බඩේ දරුවෙක් ඉන්නවා කියලා දැනගෙනත් එයා මට ගෑස් සිලින්ඩරේකින් ගැහුවා
මෙලොව ඉපදුණ කාටත් තමන්ගේම කියා කතාවක් ඇත. ගීතාගේ කතාවේනම් තිබුණේ වේදනාව, බය සහ කඳුළ පමණි. එදා ඇය ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයෙන් මදි නොකියන්නට බැටකෑවාය. නමුත් අද ඇය ලෝකයක ආදරය දිනූ තරුණියක් බවට පත්ව ඇත. බොලිවුඩයේ ත්‍රාසජනක ජවනිකා රඟ දක්වන සුරූපි නිළියන් අතර ප්රමුඛස්ථානයක් දිනාගත් ඇය ගීතා තන්ඩන් ය. ගින්නෙන් දැවී අලු වී ගියද නැවත ගින්නෙන්ම උපදින ෆීනික්ස් කිරිල්ලියක බඳු වූ ඇගේ කතාවයි මේ.
ඉන්දියානු තරුණියක වූ ගීතාට මංගල සීනු හැඬවුණේ ඇයට යාන්තම් වයස අවුරුදු 15 පිරෙද්දීය. ඇගේ කැමැත්ත අකමැත්ත බල්ලාට දැමූ පවුලේ උදවිය හිතුමතේට ඈ දීග දෙන විට කසාද ජීවිතයක දිගක් පළලක් ඇය දැන සිටියේ නැත.
“මට අවුරුදු නවයක් වෙනකොට අම්මා නැතිවුණා. තාත්තා තමයි ඊටපස්සේ මාව බලාගත්තේ. මට තව අක්කලා තුන්දෙනෙක් හිටියා. ඉතින් අම්මා නැතිවුණාට පස්සේ පවුලෙන් මට ගොඩාක් වෙනස්කම් වුණා. මම පවුලට බරක් කියලා තමයි හැමෝම හිතුවේ. ඒකයි ඕන දෙයක් වෙන්න කියලා ගෙදරින් ගෙනාපු මංගල යෝජනාවට කැමතිවුණේ.”
මුලින් මුලින් කොකා සුදට පෙනුණත් ඌ සුදුම සුදු නොවන බව පෙනෙන්නට ගත්තේ ඉගිලෙන විටය.
විවාහයෙන් සතියක් දෙකක් ගතවෙද්දී සැමියාගේද නියම ස්වරූපයද එළියට එන්නට පටන්ගත්තේය. දිනක් ඔහු නිවසට ආවේ හතරගාතයෙනි. එක්වරම ගීතා සමීපයට පැමිණි ඔහු ඇයව වේගයෙන් සිපගත්තාය. පසුව ඇයව ඇඳට පෙරලාගෙන ලිංගිකව හැසිරුණේය. ඒ සියල්ල තුළ තිබුණේ ආදරය නොව ඉහවහා ගිය විකෘති ආශාවන් සමුදායකි.
“එදා ඉඳන් කසාද ජීවිතේ මට වහකදුරු වගේ වුණා. හැබැයි ඒ ටික තේරුම් ගන්නකොට පෙරහර ගිහින් ඉවරයි. එයා හොඳටම බොන කෙනෙක්. බිව්වම එයාට විකෘති ආශාවන් එනවා. මං තමයි ඒකෙන් තැලුනේ. සමහර දවස්වලට මං කිසිම වැරැද්දක් නොකරත් එයා මට අතට අහුවෙන එකෙන් ගැහුවා. එහෙම ගහලා සතුටුවුණා.”
බලා ඉන්නට බැරිම තැන ගීතා ගොසින් නැන්දම්මා මුණගැසුනි. නමුත් ඇයද පුතාට සුදුහුණු ගෑවා මිසක ලේලිය කී දේ තඹ දොයිතුවකට මායිම් කළේ නැත. නමුත් නැන්දම්මා මතක ඇතුව එක් දෙයක් කළාය. ඒ ඇය හමුවීමට ලේලිය පැමිණි බව පුතාගේ කනේ තැබීමයි. එපමණක් නොව තමා හමුවට පැමිණ ඔහුගේ වැරදි කී එකට අමානුෂික දඬුවමක් දෙන ලෙසද පුතාට පැවසුවාය. දඬුවම වූයේ ගීතාව නිරුවත්කොට ඇයව පිටස්තරයෙකු දූෂණය කරන සේ දූෂණයට ලක්කිරීමයි.
“ඔය විදියට අවුරුදු පහක් හිටියා. ඇත්තටම හිටියා නෙවෙයි ඉන්න වුණා. ඒ වෙනකොටත් මං සැමියා දීපු වදත් එක්ක ගොඩාක් දුර්වල කෙනෙක්. ඔය අතරේ බඩට දරුවෙක් ආවා. මං හරිම සතුටුවුණා දරුවා ලැබුණම හරි එයා වෙනස්වෙයි කියලා. ඒත් ඒ මනුස්සයා තවත් කුරිරු වුණා. මට මතකයි දරුවා බඩේ ඉන්නකොට එයා මට ගෑස් සිලින්ඩරේකින් දමලා ගැහුවා. තවත් දවසක කඩුවකින් ඇඟ හැමතැනම තුවාල කළා. එයා ගොඩාක් සතුටුවුණේ මගේ ඔලුව බිත්තිවල හප්පලා. සමහර වෙලාවට එයා පස් හය වතාවක් මගේ ඔලුව බිත්තියේ හප්පලා සතුටුවුණා.”
පසුව දරුවන් දෙදෙනෙකුට මව වූ ගීතාට එකී ජීවිතය ගැන තිබුණේ කම්පාවකි. විටෙක ඇයට සියදිවි නසාගන්නට පවා සිත්විය. එවැනි තීරණයකට සිත ඇයව තල්ලු කරන හැම මොහොතකම දරුවන් කෙරේ උපන් ස්නේහය විසින් ඇය යළි යළිත් ආපස්සට ඇද්දාය. අවසානයේ වෙනත් විසඳුමක් නැති තැන ඇය මුම්බායි පොලිසිය වෙත ගියේ නීතියේ පිළිසරණක් හෝ පැතීමටය. නමුත් පොලිසියෙන් ඇයට ලැබුණේ අස්වැසෙන පිළිතුරක් නම් නොවේ.
“මහත්තයාගෙන් ගුටිකන එක පොලිසි එන්න තරම් හේතුවක්ද? ඒක සාමාන්‍ය දෙයක්නේ. ඕනම නම් ඔයා ඔයාගේ අම්මලාගේ ගෙදර ගිහින් ටික දවසක් එහේ ඉඳලා එන්න. එතකොට ඔය ප්රශ්නය අකාමකා ගිහින් තියේවි.”
ඇගේ අවසන් බලාපොරොත්තුවත් ඒ විදියට සුන්වී ගියේය. නිවසට ආ ගීතාට තවත් එහි වෙසෙන්නට එකදු හේතුවක් හෝ තිබුණේ නැත. ඒ නිසා ඇය දරුවන් දෙදෙනාද රැගෙන සැමියාගේ නිවසින් පිටව යාමට තීරණය කළාය. නමුත් ගීතාට යන එන මං නැති බැව් දන්නා සැමියාත් ඔහුගේ පවුලේ උදවියත් ඇයට අභියෝගය කළහ. ඒ හැකි නම් තනිව ජීවත් වී පෙන්වන ලෙසයි.
“ඒක ඇත්තටම මට අභියෝගයක් වුණා. ඒත් ඒ බවක් මං එයාලට පෙන්නුවේ නෑ. හැබැයි මං හිතාගත්තා මං කවුද කියලා ඒ අයට ඔප්පු කරලම පෙන්නනවා කියලා. ඊටපස්සේ මං ගිහින් මුම්බායිවල පොඩි කාමර කෑල්ලක් ගත්තා. මට උවමනා වුණා රැකියාවක් කරන්න. ඒත් මං ඉගෙනගත්තේ නැති කෙනෙක් නිසා කවුරුත් රැකියාවක් දෙන්න කැමතිවුණේ නෑ. ඔය අතරේ මට හොඳට සල්ලි හොයන්න පුළුවන් කියලා ගණිකාවක් වෙන්න යෝජනා කරපු අයත් හිටියා. ඒ මිනිස්සුන්ට මං කිව්වා දරුවෝ බඩගින්නේ මැරුණත් තවත් පිරිමියෙක් ළඟ වහලියක් වෙන්න මං ලෑස්ති නෑ කියලා.”
මේ අතරතුරේ අහම්බෙන් හමුවූ ගීතාගේ පැරණි මිතුරියක් ඇයට අපූරු යෝජනාවක් කළාය. ඒ බොලිවුඩ් චිත්‍රපටවල ත්‍රාසජනක ජවනිකා රඟපාන නිළියකට රඟපාන්නට යන ලෙසයි. ගණිකාවකට අඳින්නට අකමැති වූ ගීතා නිළියකට අඳින්නට එකපයින් කැමති විය. ඇරත් සැමියාගෙන් ගුටි කකා සිටි ඇයට ත්‍රාසජනක ජවනිකා යන්න අරුමයක්ද නොවන්නට ඇත. ඒ අනුව ඇය අධ්යක්ෂවරයෙක් හමුවීමට ගියාය. එහිදී රඟපාන්නට අවස්ථාවක්ද හිමිවිය. නමුත් කරුමයක මහත. මුල්ම රූගත කිරීමේදීම අනතුරකට ලක්ව රෝහල්ගතවීමට ඇයට සිදුවිය.
“ඒත් මං ආයෙත් චිත්‍රපටවල ත්‍රාසජනක ජවනිකා කරන්න ගියා. මට ඕනතරම් වැඩ ලැබුණා. ඒ විතරක් නෙවෙයි මට හොඳ ගෙවීමකුත් ලැබුණා. ඒ මුදල්වලින් දරුවන්ට ඉගැන්වුවා. මමත් මං වෙනුවෙන් ගොඩක් දේවල් කරගත්තා. බිංදුවටම වැටිලා හිටපු මං නැගිට්ටේ එහෙමයි.”
එලෙසින් නැගිටගත් ඇය අවසන නැවතුනේ බොලිවුඩ් සිනමාවේ ප්‍රසිද්ධම ත්‍රාසජනක නිළියක බවට පත්වෙමිනි. එපමණක් නොව ඇයව තම චිත්‍රපට සඳහා දායක කරගන්නට බොලිවුඩයේ අධ්යක්ෂවරුන් අතර තරඟයක් පවා නිර්මාණය විය.
“මේ ලෝකේ තමන් වෙනුවෙන් හඬක් නඟාගන්න බැරි ගොඩාක් කාන්තාවෝ ඉන්නවා. මං හිතනවා මගේ කතාව බැලුවොත් ඒ අයට උත්ප්‍රේරණයක් වෙයි කියලා. ජීවිතයට ඕනතරම් අභියෝග එනවා. ඒ අභියෝගවලට මුහුණදෙන ගමන් ජීවත්වෙන එක තමයි ජීවිතය කියන්නේ. දැන් මගේ ඉලක්කය බොලිවුඩයේ පළමු කාන්තා සටන් අධ්‍යක්ෂවරිය වෙන එක. මං දන්නවා මට ඒක කරන්න පුළුවන්.”
මේ හිත හයිය ගැහැනිය අද සිනාමුසු මුහුණින් කියන තවත් අපූරු කතාවක් තිබේ.
“මගේ සැමියාගේ පවුලේ අයට මං එක අභියෝගයක් කළා. ඒ ගැහැනියකගේ හයිය මං ඔප්පු කරලා පෙන්නනවා කියලා. එදා ඒ කියපු විදියටම මං ඒ හැමෝටම ඒක ඔප්පු කරලා පෙන්නුවා.”
රුවන්.එස්.සෙනවිරත්න