ස්වයං රැකියා

මේ වැඩේ හරියට කළොත් ඕන රෙද්දක් ඔට්ටුයි

හිතේ හයියෙන් ජීවිතය දිනන්න කැමති කොයිකාටත් අතහිත දෙන්නධරණීහැමදාමත් කැමතියි. නිකරුණේ ගෙවිලා යන කාලය තමන්ගේම කියලා ස්වයං රැකියාවක් වෙනුවෙන් යොදවන්න කැමති කාන්තාවන්ට හොඳ ඉල්ලුමක් තියෙන විවිධ දෑ පියවරෙන් පියවර ගෙදරදිම හදාගන්න හැටි කියලා දෙන්න අපි හිතුවේ ඒකයි. කඩදාසි, මැටි, රෙදි, විවිධ ආහාර, සබන් ඇතුළු විවිධ දේ නිර්මාණය කරන විදිය ගැන සහ ඒවා වෙළඳපොළ වෙත යොමු කරන ආකාරය ගැන මේ ලිපි මාලාව හරහා ඔබව දැනුවත් කරනවා.

විලි වහගන්න එක මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතාවයක්නේ. ඉතින් ගල්යුගයේ ඉඳලම මිනිස්සු ඇඳුම් විදියට කොළඅතු එල්ලගත්තා. ඊටපස්සේ සත්ව හම් ඇන්දා. පස්සෙ රෙදිවලින් ඇඳුම් මහගත්තා. ඇඳුම් ඇඳලා විතරක් බෑනේ. එව්වා පිරිසුදුවට තියාගන්නත් එපැයි. නැත්තම් ඉතින් වෙන්නේ සමාජෙන් කොන්වෙන්න. අනික විවිධ ලෙඩරෝගවලටත් කිලිටි ඇඳුම් හේතුවෙනවා .

එහෙම කියද්දි ඒ කාලේ ගියපු ඩිටර්ජන්ට් පවුඩර් ඇඩ් එකක් මතක් වුණා. ඔන්න ඉස්කෝලෙක ළමයි ටිකක් කණ්ඩායම් ෆොටෝ එකක් ගහන්නයි ලෑස්තිය. ඔන්න එකපාරම ලොකු ඉස්කෝල මහත්තයා එතැනට එනවා.

සුදු ඇඳුම් කිව්වට මේ ළමයින්ගේ ඇඳුම් එක එක පාටනේමේ ඔක්කොම එක සුදක් කරන්න බැරිද?”

ලොකු ඉස්කෝලේ මහත්තයා කියාපි. ඔන්න ඒ පාර ඉතින් අම්මලා ටිකත් කලබල වෙනවා. පහුවදා හැමෝම එක ඩිටර්ජන්ට් පවුඩර් ජාතියක් දාලා කිරි කොක්කු වගේ සුදට සුදේ ඉස්කෝලේ ඇවිල්ලා අර කියාපු පිංතූරේ ගහනවා.

මේ කියන්න හදන්නේ ඒ ඇඩ්වර්ටීස්මන්ට් එකේ තිබ්බ ඩිර්ජන්ට් ජාතිය ගැන එහෙම නෙමෙයි. ගෙදර ඩිටර්ජන්ට් පවුඩර් එකක් නැත්තම් සබන් කුඩු එකක් හදලා කිරි කොක්කු වගේ ඇඳුම් අඳින්න කැමති අයට එව්වා විකුණලා ගොඩ යන්න ක්‍රමයක් ගැන.

ක්‍රි.පූ. 2300 ජීවත්වෙච්චි බැබිලෝනිවරු දර අලුයි සත්ව තෙලුයි එකට මිශ්‍ර කරලා එව්වාගෙන් ඇඳුම් පිරිසුදු කළාලු. ඉතින් මුලින්ම සබන් කුඩු පාවිච්චි කළේ ඔවුන් කියලයි ඉතිහාසය කියන්නේ. පළමු ලෝක යුද්දේ කාලේදි සෙබළුන්ගේ රෙදි සෝදන සබන් හදන්න තෙල් හිඟ වුණාලු. ඒකට විසඳුමක් විදියටයි හෙන්කල් කියන ජර්මානු සමාගම අපි දැන් භාවිතා කරන ජාතියේ රෙදි සෝදන කුඩු ලෝකෙට හඳුන්වලා දීලා තියෙන්නේ. ඒ එක්දාස් නවසිය ගණන්වල මුල කාලේ.

ඉස්සර අපේ රටේ ගොඩක් උදවියගේ වස්තර හෝදලා තියෙන්නේ රජක නැත්තම් රදා කුලේ උදවිය. රජ්ජුරුවන්ගේ රෙදිවලට අමතරව පළාතේ ලොකු මහත්තැන්ලගෙත් රෙදි සේදුවෙත් මේ අයලු. නාගස්තැන්න කියන රජකයා තමයි ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවන්ගේ රෙදි අපුල්ලලා තියෙන්නේ. හන්තාන කන්දෙන් ගලාගෙන එන පිරිසුදු  දියපාරක් ඒකටම වෙන් කරලා තිබුණලු. ගස්වල පොතුයි, සුවඳ මල් වර්ගයි මහවිශාල මුට්ටිවලට දාලා රාජරෙදි එව්වට දාලා තම්බනවලු. ඊටපස්සේ රෙදි ටික පෙත්තරේ (රෙදි අතුල්ලන ගල) ගහලා කුණු අරිනවලු.

රටේ සාමාන්‍ය උදවිය නම් තමන්ගේ රෙදි තනියම සෝදගත්තලු. ගෙදර බවලතිය ගමේ නානතොටට ගිහිල්ලා නිකන් වතුරෙන් රෙද්ද පොඟලා පෙත්තරේ ගහලා ආයෙත් රෙද්ද සෝදලා අව්වට දානවලු.

මුලින්ම රෙදි සෝදන කුඩු ලංකාවට ගෙනැල්ලා තියෙන්නේ 1960දි. 1970දී මැතිනි දැඩි ආවෘත ආර්ථික ප්‍රතිපත්තියක් ගෙනාවට පස්සේ රටින් සබන් කුඩු ගෙන්වන එකත් නැවතුණාලු. ඔය කාලේ මිනිස්සුන්ට අඳින්න ඇඳුම් තිබුණෙත් නැතිලු. භූමිතෙල් ගඳ ගහන බාල රෙදිවලින් හදාගත්තු ඇඳුම් ඇඳලලු විලි වැහැව්වේ. එව්වගේ තිබ්බ භූමිතෙල් ගඳ යවන්න එතකොට ලංකාවේ තිබිච්ච කිසිම සේදුම්කාරකේකට බැරි වුණාලු.

ඊටපස්සේ බලයට ආපු ජේ.ආර්. ජයවර්ධන මහත්තයත් ඇඳුම්වල පිරිසුදුකම ගැන හරියට හිතාපු කෙනෙක් කියලා කාලයක් එතුමාගේ ජනාධිපති ලේකම් විදියට වැඩ කරාපු ප්‍රේමතිලක මාපිටිගම කියලා තිබුණා. හැබැයි ජේ.ආර්. ජනාධිපතිතුමාගේ රෙදි සෝදන්න සබන් කුඩු පාවිච්චි කළාද කියලා නම් දන්නේ නැහැ.

ඒ කොහොම වෙතත් දැන් ගොඩක් උදවිය රෙදි සෝදන්න පාවිච්චි කරන්නේ සබන් කුඩු. සබන් පාවිච්චි කරනවට වඩා ඒක ලාබයි. අනික වොශින් මැෂිමට  දාන්නත් පහසුයි. ඒ නිසා වෙළඳපොළේ සබන් කුඩුවලට හොඳ ඉල්ලුමක් තියෙනවා. ගිය අවුරුද්දේ අප්‍රේල් මාසෙ ඉල්ලුමට සරිලන්න සබන් කුඩු සපයාගන්න බැරිවුණු නිසා සබන් කුඩු හිඟයක් පවා ඇතිවුණා. ස්වයං රැකියාවක් විදියට සබන් කුඩු හදලා ගොඩයන්න පුළුවන් කියලා අපි කියන්නේ ඒකයි.

ඒකට මේ බඩු ටික සපයාගන්න. පිටකොටුවේ බංගසාල වීදියෙන් මේ දේවල් ලාබෙට ගන්න පුළුවන්. ලැබ්සා 9g (මෙය ඇසිඩ් වර්ගයකි. ප්‍රවේසමෙන් පාවිච්චි කරන්න), සෝඩා ඈෂ් 27g (ලැබ්සා උදාසීන කිරීම වැඩිපුර භාවිතයෙන් රෙදි දිරීමට ලක්විය හැකි බැවින් නියමිත ප්‍රමාණවලින් භාවිතා කරන්න), සෝඩියම් සල්ෆේට් (සබන් කුඩු ජලයේ දිය වීමට උදව් කරයි) 42g, STPP (කුණු ඉවත් කරයි). මේ අමුද්‍රව්‍ය හතර විතරක් භාවිතා කරලා සබන් කුඩු හදන්න පුළුවන්. හැබැයි වෙළඳපොළේ තරඟය වැඩි නිසා ප්‍රමිතිය තවත් වැඩි කරන්න පහත අමුද්‍රව්‍යත් එකතු කරන්න ඕනේ. SLS 2g (පෙණ අඩු කිරීමට), CMC 2g (තද කුණු පැල්ලම් යැවීමට), UV text3g (දිලිසෙන සුදක් ගැනීමට), සොඩියම් බයිකාබනේට්3g (කෙම්කල් සැර බාල කිරීම), සෝඩියම් පැබොරේට්1g (තද කුණු පැල්ලම් යැවීමට), සුවඳ, ඇසුරුම් කිරීමට ගේජ් 200 පොලිතින්.

 

පියවර 1

ලැබ්සා ටික ප්ලාස්ටික් භාජනයකට දාන්න. ඒකට සෝඩා ඈෂ් කලවම් කරන්න. පස්සේ සෝඩියම් සල්ෆේට් මිශ්‍ර කරලා විනාඩි පහක් තියන්න.

 

පියවර 2

විනාඩි පහකට පස්සේ STPP එකතු කරන්න. සුවඳ හැර අනිත් අමුද්‍රව්‍ය සේරම එකතු කරලා මිශ්‍ර කරන්න. පැකට් කරද්දි සුවඳ ස්ප්‍රේ කරන්න.

 

මේ සබන් කුඩු අවුරුද්දක් කල්තියාගන්න පුළුවන්. වෙළඳපොළේ සබන් කුඩු 500g රුපියල් 300-350 වගේ මිලකට අලෙවි වෙනවා. මේ ගැන තව විස්තර දැනගන්න 0714766819 අංකයට කතා කරන්න.

 

සීතා පොන්නම්පෙරුම

ස්වයං රැකියා පාඨමාලා උපදේශිකා

 

සෙව්වන්දි හෙට්ටිආරච්චි