විශේෂාංග

ළැම පමණක් පෙනෙන ළය නොපෙනෙන පියුමි හංසමාලි ‘ධරණී’ට කී කතාව

බොබ්මාලි කියන්නේ සමාජ අසාධාරණවලට එරෙහිව ගීතයෙන් හඬනගපු ගායකයෙක්. ‘පුංචි මිනිහා’ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඔහු තනිපුද්ගල සටනක නියැලුණා. ඒ නිසාම දේශසීමා භේදයක් නැතිව ලෝකයක් ආදරය කරන ගායකයෙක් බවට පත්වෙන්න බොබ්මාලිට පුළුවන් වුණා. හැබැයි එහෙව් බොබ්මාලිවත් අපේ සමහර මිනිස්සු අල්ලගත්තේ වැරදි තැනින්. සමහරුන්ට ඔහුගේ ‘හො හිතට’ වඩා අතේ තිබුණු ගංජා සුරුට්ටුව පේන්න ගත්තා. ඒ නිසා එවන් පිරිස් ඔහුව විවේචනය කළා. මං හිතන්නේ අපේ රටේ පුංචි එවුන් පවා නම කිවූ සැනින් දන්න පියුමි හංසමාලිටත් වෙලා තියෙන්නේ ඒ ටිකමයි. බොහොම සරාගී විදියට පෙනෙන ඇගේ ‘ළැම’ ගැන මිසක් අසරණ මිනිසුන්, අසරණ සතුන් වෙනුවෙන් උණුවෙන ඇගේ ‘ළය’ බොහෝදෙනෙකුට නොපෙනීම කණගාටුවට කරුණක්. ඉතින් පියුමි එක්ක මේ කතාබහ ඇගේ නොපෙනෙන ‘ළය’ ගැන මිසක් ‘ළැම’ ගැන නම් නෙවෙයි.

*පියුමි හංසමාලි කියන ගැහැනිය හඳුන්වන නිර්වචනය මොකක් වෙන්න ඕන කියලද ඔබ කියන්නේ?

පොළොවේ පයගහලා ඉන්න හිත හයිය ගැහැනියක් කිව්වනම් හරියටම හරි.

 

*හිනාවක් අහලකවත් නැති මිනිස්සුන්ගේ මූණට හිනාවක් ගේන එක දැන් පියුමිගේ ජීවිතේ කොටසක් වෙලාද?

මං හරි ආසයි මං හිනාවෙනවා වගේම මගේ වටේ ඉන්න මිනිස්සුත් හිනාවෙලා ඉන්නවා නම්. ඒ නිසා කෙනෙක්ගේ මූණට හිනාවක් ගේන දෙයක් කරන්න මං දෙපාරක් හිතන්නේ නෑ. මගේ ළඟ ලොකුවට සල්ලි නැති කාලෙත් මං මිනිස්සුන්ට ඇතිතරම් උදව් කළා. සල්ලි පොට්ටනි ගහලා බැංකුවේ දාලා පරිස්සම් කළත් අපි මේ ලෝකෙන් යන දවසට ඒවා අරන් යන්න බෑ. මොකද මිනී ඇඳුමට සාක්කුත් නෑ. මිනීපෙට්ටියේ ලාච්චුත් නෑ. ඒ නිසා එදාට අරන් යන්න තියෙන්නේ අපි කරපු හොඳ නරක ටික විතරයි. බලන්න කොවිඩ් කාලේ කෝටිපතියෝ පවා පොලිතින් උරේක අවසන් ගමන් ගිය හැටි. ඒ නිසා මං කොච්චර සල්ලි හෙව්වත් මට කන්න බොන්න අඳින්න ටිකක් තියාගෙන ඉතුරු ටික මිනිස්සුන්ගේ හිනාවල් වෙනුවෙන් වියදම් කරනවා.

 

*දැන් ටික දොහකට කලින් ඔබ ඒ විදියට උදව් කරපු දරුවෙක් ගැන සමාජ මාධ්‍යයේ කතාබහක් ඇතිවුණා නේද?

දැන් දවස් කීපයකට කලින් මං පුතාට බෙල්ට් එකක් ගන්න කඩයක් ගාව කාර් එක නැවැත්තුවා. ඒ වෙලාවේ දැක්කා හරි ලස්සන පුංචි දරුවෙක් එතැන හඳුන්කූරු විකුණනවා. පස්සේ මං දරුවා ළඟට ගිහින් විස්තර ඇහුවා. ඒ වෙලාවේ එයා කිව්වා ගෙදර වියදම හොයාගන්න ඉස්කෝලේ ඇරිලා ආපු ගමන් හඳුන්කූරු විකුණන්න ආවා කියලා. පස්සේ මං එයාවත් අතින් අල්ලගෙන කඩේට ගිහින් එයාට කැමති දෙයක් අරගන්න කිව්වා. එයාට ඉතින් ලෝකයක් ලැබුණා වගේ. ඇඳුම් ගන්නවා. සපත්තු ගන්නවා. සෙල්ලම් බඩු ගන්නවා. මට පව් කියලා හිතුණා. මමත් දරුවෙක් ඉන්න අම්මෙක් නිසා වෙන්න ඇති මට ඒ දරුවව එතැනදි ගොඩාක් දැනුණේ. අන්තිමට ඒ දරුවට ගෙදර යන්න කියලා ත්‍රීවිල් එකකටත් ගොඩකරලා තමයි මං එතැනින් ගියේ.

 

*සමහර වෙලාවට ඔබ අහිංසක දරුවන්ගේ හීන පාට කරනවා. මහපාරට වැටුණු අම්මලා තාත්තලාට පිහිටවෙනවා. අසරණ සතෙක් දැක්කොත් ඌ ගැන හොයලා බලනවා. එහෙම උණුවෙන හිතක් ලැබුණෙ කොහොමද?

මට හිතෙන්නෙ ඒක මගේ තාත්තගෙන් ආපු පුරුද්දක්. මං මගේ සීයා මට කියපු කතාවක් කියන්නම්. මගේ තාත්තගේ නම ලක්ෂ්මන්. දවසක් සීයට පාරෙදි තාත්තගේ ඉස්කෝලේ ප්‍රින්සිපල් මුණගැහිලා තියෙනවා. ඒ වෙලාවේ එයා සීයගෙන් ඇහුවලු “මොකද මේ ලකී බෝයි ඉස්කෝලේ එන්නේ නැත්තේ” කියලා. සීයට පුදුම හිතිලා. ඇයි ඉතින් ඉස්කෝලේ එනවා කියලා තාත්තා හැමදාම උදේට ගෙදරින් එනවලු. පහුවදා සීයා හොරාට තාත්තා පස්සෙන් ඇවිත්. එතකොට තමයි දැකලා තියෙන්නේ ඉස්කෝල වත්තට අල්ලපු වත්තේ බැල්ලක් පැටව් දාලලු. තාත්තා තමයි එච්චර දවසක් උන්ට කන්න බොන්න දීලා බලාගෙන තියෙන්නේ. ඉතින් ඒ පුරුද්ද මටත් ඇවිත්.

 

*කතාවක් තියෙනවා කදුළුත් එක්ක ජීවිතේ ගනුදෙනු කරපු මිනිස්සුයි හිනාවක වටිනාකම දන්නේ කියලා. පියුමිටත් එහෙම කඳුළු එක්ක ගනුදෙනුවක් තිබිලා තියෙනවද?

මොකද නැත්තේ? මමත් හරි දුප්පත් පවුලක කෙනෙක්. තාත්තා නැතිවුණාට පස්සේ අම්මා තමයි ගොඩක් දුක් මහන්සි වෙලා මාව හදාගත්තේ. ඒ නිසා නැතිබැරිකමයි බඩගින්නයි මං හොඳට අඳුරනවා. අපට තුන්වේලක් කන්න බැරිවුණු දවස් තිබුණා. ඒ වගේමයි ඒ දවස්වල මං ඇන්දේ අපේ නැන්දගේ දුවගේ ඇඳුම්.

 

*හැබැයි මිනිස්සු ඔබව මනින්නේ අඳින පළඳින විදියෙන්. ඇත්තටම එහෙම පුළුවන්ද?

ඇඳුමින් පැළඳුමින් මිනිස්සු මනින්න බෑ. ඒකට හොඳම උදාහරණය මම. පොඩි කාලේ ඉඳන්ම මං ආසයි ලස්සනට අඳින්න. ඉතින් මම පුළුවන් හැම විදියෙන්ම ලස්සනට අඳිනවා. හැබැයි හැමදාම මිනිස්සු දැක්කේ මං කොටට අඳින එකයි ඇඟපත පේන්න අඳින එකයි. අඳින පළඳින විදිය කියන්නේ එක ෆැෂන් එකක්. ඒකෙන් මිනිස්සු මනින්න බෑ.

 

*ඔය කියන කට කැඩිච්ච කතාවලට පියුමිගේ හිත රිදිලා නැද්ද?

මං හරි ශක්තිමත් ගැහැනියක්. මං මේ ක්ෂේත්‍රයට ආපු දවසේ ඉඳන් මට ඇඟිලි දික්වුණා. හිත රිදෙන කතා අහන්න වුණා. හැබැයි මං ඒ හැමදේම තනියම දරාගෙන අදටත් ගහක් ගලක් වගේ ඉන්නවනේ. ඉතින් තවත් මොනවද? පියුමිගේ හිත හයියයි.

 

*මිනිස්සුන්ට උදව් කරන එක වීඩියෝ කරලා ෆේස්බුක් දැම්මම සමහරු කියනවා ප්‍රසිද්ධිය බලාගෙනයි මේ දේවල් කරන්නේ කියලා. පියුමිත් එහෙමද?

මට තවත් ප්‍රසිද්ධ වෙන්න උවමනාවක් තියෙනවා කියලා හිතනවද? මොකද පියුමි හංසමාලි කිව්වම නොදන්න අයට වඩා දන්න අය වැඩියි. මං එහෙම දෙයක් දැම්මොත් දාන්නේ තවත් කෙනෙකුට එහෙම දේවල් කරන්න හිත පහදවන්න මිසක් ප්‍රසිද්ධිය බලාගෙන නෙවෙයි.

 

*මේ වෙනකොට ඔබ යම් යම් ව්‍යාපාරවලටත් අතගහලා ඉන්නේ. ඒ ගැන කිව්වොත්?

ඔව්. ළඟදි සැලෝන් එකකුත් පටන් ගන්නවා. මං ඒකට ඕනකරන දේවල් ඉගෙනගෙන ඉවරයි. ඒකට වෙන්කරලා තියෙන සල්ලිම තමයි පින්දහම් වැඩවලට ගන්නෙත්. ඒකයි ටික ටික ඒක කල් යන්නේ.

 

*ඉස්සර වගේ නෙවෙයි අතළොස්සක් ඇරුණම දැන් බොහෝ පිරිසක් පියුමිට කැමතියි. කොහොමද එහෙම වුණේ?

ඒක මගේ පින. මං හැමදේම කාලයට බාරදුන්නා. කොතැනදිවත් බොරුවට දැඟලුවේ නෑ. හැමදේම කාලයට බාරදුන්නම පියුමි හංසමාලි කියන්නේ කවුද කියලා හැමෝම තේරුම්ගත්තා.

 

*‘ධරණී කියවන කාන්තාවන්‍ට පණිවිඩයක් දෙන්න කිව්වොත් ඔබට මොනවද කියන්න තියෙන්නේ?

ගැහැනියක් වුණාම මුලින්ම ස්ථාවර වෙන්න. කවදාවත් පිරිමියෙක්ගෙන් යැපෙන්න ඕන කියන තැන ඉන්න එපා. හරි හයිය ගැහැනියක් වෙන්න. දැන් මට වයස තිහක්. මං හිතනවා දැන් මං ස්ථාවර ගැහැනියක් කියලා. ඒ වගේම පුළුවන් හැමවෙලේම පිනක් දහමක් කරන්න. මොකද අපිට යනකොට අරන් යන්න තියෙන්නේ එච්චරයි.

 

රුවන් එස්.සෙනවිරත්න