පොලිස් ලොක්කාගේ ප්‍රේම දැලේ පැටලුණු කොබෙයිගනේ රූමතිය ඝාතනය
ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න යනු විද්‍යාත්මකව සහ කලාත්මකව පැමිණිල්ල මෙහෙයවීමට නම් දරා ඇති විශිෂ්ටයෙකි. කොබෙයිගනේ රූප සුන්දරිය ඝාතනය, රගර් ක්‍රීඩක ටෝනි මාටින් ඝාතනය, මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය ඝාතනය සහ හෝකන්දර සය පුද්ගල ඝාතනය ආදී ආන්දෝලනාත්මක නඩු රැසක පැමිණිල්ල මෙහෙයවීමට ඔහු දායක වී ඇත. සිය අත්දැකීම් නිර්මාණශීලීව යොදාගෙන නීතියද පැහැදිලි කරමින් ඔහු විසින් රචනා කරන ලද ‘යළි මැවෙන අපරාධයක්’ කෘතියේ සංස්කරණය කළ දෙවන මුද්‍රණයද පසුගියදා ජනගත කෙරිණ. ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න නීතිපති දෙපාර්තමේන්තුවෙන් පසුගිය වසරේදී සමුගත්තේ ජ්‍යේෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයකු ලෙස කටයුතු කරමින් සිටියදීය. මේ, ඔහුගේ අත්දැකීම් අලලා ‘ධරණී’ට ලියැවෙන ලිපි මාලාවේ පළමුවැන්නයි.
“ආදර අජන්ත අයියේ,
ඔයාට මේ අහිංසක නිලන්තිව අමතකද? ඔයාගෙ හදවත ගල්කැටයක් ද?”
කොබෙයිගනේ රූමතිය ලෙස නම් දැරූ නිලන්තිට අයත් ට්‍රන්ක පෙට්ටියේ තිබී සොයාගත් නොයැවූ පෙම්පතක එසේ ලියා තිබිණ. නමුත් ගලක් වැනි හදක් ඇත්තකුට පෙම් කළ වරදට ඒ ලිපිය හමුවෙන මොහොත වනවිටත් ඈ ජීවිතයෙන් වන්දි ගෙවා අවසන්ය. පියා එය කියවා හූල්ලන්නට ඇත. මේ කියන අජන්ත අයියා නොවුණත් ඇගේ පැරණි පෙම්වතා ඒ ලිපියේ අකුරු අතර තිබී නිලන්තිගේ සුවඳ මොහොතකට හෝ විඳින්නට ඇත.
නිලන්ති, කෙක්කෙන් පොල් කඩන ඩිංගිරියාගේත් එමලින්ගේත් දරු දෙදෙනාගෙන් අයෙකි. අගහිඟකම් උතුරන පවුලකට ඈ පැමිණියේ වරක් දුටුවකු දෙවරක් හැරී බලන තරමේ රූපශ්‍රීයක් දායාද කරගෙනය. යෞවනියක වූ පසු ඈ දෙස නොබැලූ තරුණයකු ගමේ නැතිතරම්ය. එහෙත් ඈගේ හිත දිනාගත්තේ ඔරලෝසු කාර්මිකයෙකි. ඔහු යමක්කමක් ඇති පවුලකය. එනිසාම දෙමාපියන් මේ පළහිලව්වට අකමැති වේදෝයි ඔරලෝසු කාර්මික පෙම්වතාට බියක් තිබිණ. එබැවින් අල්මාරි, මහන මැෂින් ආදී දෑවැදි ඔහු නිලන්තිගේ නිවසට ගෙනාවේ ඒවා දුටුවිට හෝ තම මවගේ මනාපය ලැබේවි යන විශ්වාසය ඇතිවය. ඒ අතරතුරේම කොබෙයිගනේ පොලිසිය සංවිධානය කළ අවුරුදු උත්සවයකදී රූප සුන්දරිය ලෙස කිරුළ පැළඳීමටද නිලන්ති වාසනාවන්ත වූවාය. ඉතින්, ඔරලෝසු කාර්මිකයාගේ හිත එනිසා ප්‍රීතියෙන්, ආඩම්බරයෙන් පිරී නොගියේ යැයි කාට කිවහැකිද? දිවි හිමියෙන් ඔහු සිය රූමත් පෙම්වතිය රැක්කේ ඒ නිසා විය යුතුය.
නමුත් කොබෙයිගනේ පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ දෑසින් ඇයව සඟවා තබාගැනීමට ඔහුට හැකිවුණේ නැත. නිලන්ති, රූප සුන්දරිය වූ පසු පොලිස්පති අජිත්ට ඩිංගිරියාගේ නිවස ආසන්නයේ නිරන්තරයෙන් වැටලීම් තිබිණ. ඒවාට යමින් එමින් ඩිංගිරියාගේ නිවසට ගොඩවැදීම ඔහු පුරුද්දක් කරගත්තේය. මුවින් නොකීවාට වැටලීම්වල යටි අරුත ඔවුන්ටද වැටහී තිබෙන්නට ඇත. අජිත්, අජන්ත ලෙස පෙනී සිටිමින් ලියූ ආදර හසුනක්ද නිලන්තිගේ ට්‍රන්ක පෙට්ටියේ තිබී හමුවුණේ ඊට සාක්ෂි ගෙනෙමිනි.
“හිතවත් නිලන්ති වෙත,
ඔයාව දැක්කම මට මතක් වෙන්නෙ මාව දාලා ගිය මගේ පැරණි පෙම්වතිය. දැන් කොහොමහරි ඒක වුණා නේද?
මීට ආදර අජන්ත”
1988/89 භීෂණ සමයේදී පොලිස් ස්ථානාධිපතිවරයකුගේ බලය අමුතුවෙන් විස්තර කළ යුතු නැත. නිල ඇඳුමට, බලයට යට නොවන කිසිවක් එකල නොවීය. ඉතින්, ඔරලෝසු කාර්මිකයාගේ ප්‍රේමය ගැන කවර කතාද? නිලන්ති අහසේ තැනූ ප්‍රේම මාලිගා දෙස බලමින් සුසුම්ලනවා හැර වෙනත් කිසිවක් ඔහුට ඉතිරි නොවීය. ඔහුගේ ප්‍රේමය සිතින් ඉවත් කළ නිලන්ති ඔහු තෑගි දුන් දේවල්ද පිටතට විසි කළේ “නුඹත් එපා. නුඹෙ බඩුත් එපා” යන සිතුවිල්ලෙන් විය හැකිය. තමා විසි කරන්නේ තමාගේම ජීවය බව ඇය එදින නොදැන සිටියාය.
අජන්ත හෙවත් අජිත්ගේ සැබෑ ස්වරූපය නිලන්තිට වැටහෙන විට තවත් බොහෝ කල් ගෙවී බොහෝ දේ සිදුවීද අවසන්ය. රස්තියාදුවීම්වල කෙළවරක් නැත. ඔහුගේ මඟහැරීම්වලින් විඩාපත් වූ නිලන්ති ඒ බව සිය යෙහෙළියටද පැවසුවේ හැඬුම්බර ස්වරයෙනි. එසේ තිබියදී 1989 ඔක්තෝබර් මාසයේ දිනක නිලන්ති තීරණාත්මක ගමනකට සැරසුණාය. ඒ බව ඈ කීවේ සිය මවට පමණි.
“අම්මෙ මං යනවා. ආවෙ නැත්තං හොයන්න එපා.”
“කොහෙද යන්නෙ?”
“ඕ.අයි.සී. මහත්තයා හම්බවෙන්න.”
“ඇයි ඕ.අයි.සී. මහත්තයා හම්බවෙන්නෙ?”
“මට එන්න කිව්වා.”
“ඇයි එන්න කිව්වෙ?”
“ඒ මහත්තයට ඕනෙ මාව කසාද බඳින්න.”
“ඇයි බඳින්නෙ?”
“එයා හින්දා මට දරුවෙක් ලැබෙන්න ඉන්නවා.”
මේ දෙබස් මෙරට අධිකරණ ඉතිහාසයේ සුවිශේෂ ස්ථානයක් හිමිකරගන්නට සමත් වූ ඒවාය. ඒ, වරදකරු ගොනුකළ අභියාචනය දින ගණනාවක තර්ක විතර්ක හමුවේ විභාග කළ එෆ්.එන්.ඩී. ජයසූරිය අභියාචනාධිකරණ විනිසුරුතුමන් සිය තීන්දුවේදී එම දෙබස් සියල්ල මරණාසන්න ප්‍රකාශයක කොටස් ලෙස පිළිගැනීමයි. මරණාසන්න ප්‍රකාශය යන්නෙහි විෂය පථය පුළුල් වීමට එය හේතු විය.
එම සංවාදයේ වූ පරිදිම නිලන්ති යළි කිසිදා නොපැමිණියාය. එමලින් එදින රාත්‍රියේම ඩිංගිරියාට මේ කතාබහ දැනුම් දුන්නාය. එහෙත් අසරණ ඩිංගිරියා දූ එනතුරු බලා සිටිනවා හැර වෙන කුමක් කරන්නද? එහෙත් දරු සෙනෙහස නිසාම පසුදිනෙක ඔහු පොලිස් ස්ථානාධිපතිවරයා හමුවීමට ගියේය. කෙසේ වුවද ඔහු හමුවීමට පැමිණි බවක් කීමට තරම් ශක්තියක් ඩිංගිරියාට තිබුණේ නැත. එසේ පැවසීම වුව ටයර් සෑයක දැවීයාමට හේතු විය හැකි බව ඔහු දැන සිටියේය. එනිසා කිසිවකුට චෝදනා නොකර ඔහු කාරණාව කිව්වේය.
“මට පැමිණිල්ලක් දාන්න ඕනෙ මහත්තයා. ලොකු කෙල්ල ගෙදර ආවෙ නෑ.”
“මොන පැමිණිලිද? ඔය කෙල්ල කවුරුහරි කොල්ලෙක් එක්ක පැනලා යන්න ඇති. ගිහිල්ලා බලපං.”
සැකයක් ඇති වුවද හිස් අතින්ම ගෙදර යනවා හැර විකල්පයක් ඩිංගිරියාට නොවීය. දුව නැති වී දින දෙකකට පසු කිතගම හන්දියේ කසුකුසුවකි. දැවීගිය සිරුරක් ඊට හේතුවයි. එම ස්ථානයට ගොස් පොලිසියට යන ඩිංගිරියා නැවතත් පැමිණිල්ලක් දැමීමේ අවශ්‍යතාව කියයි. එයද පිළිස්සුණු සිරුර ගැන වදනක් හෝ සඳහන් නොකරමිනි.
“ආ… එහෙනං දාගනිංකො පැමිණිල්ල. මෙන්න මේ පැමිණිල්ල ලියාගන්නවා” යනුවෙන් ස්ථානාධිපතිවරයා උපසේවා නිලධාරියාට ඇසක් ඉඟි මරා සංඥා කළේය. එවරද පැමිණිල්ල පොලිස් පොතේ සටහන් නොවේ. මහා ගල්කණු සමඟ හැප්පීමට නොහැකි ඩිංගිරියාට ඉතිරි වූයේ ආපසු නිවසට යාම පමණි.
නමුත් කිසිම අපරාධයක් සදාකාලිකව යටපත් කිරීමට කිසිවකුට හැකිවන්නේ නැත. වසර එකහමාරකට පමණ පසු නිලන්ති ගැන කතාව යළි මතුවිය. ඒ ඇය අතුරුදන් වනවිට කොබෙයිගනේ පොලිස් ස්ථානාධිපතිවරයා යටතේ සේවය කළ ග්රාමාරක්ෂක නිලධාරියකු නිසාය. ඔහු එවකට යුද හමුදාවට එක්ව වැලිකන්දේ සේවයේ නිරතව සිටියේය. තමා පිළිබඳ කොබෙයිගනේ පොලිස් ස්ථානාධිපතිවරයා විපරම් කරන බව ඔහු දැනගන්නේ ඒ අතරයි. ඉන් බියට පත්වන යුද හමුදා නිලධාරියා සිය ඉහළ නිලධාරීන්ද දැනුවත් කර සැඟව තිබූ මහා අපරාධයක් පිළිබඳ රහස් පොලිසියට ප්‍රකාශයක් ලබාදුන්නේය.
“මට ඕ.අයි.සී. මහත්තයා කිව්වා ගුණරත්නහාමිට කියන්න කියලා ටයර් දෙකකුත් දාගෙන වෑන් එක ගෙනැත් දෙන්න කියලා. ඊටපස්සෙ ඒක ගෙනැත් දීලා ගුණරත්නහාමි ගියා. රෑ හතහමාරට විතර ඕ.අයි.සී. මහත්තයා මට කිව්වා නැගපන් වෑන් එකට කියලා. මම පිටිපස්සෙන් නැග්ගා. ඕ.අයි.සී. මහත්තයා මැෂින් ගන් එකත් අරන් ඉස්සරහින් නැග්ගා. ඊටපස්සෙ අපි ගියා මහත්තයාගෙ බංගලාවට. මම වාහනේ ඉද්දිම මහත්තයා බංගලාවට ගියා. ටික වෙලාවකට පස්සෙ මහත්තයා ආයෙ ආවා. එයා පිටිපස්සෙන් නිලන්තිත් ආවා. දෙන්නම වාහනේට නැගලා කිතගම හන්දියට ආවා. ඕ.අයි.සී. මහත්තයා කිව්වා එතැන තියෙන ෂෝට් කට් එකකින් යාළුවෙකුගෙ ගෙදර යමු කියලා. වාහනෙන් බැහැලා නිලන්ති ඉස්සරහින් ගියා. ඊටපස්සෙන් ඕ.අයි.සී. මහත්තයා. මම ඊට පිටිපස්සෙන්. එකපාරටම ඕ.අයි.සී. මහත්තයා නිලන්තිට වෙඩි තිබ්බා.”
පෙම් හසුන් ලියූ දෑතින්ම අජිත් සිය පෙම්වතියගේ දිවි තොර කළේය. ග්රාමාරක්ෂක ලවා ටයර් සහ පෙට්‍රල් ගෙන්වා ගත් අජිත් ග්රාමාරක්ෂකයාට ගිනි දල්වන ලෙස දැනුම් දුන්නත් ඔහු එය ප්‍රතික්ෂේප කිරීම නිසා පොලිස් ස්ථානාධිපතිවරයාම නිලන්තිගේ චිතකය දැල්වූයේය. නැවත පිටව යන විට ස්ථානාධිපතිවරයාගෙන් සමස්ත සිදුවීම දත් ග්රාමාරක්ෂකයාට තර්ජනයකි.
“මේ ගැන කාටහරි කිව්වොත් උඹව මරනවා.”
වාහනය නැවත බාරදෙන අවස්ථාවේදී ගුණරත්නහාමි ග්රාමාරක්ෂකයාද එහි සිටින බව දැන ගනී. ඔහු විසින්ම ඔවුන් පොලිස් ස්ථානයට ඇරලවා එද්දී රාත්‍රී 8 පසු වී තිබිණ. පසුදා වෑන්රථය පිරිසිදු කරද්දී හෙතෙම ඉදිරිපස අසුනේ තිබී කොණ්ඩ කටුවක් දුටුවේය. මේ අතර දින දෙකකට පමණ පසු ස්ථානාධිපතිවරයාගෙන් නැවත ග්රාමාරක්ෂකයාට කැඳවීමකි.
“ලෑස්ති වෙයන්. අපිට ජේ.වී.පී.කාරයො රේඩ් කරන්න යන්න තියෙනවා.”
දැදුරු ඔයේ පාලම අසලට ඔවුන් ගියේ තවත් කණ්ඩායමක් සමඟිනි. එහෙත් මේ ගමන ගැන ඇතිවන සැකය නිසාම තමන්ට ශරීර කෘත්‍ය කිරීමට අවැසි බව පවසන ග්රාමාරක්ෂකයා කැලෑවට ගියේය. රැකියාවට සමු දී ඔහු එතැනින් පැනයන්නේ ජීවිතාසාව නිසාය. එසේ පලාගිය තැනැත්තා වසර එකහමාරකට පසු දුන් ප්‍රකාශය මත රහස් පොලිසිය පරීක්ෂණ අරඹන ලදී.
මේ අතර නිලන්ති අතුරුදන් වී දින කිහිපයකට පසු ඇගේ පැරණි පෙම්වතා වන ඔරලෝසු කාර්මිකයා ඩිංගිරියා හමුවට ආවේය. ඒ හදවතේ ගැඹුරේ තවමත් ඇති සෙනෙහස නිසාම නිලන්ති යළි එනු ඇතැයි අපේක්ෂාවෙන් විය හැකිය. පැරණි පෙම් හසුන් හමුවන්නේ ඔහු ඩිංගිරියා සමඟ එක්ව කරන ලද සෙවීමේදීයි. ස්ථානාධිපතිවරයා ලියූ පෙම් හසුන රැගෙන ඩිංගිරියා කොබෙයිගනේ වෙනුවට නිකවැරටිය පොලිසියට ගොස් ලිපිය ඉදිරිපත් කර පැමිණිල්ලක් දැමුවේය. ඉන්පසු ඩිංගිරියා ඒ බව රහස් පොලිස් පරීක්ෂකයින්ට දැනුම් දුන්නේය. ඒ සියලු කරුණු අනුව නිකවැරටිය පොලිසියේ ලිපිය සමඟ සැකකරුගේ අත්අකුරු සංසන්දනය කෙරිණ. එහෙත් ඒවා වෙනස්ය. සැබෑම අහිංසකයකු වූ ඩිංගිරියාට බොරු කිරීමේ හේතුවක්ද නැත. නැවත ඔහුගෙන් විමසූ විට කිසිඳු බොරුවක් නොකළ බවට ඩිංගිරියා දිවුරන්නට විය.
“ඕක කෙල්ලගේ ට්‍රන්ක පෙට්ටියෙන් හම්බවුණේ. ඔරලෝසු හදන ළමයත් ඒක දැක්කා. අපි මහත්තයෝ ඒ ලියුමෙ පොටෝ කොපියකුත් ගත්තා.”
ඒ අනුව තවත් මාර්ගයක් පෑදිණ. ෆොටෝ කොපිය පරීක්ෂා කිරීමේදී සැකකරුගේ අත්අකුරු සමඟ එය මනාව ගැලපුණේය. නිලන්තිගේ මරණය යටගැසීමට අවට පොලිසිවලින්ද සැබෑ පෙම් හසුන පවා වංචනික ලෙස සඟවමින් සහාය දුන්නේ එපරිද්දෙනි. පැමිණිල්ලේ නඩුව අවසන් වූ පසු විත්තිකරු විත්ති කූඩුවේ සිට දීර්ඝ ප්‍රකාශයක් කළේය.
“මම පළාතේ ඕ.අයි.සී. මට මේ කෙක්කෙන් පොල් කඩන මිනිහගෙ දුව එක්ක සම්බන්ධයක් නෑ. එයාලා කවුද? මං කවුද?”
විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් කරද්දී විත්තිකරුගෙන් ප්‍රශ්න කිරීමට නොහැකිය. එහෙත් සරත් ජයමාන්න ජනාධිපති නීතිඥවරයා සිය දේශනයේදී අධිකරණයට පෙන්වා දුන්නේ පොලිස් ස්ථානාධිපතිවරයා සහ ඩිංගිරියාගේ දුව අතර ආදර සම්බන්ධයක් ඇතිවීම විය නොහැක්කක් නොවන බවයි. ඉතිහාසය පුරා ඊට ඕනෑතරම් උදාහරණ ඇත. එබැවින් නොගැලපීම විත්තිකරුට සිහිවූයේ මරණකාරියගේ කුස නෙරා එද්දීදැයි යන්න ජනාධිපති නීතීඥවරයා ප්‍රශ්න කළේය.
සියලු කරුණු කාරණා අධිකරණයේ දිගහැරෙද්දී ග්‍රාමාරක්ෂකයාගේ සාක්ෂිය වෙනත් ස්වාධීන සාක්ෂිවලින් තහවුරු කිරීමට අවැසි විය. කෙතරම් සූක්ෂම ලෙස සැලසුම් කළද කිසිඳු අපරාධකරුවකුට සැඟව සිටීමට සොබාදහම ඉඩ නොදෙයි. කොතැන හෝ සාක්ෂි ඉතිරි වේ. මේ අපරාධය සිදු වූ ඔක්තෝබර් 25 වනදා සිද්ධිය වූ ස්ථානයට තරමක් දුරින් වයෝවෘද්ධ යුවළක් බණ අසා තිබිණ. ඔවුන්ට වෙඩි හඬ ඇසුණු අතර නිවසින් පිටතට පැමිණි විට ගින්නක් දක්නට ලැබී ඇත. දිනය නිශ්චිත නොවූවද එය මාසයේ අවසන් බදාදා බව ඔවුන්ට විශ්වාසය. එකල බණ ප්‍රචාරය වන්නේ බදාදාටයි. වෙඩි හඬ ඇසී ඇත්තේ බණ ආරම්භ වූ වහාමය. එනිසා වේලාව රාත්‍රී 8 ආසන්නයේ බව පැහැදිලිය. ගුණරත්නහාමි වාහනය බාරගත් වේලාව සමඟද එය ගැළපේ. ග්රාමාරක්ෂකයා එහි සිටි බවද ඔහු දුටුවේය. ඒ අනුව ග්රාමාරක්ෂකයා සිද්ධිය වූ ස්ථානයේ සිටි බව තහවුරු කිරීමට පැමිණිල්ල සමත් විය. ඒ සියල්ල සහ තවත් සාක්ෂි ගණනාවක් සමඟ අපරාධකරු සනාථ කෙරෙන සියලු කරුණු එකිනෙක යා විය. කුරුණෑගල මහාධිකරණයෙන් විත්තිකරු වරදකරු කළ අතර අභියාචනයේදීද ඒ තීරණය තහවුරු කෙරිණ.
තමා දැඩි සේ විශ්වාස කළ පෙම්වතිය තමාගෙන් ඇගේ කුසට පැමිණි බිළිඳා සමඟ දවාලීමට තරම් සාහසික සිතක් එදා ඝාතකයාට තිබිණ. නිලන්ති විශ්වාස කළේ වැරදි මිනිසාවය. ජීවිතය බෙදාගත යුත්තා පසෙකදා ජීවිතය විනාශ කරන්නා තෝරාගැනීමට තරම් ඈ ආදරයේදී මුලා වී තිබිණ. ප්‍රේමය නිසා රැවටෙන්නෝ අතීතයේද වූහ. දැනුදු සිටිති. ඉදිරියේද සිටිනු ඇත. රැවටීමට ලක්වීමේදී ගැහැනු පිරිමි භේදයක්ද නැත. එහෙත් අපරාධකරුවකුට සදාකාලිකව සැඟව සිටීමටද ඉඩක් නොවේ. සොබාදහමේ කොතැන හෝ තැනකට ඒවා හසුවනු නිසැකය.
රෂ්නිකා ලියනගේ