ආතල් එකට ඔපරේශන් කරන්න යන උන්ට හොඳ වැඩේ
රටේ පවතින ඖෂධ සහ උපකරණ හිඟකම නිසා අත්‍යවශ්‍ය නොවන සැත්කම් ප්‍රමාද කරන්න තීරණය කළා කියලා පහුගිය දවසක සෞඛ්‍ය අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරලා තිබුණා. ඊටපස්සේ ටෙලිවිෂන් එකෙයි සමාජ මාධ්‍යවලයි ලැව්ගින්නක් වගේ ඔය ගැන කතා වුණා.
සුමනලතා ඔය නිවුස් එක දැක්කේ ටීවි එකෙන්.
“ආතල් එකට ඔපරේශන් කරන්න යන උන්ට හොඳ වැඩේ.”
සුමනලතාගේ ලොකු පුතා විහිලුවට වගේ ඔය ගැන හැදිච්ච පෝස්ට් එකක් ශෙයා කරලා. තරම නොදැන විහිලුවට ගත්තට මේක විහිලුවක් නෙමෙයි කියලා සුමනලතාගේ ලොකු දුව පවනි, මල්ලිට පැහැදිලි කළා. දඩුමොනරේ පාගන්නා වගේ මෝටර් බයිසිකලේ ලෑල්ලට පාගන එක දැන්වත් අඩු කරන්න කියලා ඔය අතරෙම සුමනලතාත් පුතාට කිව්වා.
“එහෙ මෙහෙ දුවලා දත් වහල්ල කඩාගනින්කෝ. ඔව්වටවත් බෙහෙත් කරනවද කවුදෑ දන්නේ.”
අලියන්ට ළමයින්ට නලියන්ටමයි හිත කියන්නා වාගේ ගෙදර බාල දරුවා ගැනත් වෙනදට වඩා ඇහැ ගහන් ඉන්න වෙනවා කියලා සුමනලතා හිතුවා. ඔය අල්ලපනල්ලේ පවනි පේර ගෙඩියක් කපන්න ගත්තා.
“අතපයක් එහෙමවත් කපාගන්න එපා. ඉමර්ජන්සි කරනවා කිව්වට ඉස්සරහට ඕවත් කරන්න පුළුවන් වෙයිද කවුද දන්නේ. ඒ නිසා පරිස්සම් වෙයල්ලා දරුවනේ.”
සුමනලතා පවනිට කිව්වේ උපදේශනාත්මක ස්වරෙන්.
නිවුස් එක අහපු වෙලේ ඉඳලා අම්මගේ කියවිල්ල දරුවන්ට ඇහුනේ කන්දොස්කිරියාවක් ගානට. හැබැයි මේ වෙලාවේ කරන්න පුළුවන් හොඳම දේ සුමනලතා වගේ පරිස්සම් වෙන එක කියලයි නුවන් තොටවත්ත දොස්තර මහත්තයත් අපිට කිව්වේ. හදිසි නොවන සැත්කම් කල්දානවා නම් ප්‍රායෝගිකව අපි ආරක්ෂා වෙන්නේ කොහොමද කියලා අහපුවහමයි වෛද්‍යවරයා මේ විස්තර අපිට කිව්වේ. මේ ඒ සාකච්ඡාව ඇසුරින් සකස් කෙරුණු ලිපියක්.
“ඇත්තටම අත්‍යාවශ්‍ය සහ අත්‍යාවශ්‍ය නොවන කියලා ශල්‍යකර්ම බෙදලා වෙන් කරන්න බෑ. හැම ශල්‍යකර්මයක්ම අත්‍යාවශ්‍යයි.
හැබයි හදිසි ශල්‍යකර්ම සහ හදිසි නොවන ශල්‍යකර්ම කියලා වර්ග දෙකක් තියෙනවා. හදිසි ශල්‍යකර්මයක් කියන්නේ පුළුවන් තරම් ඉක්මනින් නොකළොත් ලෙඩා මැරෙන්න පුළුවන් ශල්‍යකර්ම. හරියට හදිසි අනතුරක් වෙලා එන ලෙඩෙක්ට කරන ශල්‍යකර්ම වගේ.
හදිසි නොවන ශල්‍යකර්ම කියන්නේ ලෙඩේ අඳුරගන්න වෙලාවෙම කරන්න ඕනෙ නැති, ටිකක් පහුවෙලා කරන්න පුළුවන් ඒවා. ඔය හර්නියා අමාරු වගේ ඒවට කරන ශල්‍යකර්ම. මේ ශල්‍යකර්මවලට දිනයක් දීලා ඒ දිනේට තමයි කරන්නේ.
එහෙම දින දෙන්න වෙන්නෙ අපිට අපේ ඉස්පිරිතාලවල ශල්‍යාගාර පහසුකම් සීමිත හින්දා. හැම ඉස්පිරිතාලෙකම දවසකට කරන්න පුළුවන් ශල්‍යකර්ම ප්‍රමාණයක් තියෙනවා. අන්න ඒ දවසට කරන්න පුළුවන් ගාණට තමයි දින දෙන්නේ.
දැන් ඔය අත්‍යාවශ්‍ය නොවන කියලා කල් දානවා නම් කල් දාන්න වෙන්නේ ඔය හදිසි නොවන ශල්‍යකර්ම.
එතකොට වෙන ප්‍රශ්න කීපයක් තියෙනවා. අපි හිතමු ඕන කරන බෙහෙත් ඇවිත් අපි ආපහු මේ ශල්‍යකර්ම පටන්ගත්තා කියලා. එතකොට මේ හැම ශල්යකර්මයකටම දීලා තිබ්බ දිනය නවත්තලා තිබුණු කාලෙන් කල් යනවා. ඒ කියන්නේ මාස තුනක් නැවත්තුවොත් අපිට ඒ ශල්‍යකර්මය කරන්න වෙන්නෙ දැනට දීලා තියෙන දිනයෙන් තව මාස තුනක් එහාට ගිහින්.
ලොකුම ප්‍රශ්නෙ ඒක නෙවෙයි. ඔය ඕනම හදිසි නොවන ශල්‍යකර්මයක් නොකර ඉන්න පුළුවන් කාලයක් තියෙනවා. අද කරන්න ඕනෙ නැති වුණාට අපිට මේක අවුරුදු ගණනක් කල් දාන්න බෑ. එහෙම වුණාම මේ හදිසි නොවන කියන ලෙඩා අපි ළඟට එන්නේ හදිසි ශල්‍යකර්මයක් ඕනෙ වෙලා.
එතකොට අපි මොකද කරන්නේ?”
වෛද්‍යවරයා කතාව නැවැත්තුවේ ප්‍රශ්නාර්ථයකින්. අපි කාටවත් උත්තර නැති ඒ ප්‍රශ්නේ ප්‍රශ්නාර්ථයක්ම කරලා අපි ඊළඟ ප්‍රශ්නෙට ගියා.
*ඩොක්ටර්, දැන් අපිට ප්‍රායෝගිකව මොනවද කරන්න පුළුවන්?
“පරිස්සම් වෙන්න කියන එක තමයි මේ වෙලාවේ දෙන්න තියෙන හොඳම උපදේශය. හදිසි අනතුරු වළක්වගන්න උත්සාහ කරන්න. පාරේ යද්දි, වාහන එළවද්දි සිහිබුද්ධියෙන් ඉන්න. ගෙදර ඉන්න පුංචි දරුවෝ ගැන වෙනදට වඩා ඇහැගහහෙන ඉන්න. ඔවුන්ට අනතුරු වෙන්න දෙන්න එපා. අඩිය පවා හෙමින් තියන තරමට ප්‍රවේසම් වෙන එක හොඳයි.
ඒ වගේම දියවැඩියාව, හෘද රෝග, අධිරුධිර පීඩනය වගේ බෝ නොවන රෝග වළක්වාගන්න බලන්න. තෙල්, සීනි, ලුණු කන එක දැන්වත් අඩු කරන්න. බුලත්විට, සිගරැට්, අරක්කු බොන්න එපා. ඉහත කියාපු බෝ නොවන රෝගවලට ඔය දේවල් ඍජුවම බලපානවා. ඔය රෝගවලට දැනටමත් බෙහෙත් ගන්න කෙනෙක් නම් අමතක නොකර ඒ බෙහෙත් ටික හරියට බොන්න.
කල්තියා අඳුනගන්න පුළුවන් පිළිකා ගැන අවධානෙන් ඉන්න. ළඟම තියෙන සුවනාරි සායනයට ගිහින් පියයුරු පිළිකා, ගැබ්ගෙන පිළිකා කල්තියා අඳුනගන්න.
සමහරවිට මේ වෙලාවේ සිසේරියන් සැත්කම් පවා සීමා කරන්න වෙයි. අම්මගේ ඉල්ලීම මත කරන සිසේරියන් සැත්කම් සහ අම්මගෙයි බබාගෙයි ආරක්ෂාවට අනිවාර්යයෙන්ම කරන්න වෙන සිසේරියන් සැත්කම් කියලා කොටස් දෙකක් තියෙනවානේ. සිසේරියන් සැත්කම් සීමා කරන්න වුණොත් අම්මගේ කැමැත්තට කරන සැත්කම් තමයි නතර කරන්න වෙන්නේ. ඉතින් අනවශ්‍ය දරු පිළිසිඳගැනීමක් කියන්නේ මේ වෙලාවේ ලොකු අවදානමක්. ඒ නිසා නිතරම දරු උපත් සැලසුම් කරන්න. නිතරම තමන්ගෙයි දරුවන්ගෙයි ආරක්ෂාව ගැන හිතන්න.”
ප්‍රමාදය පසුතැවිල්ලට හේතු වේ කියනවනේ. තවත් ප්‍රමාද නොවී තම තමන්ගේ ශරීර කූඩු ගැන වෙනදට වඩා හිතන්න කියන එක තමයි අපිටත් දෙන්න තියෙන එකම උපදේසේ.
වෛද්‍ය නුවන් තොටවත්ත
සෙව්වන්දි හෙට්ටිආරච්චි