දැනුණොතින් තෙලේ බලේ කැක්කුම් ඔක්කොම කැලේ
හිතේ හයියෙන් ජීවිතය දිනන්න කැමති කොයිකාටත් අතහිත දෙන්න ‘ධරණී’ හැමදාමත් කැමතියි. නිකරුණේ ගෙවිලා යන කාලය තමන්ගේම කියලා ස්වයං රැකියාවක් වෙනුවෙන් යොදවන්න කැමති කාන්තාවන්ට හොඳ ඉල්ලුමක් තියෙන විවිධ දෑ පියවරෙන් පියවර ගෙදරදිම හදාගන්න හැටි කියලා දෙන්න අපි හිතුවේ ඒකයි. කඩදාසි, මැටි, රෙදි, විවිධ ආහාර, සබන් ඇතුළු විවිධ දේ නිර්මාණය කරන විදිය ගැන සහ ඒවා වෙළඳපොළ වෙත යොමු කරන ආකාරය ගැන මේ ලිපි මාලාව හරහා ඔබව දැනුවත් කරනවා.
“නැන්දේ මාමේ, අයියේ අක්කේ, නංගියේ මල්ලියේ… බලන්න ඕගොල්ලන්ට අද මම ගෙනල්ලා තියෙන දේ. රාජභෝජන දීලා රත්තරං සළු ඇන්දෙව්වත් මේ කුණුකය ටිකෙන් ටික දිරනවා කියලයි බුදුබණෙත් කියන්නේ. ඉතින් කොච්චර කළත් ඇඟේපතේ අමාරුකම්, සන්ධි වේදනා, වාත අමාරු එන එක වළක්කන්න සක්කරයගේ පුතා වයිමටවත් බැහැ… ඇඟේපතේ වේදනා හැදුනට පස්සේ බේත් හොය හොයා ඇවිදින්ට ගියාම ඒ අමාරුකම් තවත් වැඩිවෙනවා. එහෙම නොවෙන්ට මම ගෙනාව පංකාදු පහේ තෙලක්. වේදනාව එන්ට කලින්ම මේ තෙල් බේත අරන් තියාගත්තොත් සුටුස් ගාලා විනාඩියෙන් සුවේ! තෙල් බේතක් කිව්වට මේක ඉංග්‍රීසි බේතක් එහෙම නෙමෙයි ඕන්… පුරාණ වට්ටෝරුවකට හදාපු රාස් බෙහෙතක්…”
මීට දශක කීපයකට කලින් ඔහොම කිය කියා බෙහෙත් විකුණපු මහත්තුරු හැම ටවුමකම හිටියලු. වැඩිහිටි උදවියට නම් අදටත් මතක ඇති. ඔය කියන කාලේ දැන් වගේ හිතුණු හිතුණු වෙලාවට ගිහින් බඩු ගන්න සුපිරි වෙළඳසැල් තිබිලා නැහැනේ. ඉතින් ගමේ ගොඩේ සිදාදියේ හැමකෙනාම ගෙදරට ඕනකරන අඩුම කුඩුම ගන්න වුණේ සතිඅන්ත පොළෙන්.
තෙල් බෙහෙත් විකුණන උදවියත් ඉස්සර ඔය පොළවල්වල වැරදුණේ නෑ කියලයි අපේ වැඩිහිටියෝ කියන්නේ. තෙල් බේත් කුප්පිවලට අමතරව නයි, පොළොංගු, ගෝණුස්සෝ වගේ විෂ සත්තු ඉන්න පෙට්ටි කීපයකුත් උන්දෑලා ගාව තිබුණලු. පොළට සෙනඟ පිරුණෑයින් පස්සේ අර පෙට්ටිවල ඉන්න සත්තුන්ගේ විෂ ගැනයි, උන් කෑවහම ගාන්න ඕන තෙල ගැනයි, සන්ධි අමාරුවට හොඳ බෙහෙත් තෙල් ගැනයි නාට්‍යානුසාරයෙන් කියන්න මේ අය හරි හපන්නුලු. වැඩේ පටන් අරන් විනාඩියෙන් දෙකෙන් උන්දැගේ කටකාර ශිල්ප දැක්කිල්ල බලාගන්න සෙනඟත් පොරකනවලු. ඒ විතරක්යෑ ඔව්වට වශීවෙන මිනිස්සු මේ මහාර්ඝ තෙල් කුප්පි දෙක තුනක්ම ගන්න පස්ස ගහන්නෙත් නැතිලු.
ඒ කාලේ තිබ්බයි කියන ඔය තෙල් බේත්වලින් ඇත්තටම සන්ධි අමාරුකම් සුවවුණාද කියන්න දන්නේ නැහැ. හැබැයි සන්ධි වේදනාවලට අතේපයේ කැක්කුම්වලට සුවයක් දෙන වේදනානාශක තෙල් එකක් හදන හැටියි අද කියලා දෙන්නේ. හැබැයි අර ටිවී එකේ පෙන්වන, ගෑව ගමන් සුව වෙනවයි කියන ජාතියේ මැජික් තෙල් එකක් එහෙම නෙමෙයි. තාවකාලික සහනයක් ලබාගන්න පුළුවන් වේදනානාශකයක්. ඒ නිසා බොරු විස්තර කියලා මේ වගේ දේවල් අලෙවි කරන්න යන්න එපා කියන එක නොකියා බැහැ.
අතපයක සන්ධියක වේදනාවක් ආපු හැටියේ සමහරු කරන්නේ වේදනානාශක පෙත්තක් ගිලින එක. ක්ෂණික සහනයක් ලැබුණත් ඒවා දිගුකාලයක් පාවිච්චි කළාම අතුරුආබාධ එන්න පුළුවන්. ඉතින් හිතුමනාපෙට පෙති ගිලිනවට වඩා තෙල් ඩිංගිත්තක් ගාලා තාවකාලිකව වේදනාව සමනය කරගන්න එකයි හොඳම වැඩේ.
වේදනානාශක කියාපුවාමයි මතක් වුණේ. බුදුරජාණන් වහන්සේ ලෝකවාසී සත්වයන්ගේ මනසට බෙහෙත් දුන්නු බව විනා කායික ලෙඩ දුකට ඖෂධ අනුදැන වදාළ බව සාමාන්‍යයෙන් වැඩිදෙනා අතර ප්‍රචලිත දෙයක් නෙමෙයි. හැබැයි බුදුරජාණන් වහන්සේ ගිලන් භික්ෂූන් කිහිප නමකටම ප්‍රතිකාර කළා කියලා ත්‍රිපිටකයේ සඳහන් වෙනවා.
ආනන්ද හාමුදුරුවන්ගේ ගුරුවරයෙක් වෙච්චි බෙලට්ඨිසීස මහරහතන් වහන්සේට සුව නොවන සන්ධි වේදනාවක් තිබුණලු. විහාර චාරිකාවේ වඩින බුදුන් වහන්සේ බෙලට්ඨිසීස හාමුදුරුවෝ විඳින වේදනාව ගැන දැනගෙන උන්වහන්සේගේ විහාරෙට වැඩම කරලා මහරි කොළ, කොහොඹ එකට එක්කාසු කරලා තෙලක් හිඳවලා බුදුන්ගේ දෑතින්ම බෙලට්ඨිසීස හාමුදුරුවන්ගේ කකුල් මත ආලේප කළාය කියලයි සඳහන්.
ඒ තෙලට දැම්මා වගේ ස්වභාවික අමුද්‍රව්‍ය නොදැම්මට මේකට යොදන්නෙත් ශරීරයට හිතකර අමුද්‍රව්‍ය විතරයි. මුලින්ම තෙල් 100ml ප්‍රමාණයක් හදලා බලමු.
ඉයුකැලිප්ටන් තෙල් 20ml, වෙජිටබල් ටර්පන්ටයින් 10ml, මීතයිල් සැලිසිටේට් 5ml, මෙන්තෝල් 5ml, වගේම වයිට් ඔයිල් 60ml සපයාගන්න.
මේ අමුද්‍රව්‍ය සේරම පිටකොටුවෙන් ගන්න පුළුවන්. ශරීරයේ ආලේප කරන ඖෂධයක් නිසා හොඳම ප්‍රමිතියේ අමුද්‍රව්‍ය අරගන්න.
ඒ වගේම කියන්න ඕනේ ඖෂධයක් නිසා ස්වයං රැකියාවක් විදියට කරනවා නම් රජයේ පිළිගත් ලියාපදිංචි වෛද්‍යවරයෙක්ගෙන් සහතික කරවගෙන ආයුර්වේද අමාත්‍යංශයේ අනුමැතිය අරගන්න.
හරි එහෙනම් නංගියේ, අක්කේ, නැන්දේ අපි දැන් අපේ වේදනානාශක තෙල හදමු.
පියවර 1
මුලින්ම වයිට් ඔයිල් ටික බීකරයට දාලා උණුවතුර බඳුනක තියලා 40C දක්වා රත්කරගන්න.
පියවර 2
මිශ්‍රණය ලිපෙන් අයින් කරලා අනිත් ද්‍රව්‍ය එකින් එක එකතු කර කර විනාඩි 10ක් විතර උපරිම වේගයෙන් මිශ්‍ර කරන්න. මේ සඳහා මිශ්‍රණ යන්ත්‍රයක් භාවිතා කරන්න පුළුවන්නම් වැඩිය හොඳයි. පස්සේ සුදුසු බෝතල්වල දාලා අසුරලා ලේබල් කරන්න.
30mlක වේදනානාශක බෝතලයක් රුපියල් 200ක මිලකට අලෙවි කරන්න පුළුවන්. තව විස්තර දැනගන්න 0714766819ට කතා කරන්න.
සෙව්වන්දි හෙට්ටිආරච්චි
