තුට්ටු දෙකට දාපු බණ්ඩක්කාවලින් මිලියනපතියෙක් වෙන හැටි
හිතේ හයියෙන් ජීවිතය දිනන්න කැමති කොයිකාටත් අතහිත දෙන්න ‘ධරණී’ හැමදාමත් කැමතියි. නිකරුණේ ගෙවිලා යන කාලය තමන්ගේම කියලා ස්වයං රැකියාවක් වෙනුවෙන් යොදවන්න කැමති කාන්තාවන්ට හොඳ ඉල්ලුමක් තියෙන විවිධ දෑ පියවරෙන් පියවර ගෙදරදිම හදාගන්න හැටි කියලා දෙන්න අපි හිතුවේ ඒකයි. කඩදාසි, මැටි, රෙදි, විවිධ ආහාර, සබන් ඇතුළු විවිධ දේ නිර්මාණය කරන විදිය ගැන සහ ඒවා වෙළඳපොළ වෙත යොමු කරන ආකාරය ගැන මේ ලිපි මාලාව හරහා ඔබව දැනුවත් කරනවා.
තමන්ට පැවරෙන රාජකාරි, වගකීම් හීන් නූලෙන් මගඇරලා ඇඟ බේරගන්න දක්ෂ මිනිස්සු හැමතැනම ඉන්නවා. “එයා බණ්ඩක්කා වගේ ලිස්සලා යන්න දක්ෂයි” කියලයි ඒ අය ගැන කතාවට කියන්නේ. වැඩක් ගන්න බැරි මිනිස්සුන්ට ‘බණ්ඩක්කා’ නාමය පටබැන්දට බණ්ඩක්කා කියන්නේ වැඩකට නැති දෙයක් නෙමෙයි. මහෝෂධ ගුණ තියෙන ඖෂධ රාජයෙක්. බණ්ඩක්කා කියන්නේ එළවලුවක් නෙමෙයි ඖෂධයක් කියලයි ඒ කාලේ අපේ ඇත්තෝ කියලා තියෙන්නේ. හැබැයි ඒ, ඒ කාලේ අය.
‘බුබුල් බුබුල් බණ්ඩක්කා
තුට්ටු දෙකට මං ගත්තා
තුට්ටු දෙකට මං අරගෙන
තුට්ටු දෙකට මං වික්කා’
අහලා ඇති නොවෑ මේ රබන් පදේ. ඔය රබන් පදෙන් කියැවෙනවා වගේම දැන් කාලේ අය බණ්ඩක්කාවලට දෙන්නේ තුට්ටු දෙකේ සැලකිලි. කැරට්, බෝංචි, බීට්රූට් වගේ රට එළවලු කන්න කැමති වුණාට අපේ අය බණ්ඩක්කා වගේ දේවල් කන්නේ ටිකක් අමනාපෙන්. ඉතින් අලුත් විදියකට හිතලා මිනිස්සුන්ට බණ්ඩක්කා කවන විදියක් ගැනයි අද කියන්නේ. ඒ බණ්ඩක්කා පිටි නිෂ්පාදනය. මේ විදියට හදන බණ්ඩක්කා තුට්ටු දෙකට නෙමෙයි හොඳ මිලකට අලෙවි කරන්නත් පුළුවන්.
මීට ටික කාලෙකට කලින් යුරෝපීය වෛද්‍ය කණ්ඩායමක් පරීක්ෂණයක් කළා. මීයෝ දහදෙනෙක් කණ්ඩායම් දෙකකට වෙන් කරලා එක කණ්ඩායමකට මේදය වැඩි කෑම කන්න දුන්නා. අනිත් කොටසට ඒ කෑමවලටම බණ්ඩක්කා පිටි මිශ්‍ර කරලා දුන්නා. සති අටකට පස්සේ මීයන්ව නිගමනයට ලක්කළා. බණ්ඩක්කා පිටි එක්ක මේද කෑම කාපු මීයන්ගේ වසුරුවල අර නිකන්ම කෑම කාපු අයගේ වසුරුවලට වඩා කොලොස්ට්‍රෝල් වැඩියි කියලයි ප්‍රතිඵලවලින් ඔප්පු වුණේ.
ආහාර ජීර්ණය වෙද්දි බණ්ඩක්කාවල තියෙන සෙවලමය ද්‍රව්‍ය මේද අංශු එක්ක බැඳිලා මේදය ශරීරයට අවශෝෂණය වෙන එක වළක්වනවලු. ඊටපස්සේ ඉතින් එව්වා මළ එක්ක පිටවෙනවා කියලයි වෛද්‍යවරු පෙන්නුවේ. මළ එක්ක කොලොස්ට්‍රෝල් පිටවුණහම රුධිරයේ කොලොස්ට්‍රෝල් මට්ටම අඩුවෙනවා. ඒ නිසා දියවැඩියාව, හෘදරෝග වළක්වගන්න බණ්ඩක්කා පංකාදු බේතක්. ශරීරයේ තැම්පත් වෙන මේදය අඩුවෙන නිසා බරත් ඉබේටම අඩුවෙනවා.
බණ්ඩක්කාවල ලෙක්ටීන් කියලා ප්‍රෝටීනයක් තියෙනවා. පිළිකා සෛල ඇතිවීම වළක්වන්න මේ කියන වර්ගෙට පුළුවන්. බණ්ඩක්කාවල නිජබිම අප්‍රිකාව. ඒ නිසාම මේක අප්‍රිකානු මිනිස්සුන්ගේ ප්‍රියතම කෑමක්. ඒ අය දිනපතාම හැම කෑම වේලකටම බණ්ඩක්කා පිටි නැත්තම් අඹරගත්තු බණ්ඩක්කා එකතු කරනවා. ගැමිබියාව, නයිගර්, නැමිබියා, කොන්ගෝව වගේ කළු මිනිස්සු ඉන්න රටවල් පිළිකා ලැයිස්තුවේ පහල ඉන්න බණ්ඩක්කත් හේතු වෙනවා කියලයි ඇතැම්මු කියන්නේ.
සන්ධිවලට වගේම සන්ධි අස්සේ තියෙන කාටිලේජවලටත් බණ්ඩක්කා ගුණයි. ලිස්ස ලිස්සා යන්න වෙන්න කලින් ලිස්සන බණ්ඩක්කා කන්න කියන්නේ ඒකයි.
විටමින් C, B, ප්‍රෝටීනවලට අමතරව බණ්ඩක්කාවල ෆෝලේටුත් බහුලයි. කුස තුළ ඉන්න දරුවන්ගේ ස්නායු පද්ධතියයි මොළයයි නිරෝගීව වර්ධනය කරන්න ෆෝලේට්වලට පුළුවන්. කුසේ දරුවෙක් වැඩෙන අම්මා කෙනෙක් බණ්ඩක්කා කන්න ඕනේ ඒකයි.
සම ලස්සන කරන්නයි, ප්‍රතිශක්තිකරණ පද්ධතිය නිරෝගී කරන්නයිත් බණ්ඩක්කාවලට පුළුවන්. තන්තු බහුල නිසා දිරවීම පහසු කරන්නත් හොඳයි. මේ වගේ පෝෂක ගුණ රාශියක් තියෙන නිසා බටහිර රටවල අය බණ්ඩක්කාවලට කියන්නේ ‘Nutrition pod (පෝෂක ගුලිය)’ කියලයි.
පෝෂණය වැඩි නිසාම ලෝකේ ගොඩක් රටවල අය බණ්ඩක්කා පිටි කෑමට එකතු කරනවා. කන්නන් වාලේ කෑවට අපේ ගොඩක් අය මෙව්වගේ පෝෂණය ගැන දන්නේ නැහැ. ඉතින් මේ වගේ අලුත් නිෂ්පාදනයක් පටන් ගනිද්දි නිර්මාණශීලීව ඒ දේවල් සමාජගත කරන්න ඕනේ. වස විස කවනවා වෙනුවට මේ වගේ දේවල් හුරු කරවීම එක අතකට සමාජ සත්කාරයක්.
අනික අලුතින්ම පටන්ගන්න පුළුවන් ව්‍යාපාරයක් නිසා තරඟයක් නැතිවම ඉල්ලුමක් හදාගන්නත් ලේසියි.
එදිනෙදා හදන කෑමට මේ පිටි එකතු කරන්න පුළුවන්. සුප්, ඉස්ටූ වගේ දේවල් හදන්න දාන්න වගේම කෑම උකු කරන්න කෝර්න් ෆ්ලා වෙනුවට මේ පිටි එකතු කරන්න පුළුවන්. ඉතින් මුලින්ම අපි බණ්ඩක්කා 500gකින් වැඩේ කරමු. බණ්ඩක්කා හැරුණුකොට බණ්ඩක්කා පිටි අසුරාගන්න ගේජ් 300 පොලිපොප්ලීන් ටිකකුත් ඕනේ වෙනවා.
පියවර 1
බණ්ඩක්කා නැටි කපලා හොඳට සෝදලා කෑලිවලට කපන්න.
පියවර 2
විජලනය යන්ත්‍රයක් තියෙනවා නම් සෙන්ටිග්‍රේඩ් 55-60 උෂ්ණත්වයක පැය 10ක් විතර වියළාගන්න. විජලන යන්ත්‍රයක් නැත්තම් සුදු යකඩ පෘෂ්ඨය අතුරලා එකදිගට අව්ව වැටෙන තැනක පැය අට ගානේ බණ්ඩක්කා ක්‍රිස්පි ගතියට එනකල් දවස් හතර පහක් වේලගන්න. වේලද්දි අපද්‍රව්‍ය නොවැටෙන්න උඩින් දැල් ආවරණයක් දාන්න. ඊටපස්සේ බ්ලෙන්ඩරයකින් හරි ඇඹරුම් යන්ත්‍රයකින් බණ්ඩක්කා ටික පිටි කරලා හුළං නොයන විදියට අසුරගන්න.
මෙහෙම හදාගත්තු බණ්ඩක්කා පිටි අවුරුද්දක් කල්තියාගන්න පුළුවන්. ඒ වගේම 100g ක් 300-400 වගේ මුදලකට අලෙවි කරන්නත් පුළුවන්. 0714766819 අංකයට කතා කරලා තවත් විස්තර දැනගන්න පුළුවන්.
සීතා පොන්නම්පෙරුම
ස්වයං රැකියා පාඨමාලා උපදේශිකා
සෙව්වන්දි හෙට්ටිආරච්චි
