යක්කුන්ට දොළ පිදේනි දුන්නත් එකයි පවුල් ප්‍රශ්න පිටට දුන්නත් එකයි
දුකක් කරදරයක් වෙච්ච වෙලාවට අපේ යාළුවෙක්, සහෝදරයෙක්, සහෝදරියක් අපි වෙනුවෙන් පෙනීහිටිනවාට අපි හැමෝම කැමතියි. විශේෂයෙන්ම අපි අසරණ වෙලා ඉන්න වෙලාවක, ජීවිතේ අමාරුම අවස්ථාවක අපි වෙනුවෙන් පෙනී හිටින්න කවුරුහරි ඉන්දැද්දී හිතට දැනෙන ශක්තිය කොහොමද කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑනේ. විවාහ ජීවිතේ ගෙවද්දී හෝ අදර සම්බන්ධයක් ඇතුළේ වුණත් එකිනෙකා වෙනුවෙන් පෙනීහිටීම අනිත් කෙනාට මොනතරම් මානසික සුවයක්ද කියන එක ඒ අත්දැකීම ලැබූ අය දන්නවා. හරියට අර නන්දා මාලනී මහත්මිය ගයනා කරන ගීතයේ තියෙනවා වගේ. ‘ලොවම එපා වී ලොවම කළකිරී තැවී දැවී හිඳිනා වේලේ… ඔබේ දයාබර එකම වදනකින් මගේ ආත්මය සුවපත් වේ…’ ඒක හරියට ඒ වගේ හැඟීමක්. වාසනාවකට වගේ මගේ මහත්තයා දහම්ගේ මං ප්‍රිය කරන එක ආදරණීය ගුණාංගයක් විදියට ඒ සුවය මට අඩුවක් නැතුවම ලැබෙනවා. අද ලිපියත් එහෙම සිදුවීමක් මූලික කරගත්තු එකක් ගැනයි.
‘ධරණී’ පුවත්පතට මගේ අත්දැකීම් ලියනවා වගේම සමාජ මාධ්‍යයේත් මම මගේ අත්දැකීම් ලියනවා. එහෙම ලියන්නේ තවත් කෙනෙකුට ඒවායින් මොනවහරි දෙයක් ජීවිතේට එකතු කරගන්න උදව්වක් වෙයි කියන බලාපොරොත්තුවෙන්. ඒ වගේම ගොඩක් අය ඒ දේවල් බොහොම ආදරෙන් වැළඳගන්නවා. ඒ නිසාම හොඳ ප්‍රතිචාරත් ලැබෙනවා. හැබැයි සමහර සීමිත පිරිසක් මම ලියන දේවල් විවේචනය කරනවා. ඒක ඒ අයගේ කැමැත්ත නිසා මට ඒ විවේචන දරාගන්න සිද්ධවෙනවා වගේම දරාගන්නත් පුළුවන්. එවැනි අවස්ථා කිහිපයකම මං අමතක කරලා දාපු මගේ අතීත සිදුවීම් කිහිපයක් නැවත මතක් කරමින් මාව වට්ටන්න උත්සාහ කරපු අයත් හිටියා.
ඉතින් ඒ හැම අවස්ථාවකම මම දහම්ව ඒ දේවල් ගැන දැනුවත් කරන්නත් අමතක කළේ නැහැ. එහෙම එක අවස්ථාවක දහම් මගේ අතින් අල්ලාගෙන මෙහෙම දෙයක් කිව්වා “මායි ඔයයි අමතක කරපු දේවල් ඔලුවේ තියාගෙන ඒවා මතුකරන්න උත්සාහ කරන්නේ ඊට වඩා කුණු තමන්ගේ ජීවිතවල තියාගෙන ඉන්න අයයි රෝසී. ඔයා හිනාවෙලා සතුටෙන් ඉන්න, මං ඔයාට ඉන්නවා.”
මගේ මහත්තයා මගේ ඇස් දිහා බලාගෙන ඔහොම කියද්දී පුදුම ශක්තියක් මගේ හිතට ආවා. මගේ ජීවිතේ බෙදාගන්න මං තෝරාගත්තු කෙනා ගැන සැනසීම පිරුණ හැඟීමක් හිතට දැනුණා. එයාට ඕනනම් මගෙන් පෙරළා ප්‍රශ්න කරන්න පුළුවන්කම තිබුණා. එක්කෝ එයාට කියන්න පුළුවන් සමාජ මාධ්‍යවල ලියන්න ගියානම් ඔයාට එන විවේචන ඔයාම බාරගන්න, ඒවා මට අදාළ නෑ කියලා. එහෙම නැත්නම් කියන්න තිබුණා අතීතයේ ඔයාගේ අතින් එහෙම වැරදි වුණු නිසානේ ඔයාට ඇඟිල්ල දික් වෙන්නේ, ඒවාට මට කරන්න දෙයක් නෑ කියලා. හැබැයි ඒ කිසිම වෙලාවක ඔයාගේ ප්‍රශ්න ඔයා විසඳගන්න කියලා මාව තනි නොකර එයා මං වෙනුවෙන් පෙනී හිටියා. මගේම අය ගාවදී මං තනිවුණ වෙලාවට මගේ යෝධ හෙවණැල්ල වගේ එයා මං ගාව හිටියා. මගෙන් වැරැද්දක් වුණත් තමන්ගේ එකකුස උපන් සහෝදරයන් දෙන්නාටවත් ඒ ගැන නොකියා, මාව එයාලා ඉස්සරහා හෑල්ලු නොකර හිටියා. ගොඩක් වෙලාවට දහම් මං වෙනුවෙන් පෙනීහිටියේ මං නැති තැන්වල. කාගෙන්වත් කිසිම දෙයක් අහන්නවත් කියන්නවත් එයා ඉඩ තියලා නෑ. ඉතින් තමන්ගේ සහකරුගෙන් සහකාරියගෙන් ලැබෙන්න ඕන එහෙම සැනසීමක් නෙවෙයිද?
මට මගේ මහත්තයාගෙන් ලැබෙන මේ සහයෝගයම ඇති මගේ හිතේ සැනසීම දවස පුරා තියාගෙන ඉන්න. මගේ පවුල් ජීවිතේ බිඳිලා යන්න තිබුණ තැනදි පවා රැකිලා තියෙන්න හේතුවෙන්න ඇත්තෙත් දහම්ගේ මේ ගුණාංගය කියලා මට හිතුණ අවස්ථා ගොඩාක් තිබුණා.
ගොඩාක් පවුල් ජීවිත ඇතුළේ ප්‍රශ්න රණ්ඩු සරුවල් තියෙනවා. නොතිබුණොත් ඒක පුදුමයක්. ඒ මොන දේ තිබුණත් පිටතැනකදි සැමියා හෝ බිරිඳ අසීරුතාවයකට පත්වෙද්දි, තමන්ගේ බිරිඳ හෝ සැමියා වෙනුවෙන් පෙනීහිටින එකම ඒ පවුලේ බැඳීම සුරක්ෂිත වෙන්න ප්‍රමාණවත් කියලයි මට හිතෙන්නේ.
බාහිර සමාජයට දැනෙන්න ගත්තම ‘ගෑනිට මිනිහා නෑ මිනිහාට ගෑනි නෑ’ කියන දේ, ඒවාගෙන් ප්‍රයෝජන ගන්න බලාගෙන ඉන්න මිනිස්සුන්ට හොඳ අවස්ථාවක් ලැබෙනවා. ඒ වගේ හිස්තැන් තිබුණාමයි යක්කු යකින්නියෝ පවුල ඇතුළට රිංගගෙන පැලපදියම් වෙන්නේ.
පිරිසක් එක්ක ඉන්න තැන සැමියා ගැන, බිරිඳ ගැන වැරදි කීම, නොසැලකිලිමත්කම් ගැන, මගහැරීම් ගැන කියද්දි වෙන්නේ අනිත් මිනිස්සුට ඒවාගෙන් අපේ ජීවිත විනිශ්චය කරන්න හේතු දෙන එක. අහන් ඉන්න අය ඒවා තැන් තැන්වල කියවන එක. වයිෆ්ට හස්බන්ඩ් ගැන වගේ වගක් නෑ, හස්බන්ට වයිෆ් ගැන ගාණක් නෑ කියලා මිනිස්සුන්ට දැනෙන්න හේතු අපෙන්ම දෙන එක. ප්‍රශ්න විසඳගන්න ඕනේ පවුල ඇතුළෙදි. හැබැයි ආදරේ බෙදන්න ඕනේ පවුලෙන් පිටටත් දැනෙන විදියට. අලුතෙන් කසාද බඳින්න ඉන්න හෝ බැඳපු ජෝඩුවක් ඉස්සරහා අපිත් මේ වගේ ආදරෙන් ඉමු කියලා හිතෙන විදියට ජීවත්වෙන්න. මං කියන්නේ රඟපාන්න නෙවෙයි අවංකව ජීවත්වෙන්න. ආදරෙන් ජීවත්වෙන්න.
මං තදින්ම විශ්වාස කරනවා පවුල් ජීවිතේ ඇතුළේ නොගැලපීම් ගලපාගෙන ජීවිත ඉස්සරහට අරන් යන්න සැමියා බිරිඳ වෙනුවෙනුත්, බිරිඳ සැමියා වෙනුවෙනුත් පෙනීහිටිම ගොඩක් වටිනවා කියලා.
මේ ලෝකේ කිසිම පවුලක් සර්වසම්පූර්ණ නෑ. අනවබෝධයන්, වැරදි වැටහීම් තියෙනවා. ඒ නිසා ප්‍රශ්න ඇතිවෙනවා. නමුත් ඒ හැම අවස්ථාවකම තමන්ගේ කෙනා වෙනුවෙන් පෙනී හිටින්න. එහෙම පෙනී හිටින බව ලෝකයට දැනෙන්න දෙන්න. එතකොට ඇතිවෙලා තියෙන ප්‍රශ්න විසඳෙයි වගේම අලුතින් ප්‍රශ්න ඇතිවෙන එකත් සෑහෙන දුරට අඩුවේවි.
හෂීණි මනමේන්ද්‍ර