මේ කාලෙ ඇල්ටොත් නෑ කියන අයට බුල්ටෝ දෙන්නද?
ඔන්න ආයුබොවන්ඩ මේක කෝපි කාලේ රස කතාවක්. කෝපි කාලේ කිව්වට 1960 ගණන්වල එකක්.
ඒ කාලේ බොරලැස්ගමුව පළාතේ පුංචි පහේ පොල්කේක් කඩයක් තිබුණලු. කඩේ මුදලාලිගේ නම ඩී.එම්.සේසින්. දවසක් සේසින් මුදලාලි පොල්කේක් හැඳිගගා ඉන්දැද්දි මුන්දෑ අතින් පදම වැරදිලා. හයියෝ දැන් මොකදෑ කරන්නේ… මුදලාලි හදලා තියෙන්නේ පොල්කේක් ටික විසි කරන්න. විසි කරන්න කලින් සේසින් මුදලාලි වැරදිච්ච මිශ්‍රණෙන් ටිකක් කටගෑවලු. පදම වැරදුණාට මොකෝ කෑවයින් කෑවේ නෑ මේ වගේ දෙයක් කියලා හිතපු මුදලාලි මේකට තව අඩුම කුඩුම දාලා අලුත්ම රසකැවිල්ලක් හදලා.
‘දොයි දොයි දොයි දොයිය බබෝ දොයි
හැන්දෑවට තාත්තා අද බුල්ටෝ ගෙනත් දෙයි
බයි බයි බයි බයිය බබෝ බයි
ගුණසිරි බුල්ටෝ තාත්තා බබාට ගෙන දෙයි’
ඕක 1970 ගණන්වල ගුවන්විදුලියේ ඇහුණු වෙළඳ දැන්වීමක්. මේක ගායනා කළේ ඒ කාලේ බොහොම ප්‍රසිද්ධ ගායකයෙක් වෙච්චි ක්‍රිස්ටොපර් පෝල් මහත්තයා.
70/80 කාලේ රට හොල්ලපු රසක් තමයි ගුණසිරි බුල්ටෝ. පුළුවන්නම් ඒ කාලේ අයගෙන් අහලම බලන්නකෝ. ඒක නෙමෙයි කතාව. ගුණසිරි බුල්ටෝ කියන්නේ අර අපි කලින් කියාපු සේසින් මහතැන්ගේ වැරදුණු රෙසපිය. කොහොමද වැරදිච්ච තැනකින් මනුස්සයෙක් ගියාපු දුරක්. පස්සේ සේසින් මුදලාලි බුල්ටෝ වෙනුවෙන් පේටන්ට් බලපත්‍රයක් පවා ගත්තලු.
‘හරි පිරිසුදු රට පරසිඳු ගුණසිරි බුල්ටෝ
දිවට රසයි රසය අගෙයි
ඇඟට ගුණයි මිලද වටී
රස ගුණපිරි ගුණසිරි බුල්ටෝ’
ඕකත් ඒ කාලේ නිතරෝම ප්‍රචාරය වුණු ගුණසිරි බුල්ටෝ ඇඩ්වර්ටීස්මන්ට් එකක්. හැබැයි පස්සේ සේසින් මුදලාලි විතරක් නෙමේ තවත් බුල්ටෝ නිෂ්පාදකයෝ බිහිවෙලා.
ඉස්සර අපේ ආත්තම්මලා අම්මලා එහෙම බුල්ටෝ ගැන හරියටවත් කියනවා. ඒ කාලේ දැන් වගේ අරුමෝසම් තාලේ ලොසින්ජර තිබිලා නෑනේ. තිබුණු එකම ලොසින්ජරේ බුල්ටෝලු. බුල්ටෝ කියන්නේ ටිකක් හයිය ටොපියක්. ඒ කාලේ ඔය බුල්ටෝ ටොපියක් සත පහලු. ඉස්කෝලේ ඇරිලා එද්දි ගමේම කෙල්ලෝ කොල්ලෝ සත පහේ බුල්ටෙක් අරන් හක්කෙන් හක්කට මාරු කර කරා පැය ගාණක් ඒක කනවලු. ප්‍රශ්නයක් ඇහැව්වම උත්තර නොදී ඉන්දැද්දි කටේ පිට්ටුද කියලා දැන් අහනවා වගේ “කතා කරන්න බැරි කටේ බුල්ටෝද යකෝ” කියලලු ඔය කාලේ අය ඇහැව්වේ.
කොහොමින් කොහොම හරි ජේ.ආර්.මහත්තයා පිටරටින් ස්වීට් කෑම ගෙන්නන්න ගත්තයින් පස්සේ කට්ටිය බුල්ටෝ හදන එක අඩු කළාලු. හැබැයි එහෙමයි කියලා අදටත් බුල්ටෝවලට තියෙන ඉල්ලුම අඩුවෙලා නැහැ.
දැන් බුල්ටෝ නෑනේ කිය කිය නාහෙන් අඬන මිනිස්සු මට පෞද්ගලිකව මුණගැහිලා තියෙනවා.
මේ දවස්වල ඇල්ටොත් නෑ කිය කියා සමහරු දෙස් දෙවොල් තියනවා. නාහෙන් අඬ අඬා අත් ගුලි කරන් හිටියොත් ඇල්ටෝ තියා ඇල්වතුරවත් ලැබෙන්නේ නෑ ඕන්. ඇල්ටොත් නැත්තම් බුල්ටෝ හදලා බලන්න කියලා අපි යෝජනා කරන්නේ ඒකයි.
ලොකු නිෂ්පාදකයෝ ප්‍රමාණයක් එහෙමත් නැති නිසා මේක කරලා ගොඩ යන්න පුළුවන් කියන එක නම් සහතිකයි.
හරි බුල්ටො හදන වැඩේ මේ විදියට පටන්ගමු.
ඒකට උකු පොල්කිරි 750ml, සීනි 525g, හදාගත්තු කෝපි තේ හැඳි තුනක් (වර්ණ ගැන්වීම සඳහා), ඉඟුරු යුෂ මේස හැඳි 1, රස පදමට ලුණු, පාන්පිටි 100g සපයා ගන්න. බුල්ටෝ ඔතන්න තෙල් කඩදහි ගන්න. තෙල් කඩදහි හොයාගන්න බැරි වුණෝතින් පාච්මන්ට් කොළ ගන්න.
පියවර 1
භාජනයකට සීනි 500gක් දාලා කූරු නොගා කැරමල් කරන්න. හැබැයි හුඟක් කළු කරන්න එපා. එතකොට තිත්තයි. සීනි ටික කැරමල් වුණායින් පස්සේ උකු පොල්කිරි එකතු කරලා හැඳි ගාන්න. මේකට කෝපියි, ඉඟුරු ඉස්මයි එකතු කරලා ආයෙත් හැඳි ගාන්න.
පියවර 2
තවත් භාජනයක අර ඉතිරි සීනි 25g උණු කරන්න. ඒකට පිටි 50gක් දාලා මිශ්‍ර කරන්න. මේ මිශ්‍රණය අපේ බුල්ටෝ මිශ්‍රණේට දාලා ගින්දර අඩු කරගෙන කැටි නොගැහෙන්න හැඳි ගාන්න.
පියවර 3
තැටියක් අරගෙන ඒකට තෙල් ටිකක් දාලා බුල්ටෝ මිශ්රණේ දාගන්න. ඒකට උඩින් ඉතිරි පාන්පිටි 50g ඉහින්න. මේ මිශ්‍රණය ඉලාස්ටික් එකක් වගේ ඇද ඇදා අවශ්‍ය දිගට මහතට ටොෆිය කතුරකින් කපාගන්න.
උඩ තැවරුණු පිටි ටික අතින් ඉවත් කර කර ටොෆිය අතින් හැඩ කරලා ඉක්මනින්ම තෙල් කඩදාසිවල ඔතන්න. මෙහෙම හදාගත්තු බුල්ටෝ ටොෆී ටික බෝතල්වල අහුරලා වෙළඳපොළට දාන්න. ප්‍රමාණය අනුව ටොෆියක් රුපියල් 5 ඉඳලා මිල කරන්න පුළුවන්. 0714766819 අංකයෙන් වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්.
සීතා පොන්නම්පෙරුම
ස්වයං රැකියා පාඨමාලා උපදේශිකා
සෙව්වන්දි හෙට්ටිආරච්චි
