විශේෂාංග

ඇස් ගෙඩි දෙකට හෙණ ගහලද මව්වරුනේ??

පන්සිය පනස් ජාතක පොතේ තියෙන හැත්තෑ හත්වැනි ජාතකය තමයි මහා සුපින ජාතකය. මේ ජාතක කතාවෙන් කියැවෙන්නේ කො​සොල් රජතුමා දැකපු හීන දාසයක් ගැන. මේ හීන දාසයෙන් රජතුමා දැකපු දෙවැනි හීනෙ තමයි ඉතාම කුඩා ගස්වැල්වල මහා විශාල පල හටගන්න එක. මුලින්ම කොසොල් රජතුමා දැකලා තියෙන්නේ පුංචිම පුංචි කොස් ගහක මහා විශාල කොස් ගෙඩියක් හැදිලා ගෙඩියේ බරට ගහ කඩාගෙන බිම වැටෙන හැටිලු. ඊළඟට දැකලා තියෙන්නෙ අර විදියටම අඩියක් විතර උස පුංචි වට්ටක්කා වැලක මහා විශාල වට්ටක්කා ගෙඩියක් හැදිලා වට්ටක්කා ගෙඩියේ බරට වැල කඩාගෙන බිමට වැටෙන විදියලු. කොයිතරම් කල්පනා කළත් අගමුල ලිහාගන්න බැරිවුණු රජතුමා ශාන්ති බ්‍රහ්මයාට එන්න කියලා මේ ගැන අහලා තියෙනවා. ඒ ඇහුවා කියලත් පලක් නොවුණු තැන රජතුමා බුදුන්වහන්සේව බැහැදකින්න ගිහින් “අනේ ස්වාමීනි මා කෙරේ අනුකම්පාවෙන් මේ භයංකාර සිහිනය ගැන යමක් පවසන්න” කියලා කිව්වලු. ඒ වෙලාවේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ ඉඳපු බුදුන්වහන්සේ උන්වහන්සේගේ දෑත් අපේ රට දිහාවට දිගු කරලා මෙන්න මෙහෙම දේශනා කළා කියනවා. “මහරජ, මේ ඔබටවත්, ඔබේ රාජ්‍යත්වයටවත්, බවභෝගවලටවත් සිදුවන හානියක පෙරනිමිති හඟවන සිහිනයක් නොව, එය මතු අනාගතයේදී අසල්වැසි ලංකාද්වීපයේ සිදුවන විපතක් ගැන හැඟවෙන සිහිනයක්” කියලා. කොසොල් රජතුමා තවදුරටත් විස්තර අහද්දි උන්වහන්සේ දේශනා කළේ මතු අනාගතයේදී අසල්වැසි ලංකාද්වීපයේ ඉතා පුංචි දරුවන් අඩු වයසින් අවාහවිවාහ කටයුතු කරගෙන දරුවන් සාදන බවක්. ඒ විතරක් නෙවෙයි දරු කළල විනාශ කිරීමත්, දෙමාපියන් විසින්ම තමාගේ දුවා දරුවන්ව කාසිපනම්වලට විකුණන බවකුත් බුදුන්වහන්සේ කොසොල් රජතුමාට පවසලා තිබුණා.

ජාතක කතා පොත හොඳින් කියවලා තියෙන ඕනම කෙනෙකුට මේ මහා සුපින ජාතකයෙන් කියැවෙන කොසොල් රජතුමාගේ හීන දාසය ගැන ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ඒත් අද අපි කතා කරන්න යන මාතෘකාවත් ඊටම සමාන එකක් නිසා ඒ ගැනත් ටිකක් මතක් කරලම කතාව පටන්ගන්න හිතුවා.

පහුගිය දවස්වල අවුරුදු 14-18 වගේ වයස්වල පහුවෙන බාලවයස්කාර දියණිවරු වැසිකිළිවල, තානායම්වල තනිවම දරුවන් බිහි කරගත්තු හැටි, ගබ්සා කරගත්තු හැටි ගැන කතා බොහොමයක් අපිට අහන්න දකින්න ලැබුණා. තිස්සමහාරාම ප්‍රදේශයේ අවුරුදු 15ක පාසල් ශිෂ්‍යාවක් තමන්ගේ නිවසේදිම රහසිගතව දරුවෙකු බිහිකිරීම මීට ආසන්නතම සිදුවීමක්. ඒ වගේම අද වෙනකොට දවසින් දවස ළමා මව්වරුන්ගේ වැඩිවීමකුත් වාර්තා වෙනවා. ඒ වගේම දෙමාපියන් විසින්ම තමන්ගේ දියණියව මුදලට අලෙවි කිරීමත්, පියා විසින් තමන්ගේම දියණියට අතවර කිරීම වැනි අවාසනාවන්ත සිදුවීම් ගැන ඕනවටත් වඩා අහන්න දකින්න තියෙනවා. ඒ විදියට තමන්ගේම අවුරුදු 15ක දියණියව මව විසින්ම මුදලට අලෙවි කරපු පුවතක් ගැන ඊයේ පෙරේදා මාධ්‍ය මගින් වාර්තා කළා මතක ඇති.

මේ සියල්ලම දිහා හොඳින් බැලුවම පේන්න තියෙන්නේ අද දියණියන්ට හරිහමන් ජීවිත අවබෝධයක්, ලිංගික අධ්‍යාපනයක් ලබාගන්න විදියක් නෑ කියන එක. අද දියණිවරුන්ගේ මේ තත්ත්වයට හේතුව දෙමාපියන්ගේ වරදද? නැතිනම් සමාජයේ වරදද?

ඒ ගැන මේ කතාබහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අත්තනායක එම්.හේරත් මහතා සමඟින්.

මේ මහනුවර පළාතෙ මම දන්න කියන පවුලක දුවෙකුට සිද්ධවුණු දෙයක් කියලම මම අද කතාව පටන්ගන්නම්.

ඒ දුවගේ තාත්තා ව්‍යාපාරිකයෙක්. අම්මා වෛද්‍යවරියක්. ඒ නිසා තාත්තා ව්‍යාපාර එක්ක ඔට්ටු වුණා. අම්මත් වෛද්‍යවරියක් නිසා අර දුව ගැන ගොඩක් හොයන්න බලන්න වෙලාවක් තිබුණෙ නෑ. කොහොමහරි මේ දරුවා ගෙදරට හොරෙන් ප්‍රේම සම්බන්ධයක් පටන් අරන් තිබිලා. කාලෙත් එක්ක ඔය සම්බන්ධය හිතුවටත් වඩා දුරදිග ගිහිල්ලා මේ දුවට දරුවෙක් ලැබෙන්න ඇවිල්ලා තිබුණා. ඔන්න ඊටපස්සේ තමයි අර අම්මයි තාත්තයි කරපු වැඩ සේරම නවත්තලා දාලා එලොව මෙලොව නැති දුවගේ බඩේ ඉන්න දරුවගේ තාත්තා කවුද කියලා හොයන්න පටන්ගත්තේ. ඒත් මේ ගෑනු දරුවා නෙවෙයි ඒ ගැන කටින් කෙළ බිඳක් හෙළලා තිබුණේ.

ගහලා, බැනලා බය කරලා ඔය මොන විදියකින් ඇහුවත් මේ දුව කිසිම දෙයක් කියලා නෑ. ඒ දරුවට ගහලා බැනලා හෙම්බත් වෙලා බැරිම තැන අර මහත්තයයි, නෝනයි මා ළඟට ඇවිල්ලා කිව්වා “අනේ බුදු සර්, කොහොමහරි මේ දරුවගේ හිත හදලා මේ ගැන විස්තරයක් අහලා කියන්න සර්ට පින් සිද්ධවෙයි” කියලා. පස්සේ මම මේ දුවට ඉතාමත් කාරුණිකව අවවාද කරලා, යම් යම් දේවල් ‍‍තේරුම් බේරුම් කරලා දීලා මේ ගැන කරුණු කාරණා ටිකක් අහගත්තා. ඔන්න එතකොටයි මේ දුව කිව්වේ ලැබෙන්න ඉන්න දරුවගෙ තාත්තත් ඒ දැරිවිගේ ටියුෂන් පන්තියේම ඉගෙනගත්ත සමවයසේ පිරිමි ළමයෙක් කියලා. එතැනින් එහාට ඒ ප්‍රශ්නෙට මම මැදිහත් වුණේ නෑ.

නමුත් ඒ දෙමව්පියෝ දෙන්නට ඕනකම තිබිලා තියෙන්නේ අර දුවට හොඳ උසස් අධ්‍යාපනයක් දෙන්න. ඒකට බාධාවක් වෙන නිසා ඔය ගම්පහ පළාතේ ගබ්සා කරන තැනකට එක්කගෙන ගිහිල්ලා කුසේ හිටපු දරු පැටියාව ගබ්සා කරලා තිබුණා. ඒ කරලා අර දුවව උසස් පෙළ විභාගෙට වාඩි කරවලා තිබුණා. ආපහු ටික කාලෙකට පස්සේ ඔය කියපු දෙමව්පියෝ දෙන්නා නැවත සැරයක් අඬාගෙන මාව හොයන් ආවා. ඒ ආවට පස්සේ තමයි ගබ්සාවක් කරපු විත්තියක් මට කිව්වේ. ඒත් එක්කම කියපු දෙයක් තමයි ගබ්සා කරන තැනට ගියාට පස්සේ ඒ දුවගේ වයසෙම තවත් දරුවෝ තිහ හතළිහකට වඩා එතැන හිටියයි කියන එක. ඉතින් බලන්න ඕක අපි දන්න එක කතාවක් වුණාට දවසකට තරුණ දුවලා කීදෙනෙක් ඔය විදියට ගබ්සාවල් කරගෙන තමන්ගෙම කුස මිනීවළක් කරගන්නවද? දැන් හිතන්න අර දුවට එහෙම වුණෙත්, දෙමාපියන්ට තව දරුවෙක් ගබ්සා කරවලා සංසාරේ ගෙවාගන්න බැරි පවකට කරගහන්න වුණෙත් එයාලගෙ වරදින්ද නැත්නම් සමාජයේ වරදින්ද? ඇත්තටම ඒක එහෙම වුණේ දෙමව්පියන්ගේ වරදින් මිසක් සමාජයේ වරදින් නෙවෙයි. මොකද ගොඩක් දෙමව්පියෝ හිතන් ඉන්නවා තමන්ගේ දරුවන්ව නම් දරාපු ඉස්කෝලෙකට තල්ලු කරලා දාලා, සල්ලි ටිකක් බැංකු පොතේ දැම්මම ඒ අයගේ රාජකාරිය අහවරයි කියලා. ඇත්තටම දෙමව්පියන්ට ඊට වඩා මහා භාරදූර වැඩ කොටසක් තියෙනවා දරුවෝ වෙනුවෙන් කරන්න. තමන්ගේ දරුවෝ ගෙදරින් එළියට බැස්සම යන්නෙ එන්නෙ කොහෙද, වැඩිපුර කතාබහ කරන්නේ කාත් එක්කද කියලා හොයලා බලන්න අද ඉන්න දෙමාපියන්ට උවමනාවක් නෑ.

දැන් බලන්න අර පහුගිය දවසක තිස්සමහාරාම පැත්තේ අවුරුදු පහළොවක දුවෙකුට ගෙදරම නානකාමරේ ඇතුළේ දරුවෙක් ලැබුණා. ඒත් ඒ අම්මා මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා කිසිම විලිලැජ්ජාවක් නැතුව කිව්වා “මම මේ මොකුත්ම දැනගෙන හිටියෙ නෑ” කියලා. ඇත්තටම ඒක අම්මා කෙනෙකුට කියන්න සුදුසු කතාවක්ද? එතකොට ඒ දුව මාස දහයක් වෙනකල් දරුගැබ ගෙදරින් වසන් කරගෙන හිටියෙ කොහොමද? අඩුතරමින් දරුගැබ ඉදිරියට නෙරාගෙන එද්දිවත් ඒ අම්මට අර දුවගෙ වෙනසක් පෙනුණෙ නැද්ද? ඊළඟට අවුරුදු 15ක් කියන්නෙ මහා ලොකුවට හැමදෙයක්ම තනියම කරගන්න පුළුවන් වයසක් නෙවෙයි. ඒ කියන්නේ මාස නවයක් දහයක් තමන්ගේ දුවට ඔසප්වීම සිද්ධ වුණේ නෑ කියලාවත් ඒ අම්මට හාන්කවිසියක්වත් ගානක් තිබිලා නැද්ද?

ඊළඟට ටියුෂන් යනවා කියලා ගෙදරින් ගියාට පස්සේ ඇත්තටම ඒ දරුවා ටියුෂන් පන්තියට ගියාද නැද්ද කියලා ඒ අදාළ ගුරුවරුන්ගෙන් අහලා බලන්න තරම් දැන් ඉන්න දෙමව්පියන්ට විචාර බුද්ධියක් නෑ. මොකද අද කාලේ මේ සැමන් ටින් කරලා වගේ කරගෙන යන ටියුෂන් කෙරුවාවත් කොල්ලොන්ට කෙල්ලන්ට පනින රිලවුන්ට ඉනිමං තියලා වගේ. මොකද ගුරුවරයාට පේන්නෙත් ඔලුගෙඩි ටික විතරයි. ආයෙ මහපාරකදි මූණට මුලිච්චි වුණත් ගුරුවරයා දරුවව අඳුනන්නෙ නෑ. මොකද සේරම වැඩ සිද්ධවෙන්නේ ප්‍රොජෙක්ටර් යන්තරෙන් නිසා. හරි නම් දරුවෙක් ටියුෂන් පන්තියට යනකොට එනකොට ඒ ළමයා පන්තියට ඇවිත් ගියා කියලා දැනගන්න කොතැනක හරි නමක් ලකුණු වෙන්න ඕනෑ.

අන්න ඒකටත් මම මගේ ඇස් දෙකෙන් දැකපු සිදුවීමක්ම කියන්නම්.

මීට මාස හත අටකට විතර උඩදි මම ගියා පිළියන්දල පැත්තේ පුද්ගලික ආයතනයක දේශනයකට. ඒ ගිහින් එනකොට වැඩිය සෙනඟ ගැවසෙන්නෙ නැති පාරක් අයිනේ මල් පඳුරු දෙකකට මුවාවෙලා පොත් මිටියකුත් තුරුලු කරන් අවුරුදු දාසයක විතර දුවෙක් අඬනවා මම දැක්කා. වටපිට බැලුවට පාර දෙපැත්තෙත් කිසිම කෙනෙක් පේන්න හිටියේ නෑ. පස්සේ මම ඕක මගේ රියැදුරු මහත්තයට කිව්වම එයා ආපස්සට වාහනේ හරවගෙන ඒ දුව හිටපු තැනට මාවත් එක්කගෙන ගියා. ඒ ගිහිල්ලත් වචන දෙක තුනකට වඩා කතා කරන්න ලැබුණෙ නෑ මම දැක්කා ඈත ඉඳන් පිරිමි ළමයි දෙන්නෙක් ඒ දිහාවට එනවා. ඒ කොල්ලො දෙන්නව දැකපු ගමන් මේ ගෑනු දරුවා ආපහු සැරයක් හොඳටම බයවෙලා කඩාගෙන බිඳගෙන දුවන්න හැදුවා. ඒත් මගේ රියැදුරු මහත්තයත් තරුණයෙක් නිසා ඒ දුවට දුවන්න නොදී බයවෙන්න එපා කියලා මොකද වුණේ කියලා විස්තර අහලා බැලුවා. එතකොට තමයි දැනගන්න ලැබුණේ අර ආපු කොල්ලෝ දෙන්නගෙන් එක්කෙනෙක් මේ ගෑනු දරුවගෙ පෙම්වතා කියලා. ඒ කොල්ලා මේ දුවව බොරු කියලා රවට්ටගෙන තානායමකට අරන් ගිහින් මදිවට ඒ තානායමටම අර ඒකත් එක්ක හිටපු යාළුවවත් ගෙන්නගෙන. පස්සේ මේ කෙල්ල කොහොමහරි කෑගහලා දඟලලා එතැනින් එළියට පැනලා තියෙනවා. ඒ ඇවිත් පාර අයිනේ ඉන්නකොට තමයි මම දැකලා තියෙන්නේ. පස්සේ මම ඒ දුවගෙන්ම අම්මගේ දුරකතන අංකය ඉල්ලගෙන කතා කරලා අම්මා එතැනට ආවට පස්සේ දුවවත් භාරදීලා තමයි ආපහු ගියේ. නමුත් මම ඒ වෙලාවේ ඒ අම්මට මොකුත්ම කියන්න ගියේ නෑ. පස්සේ ගෙදරට ඇවිත් ඒ අම්මට කෝල් එකක් අරගෙන අර දුවට තරවටු නොකරන විදියට කරුණු කාරණා පහදලා දුන්නා.

දැන් බලන්න තමන්ගේ දුව ටියුෂන් පංතියට යනවා කියලා ගෙදරින් ගියාට පස්සේ ඇත්තටම ඒ දරුවා පංතියට ගියාද කියලා හොයලා බලන්න තරම් අර අම්මට උනන්දුවක් උවමනාවක් තිබුණා නම් ඔහොම දෙයක් සිද්ධ වෙනවද? පෙර පිනකට වගේ ඒ දුවව මගේ ඇහැටත් ගැටුනේ නැත්නම් ආපසු සැරයක් අර කොල්ලො දෙන්නට අහුවෙලා මහ විනාසයක් වෙන්නත් ඉඩ තිබුණා.

මෙතැන පළවැනි වැරැද්ද දෙමව්පියන්​ගේ. මොකද අර කලින් කතාවේ තාත්තයි අම්මයි මුල්තැන දීලා තිබුණෙත් සල්ලිවලට. ඒ නිසා ඒ අයට තමන්ට හිටපු එකම දුවට ආදරේ කරන්න හොයලා බලන්න වෙලාවක් තිබුණේ නෑ. දැන් කියපු මේ කතාවේ වගේම අර කලින් කියලා තිබුණු තිස්සමහාරාමේ දුවගේ අම්මට වෙලා තිබුණෙත් තමන්ගේ දුවට සමීප වෙලා ඒ දරුවන්ව තේරුම්ගන්න තීක්ෂණ බුද්ධියක් නොතිබුණු එක.

මොකද තමන්ගේ දරුවන්ගේ වගකීම තමන්ට ගන්න පුළුවන්නම් සමාජේ අරමයි මෙහෙමයි කියලා කාටවත් දොස් පවරන්න අවශ්‍ය නෑ. හැබැයි එහෙමයි කියලා සමාජේ වරදක් ඇත්තෙම නෑ කියලත් මම කියන්නේ නෑ. ඒ වුණාට මේ කතාවේ කලින් පැහැදිලි කරලා තියෙනවා වගේ එදා දුවලට අම්මා අප්පගෙන් වැඩිහිටියන්ගෙන් වගේම සාහිත්‍ය කලාව තුළිනුත් ජීවිත අවබෝධයක් ලැබුණා. ඒ අය එදා එහෙම ලබපු අත්දැකීම් අද දුවලා හොයන්නේ සමාජ මාධ්‍යවලින්. එතකොට ඉතින් හරි වැරැද්ද තෝරබේරගන්න පුළුවන් කෙනා හරි තැනින් අල්ලගත්තට එහෙම විචාර බුද්ධියක් නැති කෙනා තවත් ටිකක් ප්‍රපාතෙට ඇදගෙන වැටෙනවා.

ඒ විතරක් නෙවෙයි කිසිම ලේඛකයෙක්වත්, ගොඩක් දුරට මාධ්‍යවලින්වත් මේ ලිංගික අධ්‍යාපනය කියන දේ ගැන කතා කරන්නේ නෑ. මොකද ඊටපස්සේ මූණදෙන්න වෙන ප්‍රශ්න ගැන ඔවුන් දන්න නිසා.

මට මතකයි මේ මෑතකදිත් ‘ධරණී’ පුවත්පතේ ස්වයං වින්දනය ගැන කියලා පලවුණු ලිපියකට බොහොමයක් වැඩිහිටි උදවිය පහර පිට පහර එල්ල කළා. ඒකෙන් පැහැදිලි වෙනවා අදටත් අපි ජීවත්වෙන්නේ ලිංගිකත්වය රහසක් විදියට සලකන සමාජයක. ඇත්තටම ඒක එහෙම විය යුතු නෑ. මගේ මතය නම් පාසල් විෂය නිර්දේශයේ තියෙන අතිරේක විෂයක් ඉවත් කරලා හරි මේ ලිංගික අධ්‍යාපනය කියන එකත් විෂය නිර්දේශයට ඇතුළත් කරන්න ඕන කියන එක. මොකද අද තියෙන සමාජ මාධ්‍යවලින් දරුවෝ කරන්නේ ලිංගික අධ්‍යාපනය ලබන එක නෙවෙයි. ඒක තව රහ කර කර බලලා ඒවා අත්හදා බලන්න යන එක. ඒ ගැන දැනුමක් නැතුව අත්හදා බලන්න යන එකෙන් වෙන්නේ අර කලින් කතාවල දුවලට වගේ ගෙදරම දරුවෝ ලැබෙනකල් මොකුත්ම නොදැන ඉන්න සිද්ධ වෙන එක.

ඊළඟට මේ හැමදෙයකටම මූලිකම හේතුවක් තමයි දෙමව්පියෝ සහ දරුවෝ අතර සමීප ඇසුරක් නැති එක. අන්න ඒ නිසා කතාව අවසානෙට මගේ තර්කය වෙන්නේ අම්මා කෙනෙකුට තරම් දුවෙකුට සමීප වෙලා ජීවිතය ගැන පාඩම් උගන්වන්න සමාජෙට බැහැ. අර අපි කලින් කතා කරපු කතා දෙක තුනේම අම්මලාට වැරදිලා තිබුණෙත් එතැනම තමයි. ඒ අම්මලා කවුරුත් තමන්ගේ දුවලගෙ ජීවිතවලට ආදරෙන් සමීපවෙලා කටයුතු කරලා තිබුණෙ නෑ. එහෙම තිබුණා නම් ඒ දරුවොන්ට ඒ විදියේ නස්පැත්තිවලට මූණදෙන්න සිද්ධ නොවෙන්නත් තිබුණා. ඒ නිසා ඔබේ දරුවන්ට හරි වැරැද්ද ​තේරුම් බේරුම් කරලා දීලා නිවැරදි මාර්ගයේ යවන එක දෙමව්පියෝ විදියට ඔබේ වගකීම මිසක සමාජයේ වගකීම නෙවෙයි. අනික අද අපි දුවලා ගැන කතා කළාට පුතාලටත් මේ කරුණු කාරණා ටික මේ විදියටම පොදුයි කියලයි මට කියන්න තියෙන්නේ.

 

ලිහිණි මධුෂිකා