විශේෂාංග

ගෑනුන්ට බාගෙට බාගයක්ම තියෙන්නේ ‘පිරිමි දාපු ප්‍රශ්න’

තලෙයිබානුවෝ ඇෆ්ගනිස්තානය යටත්කරගත්තු කාලෙදි තුවක්කුව බිම තියලා පොතක් කියවන තලෙයිබාන් සාමාජිකයෙක්ගේ පිංතූරයක් සමාජ මාධ්‍යවල හුවමාරු වුණා. ඔව්. පොතකට පුළුවන් ආයුධයක් බිම තියන්න, ත්‍රස්තවාදියෙක් මනුස්සයෙක් කරන්න. හැමෝම කිව්වේ එහෙම.

ඇත්ත. පොතකට මොනවද කරන්න බැරි? හැබැයි හොඳ පොතකට.

මොළේ උණුසුම් කරන හොඳ පොත් ලියන පිරිස අතලොස්සයි. සුරත් ද මැල් කියන ලේඛකයා ඒ පිරිස අතරට එක් කරන්න අපි දෙපාරක් නොහිතුවේ ඔහු සමාජයට ලොකු පණිවිඩයක් එක්ක කියවන්න පිරියට පොත් ලියන්නෙක් නිසයි. ඔහුගේ ‘සී+’ පොතේ රහ ගැන අපි ‘ධරණී’ පාඨකයෝ එක්ක මීට කලින් බෙදාගත්තා මතක ඇති.

ඔන්න ඉතින් සුරත් ද මැල් තව පොතක් ලියලා. ඒ තමයි  ‘ඩුඕ (දෙදෙනෙක්)’. කලින් පොතේ රස මතක හින්දා ‘ඩුඕ’ කියවන්නත් අපි ආපහු දෙපාරක් හිතුවේ නෑ.

වැස්ස දවසක හවසක කෝපි කෝප්පයක් එක්ක පොතක් කියවන එක තරම් නිවනක් කොහෙන්ද මනුස්සයෙකුට? කියව්වේ පිටුවයි දෙකයි. ‘ඩුඕ’ කෝපිවලට හොඳටම ගැළපෙන සංයෝගයක් බව තේරුණා. ඉතින් හදාගත්තා කෝපි කෝප්පයක්. කියව්වා පොත එක හුස්මට.

පොතේ ප්‍රධාන චරිත දෙකයි. උමා සහ සාරා. කාලවකවානු දෙකක, රටවල් දෙකක ජීවත්වෙන තරුණියෝ දෙන්නෙක්. මේ තරුණියෝ දෙන්නා පිරිමි ලෝකෙක විමුක්තිය හෙව්වා.

‘ඩුඕ’ පොතෙන් මට හම්බුණේ උමාවත් සාරවත් නෙමෙයි. එතැන හිටියේ මම. මේක ලියන මම ඇතුළුව කියවන ඔබත්, පිරිමින්ට යටවුණු ලෝකෙක ජීවත්වෙන ගෑනු හිත්වල අඳුරු හෙවණැලි. උමාටයි, සාරටයි, අපිටයි විමුක්තිය හම්බෙයිද? ඒක දැනගන්න නම් ‘ඩුඕ’ කියවන්නම වෙනවා.

ඔයාලට ප්‍රශ්නාර්ථයක් ඉතිරි කළාට, උත්තරේ දැනගත්තු මම ඊළඟට කළේ සුරත් ද මැල්ට කෝල් එකක් ගත්තු එක. ඒ ‘ඩුඕ’ ගැන ටිකක් කතා කරන්න.

 

*‘ඩුඕට යන්න කලින් සී+’ගෙන් කතාව පටන්ගමු. ‘සී+’ ස්වර්ණ පුස්තක ගොඩගේ සම්මානයන්ට නිර්දේශ වුණා, සරසවි ප්‍රකාශකයන්ගේ වැඩියෙන්ම අලෙවිවුණු පොතක් වුණා. එව්වගෙන් කියැවෙන්නේ ලේඛකයෙක් විදියට සුරත්ගේ සාර්ථකත්වයද?

ලේඛකයෙක්ට සාර්ථක වෙන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. ඉහළ අලෙවිය කියන්නේ පාඨක කැමැත්ත. සම්මාන කියන්නේ විනිශ්චය මණ්ඩලවල කැමැත්ත. ඔය දෙකම නැතිව විචාරක ප්‍රසාදය තියෙන්නත් පුළුවන්. මේ සේරම සාර්ථක ලේඛනයට සාක්ෂි. මට ඔය සේරටෝම වැඩිය වටින්නේ ලේඛකයගේ හෘද සාක්ෂිය. ලියන්නෙක් විදියට තමන් මොකක්ද සමාජගත කළේ කියන එක දන්නෙ ලේඛකයා. මට නම් හැමතිස්සෙම හිතෙන්නේ මගෙන් මගහැරැණු කොටස වැඩියි කියලයි.

 

*සුරත්ගේ තුන්වැනි නවකතාව ඩුඕකොහොම පොතක්ද?

ඒක කාලවකවානු දෙකක, රටවල් දෙකක ජීවත්වෙන ගැහැනු දෙදෙනෙක්ගේ කතාවක්. මේ දෙන්නටම සමාන ආකාරයේ සමාජ සංසිද්ධීන්වලින් ගමන් කරන්න සිද්ධ වෙනවා. හැබැයි මේ දෙදෙනා ඒ සිද්ධි එක්ක ඇතිවෙන ප්‍රශ්නවලට මුහුණදෙන්නේ දෙආකාරයකට. එව්වත් එක්ක මේ අයගේ ජීවිත වෙනස්වන විදිය තමයි පොතෙන් කියන්නේ.

 

*සුරත් නවකතාවලින් ගෑනුන්ගේ ප්‍රශ්න ගැනම කතා කරන්නේ ඇයි? පිරිමින්ට ප්‍රශ්න නැද්ද?

ඇයි නැත්තෙ? පිරිමින්ට ප්‍රශ්න තියෙනවා. හැබැයි ගෑනුන්ට ඊටත් වැඩියි. පිරිමින්ට ප්‍රශ්න නැති ක්ෂේත්‍රවල පවා ගෑනුන්ට අඩිය තියන්න බැරිතරම් ප්‍රශ්න සහ සීමා තියෙනවා. මේ සේරම සංස්කෘතික ප්‍රශ්න. දැඩි පුරුෂ මූලික සමාජයක් තියෙන ලංකාව, ඉන්දියාව වගේ රටවල  ප්‍රශ්න බරපතළයි. අනික ගෑනු ගිහින් පිරිමින්ට ප්‍රශ්න ඇති කරනවා අඩුයි. හැබැයි වැඩේ කියන්නේ ගෑනුන්ට තියෙන ප්‍රශ්නවලින් බාගෙට බාගයක් පිරිමි හදපුවා.

 

*ගෑනුන්ට කෑගහලා කියන්න ඕන වුණත් කියාගන්න බැරිව හිතේ තදකරගෙන ඉන්න වචන ඒ විදියටම ඩුඕගෙන් දැක්කා. සුරත්ට ගෑනුන්ගේ හිත් කියවන්න පුළුවන් බලයක්වත් තියෙනවද?

කාටද හිත් කියවන්න බැරි? අපි හැමෝටම පුළුවන් හිත් කියවන්න. ඒත් අපි අනිකාගේ සිතුම් පැතුම් නොතේරෙන තාලෙට ඉන්නවා. එතකොට අපි කියන කරන දේවල වගකීමෙන් මිදෙන්න ලේසියි. විශේෂයෙන් ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාවලදි පිරිමි කරන්නෙම ඒක. සැමියා බිරිඳ, පියා දියණිය ඔය හැම සම්බන්ධයකදිම “මට මේ ගෑනු තේරෙන්නේ නෑ, ගෑනුන්ගෙ හැටි ඔහොම තමයි” කියන බොරුව ඉස්සරහට දාලා ඇඟ බේරගන්න පිරිමි දක්ෂයි.

 

*අසූව දශකයේකුසලාප්‍රශ්න දරාගන්න බැරිව සියදිවි නසාගත්තා. ගෑනුන්ට ප්‍රශ්න උරුමයි කියලා වගේ උමාප්‍රශ්න දරාගත්තා. ‘සාරාප්‍රශ්නෙට විරුද්ධව වැඩ කළා. ඉස්සර ගෑනු ප්‍රශ්න දරාගත්තට දැන් මොඩර්න් ගෑනු අසාධාරණේට නැගිටිනවා කියන එකද ඒකේ අදහස?

සමාජ සංස්කෘතිය ගැනයි, තමන්ගේ බලය ගැනයි දැනුවත් වුණහම ගෑනු වුණත් වෙනස් වෙනවා. ඒ බලය පාවිච්චි කරලා තමන් වෙනුවෙන් නැගිටින්න පටන්ගන්නවා. විසිවන ශතවර්ෂයේ බටහිර ජීවත්වෙච්චි කාන්තාවෝ බටහිර සංස්කෘතිය ගැන අධ්‍යයනය කරලා නිදහස සහ අයිතීන් වෙනුවෙන් කතා කරලා අද සාර්ථක තැනක ඉන්නවා. හැබැයි අවාසනාවකට අපේ සංස්කෘති තාම ඉන්නේ සියවස් ගාණකට පිටිපස්සෙන්.

 

*ඉස්සර අයට වඩා නිදහස වෙනුවෙන් කතා කරන නිසා දැන් කාලේ ගෑනුන්ට ප්‍රශ්න වැඩිවෙලා කියලා සුරත්ට දැනිලා නැද්ද?

තමන්ට අහිමි කරලා තිබුණු පොළොවකට පය තිබ්බහම අලුත් අලුත් ප්‍රශ්න එනවා. ඒක ස්වභාවිකයි. හැබැයි නිදහස දිනාගන්න කෙටි පාරවල්වත් බයිපාස්වත් නෑ කියන එක මතක තියාගන්න.

 

*එක කතාවක් ඇතුළේ චරිත කිහිපයක්, ප්‍රශ්න කිහිපයක් ගැන කතා කරන්න සුරත් කොහොමටත් දක්ෂයි නේද?

කතාවේ චරිතවලින් පුද්ගල මනෝභාවයන් හෝ සමාජ සංසිද්ධීන් විස්තීර්ණය කරන එක තමයි බහුතරයක්  නිර්මාණවල තාක්ෂණය. මේ ප්‍රධාන චරිත ඇත්තටම කවුද කියන එක තීරණේ වෙන්නේ එයාලා සෙසු චරිත එක්ක කරන ගනුදෙනුව මතයි. සෙසු චරිත ප්‍රධාන චරිත පෝෂණය කරනවා. මගේ කතාවල චරිත පණ ඇති මිනිස්සු කරන්න මම කැමතියි. මේ හැම චරිතයක්ම නිර්මාණය වුණේ හැබෑම චරිතයක් මත වීම තමයි ඒකට හේතුව.

 

*ඇත්තටම කියවීම මිනිසා සම්පූර්ණ කරනවද? මිනිස්සු නවකතා, කෙටිකතා කියවන්න ඕනේ ඇයි?

ඔව්. කියවීම මිනිසා සම්පූර්ණ කරනවා. අදටත් දැනුම රැස් කරන්න පුළුවන් ප්‍රධානම මාර්ගය තමයි කියවීම. හැබැයි ඔය කියමනේ තියෙන්නේ නවකතා, කෙටිකතා ගැන නෙමෙයි. පොදුවේ කියවීම ගැන. කතා කියවලා විතරක්  ඔය කාරිය වෙනවා කියලා මම හිතන්නෑ. කලාව ආනන්දයෙන් ඇරඹී ප්‍රඥාවෙන් අවසන් වෙනවා කියලා කියමනක් තියෙනවානේ. ආනන්දයෙන් ඇරඹෙන බව නම් ඇත්ත. හැබැයි ප්‍රඥාවේ කොතෙක් දුරට යනවද කියන එක තමන් දැනගන්න ඕනේ. තමන්ට තියෙන්නෙ එක ජීවිත කාලයයි. ඒ ජීවිත කාලේ විඳින්න පුළුවන් හොඳ ක්‍රමයක් තමයි කලාව. පොත් කියවීම.

 

සෙව්වන්දි හෙට්ටිආරච්චි