ස්වයං රැකියා

ගෙදර කක්කුස්සියත් නෑ කියලා නෝනා මහත්තයාව දාලා ගිහිල්ලා

හිතේ හයියෙන් ජීවිතය දිනන්න කැමති කොයිකාටත් අතහිත දෙන්නධරණීහැමදාමත් කැමතියි. නිකරුණේ ගෙවිලා යන කාලය තමන්ගේම කියලා ස්වයං රැකියාවක් වෙනුවෙන් යොදවන්න කැමති කාන්තාවන්ට හොඳ ඉල්ලුමක් තියෙන විවිධ දෑ පියවරෙන් පියවර ගෙදරදිම හදාගන්න හැටි කියලා දෙන්න අපි හිතුවේ ඒකයි. කඩදාසි, මැටි, රෙදි, විවිධ ආහාර, සබන් ඇතුළු විවිධ දේ නිර්මාණය කරන විදිය ගැන සහ ඒවා වෙළඳපොළ වෙත යොමු කරන ආකාරය ගැන මේ ලිපි මාලාව හරහා ඔබව දැනුවත් කරනවා.

බොහොම ඉස්සර අපේ රටේ ගෙවල්වල වැසිකිළි තිබිලා නැහැ. ළඟපාත තියෙන කැලෑ රොදකට වැදිලයි ඒ උදවිය ඔය කර්තව්‍යය කරලා තියෙන්නේ. ඔය විදියට මිනිස් මළපහ පරිසරයට එකතු වුණහම එව්වගෙන් කොකුපණු බීජාණු වගේම විවිධ තාලේ විෂබීජත් පරිසරයට එක්කාසු වෙනවා. එතකොට  ආහාරයි ජලයයි හරහා එව්වා ශරීරගත වෙලා මිනිස්සුන්ට එක එක ජාතියේ ලෙඩ හැදෙනවා. එක්දාස් නවසිය විසිගණන්වලදි කොකුපණු රෝගය නිසා ගොඩක් උදවිය ලෙඩවෙලා. ඒ වගේම සැලකිය යුතු ප්‍රමාණයක් මැරිලත් තියෙනවා. ඉතින් ඔය කාලේ ලංකාව පාලනය කරපු යටත්විජිත ආණ්ඩුව මේ වසංගතේට කෙටිකාලීන පිළියමක් විදියට රෝගීන්ට ප්‍රතිකාර කරලා දිගුකාලීන විසඳුමක් විදියට හැම ගෙදරකම වැසිකිළියක් හැදීම අනිවාර්යය කළාලු.

අලුත් නීතියෙන් පස්සේ අතලොස්සක් පිරිස කැමැත්තෙන්ම වැසිකිළි හදලා. හැබැයි ග්‍රාමීය පරිසරයවල ජීවත්වෙච්චි බහුතරයක් උදවිය මේ නීතිය දැක්කේ ලොකු අවමානයක් විදියටලු.

මෙච්චරකල් නොතිබුණු කක්කුසියක් මොකද මේ එක පාරටම ඕනෑ වුණේ? ගෙයක් ඇතුළේ ඉඳගෙන ඔය වැඩේ කළ හැකිද? ෂික් විතරක් ගඳ ගහන්නෙ නැද්ද?”

මේක ජ්‍යේෂ්ඨ කතුවරයෙක් වෙච්චි කේ.ජයතිලක මහත්මයා අපේ වැසිකිළි ඉතිහාසය අළලා ලිව්ව ‘අපට වැසිකිළියක්’ පොතෙන් උපුටාගත්තු කොටසක්. අපේ මිනිස්සු වැසිකිළි භාවිතේට හුරුවෙච්චි හැටියි ඔය කතාවෙන් කියැවෙන්නේ.

අපේ රටේ වැසිකිළි භාවිතා නොකරන උදවිය දැන් නම් අවමයි. හැබැයි අපේ අසල්වැසි ඉන්දියාවේ මිනිස්සුන්ගෙන් 40%ක්ම තවමත් ඔය වැඩේ කරන්නේ පඳුරුවලට මුවාවෙලා.

ප්‍රියංකා භාරතීට අවුරුදු 19යි. ඇගේ ගෙදර වැසිකිළියක් තිබුණත් ඇගේ සැමියගේ ගෙදර වැසිකිළියක් නැහැ. ඒ නිසා කසාද බැඳලා අවුරුද්දක් යන්න කලින් ප්‍රියංකා ඇගේ සැමියව දාලා ගිහිල්ලා. ඔය සිද්ධිය පාදක කරගෙන 2017දී ‘ටොයිලට්’ කියලා චිත්‍රපටයක් හැදෙනවා. මේකේ ප්‍රධාන චරිතය කේෂව්. ගෙදරක වැසිකිළියක් හදන එක පෞරාණික සිරිත්වලට එරෙහිව යන්නක් විදියටයි ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල අදටත් සලකන්නේ. ඉතින් ඒ වගේ පරිසරයක ඉඳගෙන බිරිඳ වෙනුවෙන් කේෂව් වැසිකිළියක් හදන හැටියි මේ කතාවේ තියෙන්නේ. මේ චිත්‍රපටය බලපු ගොඩදෙනා තමන්ගේ නිවෙස්වල වැසිකිළි හදාගත්තලු.

ගෙදරක වැසිකිළියක් තියෙන එක විතරක් නෙමෙයි ඒ වැසිකිළිය පිරිසිදුවට තියාගන්න එකත් බොහොම වැදගත්. බැක්ටීරියා සහ විෂබීජ අපේ ශරීරයට ඇතුළු වෙන ප්‍රධානම මර්මස්ථානේ ඔතැනනේ. ඉතින් දවසට දෙපාරක්වත් වැසිකිළිය නැත්තම් බාත්රූම් එක පිරිසුදු කරන්න ඕනේ කියලයි වෛද්‍යවරු කියන්නේ.

ලෝකේ පරණම වැසිකිළිය හොයාගෙන තියෙන්නේ මොසපොතේමියාවෙන්. ඒක ක්‍රි.පූ. 3200 ගණන්වලදි හදපු එකක්ලු. සත්ව තෙල්, ශාක යුෂ වගේ දේවල් භාවිතා කරලා එව්වා පිරිසුදු කරලා තියෙන බවටත් සාක්ෂි තියෙනවලු.

ටොයිලට් පිරිසුදු කරන්න දැන් නම් අපි පාවිච්චි කරන්නෙ ටොයිලට් ක්ලීනර්. එංගලන්ත ජාතික හැරී පිකප් තමයි මුලින්ම අපි දැන් භාවිතා කරන ටොයිලට් ක්ලීනර් හදලා තියෙන්නේ. ඒ 1932දී.

මේ නිෂ්පාදනවලට සෑහෙන ඉල්ලුමක් තියෙන නිසා එදා ඉඳලා මහාපරිමාණ කර්මාන්ත විදියටත් සුළු පරිමාණ ව්‍යාපාර විදියටත් ටොයිලට් ක්ලීනර් වර්ග හදනවා. ස්වයං රැකියාවක් විදියට ප්‍රමිතියෙන් යුතු ටොයිලට් ක්ලීනර් එකක් හදාගන්න හැටියි අද කියලා දෙන්නේ.

ටොයිලට් ක්ලීනර් ලීටර එකක් හදන්න මේ අමුද්‍රව්‍ය ටික සපයාගන්න. ලැබ්සා 100g, (කුණු ඉවත් කිරීමට, පෙණ නැඟීමට), සෝඩියම් හයිපොක්ලෝරයිට් 50g (පැහැගැන්වීමට), HEC (Hydroxyethyl Cellulose) 8g (උකු ගතිය ගැනීමට), EDTA (Ethylenediaminetetraacetic Acid) 0.5g (කිවුල නැති කිරීමට), සුවඳ 2g, වර්ණක 0.2g. පිටකොටුවේ බංගසාල වීදිය, ඩෑම් වීදිය, සෙන්ට්‍රල් රෝඩ් වගේ තැන්වලින් මේ දේවල් ලාබෙට ගන්න පුළුවන්.

 

පියවර 1

HECවලට වතුර ටිකෙන් ටික එකතු කරන ගමන් කැටි නොගැසෙන්න වේගයෙන් මිශ්‍ර කරන්න. පස්සේ ඒකට ලැබ්සා එකතු කරලා දිය කරන්න.

 

පියවර 2

පස්සේ මිශ්‍රණයට EDTA එකතු කරලා දිය කරන්න. සෝඩියම් හයිපොක්ලෝරයිටුත් එකතු කරන්න. අවසානයට පාට, සුවඳ දාලා මිශ්‍ර කරන්න. මිශ්‍රණයේ pH අගය 10ක් වෙන්න ඕනේ.

 

මෙහෙම හදාගන්න ටොයිලට් ක්ලීනර් 500mlක් රුපියල් 400-500 අතර මිලකට අලෙවි කරන්න පුළුවන්. මේ ගැන තවත් විස්තර දැනගන්න 0714766819 අංකයට කතා කරන්න

සීතා පොන්නම්පෙරුම
ස්වයං රැකියා පාඨමාලා

 

සෙව්වන්දි හෙට්ටිආරච්චි