මේ දරු දෙන්නව හදාගන්න දෙන්න කියලා මමත් ඉල්ලුවා
එදින නවම් පෝයය. දවස පුරාම ඇසුනේ බුදු බණත් දම් ගුණත්ය. එහෙත් එවැනි වදනකින්වත් නිවී සැනසෙන්නට බැරි කේන්තියකින් වසන්ත කරුණාරච්චිගේ හිත ආකාරුණික වෙමින් තිබුණි.
පෞද්ගලික ආයතනයක රැකියාව කළ වසන්ත තිස්තුන් හැවිරිදි දෙදරු පියෙකි. ඔහුගේ නව හැවිරිදි දියණිය රිද්මානි ය. සය හැවිරිදි පුතු දෙනුවන් ය. මල් කැකුළු වන් ලස්සන දරු පැටවුන් සමඟ ලස්සන ජීවිතයක් ගත කරන්නට එම දෙන්නා දෙමහල්ලන් මැවූ සිහින කාලයත් සමඟ බොඳ වෙන්නට පටන්ගත්තේ හේතුවක් තිබුණාටම නොවේ.
වසන්තගේ ගම ගිරිඋල්ලේය. එහෙත් විවාහයෙන් පසු ඔහු පදිංචිව සිටියේ බිරිඳගේ මහගෙදර පිහිටි අරණායක ගොඩිගමුව ප්‍රදේශයේය. දරුවන් දෙදෙනා පාසල් ගියේද එහි සිටය. එහෙත් ඔහු මාස දෙකකට පමණ පෙර දරුවන් පාසලෙන් අස්කරවාගෙන ගිරිඋල්ලේ තම නිවසට පැමිණියේය. ඒ බිරිඳත් සමඟිනි. දරුවන් ගිරිඋල්ලේ පාසලකට ඇතුළත් කළේ හොඳින් උගන්වන්නටය. එහෙත් ඇගේ මහගෙදරදී ඇතිවූවා සේම පුංචි පුංචි විරසකකම්, ඒ ගෙදරදී මහා රණ්ඩු සරුවල් බවට පත්වන්නට වැඩි දවසක් ගියේ නැත. පසුගියදා එහි උච්ඡතම අවස්ථාවක් පැමිණ තිබිණි. ඒ දෙදෙනා අතර ඇතිවූ ආරවුලකින් පසු වසන්ත කඩුවක් ගෙන තම බිරිඳ එළවාගෙන ගියේයැයි කියන සිද්ධියත් සමඟය.
‘‘එදා දුව කෝල් කරලා කිව්වා බෑණා එයාව මරන්න එළවනවා කියලා. හැංඟිලා ඉඳන් කතා කරන්නේ කියලත් කිව්වා… අපිත් බයවුණා දරුවට කරදරයක් වේවි කියලා. ඉතින් අපි ත්‍රීවිල් එකක ගිහින් දුවව ගෙදර එක්කරන් ආවා. ඒ ඇවිත් පස්වැනිදා අරණායක පොලිසියේ සිද්ධිය ගැන පැමිණිල්ලක් දැම්මා.”
ඒ වසන්තගේ මාමණ්ඩිය වන 61 හැවිරිදි නිමල් වීරසූරියගේ හඬය. එම පැමිණිල්ල විභාග කිරීමට නියමිතව තිබුණේ ඉකුත් හයවන සඳුදා උදෑසන දහයටය. ඒ බව වසන්තටද පොලිසියෙන් දැනුම් දී තිබුණි. ඊට පෙර මෙම ප්‍රශ්නය සමථයකට පත්කරගැනීමේ ඕනෑකමක්ද ඔහුට තිබුණි. ඔහු පෝයදා පාන්දර දරු දෙදෙනාවද ලෑස්ති කරවාගෙන බිරිඳගේ මහගෙදර යන්නට සූදානම් වූවේය.
“අපි අම්මව එක්කරන් එන්නද යන්නෙ තාත්තේ…?”
පුංචි පැටුවන්ට අම්මා ගෙදර නැති සාංකාව දැනී තිබුණෙන් ඔවුන් සිටියේ ගමන ගැන සතුටිනි. වසන්ත දරුවන් දෙදෙනා තම මෝටර් බයිසිකලයේ නංවාගෙන ගොඩිගමුව ගෙදරට ආවේය. පැටවුන් අම්මා දැකීමෙනුත්, ආච්චි සීයාගේ ආදර සැලකිලි ලැබීමෙනුත් සිටියේ සතුටිනි. වසන්ත බිරිඳ සමඟ කතා කරන්නට උත්සාහ කළත්, ඇය ඔහුට මුහුණ නුදුන්නේය. ඇය කතා කළේද වචනයක් දෙකකි. ඒ ඔහු කියන වචන ගැන ඇයට විශ්වාසයක් නොවූ නිසා වන්නට ඇත. ඇයට ඕනෑ වන්නට ඇත්තේ සිද්ධිය පොලිසියේදී සමථයකට පත්කරගැනීමටය.
“කොහොමහරි දරුවෝ දෙන්නා එදා මගේ තුරුලට වෙලාත් හිටියා. පුතා හරිම හුරතල් දරුවෙක්. එයා දවල් කෑම කෑවට පස්සේ අයිස්ක්‍රීම් නැද්ද කියලා ඇහුවා. මම කිව්වා ෆ්‍රිජ් එකේ තියෙනවා අරගෙන කන්න කියලා. හවස් වෙද්දි බෑණා කිව්වා ගෙදර යන්න ඕන කියලා. ඒ වෙලාවේ පහට හයට ඇති. මම කිව්වා, දරුවෝ දෙන්නා තියලා යන්න, හෙට ආයේ පොලිසියටත් එන්න ඕනනේ කියලා. දරුවෝ ඉස්කෝලේ යන්න ඕන නිසා නතර කරලා යන්න බෑ කියලා බෑණා කිව්වා. දරුවෝ තියලා යනවට මං කැමති වුණත්, බෑණා දරු දෙන්නා එක්ක ගියා.’’
නිමල් වීරසූරිය තම මුනුබුරාගේත් මිනිබිරියගේත් හිස අතගා සමුදුන්නේ, තවත් හෝරා කිහිපයකින් නරකක් නපුරක් අසන්නට නම් නොවේ. “පරිස්සමින් ගෙදර ගිහින් කෝල් කරන්න” යැයි ඔහු හදවතින්ම කීවේ ආශිර්වාදයද සමඟිනි.
එසේ ගිරිඋල්ල ගෙදරට යනවා යැයි කියා එම නිවසින් වසන්ත පිටත් වුවත්, කිලෝමීටරයක් පමණ දුරට ගොස් නතර වුණේ කවුරුවත්ම නොදැන සිටි අරමුණ වෙනුවෙන් වන්නට ඇත. ඔහු බයික් එක කැඩුණා යැයි පුංචි පැටවුන්ටද කියන්නට ඇත. කිසිවක්ම නොදත් පුංචි උන් දෙන්නා සමඟ ඔහු අම්බලමට ගොඩවෙන්නේ මේ අතරය. ඒ වනවිට වටපිටාව කළුවරය. පුංචි උන් සඳේ රැස් දෙස බලා සිටියදී ආදරණීය පියෙකු විසින් කවදාවත්ම නොගත යුතු තීන්දුවක් ඔහු ගෙන තිබුණි.
“රෑ දොළහට විතර මට බෑණගෙන් කෝල් එකක් ආවා. ඒ වෙලාවේ මම හිතුවේ එයාලා ගෙදරට ගිහින් කියලයි. ඒත් බෑණා කිව්වා බයික් එක කැඩුණා ඒක දාලා පයින් ගෙදර යනවා කියලා. මම කිව්වා දරුවෝ දෙන්නට නිදිමත ඇති, අනේ පරිස්සමින් යන්න කියලා.”
ඉන්පසු සිදුවූයේ දේ නිමල් වීරසූරියට පමණක් නොව හදවතක් ඇති කිසිවකුට දරාගත නොහැකි දේය. වසන්තගේ නිසල සිරුර අරණායක පොල් අඹේගොඩ-ගොඩිගමුව පාළු අම්බලමේ බාල්කයේ එල්ලෙමින් තිබියදී පළමුව දකින්නේ පාසල් දරුවෙකි. ඔහු ඒ බව වැඩිහිටියෙකුට කිව්වේය. පසුව ගම්මුන් අරණායක පොලිසිය දැනුවත් කර එම ස්ථානයට යද්දී දැක්කේ, පුංචි පැටවුන් දෙදෙනාගේ නිසල සිරුරුයි. දරුවන් දෙදෙනා පාළු අම්බලමේ එක ළඟ බිම සතපවා තිබුණි. පෝය සඳ පවා ඒ දසුනින් තැවෙන්නට දැවෙන්නට ඇත. දරුවන් ඝාතනය කර පියාද අම්බලමේ බාල්කයේ එල්ලී දිවි නසාගන්නට ඇතැයි පොලිසිය සඳහන් කළේය.
“අනේ දෙවියනේ.. මොන අපරාධයක්ද මේ. මේ දරු දෙන්නව හදාගන්න මම ඉල්ලුවා. මොන හිතකින්ද මෙහෙම දෙයක් කළේ. නංගිත් මොහු එක්ක ඉන්න බැරි තැනයි ගෙදර ආවේ. කිසිම අම්මෙක් තාත්තෙක් දරුවන්ට මෙහෙම අපරාධ කරන්න එපා.”
ඒ දරුවන්ගේ ලොකු අම්මා කියන කතාවය. දෙමාපියන්ගේ මොන විරසකකම් තිබුණත් පුංචි දරුවන්ට ජීවත්වන්නට ඇති අයිතිය මේ අයුරින් නැතිකර දැමීම කොතරම් අවාසනාවක්ද?
“දෙමාපියන් අතර ඇතිවන ප්‍රශ්න මුල්කරගනිමින් ඇතිවන ආරවුල්වලදි දරුවන් වින්දිතයින් කරන්න එපා. මෙවැනි ආරවුල් විසඳාගන්න, ඊට සහාය ලබාගන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිටින නිලධාරීන්, පරිවාස නිලධාරීන් හෝ ප්‍රදේශයේ පොලිස් ස්ථානවල සිටින ළමා හා කාන්තා කාර්යාංශ නිලධාරීන්ගේ උපදෙස් හා සහාය පැතිය හැකියි.”
ඒ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ නිහාල් තල්දූව මහතායි. ඔහු කියන්නේ දරුවන් හදා වඩාගැනීමේ අපහසුතා වේ නම් අදාළ අංශ දැනුවත් කර ඊට උපකාර ලබාගත හැකි බවය.
අරණායක පොලිසිය මෙම සිදුවීම පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර, දරු පැටවුන් අවසන් වරට සතුටින් සිටි නිවසේම නිසලව සිට පසුගියදා අවසන් ගමන් ගියේ, මල් කැකුළක වටිනාකම ලොවට යළි යළිත් පසක් කරවමිනි.
දීපා වසන්ති එදිරිසිංහ