මඟදි දරුවාගේ හදවත වැඩ කළා අනේ තව එකපාරක් උත්සාහ කරලා බලන්න
දරුවෙක් ඉපදුණු ගමන්ම ගෙනැල්ලා තියන්නේ අම්මගේ පපුව උඩ. මාස නවයක් බඩේ ඉන්දැද්දි බබා අම්මගේ හදවත ගැහෙන හඬට හුරුවෙනවලු. කුසෙන් එළියට ගත්තු හැටියේ අම්මගේ පපුව ගැහෙන සද්දෙ ඇහෙන්න සැලැස්සුවහම දරුවාට හුරුපුරුදු ආරක්ෂිත බව දැනෙන්න ගන්නවලු.
අම්මලාට බබාලව වඩාගන්න කියන්නේ වම් පැත්තට වෙන්න. ඒකටත් හේතුවක් තියෙනවා. අපේ හදවත තියෙන්නේ වම් පැත්තෙනේ. ඉතින් අම්මගේ හදවතේ ස්පන්දනේ ඇහෙන විදියට වඩාගත්තහම ඉක්මනින්ම බබා නැළවෙනවා. අම්මා කෙනෙක්ගෙයි දරුවෙක්ගෙයි හදවත්වල තියෙන මානුෂීය බැඳීම ඇරුණම භෞතික වශයෙනුත් බැඳීමක් තියෙන බව ඒ අනුව පැහැදිලියි. ඉතින් එහෙව් දරුවෙකුගේ හදවත නතර වෙන්න යනවා කියලා දැනුණොත් අම්මා කෙනෙකුගේ හදවතකට මොනවා වේවිද? ඒක මනුස්සයින්ට විතරක් නෙමෙයි සත්තුන්ටත් එහෙමයි. වලිගෙන් වතුර ඉස ඉස මුහුදක් හිස් කරපු කලන්දක ජාතකේ එන ලේන් අම්මා ගැන මතක ඇතිනේ. ඉතින් දරුවෙක්ගේ හදවත නතරවෙන්න යනවා කිව්වම එහෙව් අම්මා කෙනෙක් මොනවා නොකරයිද? මේකත් එහෙම වීර්යවන්ත අම්මා කෙනෙක් ගැන කතාවක්.
අනුරාධපුර විජයපුර ජීවත්වෙන සසංකා මිහිරානි ගෑනු දරුවෝ තුන්දෙනෙක්ගේ අම්මා කෙනෙක්. ඇගේ බාලම දියණියට මාස හතයි. බටවලින් ජීවිතේ හොයන මේ පුංචි මැණිකගේ ජීවිතේ වෙනුවෙන් සසංකා මහා සටනක් කරනවා.
“ඉපදිලා දවස් පහක් යනකල් බබා හොඳට හිටියා. ටිකට් කපලා ගෙදරත් ගෙනවා. හයවැනි දවසේ දරුවා ඇහැරුණේ නැහැ. ඇඟත් සුදුමැලි වෙලා. මගේ මහත්තයා කරන්නේ කුලී වැඩ. එවෙලේ මහත්තයා ගෙදර හිටියෙත් නැහැ. මම හිතුවේ දරුවා නැතිවෙලා කියලා. හැබැයි මම චුට්ටක්වත් කලබල වුණේ නැහැ. හිතට හයිය අරන් දරුවගේ හදවතට අත්දෙක තියලා තද කළා. කෘත්‍රිම ස්වසනය දුන්නා. එතකොට මගේ සීසර් තුවාලේ හොඳත් නැහැ. ඒ අමාරුකම් පැත්තක දාලා පාරට දුවලා වාහනයක් හොයාගෙන දරුවව ඉස්පිරිතාලෙට අරන් ගියා. කෘත්‍රිම ස්වසනය දිදී තමයි දරුවව අරගෙන ගියේ. ඒ කරද්දි මගදි එකපාරම දරුවගෙ හදවත ගැහෙන්න ගත්තා.”
සසංකා දරුවව අරගෙන ගිහින් තිබුණේ අනුරාධපුර ශික්ෂණ රෝහලට. ඉස්පිරිතාලෙ දොස්තර ළඟට යද්දිම ආයෙත් දරුවගේ හදවත නතර වෙලා ඔළුව කඩාවැටුණලු.
“දොස්තරලා බබාව හදිසි වාට්ටුවට දැම්මා. ‘මේ බබා නැතිවෙලා දැන් පැය දෙකක් වෙනවා අම්මේ’ කියලා පරීක්ෂා කරලා කිව්වා. මඟදි දරුවාගේ හදවත වැඩ කළානේ. එහෙම වෙන්න විදියක් නෑ තව එකපාරක් බලන්න කියලා මම කෑගහලා කිව්වා. පස්සේ දොස්තර මහත්තුරු ආයේ දරුවට ස්වසනය දුන්නා. ඒ කරද්දි එකපාර දරුවට කැස්සක් ආවා. පස්සේ එහෙමම බබාව ICU එකට දැම්මා.”
ඊටපස්සේ පුංචි කෙල්ල ජීවත්වෙලා තියෙන්නේ ඔක්සිජන් බටෙන්.
“මාසෙකින් වගේ ඔක්සිජන් බටේ ගැලෙව්වා. සකර් මැෂින් (ස්වසන මාර්ගයේ ඇති අනවශ්‍ය ශ්‍රාවයන් ඉවත්කිරීම සඳහා භාවිතා කරන වෛද්‍ය උපකරණයකි) එකකුයි දුම් අල්ලන මැෂින් එකකුයි ගන්න පුළුවන් නම් බබාව ගෙදර එක්කරගෙන යන්න කියලා මාස දෙකකට පස්සේ ඉස්පිරිතාලෙන් කිව්වා. සකර් මැෂින් එකක් අසූනවදාහක්. ඉතින් අපිට සල්ලි තිබුණේ නැහැ. දන්න අයගෙන් ණයට ගාණක් හොයාගත්තා. වාරික වශයෙන් ගෙවන්න මැෂින් ගන්න තැනක් දොස්තර මහත්තයෙක් හොයලා දුන්නා. ඒ මහත්තයවත් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. ඒ කරලා මැෂින් දෙක අරන් බබාව ගෙදර ගෙනාවා.”
මාස හතක් ගත වුණත් අදටත් මේ දරුවා ජීවත්වෙන්නේ සකර් මැෂින් බට ගහගෙනයි.
“දරුවට නිතරම ෆිට් එක හැදෙනවා. ඒ නිසා දැන් බබාගේ ස්නායුත් දුර්වල වෙලාලු. අනික දරුවා වර්ධනය වෙන්නෙ නෑ. මාස හතක් වුණාට මාස තුනක පෙනුමක් තියෙන්නේ.”
මේ පුංචි පැටියට දෙන්න පුළුවන් කිරිපිටි විතරලු. ඒත් කිරිපිටි ගන්න සල්ලි නැතිකමට දරුවට කැඳ පොවනවා කියලා අම්මා අපිත් එක්ක කිව්වේ කඳුළු පිහන ගමන්.
“සතියට කිරිපිටි පැකට් තුනක් යනවා. කිරි ගන්න අපිට සල්ලි නැහැ. මහත්තයා කරන්නේ කුලී වැඩ. රටේ තියෙන ප්‍රශ්න එක්කලා තව කෙනෙක්ට කුලියක් දීලා වැඩක් ගන්න මිනිස්සුන්ට සල්ලි නැහැ. ඒ නිසා දැන් එයාට වැඩ අඩුයි. ඉතින් කිරි වෙනුවට දරුවට කැඳ පොවනවා. සති දෙකෙන් දෙකට ක්ලිනික් යන්න ඕනේ. වාහනේක යන්න සල්ලි නැති නිසා විසබීජ යන්නේ නැති වෙන්න දරුවව ඔතාගෙන බස් එකේ යනවා. තව දුවලා දෙන්නෙකුත් ඉන්නවා. එක දුවක් ඉස්කෝලේ යනවා. අනිත් දරුවා මේ අවුරුද්දේ මොන්ටිසෝරි. මොන්ටිසෝරි දාගන්න සල්ලි නැති නිසා දරුවා ඉන්නේ ගෙදර. අනික අපි ඉන්නේ කුලියට. කුලී ගෙවන්න තියා එදාවේල කන්නෙත් අහල පහල අයගේ උදව්වෙන්. ඉතින් මේ මාසෙන් පස්සේ අපිට පාරට යන්න වෙයිද දන්නෙත් නැහැ.”
සසංකා හිත හයිය අම්මා කෙනෙක්. හැබැයි මිනිස්සුන්ගේ හිත්වල් හයිය දිය කරන්න සල්ලි කොළවලට පුළුවන්. ඒත් සසංකා අපෙන් ඉල්ලුවේ සල්ලි නෙමෙයි.
“පුළුවන් කෙනෙක් ඉන්නවා නම් දරුවට කිරිපිටි ටිකකුයි, කිරි පොවන්න සිරින්ජරයි, පැම්පස් ටිකකුයි අරන් දෙන්න. මේ වෙලාවේ හැටියට ඒක අපිට ලොකු උදව්වක්.”
මිනිහා කියන්නේ සමාජ සත්වයෙක්නේ. ඉතින් වෙලාවකට මිනිස්සුන්ට මිනිස්සුන්ගේ උදව් නැතිව බැහැ. ඉතින් හදවත ගැහෙන මනුස්සයෙක් හැටියට මේ හයිය අම්මට උදව්වක් කරන්න පුළුවන් නම් ඔබේ හදවතේ වටිනාකම තවත් වැඩිවේවි.
දුරකතන අංකය – 0740735706
ලිපිනය – 274, ගැමුණු මාවත, විජයපුර, අනුරාධපුර.
සෙව්වන්දි හෙට්ටිආරච්චි