විශේෂාංග

පොලිසියේ බලපෑම නිසා බොරු කිව්වට මේ පුද්ගලයා මට ලිංගික අතවරයක් කළේ නෑ

ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න යනු විද්‍යාත්මකව සහ කලාත්මකව පැමිණිල්ල මෙහෙයවීමට නම් දරා ඇති විශිෂ්ටයෙකි. කොබෙයිගනේ රූප සුන්දරී ඝාතනය, ටෝනි මාටින් ඝාතනය, මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය ඝාතනය සහ හෝකන්දර සය පුද්ගල ඝාතනය ආදී ආන්දෝලනාත්මක නඩු රැසක පැමිණිල්ල මෙහෙයවීමට ඔහු දායක වී ඇත. සිය අත්දැකීම් නිර්මාණශීලීව යොදා ගනිමින් නීතියද පැහැදිලි කරමින් ඔහු විසින් රචිත යළි මැවෙන අපරාධයක්කෘතියේ සංස්කරණය කළ දෙවන මුද්‍රණයද පසුගියදා ජනගත කෙරිණ. ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න නීතිපති දෙපාර්තමේන්තුවෙන් පසුගිය වසරේදී සමුගත්තේ ජ්‍යේෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයකු ලෙස කටයුතු කරමින් සිටියදීය. නීතිය පිළිබඳව විවිධ කණ්ඩායම් දැනුවත් කිරීමටද හෙතෙම පසුබට නොවෙයි. හුදු අපරාධ විස්තරයකින් ඔබ්බට ගොස් යම් නෛතික දැනුමක් පාඨකයාට ලබාදීමේ අරමුණින් ලියැවෙන මෙම ලිපියද ඔහුගේ මගපෙන්වීම, දැනුවත් කිරීම යටතේ සකස් වූවකි. මේ එවැනි ලිපි මාලාවක සයවැන්නයි.

පසුගිය කාලයේ බාලවයස්කාර දැරියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධව දකුණු පළාතේ ප්‍රාදේශීය දේශපාලනඥයෙකුට විරුද්ධව නඩුවක් විභාග වූ අතර මාධ්‍ය මගින්ද විටින් විට එම සිදුවීම වාර්තා කළේය.

මෙම ප්‍රාදේශීය දේශපාලනඥයා, 14 හැවිරිදි දැරියක දූෂණය කළ බවට තිබූ චෝදනාවට වරදකරු වී මහාධිකරණයෙන් වසර 15ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කරනු ලැබීය. නමුත් ඊට ටික කලකට පසු අභියාචනාධිකරණය විසින් ඔහු නිදොස්කොට නිදහස් කළේය.

එසේ වීමට හේතුව හරියටම පැහැදිලි කෙරුණේ, අභියාචනය විභාග කෙරෙද්දීය.

කිසියම් අපරාධයක් ගැන විමර්ශනය කිරීමේ මුඛ්‍ය පරමාර්ථය වන්නේ සත්‍යය හෙළිදරව් කරගැනීමයි. එනම් සැබෑ අපරාධකරු කවුරුන්ද යන්න සොයාගැනීමයි. ඒ සඳහා පොලිසිය විසින් එක්රැස් කරන සාක්ෂි අධිකරණයට ඉදිරිපත් කෙරෙන්නේ සාක්ෂි ආඥා පනතේ විධිවිධාන අනුවයි.

නමුත් මෙහිදී පුදුමයට කරුණ නම් පොලිසිය විමර්ශන ආරම්භකොට තිබුණේ අදාළ දැරියගෙන් ප්‍රාදේශීය දේශපාලනඥයාට විරුද්ධව පැමිණිල්ලක් නොමැති අවස්ථාවක වීමය.

ඒ අනුව පොලිසියේ ඉහළ නිලධාරීන්ගෙන් ලද නියෝගයක් මත එම ප්‍රදේශයේ ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරිනියක් ඇතුළු කණ්ඩායමක් දැරියව සොයාගොස් තිබිණි. ඉන්පසු ඇයගෙන් ප්‍රශ්න කළ පොලිසිය, දැරියගෙන් ප්‍රකාශයක්ද ලබාගත්තේය. අනතුරුව දැරිය ජාතික ළමා ආරක්ෂක අධිකාරියට යොමු කිරීමෙන් පසු එහිදී ඇය සිදුකළ ප්‍රකාශය වීඩියෝගත කර තිබිණි. එම වීඩියෝපටයේ ඇතුළත් ඇගේ ප්‍රකාශය පරිදි පෙනීගියේ ඉහත කී ප්‍රාදේශීය දේශපාලනඥයා ඇයට ලිංගික අතවරයක් සිදුකළ බවය. එමනිසා 2012දී නීතිපතිවරයා ඔහුට එරෙහිව නඩුවක් පැවරුවේය. නඩුව විභාග වන අතරතුර මේ සිදුවීමේ වින්දිතයා වූ 14 හැවිරිදි දැරිය සාක්ෂි ලබාදීමට අධිකරණයට පැමිණියාය. නමුත් සාක්ෂි කූඩුවට නැග්ග පසු ඈ කළේ පෙර කී ප්‍රකාශයට වඩා හාත්පසින්ම වෙනස් එකකි. එනම් මේ විත්තිකරු මට මොකුත් කළේ නෑ. ඇත්තටම කියනවානම් කිසිම අතවරයක් වුණේ නෑ.”

සාක්ෂි කූඩුවට නැග දැරිය මෙලෙස ලබාදුන් සාක්ෂිය සුළුකොට තැකිය නොහැකිය. මක්නිසාද එසේ කළොත් එමගින් පහර වදින්නේ නඩුවේ පදනමටයි. කිසියම් පුද්ගලයෙක් පොලිසියට ලබාදෙන ප්‍රකාශයක් කිසිම අවස්ථාවක අධිකරණය ඉදිරියේ සාක්ෂියක් වන්නේ නැත. එහෙත් පසුකලෙක උසාවි කූඩුවේ සිට සාක්ෂි ලබාදීමේදී දින වකවානු, ස්ථාන ආදී කාරණා අමතක වී තිබුණහොත් පොලිසියට කළ ප්‍රකාශයෙන් උපකාර ලබාගත හැකිය. අපරාධ වින්දිතයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහාම එවැනි ප්‍රතිපාදන හඳුන්වා දී තිබේ. දරුවන් සම්බන්ධ කාරණාවලදී මෙම තත්ත්වය තවත් ලිහිල් කර ඇත. එනම් දරුවකු ලිංගික අපයෝජනයක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරියෙකුට හෝ කිසියම් වැඩිහිටියෙකුට ප්‍රකාශයක් කළ පසු, එය වීඩියෝගත කර ඇත්නම් නඩු විභාගයේදී එය ප්‍රචාරය කළ හැකිය. එවැනි අවස්ථාවක පැමිණිල්ලේ නීතීඥයා විසින් වින්දිත දරුවාගේ සාක්ෂිය මෙහෙයවන්නේ නැත. එහෙත් විත්තියේ නීතීඥයාට හරස් ප්‍රශ්න ඇසීමේ අයිතියක් පවතී.

දැරියගේ වීඩියෝ සාක්ෂිය අධිකරණයට ඉදිරිපත් කිරීමේදී ඇය කර තිබුණේ මෙවැනි ප්‍රකාශයකි.

මගේ අම්මා වැඩ කරන්නේ මේ ප්‍රාදේශීය දේශපාලනඥයාට අයත් ෆැක්ටරියක. ඔහු මාව අරන් ගිහින් දූෂණය කළා.”

එය ප්‍රචාරය කිරීමෙන් අනතුරුව පැමිණිල්ලේ නීතීඥයා දැරියගෙන් විමසුවේ වීඩියෝවේ සඳහන් කරන දේශපාලකයා ඒ මොහොතේ අධිකරණයේ පෙනී සිටින තැනැත්තාමද යන්නයි. එහිදී ඇය දුන්නේ වෙනස්ම පිළිතුරකි.

මේ තැනැත්තාව මම දන්නවා. මගේ අම්මා වැඩ කරන්නෙ ඔහු ගාව. හැබැයි මොහු මට කිසිම කරදරයක් කළේ නෑ.

දැන් මේ සාක්ෂිය සහ වීඩියෝ සාක්ෂිය අහසට පොළොව මෙනි. කෙසේ වෙතත් නීතියේ ප්‍රතිපාදන අනුව සාක්ෂි කූඩුවේ සිට ලබාදෙන සාක්ෂිය සහ වීඩියෝ සාක්ෂිය අතර පරස්පරයක් පවතින විට නඩුව ඔප්පු කිරීමට වීඩියෝ සාක්ෂිය ප්‍රයෝජනයට ගත හැකිය. එහෙත් ඒ සඳහා ස්වාධීන සාක්ෂි මගින් වීඩියෝ සාක්ෂිය තහවුරු කළ යුතුය. ස්වාධීන සාක්ෂි නම් ඇයව පරීක්ෂා කළ වෛද්‍යවරයා ලබාදෙන ප්‍රකාශය, ඇයව කිසියම් ස්ථානයකට රැගෙන ගියේනම් ඒ බව දකින කෙනෙකු දෙන සාක්ෂිය, අදාළ ස්ථානය පිළිබඳ දැරිය කරන විස්තරය, අතවරය වූ ස්ථානයෙන් ලබාගන්නා විවිධ සාම්පල (කෙස්, නිය, ශුක්‍රාණු වැනි) ආදියයි. කෙසේ වෙතත් එලෙස ස්වාධීන සාක්ෂි මගින් වීඩියෝව තහවුරු කිරීමට හැකි වන්නේ අධිකරණයේ ලබාදෙන සාක්ෂියේ පරස්පරතා දින වකවානු, අනුපිළිවෙල ආදී දේවල්වලට අදාළ වනවිටයි. එහෙත් ඇය සාක්ෂි කූඩුවේ සිට පැවසුවේ තමා දූෂණයට ලක් නොවූ බවයි. එය පරස්පරතාවකට වඩා නඩුවේ සමස්ත හරයට බලපාන ප්‍රකාශයකි. කෙසේ වෙතත් වීඩියෝ සාක්ෂිය මත නඩුව පවත්වාගෙන යාමට ඉඩ හිමි විය. එහෙත් එම චෝදනාව තහවුරු කිරීමට පැමිණිල්ල විසින් ස්වාධීන සාක්ෂි කිසිවක් නිවැරදි අයුරින් ඉදිරිපත් කර තිබුණේ නැත. පෙර හැසිරීම, පසු හැසිරීම සහ විද්‍යාත්මක සාක්ෂි කිසිවක් එහි තිබී නැත. දැරිය මෙම සිදුවීම ගැන අධිකරණ වෛද්‍ය නිලධාරියාට, පරිවාස නිලධාරියාට සහ මනෝ වෛද්‍යවරයකුට පවසා තිබිණ. පැමිණිල්ල විසින් එම තැනැත්තන් සාක්ෂිකරුවන් ලෙස ඉදිරිපත් කරන ලදි. ඔවුන් පැවසුවේ දැරිය මේ සිදුවීම වූ බව තමන්ට කියූ බවයි. එහෙත් නීතියට අනුව වින්දිතයා සිදුවීම සියදෙනෙකුට පැවසුවද ඒවා ස්වාධීන සාක්ෂි නොවේ. වෛද්‍යවරයා කළ පරීක්ෂාවේදීද එවැනි අතවරයක් සිදුවූ බවට සාක්ෂි ලැබී නොතිබිණි.

කෙසේ නමුත් දැරිය සාක්ෂි කූඩුවේ සිට කළ ප්‍රකාශය නිසා ඇය වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතීඥවරයාට තරමක් කේන්ති ගියේය.

බබෙක් වෙන්න එපා.

දන්නවද බොරු කිව්වොත් හිරේ යන්න වෙනවා.

ඔහු දැරියට තදින් කතා කළේය. එසේම නඩු වාර්තාවට අනුව ඔහු දැරියගෙන් පිටු 50ක පමණ හරස් ප්‍රශ්න අසා ඇත. පාර්ශවකරු විසින් තමන්ගේම සාක්‌ෂිකරුගෙන් හරස් ප්‍රශ්න අසනු ලබන්නේ නම් ඒ සඳහා සාක්ෂි ආඥා පනතේ 154 වගන්තිය අනුව විනිසුරුගෙන් පූර්ව අනුමැතියක් ලබාගත යුතුය. එහෙත් මෙහිදී පැමිණිල්ලේ නීතීඥයා සාක්ෂිකාරියගෙන් ප්‍රශ්න කර ඇත්තේ එවැනි අවසරයකින් තොරවය. විනිසුරුවරයාද ඒ මොහොතේ ඒ සම්බන්ධව කිසිඳු ප්‍රතිචාරයක් දක්වා තිබුණේ නැත. අවසානයේ වීඩියෝ සාක්ෂිය මත පමණක් පදනම්ව 2020 ජනවාරි මාසයේදී විත්තිකරු වරදකරු කිරීමට කොළඹ මහාධිකරණය පියවර ගත්තේය. වසර 15ක බරපතළ වැඩ සහිත සිර දඬුවමකට අමතරව රුපියල් 25,000ක දඩයක් සහ රුපියල් 250,000ක වන්දියක් ගෙවන ලෙසටද ඔහුට නියෝග කෙරිණ.

ඉන්පසුවයි මෙම තීන්දුවට එරෙහිව හෙතෙම අභියාචනාධිකරණය හමුවට ගියේ. එහිදී අභියාචක වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් වීඩියෝ සාක්ෂිය වෙනත් ස්වාධීන සාක්ෂි මගින් තහවුරු නොකිරීම ආදී අඩුපාඩු රැසක් පෙන්වා දුන්හ. ඊට අමතරව ඔවුන් අභියාචනාධිකරණයට පෙන්වා දුන්නේ මෙම සිදුවීම පිටුපස අදිසි හස්තයක් ක්‍රියාත්මක වී ඇති බවයි. ඊට ප්‍රධානම සාධකය වූයේ 2019 ජූනි 12 වනදා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණය කෙරුණු SCFR NO. 677/2012 මූලික අයිතිවාසිකම් නඩුවයි.

ඉහත සිදුවීමට ආසන්න කාලයකදී වූ සිදුවීමක් මෙම මූලික අයිතිවාසිකම් නඩුවට හේතු වී තිබිණි. ඉහත සිදුවීමේ විමර්ශනය භාර වූ ඉහළ පොලිස් නිලධාරිනිය එම කාලයේදීම දකුණු පළාතේ තවත් දැරියකගේ නිවසකට කණ්ඩායමක් සමඟ කඩාවැදී තිබුණි. ඒ, අදාළ දැරිය සාමාන්‍ය පෙළ විභාගය අවසන් කළ දාය. ඇය දැරියගෙන් විමසා තිබුණේ, ඉහත කී දේශපාලකයා ඇයටද අතවර කළා නේද යන්නයි. එහෙත් දැරිය එවැන්නක් සිදුනොවූ බව කියා තිබුණි. පොලිස් නිලධාරිනියගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කෙරූ නිසාවෙන් කේන්තිගත් පොලිසිය, දැරිය රැගෙන ගොස් රැයක් අනීතිකව සිර මැදිරියක රැඳවීමට ක්‍රියා කළේය. ඇය සමඟ යාමට ඉඩ දී තිබුණේ මිත්තණියට පමණි. කෑමබීම සපයා නැති අතර දෙමාපියන් හමුවීමටද අවස්ථාව දී නැත. අනතුරුව ඇයව දින 8ක් රෝහලක රඳවා තබා ඇත. එහිදී වෛද්‍යවරුන් සඳහන් කළේ ඇය දූෂණයකට ලක්ව නොමැති බවයි. පොලිස් ආරක්ෂාව යටතේ අඛණ්ඩව ඇය රෝහලේ රඳවාගෙන තිබුණේ එවැනි තත්ත්වයක් යටතේය. දින 8කට පසුද රෝහලෙන් පිටවීමට ඇයට ඉඩ ලැබුණේ දෙමාපියන් මානව හිමිකම් කොමිසමට කළ පැමිණිල්ලක ප්‍රතිඵලයක් ලෙසිනි. මේ සිදුවීම දැරියට මෙන්ම ඇගේ පවුලටද ගෙන ආවේ බරපතළ කම්පනයකි. එබැවින් දැරිය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරුවාය. නීතිවිරෝධී අත්අඩංගුවට ගැනීම, නිදහස අහිමි කිරීම, මහේස්ත්‍රාත්වරයෙකු වෙත ඉදිරිපත් නොකර අසාධාරණ ලෙස රඳවා තබාගැනීම සහ අවමන් සහගතව සැලකීමට ලක්කිරීමෙන් ආදී ලෙස දැරියගේ මූලික අයිතිවාසිකම් කඩ කළ බවට ඉහළ පොලිස් නිලධාරිනියට චෝදනා එල්ල විය. අදාළ ප්‍රාදේශීය දේශපාලකයා තමන්ට අතවර කළ බව පිළිගන්නා ලෙස දැරියට කිහිපවතාවක් එම නිලධාරිනිය බලපෑම් කර තිබෙන බවද මූලික අයිතිවාසිකම් නඩු විභාගය අතරතුර හෙළිව තිබේ. දැරියට සලකා ඇත්තේ වින්දිතයකුට වඩා අපරාධකරුවකු ලෙසට බව අධිකරණය ප්‍රකාශ කළේය. එමෙන්ම නීතිය ක්‍රියාත්මක කරන ආයතන බලය අයුතු ලෙස භාවිත කිරීමේ සිදුවීම් ගැනද ශ්‍රේෂ්ඨාධිකරණය අවධානය යොමු කළේය. ඉන්පසු අදාළ නිලධාරිනියට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ දැරියට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙසයි. එමෙන්ම දරුවන් සම්බන්ධ විමර්ශන කිරීමට අදාළ මාර්ගෝපදේශ නොමැතිනම්, ඒවා සකස් කරන ලෙස පොලිස්පතිවරයාටද නියෝග කෙරිණ.

මේ නඩුව සම්බන්ධයෙන් මහාධිකරණ නඩු විභාගය අතරතුරද විත්තිය කරුණු දක්වා තිබිණ. එහෙත් එයට මහාධිකරණයේ අවධානය හිමි වී නැත. ඒ ගැනද අභියාචනාධිකරණයේ අවධානය යොමු විය. අභියාචක වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් පෙන්වා දුන්නේ, එකම කාල වකවානුවක මෙම සිදුවීම් දෙකම වූ ආකාරය මගින් කිසිවකුගේ බලපෑමක් මත එය සිදුව ඇති බව පෙනී යන බවයි. ඉහත ඉදිරිපත් වූ කරුණු සියල්ල සලකා බලා අභියාචනාධිකරණය විත්තිකරු නිදොස්කොට නිදහස් කිරීමට තීරණය කළේය.

දෙපාර්ශවයටම සවන් දීම යනු ස්වභාවික යුක්ති මූලධර්මයකි. එමෙන්ම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වැනි ව්‍යවස්ථාවේ දක්වා ඇත්තේ නීතිය ඉදිරියේ සියල්ලන් සමානයින් ලෙස සැලකිය යුතු බවයි. ඔවුන්ට නීතියේ ආරක්ෂාව ලබාදිය යුතු බවද දැක්වේ. සාධාරණ නඩු විභාගයක අත්තිවාරම වන විමර්ශනය සාධාරණ විය යුත්තේ එනිසාය. විමර්ශකයින් පක්ෂග්‍රාහී ලෙස කටයුතු කිරීමට යොමු වුවහොත් යුක්තිය ඉටු කිරීමට ඉඩ නොලැබෙනු ඇත.

එමෙන්ම ඉහත සිදුවීම් සැලකූ විට පොලිසිය නීතිය අවභාවිත කරන අවස්ථා සේම නීතිය පිළිබඳ නිසි දැනුවත් වීමක් නැති බවද පෙනී යයි. නීතිය ක්‍රියාත්මක කිරීමේදී පුද්ගලයින්ගේ අයිතිවාසිකම්වලට ගරු කිරීමට නිලධාරීන් උගත යුතුය. අනෙක් අතට අධිකරණයට ඉදිරිපත් කරන සාක්ෂි තහවුරු කරන ආකාරය ගැන මූලික මට්ටමේ හෝ දැනුමක් ඒ සම්බන්ධව ක්‍රියා කරන නිලධාරීන්ට තිබිය යුතුය. මක්නිසාද යත්, නීතිය නොදැන සිටීම නිදහසට කරුණක් නොවන බැවිනි. ඒ නොදැනුවත්කම නිසා වන අඩුලුහුඬුතා මත සැබෑම අපරාධකරුවකු වුව නීතියේ රැහැනින් ගැලවී යාමට ඉඩ තිබේ.

රෂ්නිකා ලියනගේ