මැස්සෙක්වත් වහලා නැති ගෑනියෙක් තමයි මං කසාද බඳින්නේ
සයිමන් නවගත්තේගමගේ ආන්දෝලනාත්මක නවකතාවක් තමයි ‘සුද්දිලාගේ කතාව’ කියන්නේ. ඔය කතාවේ ඉන්නවා එක දාමරිකයෙක්. කතාවේ හැටියට ඔහු අවුරුද්දේ තුන්සිය හැටපස් දවසෙන් වැඩි හරියක් ඉන්නේ හිරගෙදර. එකවතාවක් හිරෙන් නිදහස් වෙලා ආපු ගමනක ගමේ ඉන්න අහිංසකම මනුස්සයෙක්ව මරලා දාන්න කියලා ඔහුට කොන්ත්රාත්තුවක් ලැබෙනවා. කොන්ත්රාත්තුව නිසා මේ දාමරිකයා අර පුද්ගලයාව මරලා දානවා. ඊට ටික කාලෙකට පස්සේ මේ දාමරිකයයි අර මරලා දාපු පුද්ගලයාගේ බිරිඳයි අතරේ ප්රේම සම්බන්ධයක් ඇතිවෙනවා. ඔය සම්බන්දේ ටිකෙන් ටික දුරදිග ගියාට පස්සේ දෙන්නා අඹුසැමියෝ විදියටත් ජීවත්වෙන්න පටන්ගන්නවා. ඔය අතරවාරෙදි අර පුද්ගලයාව මැරුවේ මේ දාමරිකයා කියලා පොලිසියට ඔත්තුවක් යනවා. ඒ නිසා පොලිසිය විටින්විට මොහුව ලුහු බඳින්න පටන්ගන්නවා. හැබැයි ඒ වෙද්දිවත් අර කාන්තාව දැනගෙන හිටියේ නෑ තමන්ගේ කලින් සැමියාව ඝාතනය කළේ මේ දාමරිකයා කියන විත්තියක්. පස්සේ මොවුන් දෙන්නා පොලිසියෙන් බේරිලා ජීවත් වෙන්න දුර පළාතකට පැනලා යමු කියලා කතාබහ වෙනවා. ඒ අනුව මොවුන් දෙන්නා බොහොම දුර පළාතකට පැනලා යනවා. ඔය යන අතරවාරෙදි දෙන්නම විඩා නිවාගන්න කියලා හිතාගෙන ගල්තලාවක් උඩට ගිහිල්ලා මහන්සි අරිනවා. ඒ ඉන්න අතරතුරේදී දෙන්නා දෙන්නගෙම ජීවිතවල යටගියාවල් ගැන කතා කරන්න පටන්ගන්නවා. අර කතාවකුත් තියෙනවනේ ආදරේ අන්ධයි කියලා. මේ මෝඩ දාමරිකයාටත් වුණේ ඒ සන්තෑසියම තමයි. ටික වෙලාවක් යද්දි දන්නෙම නැතුව කතාවෙන් කතාවෙන් මොහු ඇගේ පහසට මත්වෙලා ඔහේ දොඩවන්න පටන්ගන්නවා. කතාව අතරතුරේදී ඇගේ කලින් සැමියාව ඝාතනය කළේ තමන් බවත් ඔහු අර කාන්තාව ඉදිරියේ වමාරනවා. “බලන්නකෝ මම එදා ආවේ ඔයාගේ මහත්තයව මරන්න නෙවෙයි. ඒත් ඒ වෙලාවේ මගේ ඉලක්කේ වැරදිලයි ඔයාගේ මහත්තයට වෙඩි වැදුනේ” කියලා ඔහු කියනවා. ඒ බලාපොරොත්තු නොවුණ කතාවෙන් ඇගේ ස්වරූපය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා යනවා. ක්ෂණිකව අර දාමරිකයාගේ ඉනේ තිබුණ පිස්තෝලෙ උදුරගෙන ඇය ඔහුව ඉලක්ක කරගෙන මෙන්න මෙහෙම කියනවා.
“මගේ මිනිහා මළාට පස්සේ මම උඹට ආදරේ කළා තමයි. උඹත් එක්ක එක වහලයක් යට ජීවත්වෙලා එක ඇඳක නිදාගත්තා තමයි. ඒත් එහෙම කළේ මෙහෙම දෙයක් නොදැන මිසක් මගේ කොන්ද පණ නැතිකමටවත් චපලකමටවත් නෙවෙයි. අනික උඹ මගේ මිනිහගේ මිනීමරුවා කියලා දැන දැනම තවදුරටත් උඹ එක්ක පවුල් කන්න තරම් මම බියගුලු ගෑනියෙකුත් නෙවෙයි. එදා උඹට උඹේ ඉලක්කේ වැරදුණාට අද උඹ බලාගනින් මගේ ඉලක්කේ කොහොමද කියලා.”
ඔය විදියට කියන ඇය හරියටම ඉලක්කෙට වෙඩි තියලා ඒ දාමරිකයාව එතැනදිම මරලා දානවා.
මොනම හේතුවක් නිසාවත් මිනීමැරීම අනුමත නොකළට මොකද ඔය කතාව කියවන ඕනම කෙනෙකුට ඇගේ නිර්භීත පෞරුෂය ගැන අනිවාර්යයෙන්ම පැහැදීමක් ඇතිවෙන්න පුළුවන්. මොකද ඇය ඒ වෙලාවේ මොන තත්ත්වෙක හිටියත් හැඟීම්වලට වහල් වෙලා කටයුතු කළේ නෑ. මැරුණ එකා මැරිලා ඉවරයි, දැන් ජීවත්වෙන මාව නඩත්තු කරන්න පිරිමියෙක් ඕනෙ කියලා හිතුවෙත් නෑ. කිසිම විදියට ඔහුට සමාවක් දීලා ආපහු සැරයක් ගෙට වද්දගත්තෙත් නෑ.
මෙන්න මේකත් ඒ විදියෙම කතාවක්.
ජාතක කතා පොතේ තියෙන 117 වැනි ජාතකය තමයි වට්ටක ජාතකය. ඔය කතාවේ ඉන්නවා උත්තර කියලා සිටු කුමාරයෙක්. සිටු සම්පත් තිබුණට මොකද ඔහු ගිහි ජීවිතයටවත්, කම්සැපවලටවත් වැඩිය ඇල්මක් තිබුණ කෙනෙක් නෙවෙයි. ඔහොම ඉන්නකොට ඉන්දියාවේ කාර්තික උත්සව කාලේ උදාවෙනවා. ඔය කාර්තික උත්සවය කියන්නේ හින්දු උදවියගේ නැකැත් කෙළියට. ඒක හරියට අපේ සිංහල අලුත් අවුරුද්ද වගේ එකක්. විශේෂයෙන්ම ඔය කාලෙට ඒ අය තම තමන්ගේ පවුල්වල උදවිය එක්ක එකතුවෙලා ගොඩක් සතුටෙන් සමාදානගෙන් කාලය ගත කරනවලු. එතකොට ඒ කාලෙදි සාමාන්ය ගෙවල්වල විතරක් නෙවෙයි සිටුමැදුරුවලත් නැටුම්, ගැයුම්, ප්රිය සම්භාෂණවලින් කිසිම අඩුවක් නෑලු. හැබැයි මේ කියන උත්තර කුමාරයා නම් ඔය දේවල් තරයේම ප්රතික්ෂේප කරපු කෙනෙක්. ඒ විතරක් නෙවෙයි ඔහු ගොඩක් වෙලාවට සිටුමැදුරට වෙලා භාවනායෝගීව ඉන්න තමයි කැමැත්තක් දක්වලා තියෙන්නේ. එක දවසක්දා උත්තරගේ සම වයසේ යාළුවෝ ටිකක් සිටුමැදුරට ඇවිත් ඔහුට මෙන්න මෙහෙම කතාව කියනවා.
“අයියෝ උත්තර, උඹ සිටු කුමාරයෙක් වෙලත් මේ වගේ කාලෙකදී විනෝද වෙන්න බැරිනම් ඒ ජීවිතෙන් ඇති පලේ මොකක්ද? උඹට කෙල්ලෙක් ඕනෙ නම් අපි හෙටම හොයලා ගෙනත් දෙන්නම්. උඹට තියෙන්නේ ඒ කෙල්ලත් එක්ක හොඳහැටි විනෝද වෙන්න විතරයි” කියලා.
ඊට පහුවෙනිදාම උත්තරගේ මේ යාළුවෝ ටික ගිහිල්ලා හොඳ ලස්සන ගණිකාවක් හොයාගෙන එනවා. ඇයට සිද්ධිය විස්තර ඇතුව කියලා උත්තරව පොළඹවගන්න රහසින්ම සිටුමැදුරටත් ඇතුල් කරනවා. යාළුවොන්ගේ මේ නොහොබිනා වැඩේ ගැන දැනගත්තු උත්තර කුමාරයා ඇයට නිකම්ම මුදල් ගෙවලා සිටුමාලිගාවෙන් පිටත් කරලා යවනවා. හැබැයි ඉතින් අර ඌරෝ කැකුණ තලද්දි හබන් කුකුලන්ට රජ මඟුල් කියන්නා වගේ ඕක දැකපු ඇමතියෙක් රහසින්ම මේ ගණිකාව උස්සගෙන ඔහුගේ ගෙදරට අරගෙන යනවා.
එතැන ඉඳන් ඇය ආගිය අතක් ගැන කාටවත් දැනගන්න ලැබෙන්නෙ නෑ. ඔය වෙද්දි කාර්තික උත්සවයත් ඉවර වෙලා. බලන් ඉඳලා බැරිම තැන ඇගේ අම්මා ඇවිල්ලා උත්තර කුමාරයාගෙන් අහනවා තමන්ගේ දුවට මොකක්ද කළේ කියලා. නමුත් ඇයට මුදල් දීලා පිටත් කරපු විත්තියක් ඇරෙන්න ඊට වැඩි යමක් කියන්න උත්තර කුමාරයත් දැනගෙන හිටියේ නෑ. අන්තිමේදී මේ කතාව රජතුමාගේ කනටත් යනවා. වෙලා තියෙන දේ ගැන මුල ඉඳන් අගට යනකල් හොයලා බලන රජතුමා මේ සිදුවීම සම්බන්ධයෙන් උත්තරව වැරදිකාරයා කරලා ඔහුට මරණ දඬුවම නියම කරනවා. හැබැයි ඊටපස්සේ උත්තරව මරන්න අරගෙන ගියේ අර ගණිකාව සඟවාගෙන හිටපු ඇමතියගේ ගෙදර ළඟින්මයි. ගණිකාවක් මරපු වරදට උත්තරගේ හිස ගසා දමන බව වදකයා ප්රචාරය කරද්දී ඔය කතාව ඇමතියගේ ගේ ඇතුළේ හිටපු අර ගණිකාවටත් ඇහෙනවා. එතකොටම ඇය ලැජ්ජාව බය පැත්තකින් තියලා අර හැමෝම ඉස්සරහට ඇවිත් ඒ කියන ගණිකාව තමා බවත්, තමා නිරුපද්රිතව සිටින බවත් පිළිගන්නවා.
ගණිකා වෘත්තිය ඉතිහාසයේ පරණම රස්සාව වුණත් අදටත් තමන් ගණිකාවක් කියලා ප්රසිද්ධියේ පිළිගන්න අය නැති තරම්නේ. මොකද කවුරු මොනවා කිව්වත් ඊටපස්සේ සමාජයෙන් එල්ලවෙන ප්රශ්නවලට මූණ දීගන්න අමාරු නිසා. ඒත් වට්ටක ජාතකයේ ඉන්න මේ ගණිකාවට ඊට එහා ගිය ආත්මශක්තියක් තිබිලා තියෙනවා. තමන් ගණිකාවක් වුණත් ඔව් මම ගණිකාවක් කියලා ප්රසිද්ධියේම කියන්න තරම් ඇයට පෞරුෂයක් තිබිලා තියෙනවා.
ඉතින් මුලින්ම ඔය කතා දෙක ගැන ටිකක් මතක් කරලා ඉන්න හිතුවේ අද අපි කතා කරන්න යන්නෙත් කාන්තාවන්ගේ පෞරුෂය ගැන නිසා.
කාන්තාවන් තමන්ගේ පෞරුෂය සකසාගත යුත්තේ කොයි ආකාරයටද?
ඒ ගැන මේ කතාබහ පේරාදෙණිය විශ්වවිද්යාලයේ විශ්රාමික මහාචාර්ය අත්තනායක එම්.හේරත් මහතා සමඟින්.
මෙදා පාර කාන්තා දිනය වෙනුවෙන් ඔවුන්ගේ පෞරුෂය හදාගන්න ඕන විදිය ගැන යමක් කතා කළොත් හොඳයි කියලා මට හිතුණා. මොකද පෞරුෂ වර්ධනයේ මදිකම නිසා නොයෙක් විදියේ ප්රශ්නවලට මූණදෙන කාන්තාවෝ වගේම තරුණ දූලාත් තාම අපි අතරේ ඕනතරම් ඉන්නවා.
මම මුලින්ම මගේ විශ්වවිද්යාල ශිෂ්යාවකට වුණ ඇත්තම සිදුවීමක් කියලා මේ කතාව පටන්ගන්නම්. මගේ දක්ෂ ශිෂ්යාවක් හිටියා සමාධි කියලා. ඇයට විශ්වවිද්යාලයේම තරුණයෙකුත් එක්ක ප්රේම සම්බන්ධයකුත් තිබුණා. අපි කවුරුත් දැනගෙන හිටිය විදියටනම් ඇයට ඔය කියන ප්රේම සම්බන්ධයට කලින් වෙනත් සම්බන්ධතා තිබුණ කෙනෙක් නෙවෙයි. හැබැයි ඇගේ පෙම්වතාට නම් වෙනත් සම්බන්ධතා හය හතක්ම වගේ තිබිලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඔහු කලින් හිටපු තරුණියන් එක්ක ලැගුම්හල්වලට ගිය හැටි පවා ප්රසිද්ධියේ කියවන සෙල්ලක්කාර තරුණයෙක් විදියටයි විශ්වවිද්යාලය පුරාවටම ප්රසිද්ධ වෙලා හිටියේ. හැබැයි අර දුව ඔහුව යහමාර්ගයට ගන්න වෙහෙසුණා ඇරෙන්න දමලා ගහලා යන්න ගියේ නෑ. නමුත් ඇය දවසක් මගේ ළඟට ඇවිල්ලා කිව්වා “සර් මම අර සම්බන්දේ නවත්තලා දැම්මා” කියලා. ඒ කියද්දි වුණත් ඇගේ මූණේ කිසිම දුකක් කණස්සල්ලක් පේන්න තිබුණේ නෑ. පස්සේ මම හීන්සැරේ එහෙම කරන්න හේතුව මොකක්ද කියලා ඇගෙන් අහලා බැලුවා. මේ දුව කියපු විදියට ඇය අර පිරිමි ළමයගෙන් අහලා තියෙනවා, මටත් ඔයාට වගේ වෙන සම්බන්ධතා ගොඩක් තිබුණොත්, මමත් ඔයා වගේ කාමර ගානේ ගිහිල්ලා අහුවුණොත්, ඒවට සමාව දීලා මං ඔයාව භාරගත්තා වගේ මාවත් භාරගන්නවද කියලා. ඒ ඇහුවට පස්සේ අර තරුණයා ගත්කටටම කියලා තියෙන්නේ, මම කවදාහරි බඳිනවා නම් බඳින්නේ එක එකා එක්ක වටේ ගිහින් නැති පිරිසිදු කෙල්ලෙක් විතරයි කියලා. ඔය කතාව මට කියලා අර දුව මගෙන් අහනවා “එතකොට සර් මෙච්චර වැදගත් විදියට ජීවත් වුණ මම විතරක් මොකටද මේ වගේ නැතිනාස්ති වුණ සෙල්ලක්කාර කොල්ලෙක්ව කරගහන්නේ?” කියලා. “එච්චර වැරදි කරලත් එයාට පුළුවන්කමක් තියෙනවා නම් එයා භාරගන්නේ වැදගත් පිරිසිදු කෙල්ලෙක් විතරයි කියලා මගේ මූණටම කියන්න මෙච්චර වැදගත් විදියට ජීවත් වුණ මට ඇයි ඒ වගේ පිරිමියෙක් එපා කියන්න තරම් ආත්මශක්තියක් නැත්තේ” කියලා.
මේ කතාවෙන් මම කියන්න උත්සාහ කළේ කසාදෙකට කලින් කෙල්ලෝ කොල්ලෝ තමන්ගේ පිරිසිදුකම රැකගන්න ඕනෙ කියන අර සාම්ප්රදායික කතාවම නෙවෙයි. තමන්ගේ සැමියා ඉදිරියේ වේවා පෙම්වතා ඉදිරියේ වේවා තමන්ට ගෞරවයෙක් ලබලා දෙන්න, තමන් වෙනුවෙන් පෙනී හිටින්න තරම් අපේ දුවලට හොඳ ආත්මාභිමානයක්, පෞරුෂයක් තියෙන්න ඕන කියන එක.
ඕකෙම අනිත් කාරණාව තමයි මහා ලොකුවට වියදම් නොකළත් තමන් දීග යන දවසට නෑදෑ සනුහරේ මැද්දේ පෝරුවකට නැගලා වැදගත් විදියට පිටත්වෙලා යන්න අපේ දුවලා හැම කෙනෙක්ම හිතට ගන්න ඕන කියන එක. මොකද එහෙම හිතාගෙන ඉන්න දුවෙකුට නිකමට හරි පිරිමි ළමයෙක් හොරාට දීග යන්න කතා කළොත්, ලැගුම්හල් ගානේ යන්න කතා කළොත් ඒවා ප්රතික්ෂේප කරන්න තරම් හොඳ පෞරුෂයක් ගොඩනැගෙනවා.
මේකත් ඔය විදියෙම තවත් කතාවක්. මේ කියන දුව මේ මහනුවර පළාතෙම මම හොඳට දන්න කියන ව්යාපාරික පවුලක කෙනෙක්. ඇයට වෙන සහෝදර සහෝදරියක්වත් හිටියේ නෑ. දෙමව්පියෝ වුණත් විසිහතර පැයේම ව්යාපාරත් එක්ක ඔට්ටු වුණ අය. ගොඩක් වෙලාවට ඇගේ තනි නොතනියට හිටියේ ගෙදර වැඩ කරපු අය විතරයි. ගෙදර රියදුරු වෙලා හිටියෙත් හොඳ ඇහැට කනට පේන කඩවසම් තරුණයෙක්. මේ දුවත් උදේ හවස ඉස්කේලෙට, අමතර පංතිවලට පවා ගියේ ආවේ ඒ රියදුරා එක්ක. ඔහොම යන එන අතරතුරේදි මේ දුවයි ඒ රියදුරයි අතරේ ප්රේම සම්බන්ධයක් ඇතිවෙලා තියෙනවා. අන්තිමට පිට ලැගුම්හල්වලට යන එන තරමටම ඕක දුරදිග ගිහිල්ලාත් තියෙනවා. එහෙම ගිය දවසක දෙන්නා අතරේ වුණ හැමදෙයක්ම වගේ අර රියදුරා වීඩියෝගත කරගෙන තියෙනවා. ඊටපස්සේ දෙමව්පියන්ගෙන් මුදල් ඉල්ලලා නොදුන්නොත් ඒවා අන්තර්ජාලයට දානවා කියලා ඇයට තර්ජනය කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඔහුගේ නානාප්රකාර යාළුවෝ එක්කත් තැන් තැන්වලට යන්න කියලා බලපෑම් කරලා තියෙනවා. මේ දුව මට කියපු විදියට මුලින් මෝඩ විදියට කටයුතු කරලා තිබුණත් පස්සෙදි බොහොම උපක්රමශීලීව බය නැතුව කටයුතු කරලා තියෙනවා. ඇය ඔහුගේ වචනෙට බයවෙලා දෙමව්පියන්ගෙන් මුදල් ඉල්ලලා දීලාවත්, ඔහුගේ යාළුවෝ එක්ක ලැගුම්හල්වලට ගිහිල්ලාවත් නෑ. ඒ වෙනුවෙන් දීලා තියෙන එකම උත්තරේ තමයි එතැනින් එහාට ඔහු ඇතිකරන ඕනම ප්රශ්නෙකට මූණදෙන්න ඇයත් ලෑස්තියි කියන එක.
මේ කතාවෙන් මම කියන්න හැදුවේ ඒ දුව කළේ මහ ලොකු හපන්කමක් කියලා නෙවෙයි. තමන් අතින් වුණ වැරැද්දේ වගකීම භාර අරන් ජීවිත හානියක් කරගන්නේ නැතුව ඊට මූණදෙන්න තරම් ඇයට හොඳ පෞරුෂයක් තිබුණා කියන එක.
ඔය අපි දන්න කියන එක ප්රශ්නයක් දෙකක් විතරනේ. නමුත් අදටත් තමන්ගේ පෙම්වතා දාලා ගිය පලියට, රැකියාව කරන තැන ප්රශ්නවලට මූණ දීගන්න බැරුව විතරක් නෙවෙයි ගෙවල්වල තියෙන ආර්ථික ප්රශ්න නිසාත් දිවි නහගන්න හදන, දිවි නහගත්තු තරුණ දුවලා, කාන්තාවෝ කොයිතරම් ඉන්නවද? මේ තත්ත්වෙට ලොකුම හේතුව තමයි පෞරුෂ වර්ධනය හීනවීම. අර සුද්දිලාගේ කතාවේ හිටපු කාන්තාවටත්, වට්ටක ජාතකයේ හිටපු ගණිකාවටත් බය නැතුව කියපු දේ කරන්නත්, කරපු දේ කියන්නත් තරම් හොඳ පෞරුෂයක් තිබුණා. අපේ තරුණ දුවලා වගේම කාන්තාවනුත් අන්න ඒ විදියේ හොඳ පෞරුෂයක් ඇති කරගත යුතුයි කියලයි අවසාන වශයෙන් මම කියන්නේ.
ලිහිණි මධුෂිකා