විශේෂාංග

රත්තරං අම්මේ, මේ ලිපිය කියවන්න ලැබුණොත් ආපහු ගෙදර එන්න

බිත්තියක ඔලුව හේත්තු කරගත්තු පුංචි කෙල්ලක් අවුරුදු දෙකක විතර පුංචි දරුවෙක්ට ඔක්සිජන් ආවරණයක් අල්ලගෙන ඉන්න පිංතූරයක් මීට අවුරුදු කීපෙකට කලින් ලෝකෙම කතාබහට ලක්වුණා. ඒ පින්තූරය අරගෙන තිබුණේ 2018 සිරියාවේ ඩූමා නගරෙට රසායනික ප්‍රහාරයක් එල්ලවුණු වෙලාවේ. ප්‍රහාරයෙන් මිනිස්සු සිය ගාණක් මැරුණා. පිංතුරේ හිටපු අවුරුදු හතක පුංචි දුවට විස දුමෙන් බේරෙන්න ලැබුණේ එක ඔක්සිජන් ආවරණයයි. ඇගේ ජීවිතේ ආසාව අතඇරලා ඇය ඒ ආවරණය සහෝදරයාට පැළඳුවා. ඡායාරූපය ගන්නකොටත් ඈ හිටියේ මියගිහින්ලු.

සහෝදරකම කියන්නේ වචනවලින් පැහැදිලි කරන්න බැරි ලේ නහරවලට කිඳාබැහැපු බැඳීමක්. වතුරවලට වඩා ලේ ඝනකමයි කියන්නේ ඒකයි. ඉතින් සහෝදරයා වෙනුවෙන් ජීවිතේ අතඅරින්න ඈ දෙවරක් නොහිතන්න ඇති.

අම්මලා නැති ගොඩක් ගෙවල්වල පුංචි උන්ට අම්මා අප්පලා වෙන්නේ ඒ ගෙදර වැඩිමහල් දරුවෝ. දෙතනට කිරි නොඑරුණත් පුංචි උන් වෙනුවෙන් උන්ගේ හිත්වලට කිරි එරෙනවා. ඒ නිසාම බාල සහෝදර සහෝදරියෝ වෙනුවෙන් තමන්ගේ සතුට, ජීවිතය කැපකරපු සහෝදර සෙනෙහසේ තරම ලෝකෙට කියාපාන ඔවැනි කතා අනන්තයි.

මෙතැන් ඉඳලා මේ කියවන්න යන්නෙ තවත් එහෙම කතාවක්. මේ ආබාධිත නංගි වෙනුවෙන් හිතට කිරි එරුණු බෝසත් අයියා කෙනෙක් ගැන කතාවක්. හලාවත කුමාරකට්ටුවේ ජීවත්වෙන නිශාන් මධුරංගට අවුරුදු 22යි. ඔහු ඒ වයසේ කොල්ලෙක්ට නොසෑහෙන තරමට නංගි වෙනුවෙන් ජීවිතේ එක්ක ඔට්ටුවෙන තරුණයෙක්.

නංගිගේ නම සෞම්‍යා නිශාදි. එයාට 19යි. නංගි හම්බෙලා මාස තුනෙන් තාත්තා නැතිවෙලා. ඉපදිලා මාස තුනක් යනකල් නංගිට කිසි අසනීපයක් තිබිලා නැහැ. ටික ටික ලොකු වෙද්දි තමයි එයාට ස්නායු ප්‍රශ්නයක් තියෙනවා කියලා දැනගෙන තියෙන්නේ. නංගිට කතා කරන්න බැහැ. ඇවිදින්න බැහැ. අතපය වකුටුයි.

නංගිගේ අසනීපේ නිසා අම්මට එයාව දාලා රස්සාවකට යන්න බැරිවුණා. ඉතින් අම්මගේ ඥාතීන්ගේ උදව්වලින් තමයි අම්මා අපිව උස්මහත් කළේ. ඉස්කෝලේ යන කාලේ මම ඉගෙනගන්න දක්ෂයි. ඒත් හරි ආදායම් මාර්ගයක් නැති නිසා අපි නොසෑහෙන්න දුක් වින්දා. බලාගෙන ඉන්න බැරි තැන දහය වසරෙන් මම ඉස්කෝලේ යන එක නැවැත්තුවා.”

නිශාන් අවුරුදු පහළොවෙන් වඩු වැඩට ගිහින්. අතපයවත් හරියට හයිය නැති ඒ කාලේ නිශාන් වැඩ කළේ හිතේ හයියටලු.

ඊටපස්සේ හෝටලේක වැඩ කළා. ගත්තු පඩියෙන් නංගිටයි අම්මටයි හොඳට සැලකුවා. කාලෙකට පස්සේ ඒ ජොබ් එක නැතිවුණා. කාලෙක ඉඳලා කරන්නේ මේසන් වැඩ. අව්වේ බර වැඩ කරන එක ලේසි නෑ. ඒත් එහෙමයි කියලා මම නංගිට කිසි අඩුවක් කළෙත් නැහැ.”

කොරෝනා කාලෙදියි, ගිය අවුරුද්ද මැද සිමෙන්ති හිඟවුණ කාලෙදියි මේ ගෙදර තත්ත්වය ටිකක් නරක අතට හැරුණලු.

මාස ගාණක් මට වැඩ ලැබුණේ නෑ. ඒ මදිවට නංගිට ලැබුණු ආබාධිත දීමනාවත් ආණ්ඩුවෙන් නතර කළා. අපි පුදුම විදියට අසරණ වුණා. සල්ලි නැති එක ගැන අම්මා නිතරම කල්පනා කළා. දවසක් සල්ලි හොයාගෙන එන්නම් කියලා අම්මා ගෙදරින් ගියා. හැබැයි ආයේ ආවේ නැහැ. අම්මාව හොයාගන්න මම නොගිය තැනක් නෑ. දැනට අම්මා ගිහින් මාස පහක් වෙනවා.”

අම්මා ගියාට පස්සේ නිශාන් වැටුණේ කබලෙන් ලිපට.

දැන් නංගිට කවන්නේ පොවන්නේ එයාගේ කැත කුණු අතගාන්නේ සේරම කරන්නේ මම. නංගිව තනියම දාලා කුලී වැඩකටවත් යන්න අමාරුයි. ඒ නිසා ටික දවසකට පුංචිලාගේ ගෙදර නතර වුණා. එයාලත් සෑහෙන උදව් කරනවා. ඒත් අපිට හැමදාම මෙහේ ඉන්නත් බැහැනේ.”

නංගිව අනාථ නිවාසෙකට ගිහින් දාන්න  සමහර නෑයෝ නිශාන්ට එහෙමත් කිව්වලු.

අනාථ නිවාසවලට බාරදෙන්න මගේ නංගි අනාථයෙක් නෙමෙයිනේ. නංගිට මම ඉන්නවා. එයාව ඒ වගේ තැනකට බාරදෙන්න මගේ අදහසක් නැහැ.”

සෞම්‍යා ගැන කතා කරද්දි නිශාන්ගේ ඇස්වලින් වැටුණේ නැතිබැරි අසරණකමේ කඳුළු නෙමෙයි, නංගි ගැන උපන්න සෙනෙහසේ කඳුළු.

පුංචි කාලේ නංගිට හරියට බෙහෙතක් වැටිලා නැතිලු. එහෙම වුණානම් මීට වඩා හොඳ තත්ත්වයකට ගන්න තිබ්බලු. හැබැයි එයාට අපි කියන හැමදේම තේරෙනවා. එයාගේම සංඥා භාෂාවකින් අපිත් එක්ක කතාත් කරනවා. ලස්සන තැන්වල ඇවිදින්න, ලස්සන ඇඳුම් අඳින්න එහෙම නංගි හරි ආසයි. වෙලාවකට අපි දෙන්න එකතුවෙලා ටික්ටොක් එහෙමත් කරනවා. නංගි කැමති හැමදේම කරන්න මම එයාට උදව් කරනවා.”

ආබාධිත උදවියත් අපි වගේම සාමාන්‍ය මිනිස්සු. ඒ අයටත් සිහින, ආශාවන් තියෙනවා. ඇමරිකාවේ ගිලියන් මාර්කාඩෝ කියලා නිරූපිකාවක් ඉන්නවා. ඇයත් සෞම්‍යා වගේම ස්නායු ආබාධයක් එක්ක ඉපදුණු තරුණියක්. ඇයටත් ඇවිදින්න බැහැ. ගිලියන්ගේ එකම ආශාව වුණේ නිරූපිකාවක් වෙන එක. ඉතින් ඇයගේ සහෝදරියෝ දෙන්නා ඇගේ සිහිනය දිගේ යන්න ඇයට උදව් කළා. දැන් ඇය ලෝකේ ප්‍රකට නිරූපිකාවක්. නංගි කැමති හැමදේම කරනවා කිව්වහම  මට මතක් වුණේ ගිලියන්ගේ කතාව.

නිශාන්ට ගෑනු ළමයෙක් එහෙම නැද්ද?” මම එහෙම ඇහුවේ මේ ගෙවෙන්නේ ඔහුගේ ජීවිතේ නාඹරම කාලේ නිසයි.

නංගි ගැන දැනගත්තහම සමහරු මාව බ්ලොක් කළා. කවදාහරි කසාද බැන්දොත් ඒ කෙනාටත් නංගිව බරක් වෙයි. ඒ නිසා එහෙම දේවල් ගැන මම හිතන්නේ නැහැ. දැන් මගේ ජීවිතේ එකම බලාපොරොත්තුව මගේ නංගිව සතුටින් තියෙන එක විතරයි. ඒ වෙනුවෙන් මම ඕනම දෙයක් කරනවා.”

කෙනෙක් වෙනුවෙන් ජීවිතේ කැපකරන්න මැරෙන්නම ඕනේ නැහැ. ඉතින් ඔක්සිජන් ආවරණය සහෝදරයට පැළඳුව පුංචි දැරිවියයි, නංගි වෙනුවෙන් ජීවත්වෙන මේ තරුණයයි අතර ලොකු වෙනසක් නැහැ කියලයි මට හිතුණේ.

සෞම්‍යාගේ මාසික වියදම්වලට රුපියල් පහළොස් දහසක මුදලක් වැයවෙනවා කියලත් කතාව අතරෙදි ඔහු කිව්වා. හැබැයි ඔහු ඉල්ලුවේ සල්ලි නෙමෙයි.

අම්මේ අම්මාට මේ ලිපිය කියවන්න ලැබුණොත් ආයෙත් ගෙදර එන්න. අම්මා එනකල් නංගි මග බලාගෙන ඉන්නවා. ඒ වගේම මට ස්ථිර රස්සාවක් හොයාගන්න උදව්වක් කරන්න කෙනෙක් ඉන්නවා නම් ලොකු දෙයක්.”

මේ තරුණ හිත්වලට ශක්තියක් දෙන්න කැමති නම්  071 630 1082 අංකයෙන් නිශාන්ව සම්බන්ධ කරගන්න පුළුවන්.

ඉතින් මේ කතාබහ අවසානෙදි මට හිතුණේ එකම දෙයයි.

 

අම්මා නැති මට කිරිඅම්මා වී

කරුවල ගෙදරට මිනි පහනක් වී

දැනගත්දා සිට පෙරුම් පිරූයේ

අයියේ මම මතු සක්විති වෙයි සිතලාදෝ…”

 

ඒ… නිශාන්ගේ නංගි සෞම්‍යට කතා කරන්න පුළුවන් නම් එහෙම කියනවා නොඅනුමානයි කියන එකයි.

 

සෙව්වන්දි හෙට්ටිආරච්චි