්මල් ලෝකය ආරම්භ වුණු දා ඉඳලා ආහාරයට ගත්තා කියන එක පැහැදිලියි.
බිම්මල් හැදිලා තියෙන්නේ දිලීරවලින්. දැනට බිම්මල් වර්ග 50,000 විතර හොයාගෙන තියෙනවා. හැබැයි ආහාරයට ගන්න පුළුවන් වර්ග තියෙන්නේ 1200යි. ඊජිප්තුවේ හිටපු ටූටකාමන් රජතුමාගේ ප්‍රියතම ආහාරය බිම්මල්ලු. රජාගේ ආසම කෑම නිසා මෙව්වා වෙන අයට කන්න තහනම්ලු. ඉතින් හොරෙන් හරි හතු කාලා අහුවුණොත් දඬුවම මරණය.
බිම්මල්වල විටමින් B, A, යකඩ, ප්‍රෝටීන වගේ සංඝටකයන් බහුලයි. මස් මාළු නොකන අයට හොඳ ප්‍රෝටීන ආදේශකයක්. ඒ වගේම කිරට, මිරිසට, තෙලට ඔය කොයි ජාතියෙන් ඉව්වත් බිම්මල් බොහොම රසයි. ඒ නිසා අර ආභස්සර ලෝකෙන් ආපු අය වගේම දැන් ඉන්න අයත් බිම්මල්වලට බොහොම මනාපයි. ඒ නිසා ස්වයං රැකියාවක් විදියට කරන්න මේක හොඳ වැඩක්.
ඔයිස්ටර්, පිදුරු, බොත්තම්, ෂිටාකේ, ඇබලෝනි කියන බිම්මල් තමයි අපේ රටේ බහුලව වගා කරන්නේ. කෙටි කාලෙකින් වැඩි අස්වැන්නක් ගන්න පුළුවන් නිසා මෙයිනුත් වැඩියෙන් වගා කරන්නේ ඔයිස්ටර් වර්ගය. ඒ නිසා ඔයිස්ටර් හතු වගා කරන හැටි තමයි අපි කියලා දෙන්නේ.
මුලින්ම අපි බිම්මල් මළු 200ක් හදමු. ඒකට රබර්, කොට්ට, අඹ, මාර, කොට්ට්ම්බා, ඇල්බීසියා වගේ සැහැල්ලු ලී කුඩු වර්ගයක් අවශ්‍ය වෙනවා (තරමක් පරණ ලී කුඩු පෝෂණයෙන් වැඩිය). ලී කුඩු 100kg, සහල් නිවුඩු 10kg, මැග්නීසියම් සල්ෆේට් 250g, කැල්සියම් කාබනේට් 2 1/2kg, රනිල පිටි 1 kg (මුං, කුරක්කන්, සෝයා, කඩල වැනි දෙයක්), අඟල් 7ක් පළල 13.5ක් දිග ගේජ් 200 පොලි පොප්ලීන් මළු, පදමට ජලය.
පිරිසුදු සිමෙන්ති පොළොවකට ලී කුඩු ටික දාන්න. ඒකේ තියෙන ලොකු කෑලි එහෙම අයින් කරන්න. මැග්නීසියම් සල්ෆේට් ඇර අනිත් සියලුම ද්‍රව්‍ය ලී කුඩට එකතු කරලා සවලකින් මිශ්‍ර කරන්න. මැග්නීසියම් සල්ෆේට් වතුර භාජනයක දිය කරලා මිශ්‍රණයට එකතු කරන්න. ඔය අතර අවශ්‍ය තරමට වතුර එකතු කරන්න. ගුලි කළාට පස්සේ මිශ්‍රණය කොටස් කීපයකට කැඩෙනවා නම් ඒක තමයි පදම. එහෙම නොකැඩී ඇලවෙනවා නම් තුනී කරලා වියැළෙන්න අරින්න.
දැන් පොලිපොප්ලීන් මල්ලේ එක පැත්තක් ගැට ගහලා ගැටේ ඇතුළට යන විදියට අනිත් පැත්ත හරවන්න. ඊටපස්සේ මල්ලට සම්පූර්ණයෙන්ම මිශ්‍රණය පුරවන්න. අතින් අල්ලන්නේ නැතුව ඉටිකවරයෙන්ම මිශ්‍රණය 1/3ක් වෙන්න තද කරගන්න. ඊටපස්සේ අඟල් 1/3කේ pvc බට කෑල්ලක් අරන් ඒ සිදුර මැද්දෙන් රිංගවා ගන්න. බටය මැදට පුළුන් ඇබයක් ගහලා ඊට උඩින් 2×2 පත්තර කෑල්ලක් තියලා රබර් පටියකින් තදට බඳින්න.
දැන් හදාගත්තු මළු ටික ජීවානුහරණය කරමු. ඒකට කට සීල් කරන්න පුළුවන් යකඩ බැරල් එකක්, මළු ටික තියාගන්න උස අඟල් 6ක ලී තට්ටුවක් එහෙම අවශ්‍යයි. බැරල් එකේ පියන අඟල් 5 ඇණයකින් සිදුරු කරන්න. ලිපක් හදලා බැරල් එක තියන්න. අඟල් 4ක් ජලය පුරවන්න. දැන් අර අඟල් 6 තට්ටුව බැරල් එකෙන් තියෙන්න. එක් වතාවකදී මළු 57ක් විතර අතුරගන්න පුළුවන්. ඒ උඩ මළු ටික අතුරගන්න. මළු බැරල් එකේ වදින එක නවත්තන්න බැරල් එක වටේට ඇතුළින් කෙසෙල් කොළ නැත්තම් ඇල්බීසියා කෝටු තියන්න.
ගින්දර දාලා රත් කරන්න. හොඳට ජීවානුහරණය වෙන්න නම් පැය තුනක් එකදිගට අර සිදුරෙන් දුම් යන්න ඕනේ. ඊටපස්සේ මළු ටික පැය 24ක් නිවෙන්න තියන්න.
දැන් මළුවලට බීජ දාමු. මුලින්ම හොඳින් අත් පිරිසුදු කරගන්න. මුබ ආවරණ පැළඳගන්න. පිරිසුදු මේසයක කොන් හතරේ ඉටිපන්දම් පත්තු කරන්න. බීජ පැකට් එක කඩන්න කලින් අතින් පොඩි කරලා ඇට ටික වෙන් කරගන්න. පස්සේ වගා මල්ලේ ඇබය ඇරලා ජීවානුහරණය කළ තේ හැන්දකින් 1/3ක් දාලා ඉක්මනින්ම වහන්න. ප්‍රදේශයේ කෘෂිකර්ම මධ්‍යස්ථාන, ආහාර සංවිධාන මණ්ඩල සහ විදාතා මධ්‍යස්ථානවලින් බිම්මල් බීජ ගන්න පුළුවන්.
දැන් හදාගත්තු මළු ටික බීජෝෂණයට තියමු. හදාගත්තු මළු ටික අදුරු කාමරයක දවස් 28ක් තියන්න. මේකට ගෙදර කාමරයක දොර ජනෙල් වහලා යොදාගන්න පුළුවන්. දින 28කින් මළු සුදු පැහැයට හැරෙනවා. එතකොට මළු ටික වගා ගෘහයක තියන්න ඕනේ.
වගා ගෘහයට උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 26-23, ආලෝකය-50% සහ මනා වාතාශ්‍රයක් අවශ්‍යයි.
වගා ගෘහයක් හදන්නේ මෙහෙමයි. සුදුසු තැනක් සුද්ධ කරලා ගඩොල් තුනකින් බිත්ති බඳින්න. ඉතිරි බිත්තිය වෙනුවට දැලක් දාගන්න. වහලයට උළු හෝ සීට් දාගන්න. පොළොවට මැටි, වැලි නැත්තම් සිමෙන්ති දාන්න පුළුවන්. වගා කාමරේ A හැඩයට රාක්ක ගහගන්න. නැත්තම් වහලයෙන් තිරස් අතර පොලු හයි කරලා කම්බි කොකුවලින් මළු එල්ලන්නත් පුළුවන්. සුදුවුණු මළු ටික වගා කාමරේ තියලා බිලේඩ් එකකින් සියුම්ව කපලා බට ඇබය ඉවත් කරන්න. හෑන්ඩ් ප්‍රෙෂර් එකකින් උදේ හවස වතුර ස්ප්‍රේ කරන්න.
ඔහොම දවස් 7ක් යද්දි අපිට බිම්මල් නෙළන්න පුළුවන්. මල්ලේ කොටස් ඉතිරි නොවෙන්න බිම්මල නෙළාගන්න. නැත්තම් ඒකට කෘමීන් ආකර්ෂණ වෙන්න පුළුවන්. ගැලෙව්ව බිම්මල් පොලිතීන්වල පිරිසුදුවට අතුරලා නිෂ්පාදිත දිනය, කල් ඉකුත්වීමේ දිනය, නම, ලිපිනය, දුරකතන අංකය එක්ක වෙළඳපොළට යවන්න.
දවස් තුනෙන් තුනට එක්වරකට එක මල්ලකින් 300g වගේ අස්වනු ගන්න පුළුවන්. අවශ්‍ය සිසිලස, උෂ්ණත්වය නිසි පරිදි තියාගන්නවා නම් මේ එක මල්ලකින් මාස හතරක් අස්වනු ගන්න පුළුවන්. වෙළඳපොළේ බිම්මල් පැකට් එකක් 100-150 අතර මිලකට විකිණෙනවා. ඉතින් මේ ව්‍යාපාරයෙන් ගන්න පුළුවන් ලාබය පැහැදිලිනේ. තවත් විස්තරවලට 0771353422 අංකයට කතා කරන්න.
සෙව්වන්දි හෙට්ටිආරච්චි
