බෑ කියලා දෙයක් නෑ විශිෂ්ටතම ගුවන් කාන්තාව කියයි!
“ඉස්කෝලේ යන දවස්වල මම රෙස්ලින් ගැන දැනගෙන හිටියේ නැහැ. ඒ ගැන උනන්දුවක් තිබුණෙත් නැහැ. වාර්ෂික නිවාසාන්තර තරඟ කාලෙට දුවන්න, පනින්න, යගුලිය දාන්න වගේම නෙට්බෝල්, වොලිබෝල් වගේ ක්‍රීඩාවන් කළා. සහතික ගත්තා. හැබැයි ඔය කාලේ තමයි හමුදා නිල ඇඳුමට මගේ හිතේ කැමැත්තක් ඇතිවුණේ. ඒ කැමැත්ත නිසාම මම ගුවන් හමුදාවට අයැදුම්පතක් යොමුකළා. මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය වුණේ මේ රැකියාව. මේ සියලු ජයග්‍රහණවලට හේතුව උත්සාහය උනන්දුව වගේම ගුවන් හමුදාව තුළ දක්ෂතා ඔප්නංවාගන්න අපට ලබාදී තිබෙන අවස්ථාවයි.”
ඒ කටුනායක ගුවන් හමුදා මූලික කඳවුරේ භෝජනාගාර සහායිකාවක ලෙස සේවය කරන කෝප්‍රල් ලක්ෂිකා ඒ.පී.ගේ.ය තවත් ආකාරයකට ඇය ගැන කිවහොත්, ශ්‍රී ලංකා ගුවන් හමුදාව වාර්ෂිකව සංවිධානය කරනු ලබන විශිෂ්ටයින් ඇගයීමේ උළෙලේදී 2022 වසරේ විශිෂ්ටතම ගුවන් කාන්තාව ලෙස සම්මාන ලැබුවේ ඇයයි. ජාතික මට්ටමේ මල්ලවපොර ශූරියක, පුහුණුකාරිනියක මෙන්ම ගුවන් හමුදාවට සිටින එකම ජාත්‍යන්තර මල්ලවපොර විනිසුරුවරිය ලෙසද ඇයව හැඳින්විය හැකිය.
කළුතර දිස්ත්‍රික්කයට අයත් බදුරලිය, කොත්හේන ගම්මානයේ උපත ලද ඇය, අධ්‍යාපනය ලබන්නේ බදුරලිය කඹුරාවල මහා විද්‍යාලයෙනි. පාසල් අධ්‍යාපනයෙන් පසු ක්‍රීඩාවෙන් ඉදිරියට යන්නට මගපෙන්වූ දෙවන තක්සලාව ලෙස ඇය සලකන්නේ ගුවන් හමුදාවය.
“මම 2012 අවුරුද්දේ තමයි ගුවන් හමුදාවට එක්වුණේ. ඒ ක්‍රීඩා අංශයේ භෝජනාගාර භාරකරු විදියට. දියතලාව, රත්මලාන වැනි කඳවුරුවලත් කාලයක් සේවය කළා. එම කාලය තුළ ගුවන් හමුදාවේ අන්තර් කඳවුරු තරඟාවලි පැවැත්වුණා. එතැනදී තමන්ගේ දක්ෂතා අනුව ක්‍රීඩාවක් තෝරාගෙන ඉදිරියට යන්න ඕනම කෙනෙකුට අවස්ථාව තියෙනවා. බොහොම සාමාන්‍ය පවුලක කෙනෙක් වුණ මට ලැබුණෙත් එහෙම අවස්ථාවක්. මම මල්ලවපොර අංශය තෝරගත්තා. විනිසුරුවරයෙක්, පුහුණුකරුවන් යටතේ පුහුණුවෙලා 2013 වසරේ කිලෝග්‍රෑම් 55 බර පන්තියේ ගෝල්ඩ් මෙඩ්ල් එක දිනාගත්තා. ඉන්පසුව ආධුනික මල්ලවපොර ශූරතාවලිය 2015, ආරක්ෂක සේවා මල්ලවපොර ශූරතාවලිය 2016, 77 වන ජාතික මල්ලවපොර ශූරතාවලිය, 2016 ජාතික මල්ලවපොර තරඟාවලිය පළමු, දෙවන ස්ථාන ලැබුවා. ඒ වගේම 2017 වසරේ දක්ෂතම ක්‍රීඩිකාව වුණෙත් මම. එහෙම ජයගන්න තරඟකරුවෙකුට ජාතික මට්ටමේ ජයග්‍රහණ ලබන්නත්, ජාත්‍යන්තර තරඟ නියෝජනය කරන්නත් ඉඩ සැලසෙනවා. ගුවන් හමුදාව තුළ තිබෙන ක්‍රියා පිළිවෙත එයයි.”
තම රාජකාරි කටයුතුවලට බාධා නොවන පරිදි, දක්ෂතාවන් ඔප්නංවා ගනිමින්, ජයග්‍රාහී ගමනක් යන්නට තමන්ට ලැබුණු අවස්ථාව ඇය මගහරවා ගත්තේ නැත.
“අපට ජාතික මට්ටමේ මල්ලවපොර විනිසුරුවරියන් දෙතුන්දෙනයි ඉන්නේ. ඒ අතරින් 2022 අවුරුද්දේ කාම්බෝජයේ තිබුණු ජාත්‍යන්තර විනිසුරු පාඨමාලාවට සම්බන්ධ වෙන්න මට අවස්ථාවක් ලැබුණා. ඊට සහභාගී වුණ ලංකාවේ විනිසුරුවරුන් තිදෙනාගෙන් එකම කාන්තා නියෝජනය වුණේ මමයි. එම පාඨමාලාවට රටවල් නවයක පමණ පිරිස් සහභාගී වුණා. එහිදි ලිඛිත පරීක්ෂණයන් වගේම, ප්‍රායෝගික පරීක්ෂණයට මුහුණ දීලා ජාත්‍යන්තර විනිසුරු සහතිකය ලබාගන්න මට අවස්ථාව ලැබුණා.”
ඒ හඬ ජයග්‍රහණයේ සතුටින් පිරී තිබේ. කුඩාවියේදී බදුරලිය ගමේදී දුටු තේ දල්ලේ කොළ පැහැයත්, රබර් වතුවලින් හමා එන සිසිල් සුළඟේ සුවයත් විඳිමින් ගෙවා දැමූ කාලය අතරතුර ජයගත හැකි බලාපොරොත්තු ගැන ඕ විශ්වාසය තැබුවාය. පවුලේ වැඩිමල් දියණියද ලක්ෂිකායි. ඇයට සහෝදරියන් දෙදෙනෙකුත් සහෝදරියන් දෙදෙනෙකුත් සිටින අතර, පවුලේ කටයුතුද ඇය සොයා බලන්නේ කැමැත්තෙනි.
“ඇත්තටම මට මගේ දෙමාපියන්, සහෝදරයින්, මගේ සැමියා තාරක සඳරුවන් වගේම, එයාගේ දෙමාපියනුත් මේ ගමනට ලොකු ශක්තියක් වුණා. ගැහැනු කෙනෙක් නිසා ඔයාට ඕවා හරියන්නේ නැහැ කියනවා වෙනුවට මගේ සැමියා මගේ දක්ෂතාවයන් වෙනුවෙන් අවස්ථාව දුන්නා. ඒ වටහාගැනීම, සහයෝගය ඉතාම වටිනවා. ඒ වගේම දක්ෂතා හඳුනාගෙන ඉදිරියට යන ගමනේදී, ගුවන් හමුදාව තුළ කාන්තා පිරිමි කියා භේදයක් නැතුව ලබාදෙන සහයෝගය අපි සෑමදෙනාටම එකලෙස ලැබෙනවා. මේ සියල්ලෙම එකතුව ලෙස තමයි මම මෙවර විශිෂ්ටතම ගුවන් කාන්තාව ලෙස සම්මාන ලැබුවේ.”
එදින ඇය විශිෂ්ටතම ගුවන් කාන්තාව ලෙස සම්මාන ලබද්දී, 2022 වසරේ විශිෂ්ටතම ගුවන් භටයා ලෙස සම්මාන ලැබුවේ චීන වරාය ගුවන් හමුදා විද්‍යා පීඨයේ සේවය කරනු ලබන බලලත් නිලධාරී ආර්.ජී.එස්.ප්‍රියංකරය.
ලක්ෂිකා කියන්නේ තම ජයග්රහණයේදී සිහිකළ යුතුම පිරිසක් සිටිනා බවයි. ඒ අතර ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, සැපයුම් අධ්‍යක්ෂ ජෙනරාල් එයාර් වයිස් මාර්ෂල් ආර්.එන්.තිලකසිංහ, ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සලයේ ලේකම්, ගෲප් කැප්ටන් වී.ඊ.ගීගනනේ, මල්ලවපොර සංචිතයේ හිටපු සභාපති එයාර් වයිස් මාර්ෂල් ඩබ්.එම්.කේ.එස්.පී.වීරසිංහ, කඳවුරු අණදෙන නිලධාරී එයාර් වයිස් මාර්ෂල් එල්.එච්.සුමනවීර, නිලධාරී නිවස්න සභාපති එයාකොමදෝරු එස්.ආර්.උඩකුඹුර ඇතුළු ශ්‍රි ලංකාව මල්ලවපොර සංගමයේ සභාපති සරත් හේවාවිතාරණ ඇතුළු නිලධාරී මණ්ඩලයත්, තම ක්‍රීඩා පුහුණුකරුවන් වන බලපන්ති සැරයන් වයි.ආර්.සී.ප්‍රනාන්දු, කෝප්‍රල් කේ.ටී.ඩබ්ලිව්.ප්‍රනාන්දු යන පුහුණුකරුවන්ද ගෞරවයෙන් සිහිපත් කරන්නීය.
දීපා වසන්ති එදිරිසිංහ