බැඳලා හනිමූන් යන්නෙ නැතිව පහුවදාම එයා ක්‍රිකට් ගහන්න ගියා
ඒ 2018 අගෝස්තු 12 වැනිදාය. එදා කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට දහස් ගණනක් වූ ක්‍රිකට් ප්‍රේක්ෂකයින් පැමිණ තිබුණේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති එක්දින තරඟාවලියේ පස්වන සහ අවසන් එක්දින තරඟය නැරඹීමටය. තරඟයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 50 අවසන කඩුලු අටක් දැවී ලකුණු 299ක් ලබාගැනීමට සමත්වූයේ දකුණු අප්‍රිකාවට ලකුණු 300ක ඉලක්කයක් ලබාදෙමිනි. නමුත් දඟපන්දු යැවූ අකිල ධනංජනයගේ සුපිරි පන්දු යැවීම හමුවේ දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 24.4කදී ලකුණු 121කට සීමාවිය. ඒ අනුව ශ්‍රී ලංකාවට ලකුණු 178ක විශිෂ්ට ජයග්‍රහණයක් හිමිවූ අතර තරඟයේ වීරයා වූයේ ලකුණු 29කට කඩුලු 06ක් දවාගත් අකිල ධනංජයයි. ඉතින් මේ සොඳුරු කතාබහ එවන් විශිෂ්ට ජයග්‍රහණය රැසක්ම ශ්‍රී ලංකාවට අත්කරදුන් අකිල ධනංජයගේ ආදරණීය බිරිඳ වන නෙතලි ටෙක්ෂිනී සමරවික්‍රම සහ මව වන ජයලතා ප්‍රනාන්දු සමඟිනි.
*නෙතලි ක්‍රිකට්වලට ආස කරන්නේ කොයි කාලේ ඉඳන්ද?
මං නම් පුංචි කාලේ ඉඳන් ක්‍රිකට්වලට ආසයි. මොකද ඉස්කෝලේ යන කාලේ මමත් ක්‍රිකට් ගැහුවා. ඒ 2007 අවුරුද්දේ ඉඳන් වගේ. හැබැයි උසස් පෙළ කාලේ ක්‍රිකට් ගහන එක නතර කළා.
*අකිලව ඔයාට මුණගැහෙන්නෙත් ක්‍රිකට් නිසාලු නේද?
ඔව් ඔව් අකිලයි මමයි දෙන්නම එකම ඉස්කෝලේ. ඒ කියන්නේ පානදුර මහානාම විද්‍යාලයේ. එයා මට වඩා අවුරුදු තුනක් විතර වැඩිමල්. ඉතින් මං ක්‍රිකට් පුහුණුවීම් කරද්දි එයත් එතැනට එනවා. මොකද එයත් ක්‍රිකට් ගැහුවනේ. ඒ අතරේ තමයි 2010 අවුරුද්දේ එයා මගෙන් යාළුවෙන්න ඇහුවේ.
*ඉතින් එයා කැමතිද කියලා අහපු ගමන් ඔයා කැමැත්ත දුන්නද?
අපොයි නෑ. මං එකපාරට උත්තරයක් දුන්නේ නෑ. චුට්ටක් විතර ගණන් ඉස්සුවා. හැබැයි කතාබහ කරලා හිටියා. ටික දවසක් යනකොට තේරුණා අකිල කියන්නේ හොඳ කෙනෙක් කියලා. පස්සේ අපි ආදරේ කළා. අවුරුදු හතක් ආදරේ කරලා 2017 අවුරුද්දේ විවාහ වුණා. විවාහයට කලින් එයා ජාතික කණ්ඩායමටත් තේරුණා.
*මට මතක විදියට දෙන්නගේ විවාහ මංගල්‍යය තිබුණේ ක්‍රිකට් තරඟාවලියක් අතරතුරේ. මං හරිද?
ඔව් හරි. ඒ වෙනකොට ඉන්දියාව එක්ක එක්දින තරඟමාලාවක් තිබුණා. අකිලත් කණ්ඩායමේ හිටියා. ඒ තරඟමාලාව මැද තමයි විවාහයත් තිබුණේ.
*එතකොට ඒ විදියට තරඟාවලියක් අස්සේ විවාහ වෙන්න හිතුවේ ඇයි?
අපි කලින් ඉඳන් විවාහයට නැකැත් බලලා තිබුණේ. ඉතින් එදාට තමයි නැකැත් දවස තිබුණේ. ඒ නිසා ක්‍රිකට් තරඟාවලියක් අස්සෙම විවාහය සිදුවුණා. වැඩේ කියන්නේ ඒ දවසට පහුවදා මැච් එකකුත් තිබුණා. ඉතින් අකිලට විවාහ වුණු ගමන් අනික් පැත්තට මැච් එකට නුවර යන්න වුණා.
*එදා හනිමූන් එක පැත්තක දාලා මැච් එකට ගිය කොල්ලා ගැන තරහක් ආවේ නැද්ද?
අනේ එහෙම නෑ. මොකද ඒ වෙනකොට මං එයාව හොඳට තේරුම් අරන් හිටියේ. ඒ නිසා ඒක ගාණක් නෑ.
*ඇත්ත කියන්න, ඔයාට මාවද ලොකු නැත්නම් මැච් එකද ලොකු කියලා එදා ඇහුවෙම නැද්ද?
(සිනාසෙමින්) අයියෝ එහෙම ඇහුවේ නෑ.
*හැබැයි හනිමූන් එකත් පැත්තකට දාලා මැච් එකට ගිය අකිල ඔයාට හිතාගන්න බැරි මංගල තෑග්ගක් දුන්නා නේද?
ඒක නම් හීනයක් වගේ. එදා එයා ලකුණු 29ට කඩුලු හයක් අරන් එයාගේ ක්‍රිකට් ජීවිතේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. එදා නම් මට අමතක නොවෙන දවසක්. ඒත් ඒ මැච් එක අපි පැරදුණා. එදා දිනුවා නම් තවත් සතුටුවෙන්න තිබුණා.
*ක්‍රිකට් ක්‍රීඩකයින්ට ලොකු කාන්තා ආකර්ෂණයක් තියෙනවනේ. විවාහයෙන් පස්සේ අකිලට කොන්දේසි දැම්මා කියන්නේ ඇත්තද?
(සිනාසෙමින්) විහිලුවට වගේ පොඩි පොඩි කොන්දේසි ටිකක් දැම්මා ඉතින්. හැබැයි ඒ එයාව අවිශ්වාසෙට එහෙම නෙවෙයි.
*නෙතලි දැන් අකිල එක්ක ගෙවන ජීවිතේ කොයි වගේද?
අපි විවාහ වෙලා දැන් අවුරුදු හයක්. ඒත් අද ඊයේ විවාහ වුණු දෙන්නෙක් වගේ අපි දෙන්නා හරිම ආදරෙන් ඉන්නවා. අපිට දැන් අවුරුදු හතරක පුතෙක් ඉන්නවා. අකිලගේ අම්මලා ඉන්නෙත් අපිත් එක්කමයි.
*අකිල ඔයාට සැරවෙන්නේ එහෙම නැද්ද?
(සිනාසෙමින්) එයාට ලේසියකට තරහා යන්නේ නෑ. නිවිලම තමයි ඉන්නේ. ඒත් තරහා ගිය වෙලාවට හොඳටම තරහා යනවා. ඒ වෙලාවට මං මුකුත් කියන්නේ නෑ. ඒත් මට තරහා ගියොත් එහෙම එයා ඒක ජෝක් එකට වගේ ගන්නවා.
*පසුගිය කාලයේ අකිලගේ පන්දු යැවීම නීති විරෝධියි කියලා එයාට ලොකු ප්‍රශ්නයකට මුහුණදෙන්න වුණා. ඒ වෙලාවේ එයා හැසිරුණේ කොයි විදියටද?
ඇත්තටම එයා ගොඩාක් දුක්වුණා. ඒත් එයාට පුළුවන් ඉක්මනට පන්දු යැවීමේ ඉරියව්ව හදාගන්න ඕන වුණා. ඊටපස්සේ දිගටම පුහුණුවීම් කළා. කොරෝනා කාලේ පවා එළියට ගිහින් පුහුණුවීම් කළා. මං බයේ යන්න එපා කිව්වත් එයා ගියා. අන්තිමේ එයා එයාගේ කැපවීමෙන් ආයෙත් පන්දු යැවීමේ ඉරියව්ව හරියට හදාගත්තා.
*අකිල ටිකක් විලාසිතා කරන්න කැමතියි වගේ නේද?
ඔව්. කොණ්ඩේ එහෙම වෙලාවකට කලර් කරනවා. මමයි අම්මයි කැමති වුණාට එයාගේ තාත්තා නම් ඒ දේවල්වලට ටිකක් අකමැතියි.
*ඉදිරියේදී එක්දින ක්‍රිකට් ලෝක කුසලානයක් එනවා. මෙවර අකිල ධනංජයට කණ්ඩායමේ තැනක් ලැබෙයිද?
එහෙම අවස්ථාවක් ලැබෙනවා නම් හොඳයි. මොකද ලෝක කුසලානයට අවස්ථාව ලැබුණොත් රට වෙනුවෙන් හොඳටම සෙල්ලම් කරන්න එයා බලාගෙන ඉන්නවා. මමත් ආසයි ඒ ලෝක කුසලානය වෙනුවෙන් එයා සෙල්ලම් කරනවා දකින්න.
අකිල ධනංජයගේ බිරිඳ නෙතලි සමඟ කළ කතාබහෙන් පසු අප ඊළඟට හැරුණේ අකිල අද ඉන්නා තැන ගැන වැඩිපුරම ආඩම්බර වෙන ඇය දෙසටය. ඒ අකිලගේ ආදරණීය මව වන ජයලතා ප්‍රනාන්දු පැත්තටය.
*අකිල ධනංජය අද ඉන්න තැන ගැන අම්මට තියෙන්නේ මොන වගේ හැඟීමක්ද?
මට අකිල ගැන ගොඩාක් ආඩම්බරයි. මොකද අපි ලොකු මිනිස්සු නෙවෙයි. ගොඩාක් දුෂ්කරතා එක්කයි එයා අද ඉන්න තැනට ඇවිත් ඉන්නේ. මට තාම මතකයි පුතා කෝච්චියේ අර ලොකු ක්‍රිකට් බඩු බෑග් එකත් එල්ලගෙන හිරවෙලා පුහුණුවීම්වලට කොළඹ ගියපු හැටි. ඒ කැපකිරීම්වල ප්‍රතිඵල දැන් තියෙනවා. ඉතින් ඒ දේවල් එක්ක අකිල පුතා දැන් ඉන්න තැන ගැන එයාගේ අම්මා විදියට ආඩම්බරයි.
*පුතා පොඩි කාලේ නම් ටිකක් දඟයි කියන්නේ ඇත්තද?
(සිනාසෙමින්) ඔව් ඔව් ටිකක් දඟ කළා. මොන්ටිසෝරි කාලේ එහෙම ළමයෙක්ට ගහලා මටත් මොන්ටිසෝරි යන්න වුණා. මට මතකයි ඒ කාලේ සත්තු පාරේ එහෙම පන්නනවා. එතකොට ගස් ගල් දිගේ නගිනවා. හැබැයි ලොකු වෙනකොට ඒ දඟ වැඩ නැවතුණා.
*එතකොට අකිලට ක්‍රිකට් ගහන්න ආසාවක් ආවේ කොහොමද?
අකිලගේ අයියා ක්‍රිකට් ගැහුවා. ඉතින් එයාට පුහුණුවීම් තියෙන දවස්වලට මං කෑම එකක් අරන් යනවා. අකිලත් මාත් එක්ක යන්න එනවා. එයා එතකොට හරි පොඩියි. දිගටම එහෙම එද්දි තමයි එයාටත් අයියා වගේ වෙන්න ඕන වුණේ. ක්‍රිකට් ගහන්න පටන්ගත්තේ එහෙමයි.
*අකිල ගෙදරදි එහෙම කොයි වගේද?
එයා ගුණධර්ම අතින් පොහොසත් දරුවෙක්. අපේ හිත් කවදාවත් රිදවලා නෑ. මටයි එයාගේ තාත්තටයි හරිම ආදරෙයි. එයාට ඉන්නේ අයියයි, නංගියි. ඒ දෙන්නටත් පණ ඇරලා. එයාගේ වාසනාවට වගේ හොඳ බිරිඳකුත් එයාට ලැබුණා.
*අකිලගේ ක්‍රිකට් ජීවිතයේ අම්මා දකින්න කැමතිම හීනයක් තියෙනවද?
මගේ ලොකුම ආසාවක් තමයි ඉදිරියේදි තියෙන එක්දින ලෝක කුසලානයට එයා ක්‍රීඩා කරනවා දකින එක. අපි බලමු.
රුවන් එස්.සෙනවිරත්න