විශේෂාංග

බෙංගාල බොක්ක කැළඹූ නුවර මැණිකෙලා

“රටවල් හතක් සහභාගී වෙන තරඟයක් වුණාට අපිට ඒ සඳහා සූදානම් වෙන්න තිබුණේ මාසයක වගේ කාලයක්. කලාපයේ රටවල් වගේම ලෝකය ගැන දැනගත යුතු බොහෝ කරුණු කාරණා ඒ අතර තිබුණා. ඊළඟට මේ වගේ තරඟයකට සහභාගී වෙන පළමු අවස්ථාව මෙය නිසා, හිතේ පුංචි තැතිගැන්මක් තිබුණා. හැබැයි අපේ හිත්වල තිබුණු අධිෂ්ඨානය, බලාපොරොත්තුව ඒ තැතිගැන්මට වඩා වැඩි නිසාම අපේ රටට මේ ජයග්‍රහණය ගේන්න පුළුවන් වුණා.”

ඒ මේදිනී අනුපමා වනිගරත්නයි. ඇය මහනුවර හිල්වුඩ් විද්‍යාලයේ ගණිත අංශයෙන් උසස් පෙළ හදාරන්නීය.

කුඩා වියේ සිටම විෂය කටයුතුවලට මෙන්ම විෂය බාහිර කටයුතුවලටද උනන්දු වූ ඇය පතපොත කියවන්නටද කැමැත්තක් දක්වන්නීය. මහාමායා බාලිකාවේ සයුරංගිද ඊට නොදෙවෙනිය.

“රටවල් හතක තරඟකරුවන් එක්ක ඉස් ඉස්සෙල්ලම තරඟයට වාඩිවුණාම පුංචි බයකුත් හිතට ආවා. ඒත් පළමුවටය අවසානයේ ඒ බය නැතිවෙලා ගියා.”

බිම්ස්ටෙක් (BIMSTEC) මහලේකම් කාර්යාලය පිහිටුවා වසර විසිපහක් පිරීම නිමිත්තෙන්, බෙංගාලබොක්ක කලාපය ආශ්‍රිත රටවල් හතක දරු දැරියන්ගේ දැනුම මිනුම මේ අයුරින් උරගා බැලුණි. බිම්ස්ටෙක් කී විට අපට සිහිපත් වන්නේ කලාපීය සහයෝගීතාව වෙනුවෙන් පවත්වන බිම්ස්ටෙක් සමුළුවයි.

එහිම එක් අංගයක් ලෙස මෙම තරඟය සඳහා මේදිනී හා සයුරංගි තේරීපත්වුණේ සිසුන් පනස්දෙනෙකු අතරිනි. ඒ අධ්‍යාපන අමාත්‍යංශයේ මැදිහත්වීමෙනි.

“පළමුවෙන්ම අපි ලිඛිත පරීක්ෂණයකට මුහුණ දුන්නා. ඊට සිසු සිසුවියන් පනස්දෙනෙක් සහභාගී වුණා. එමඟින් දසදෙනෙක් තෝරාගත්තා. ඒ දසදෙනා සම්මුඛ පරීක්ෂණයකට යොමුකළා. ඉන් දෙදෙනෙක් තෝරාගත්තා.”

ඒ දෙදෙනා වීමට භාග්‍ය ලද මේදිනීත්, සයුරංගීත් මාසයක කාලය තුළ සාමාන්‍ය දැනුම පිළිබඳ අධ්‍යයනයක යෙදෙන්නට කාලය වෙන්කළේ එම ජයග්‍රහණය රටට වාගේම තමන්ටද වැදගත් බැවිනි.

“ඇත්තටම ජාත්‍යන්තර මට්ටමේ තරඟයකට සහභාගී වීම, ඒ ලබන අත්දැකීම් වෙනස්ම ඒවා. අනෙක් රටවල තරඟරුවෙක් වෙනුවෙන් පුහුණුකරුවන්ද යොදවා තිබුණා. ඒත් අපිත් ආසියාවේ රටවල්වල විස්තර හොයලා ඒවා මතකයේ තියාගත්තා. ඒ නිසාම සියල්ල අපට පහසු වුණා.”

සයුරංගි කියන්නේ එම තරඟයේ පළමු වටයෙන් දෙවන තැනට පත්වුවත්, දෙවන වටයේදී ලද ජයග්‍රහණය සමඟ ලකුණු එකසිය තිහක් ලබා, ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරවීමට හැකිවූ බවයි.

“ඇත්තටම මේ ජයග්‍රහණය ගැන කියපු මොහොතේ අපිට හිතාගන්න බැරිවුණා. අපි ලෝකෙම දිනුවා වගේ හැඟීමක් තමයි හිතට ආවේ. අභියෝග තනි තනිව වගේම එක්ව ජයගන්නත් පුළුවන්.”

මෙහිදී ලකුණු අසූහතක් ලබා නේපාලය දෙවන ස්ථානය ලැබීය. බංගලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය සහ තායිලන්තය මෙම තරඟයට සහභාගී වූ අනෙකුත් රටවල්ය.

මේදිනීත්, සයුරංගීත් දැන් හොඳ යාළුවෝය. දැනුම සොයා යද්දී ඒ හමුවූ මිතුරුකම වගේම, සයුරංගිගේ අපේක්ෂාව වෛද්‍යවරියක් වී රෝගීන් සුවපත් කිරීමය. මේදිනී තවමත් අනාගතයේ තමන් කරනා රැකියාව කුමක්දැයි තීරණය කර නැතත්, රටට වැඩදායී වෘත්තියක නියැළෙන්නට ඇයද අපේක්ෂා කරන්නීය.

මෙම ජයග්‍රහණයේදී දෙමාපියන්ගෙන් ලැබුණු දිරිමත් කිරීම් ගැනද සිසුවියන් දෙදෙනාම සිටින්නේ සතුටු සිතෙනි. ඒ වාගේම ගුරු මහත්ම මහත්මීන්ද අගයන්නේ මෙම ජයග්‍රහණයේ අඩිතාලම ඔවුන් බැවිනි.

මේදිනී හා සයුරංගි මෙම තරඟාවලියට සහභාගී කරවීමට සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිරෝෂා කන්නන්ගර මහත්මියද ඔවුන් හා භූතානය බලා පිටත් විය.

“මේ දියණියන් දෙදෙනා රටට අත්කර දුන් ජයග්‍රහණය ඉතාම විශිෂ්ට වූවක්. ආර්ථික වශයෙන් ගැටලු රැසක් මැද අපි හිටියත්, මෙවැනි තරඟ හරහා අපේ රටට කීර්තියක් ගෙන එන්න හැකිවීම ගැන සතුටුයි.”

ඇය කියන්නේ මේ ලද ජයග්‍රහණය ගැන සැබෑම සතුටකිනි. එහිදී අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ මහතා ඇතුළුව ගුවන් ගමනට සහාය දැක්වූ සියල්ලන්ටද ඔවුන් කෘතවේදීත්වය පළකරති.

මේදිනීත්, සයුරංගීත් දැන් කලාපයේ දක්ෂයින්ය. කලාපයේ රටවල් අතර ලංකාවේ නම බබළවන්නට දැක්වූ දායකත්වය වෙනුවෙන් ඔවුනට ‘ධරණී’ මල් මිටක් ගෙනෙන අතරම, හෙට දවසේ ද ලෝකය සරසන්නට ඔවුනට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරන්නෙමු.

හේමන්ත ලියනපතිරණ