දුවන්නේ නැතුව කාටවත් ක්‍රිකට් ගහන්න බෑනේ ඒ නිසා මං මේ තනතුරට සුදුසුයි
ශ්‍රී ලංකාවට මුල්ම ඔලිම්පික් පදක්කම දිනාදුන්නේ ඩන්කන් වයිට් ය. ඒ 1948 වසරේ ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්ව නියෝජනය කරමිනි. එදා ඔහු දිනූ රිදී පදක්කමෙන් පසු වසර 52ක් ගියත් ශ්‍රී ලංකාවට යළිත් ඔලිම්පික් පදක්කමක් දිනාගැනීමට හැකියාවක් ලැබුණේ නැත. එහෙත් 2000 වසරේ පැවති සිඩ්නි ඔලිම්පික් උළෙලේදී ඒ හපන්කම කරන්නට තරුණියක් සමත්වූවාය. ඒ ‘ආසියාවේ කළු වෙළඹ’ ලෙසින් නම් දරා සිටි සුසන්තිකා ජයසිංහ ය. ක්‍රීඩාවට සමුදීමත් සමඟ ඇය ගැන කතා වරින්වර මතු වුණත් පසුගිය කාලයේ තිබුණේ දිගු නිහැඬියාවකි. නමුත් ඒ නිහඬ බව බිඳිමින් මේ දිනවල සුසන්තිකා යළිත් කරළියට පැමිණ ඇත. ඒ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක තනතුරකට ඇයව පත්කිරීමත් සමඟය. ධාවන ශූරියක්ව ක්‍රිකට් තනතුරකට පත්කිරීම ගැන සියල්ලෝ අදහස් දක්වමින් සිටිති. එවන් මොහොතක ඇගේ අදහස දැනගන්නට අපි සුසන්තිකා ජයසිංහට කතා කළෙමු.
*සුසන්තිකා දැන් ගෙවන ජීවිතේ කොයි වගේද?
මං දැන් පදිංචි කොළඹ. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. පුතාට වයස අවුරුදු 14යි. දුවට 10යි. අම්මා තාත්තත් දැන් ගොඩාක් වයසයි. ඒ වගේම එයාලා අසනීපයි. එයාලගේ හැමදේමත් කරන්නේ මගේ අතින්. එතැනින් ගියාම රාජකාරී ජීවිතය ගත්තොත් ආයෙත් මට ක්‍රීඩාවත් එක්ක කටයුතු කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් ඒ හැමදේම එක්ක මං දැන් හරිම කාර්යබහුල අවිවේකී ගැහැනියක් වෙලා.
*පසුගියදා ඔබට ක්‍රිකට් ක්‍රීඩාව තුළ ලොකු තනතුරක් ලැබුණා. ඒ ගැන කිව්වොත්?
ඔව් මට ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සංවර්ධනය පිළිබඳ උපදේශක තනතුරක් ලැබුණා. ඒ ගැන ලොකු සතුටක් තියෙනවා. මොකද මලල ක්‍රීඩාව තුළින් සමුගැනීමත් එක්ක මට ලොකු ආසාවක් වගේම අවශ්‍යතාවයක් තිබුණා ක්‍රීඩාව වෙනුවෙන් යම්කිසි දෙයක් කරන්න. මං ඒ වෙනුවෙන් දීර්ඝ කාලයක් බලාගෙන හිටියා. ඒත් මට එහෙම අවස්ථාවක් ලැබුණේ නෑ. හැබැයි ඔන්න දැන් මට ඒ අවස්ථාව ලැබිලා තියෙනවා.
*ඔබ ඔලිම්පික් ධාවන ශූරියක්. ක්‍රිකට් කියන්නේ ඊට හාත්පසින්ම වෙනස් ක්‍රීඩාවක්. ඉතින් කොහොමද සුසන්තිකාව මේ තනතුරට ගැළපෙන්නේ?
ක්‍රිකට් ක්‍රීඩාවේ මලල ක්‍රීඩාව තියෙනවනේ. මොකද දුවන්නේ නැතුව ක්‍රිකට් ගහන්න බෑනේ. ක්‍රිකට් ගහන ඕනෑම කෙනෙක්ට දුර දුවන්න පුළුවන් වෙන්නත් ඕන කෙටි දුර දුවන්න පුළුවන් වෙන්නත් ඕන. මොකද වේගය හරහා තරඟයක් කණපිට පෙරළෙන්න පුළුවන්.
*අපට කියන්නකෝ ලැබුණු තනතුරේ ස්වාභාවය කොයි වගේද?
මේ ලැබුණු තනතුර ගැන ගොඩාක් අය එක එක කතා කියලා තියෙනවා දැක්කා. ඒ ඉතින් අවබෝධයක් නැතිකමනේ. මෙහෙමයි, මට තියෙන්නේ ක්‍රිකට් ගහන්න නෙවෙයි. ඒ වගේම ක්‍රිකට් ගහන කෙල්ලෝ ටිකට ක්‍රිකට් ගහන හැටි උගන්වන්නත් නෙවෙයි. ප්‍රධාන වශයෙන් මට තියෙන්නේ තරඟයට කලින් ක්‍රීඩිකාවන් නිවැරදි ක්‍රීඩිකාවක් විදියට සූදානම් කරන එක. ඒ කියන්නේ ඒ අයගේ ශාරීරික යෝග්‍යතාවය බලන එක. ඒක හරියට නැත්නම් ඒක හදන එක. එතැනින් ගියාම එයාලට ඉලක්කයකට යද්දි කොයි වගේ කැපකිරීමක්ද කරන්නේ කියලා පෙන්නලා දෙන එක, අභියෝග ජයගන්න හැටි කියලා දෙන එක. ඒ වගේ දේවල් තමයි මට කරන්න තියෙන්නේ.
*අපි දැක්කා මේ තනතුර ලැබීම ගැන ඔබ ගොඩාක් සතුටු වෙනවා. ඒ සතුට අස්සෙත් අපි නොදන්න කතාවක් තියෙනවද?
ඔව් තියෙනවා. මුලදිත් මං කියපු විදියට කාලයක් තිස්සේ මං බලාපොරොත්තුවෙන් හිටියා මං ලබපු ක්‍රීඩා ජයග්‍රහණ හා සමාන සේවයක් මේ රටේ ක්‍රීඩාව වෙනුවෙන් කරන්න. ඒත් කවුරුත් මට ඒකට ඉඩක් දුන්නේ නෑ. ඒත් මෙදා සැරේ වත්මන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහත්තයා ඒකට ඉඩක් හදලා දුන්නා. මං ගමේ අවුරුදු උත්සවේ ඉඳන් ඔලිම්පික් දක්වා ගිය කෙනෙක්. ඉතින් ඒ කාලසීමාව තුළ ලබපු අත්දැකීම් එක්ක දෙයක් කරන්න ලැබුණු මේ අලුත් තනතුර ගැන සතුටු නොවී කොහොමද?
*හැබැයි සුසන්තිකා සහ ක්‍රිකට් කියන්නේ බෝල්ට් ඇණයි කිරි හොදියි වගේ ගැළපීමක් නැති යුගළයක් කියලා සමහරු ඔබව හාස්‍යයට අරන් තිබුණා?
මමත් දැක්කා. අතේ ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා නම් ෆේස්බුක් ඉන්නවා නම් ඕන කෙනෙක්ට ඕන දෙයක් කියන්න පුළුවන්. මං ඉතින් ඒ වගේ දේවල්වලට උත්තර දෙන්න යන්නේ නෑ. අනික ඉතින් ක්‍රිකට් බෝඩ් එක තීරණය කරලා තියෙනවා නම් මං මේ ක්‍රිකට් උපදේශක තනතුරට සුදුසුයි කියලා එතැනින් එහා කතාවක් නෑනේ.
*කවුරු හරි ඔබේ මූණටම කිව්වොත් ඔබ ක්‍රිකට් උපදේශක වගේ තනතුරකට ගැළපෙන්නේ නෑ කියලා?
එහෙම කියන්න බෑනේ. මොකද ඕනෑම ක්‍රීඩාවකට ශාරීරික යෝග්‍යයතාව කියන එක හරියට තියෙන්න ඕනේ. යම්කිසි ක්‍රීඩකයෙක්ට ශාරීරික යෝග්‍යතාව නැත්නම් ඒක හදාගන්නේ නැත්තම් ශක්තිමත් නැත්නම් ධෛර්යමත් නැත්නම් ආත්ම විශ්වාසයක් නැත්නම් කවදාවත් ජයග්‍රහණයක් ලබන්න බෑනේ. ඒක ඕනම ක්‍රීඩාවකට පොදුයි. ඒ නිසා කාටවත් කියන්න බෑ මාව මෙතැනට ගැළපෙන්නේ නෑ කියලා.
*සුසන්තිකාට හිතෙන විදියට ඔබෙන් වැඩක් ගන්න මෙච්චර ප්‍රමාද වුණේ ඇයි?
ක්‍රීඩාව ගැන නොදන්න උදවිය ක්‍රීඩාවේ මුල් පුටුවලට ආවම එහෙම වෙනවා. උදාහරණක් විදියට මොකක්හරි ක්‍රීඩා සංගමයක මුල් පුටුවකට දිස්ත්‍රික් මට්ටමින් ජයග්‍රහණයක් ලබපු කෙනෙක් ආවා කියලා හිතන්නකෝ. ඉතින් එයා කීයටවත් මං වගේ ඔලිම්පික් ගිය කෙනෙක් එතැනට ගන්නේ නෑනේ. මොකද බයයි. අපේ රටේ ක්‍රීඩාව වළපල්ලට යන්න හේතුවත් ඒකයි. ඒත් දැන් දුර දක්නා නුවණක් තියෙන ක්‍රීඩා අමාත්‍යවරයෙක් පත්වෙලා ඉන්නවා. ඔහු ක්‍රීඩාව සුද්ධ කරමින් ඉන්නේ. මට මේ තනතුර ලැබීමත් එහි සුබවාදී ප්‍රතිඵලයක්. කවුරුහරි කමක් නෑ ප්‍රමාදවෙලා හරි මගෙන් වැඩක් ගත්ත එක ගැන නම් අවංකවම සතුටුයි.
*මේ වෙනකොට කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්දින ලෝක කුසලානය වෙනුවෙන් විදෙස්ගත වෙලා ඉන්නේ. ඒත් ඔබ ලංකාවේ. ඒක හරිද?
මං කණ්ඩායම එක්ක යන්න ඕන නෑ. මොකද මං මේ තනතුරට ආවේ එහෙම යන්න නෙවෙයිනේ. හැබැයි කණ්ඩායම යන්න කලින් මං එයාලව මුණගැහිලා අවශ්‍ය කරන ශාරීරික යෝග්‍යතාවය හරියට තියාගන්න හැටි, ඉලක්කයකට නිවැරදිව යන හැටි, තරඟය තුළ සාමූහික හැඟීම වර්ධනය කරගන්න හැටි, ලෝක ශුරියක් වෙන හැටි වගේ අවශ්‍ය උපදෙස් ටික දුන්නා. කෙටියෙන්ම කිව්වොත් කෙල්ලෝ ටික ලෝක කුසලානයට ජයග්‍රාහී මනසකින් තමයි යැව්වේ.
*ඔබේ ක්‍රිකට් ආගමනයත් එක්ක සමාජ මාධ්‍යයේ අපි දැක්කා අපේ ක්‍රීඩිකාවෝ ආයෙත් දුවද්දී දැවී යන්නේ (Run Out) එහෙම නැතිවෙයි කියලා තිබුණා. ඇත්තටම එහෙම වෙයිද?
(සිනාසෙමින්) එක එක අය ඉතින් එක එක කතා කියනවා. අපි බලමු.
*සුසන්තිකාට අලුත් තනතුරත් එක්ක දැන් පැහැදිලි ඉලක්කයක් තියෙනවද?
මේ වෙනකොට ගොඩාක් රටවල ප්‍රධාන ආයෝජන මාර්ගය වෙන්නේ මොකක්ම හරි ක්‍රීඩාවක්. මං හිතනවා ක්‍රිකට් හරහා අපේ රටෙත් ඒක කරන්න පුළුවන් කියලා. අපට හැමෝගේම සහයෝගය ලැබුණොත් ඒක කරන්න බැරි නෑ. රට ආර්ථික අතින් පහලින් තියෙන මේ වගේ වෙලාවක අපි එකතු වෙලා මේ ක්‍රීඩාව තුළින් ජයග්‍රහණය ලබාගත්තොත් රටත් නිකන්ම ගොඩ එයි. ඉතින් ඒ වෙනුවෙන් මං මගේ කොටස හරියටම ඉටුකරන්න බලාපොරොත්තු වෙනවා.
රුවන් එස්.සෙනවිරත්න